තංගල්ල සීනිමෝදර අභිරහස් මරණ තුනේ (3) සිරුරුවල වස?

තංගල්ල සීනිමෝදර අභිරහස් මරණ තුනේ (3) සිරුරුවල වස?


තංගල්ල සීනිමෝදර අභිරහස් මරණ තුනේ (3) සිරුරුවල වස?

(23.09.2025 – hirunews.lk)

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී අභිරහස් ලෙස මියගිය පුද්ගලයින් තිදෙනාගේ (3) සිරුරුවල වස අන්තරගතව ඇතැයි හැගෙන බැවින් ඔවුන්ගේ රුධිර සාම්පල සහ ශරීර පටක කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරිවරු තීරණය කර තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයන් තිදෙනාගේ (3) පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේදී අද (23) පැවැත්වූ අවස්ථාව්දී මෙම කරුණු හෙළිවුණා.

තංගල්ල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් කණ්ඩායමක් මරණ සිදුවූ අයුරු පිළිබඳව පරීක්ෂණවලට යටත්කර විවෘත තීරණයක් ලබා දෙමින් එසේ සඳහන් කර තිබුණා.

රජයේ රස පරීක්ෂකවරයා ලබාදෙන වාර්තා අනුව තිදෙනාගේ (3) මරණ සිදුවූ අයුරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන බවද ඔව්හු පැවසුවා.

මෙම මරණකරුවන් මරණයට පත්වීමට පෙර දින යම් ස්ථානයකට ගොස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට පොලිසිය තොරතුරු සොයා ගෙන තිබුණා.

ඒ අනුව, ඔවුන් පානය කළ බියර් බෝතයක් තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රාවණයක් තිබී වෛද්‍යවරුන්ට හමුව ඇතැයි ද වාර්තා වුණා.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අළුත් වැඩියා කරමින් තිබූ පැරණි නිවෙසක තිබී මළසිරුරු දෙකක් (2) මුලින් සොයාගනු ලැබුවා.

පසුව ඔවුන් සමඟ‍ සිටි දෙදරු පියෙකු ඔහුගේ විතාරන්දෙණිය, තලපිටියගම නිවසට ගිය අවස්ථාවේ හදිසියේ රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

මොවුන්ගේ මරණ පිළිබඳව සිද්ධිය වූ සීනිමෝදර නිවසට ගොස් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ තංගල්ල මහේස්ත්‍රාත් ශාමලා බූතාවත්ත මෙම මරණ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට වෛද්‍ය වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසට තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයාට නියෝග කළා.

ඒ අනුව තංගල්ල මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි රුවන් නානායක්කාර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරින් වූ එස්.එච්. ප්‍රමුදිත්, ආර්.කේ.එස්. චන්දිම, ෂර්මිලා උභයරත්න ඔහුට සහාය වුණා.

මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණේ තංගල්ල, උණාකූරුව, ලන්දෙවත්ත ප්‍රදේශයේ පදිංචි සුවඳ හැන්නදිගේ තුසිත වෙනුර කුමාර නමැති 50 හැවිරිදි දෙදරු පියෙකු සහ අම්බලන්තොට, ලුණම, රණවිරු මාවතේ පදිංචි ඩබ්ලිව්. ඊ. කවිදු කල්හාර සහ අම්බලන්තොට, ලුණම මණ්ඩගල පදිංචි දිනුක ලක්ෂාන් හේවාවිතාරණ යන අවිවාහක තරුණයින් දෙදෙනායි (2).

මෙම තිදෙනාගේ (3) පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද (23) සවස 01:30 ට පමණ ආරම්භ වුණා.

රෝහල් ගතව සිටි මියගිය දෙදරු පියාගේ පුතුන් ලබාදුන් සාක්ෂි අනුව දෙවන (2) වරටත් සිද්ධියවූ සීනිමෝදර නිවසට ගොස් අධිකරණ වෛද්‍ය නිළධාරින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර කටයුතු කළා.

තංගල්ල පොලිසියේ නිලධාරින් මියගිය තුසිත වෙනුර කුමාර යන අයගේ බිරිඳගෙන් අනෙක් තරුණයින් දෙදෙනාගේ (2) මාපියන් ගෙන්ද සාක්ෂි සටහන් කර ගත්තා.

පස්වරු පහට (05:00) පමණ දේහයන් ඥාතීන්ට බාරදීම සිදුවිය.

මෙම අබිරහස් මරණ සිදුවීමත් සමග වහා විමර්ශන කටයුතු සිදුකල පොලිසිය හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි තුනක් (3) සොයාගනු ලැබූවා.

තංගල්ල ගොඩැල්ලවෙල කදුරුපොකුණ පාරේ නිවසක ගරාජයක තිබී කොමඩු පැටවූ ලොරියක තිබී මුලින් මත්ද්‍රව්‍ය සොයාගත් අතර පසුව අබිරහස් මරණ සිදුවූ සීනිමෝදර නිවස අසල නවතා තිබූ ලොරි දෙකක (2) තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගනු ලැබූවා.

මෙම ලොරි තුනේම (3) තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 705 ක් සොයාගත් බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධව මේවන විට සැකකරුවන් හතරදෙනෙකු (4) අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා .

මත්ද්‍රව්‍ය හසුවූ ලොරි රථ දෙකක (2) හිමිකරුවන් දෙදෙනෙකු (2) සහ එක් (1) ලොරි රථයක රියදුරෙකු සහ අභිරහස් ලෙස මියගිය දෙදරු පියාගේ වැඩිමහල් පුතාවූ 25 හැවිරිදි සරසවි සිසුවෙකු සැකකරුවන් අතර වන බව පොලිසිය පැවසුවා.

මේ අතර සොයාගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සදහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට කටයුතු කරන බව තංගල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවා.

දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශාමික වික්‍රමසිංහ, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිපුණ දෙහිගමගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා ඇතුළු නිලධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


දින 19 ක් අකුරට වැඩ කළත් සාකච්ඡාවක් දුන්නේ නැහැ

(23.09.2025 – hirunews.lk)

විදුලි සේවකය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වී දින 19 ක් ගත වී ඇතත්, අමාත්‍යවරයා හෝ රජයේ වගකිවයුතු කිසිවකු මෙතෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.

පසුගිය සෙනසුරාදා මණ්ඩලයේ සභාපතිවරයා සාකච්ඡාවක් ලබා දුන් නමුත්, පිටස්තර පාර්ශ්ව සිටි නිසා එයට සහභාගී නොවුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් සභාපතිවරයා ඕනෑම අවස්ථාවක හමුවිය හැකි බැවින්, අමුතුවෙන් සාකච්ඡා කිරීමට හේතුවක් නොමැති බවද ධනුෂ්ක පරාක්‍රමසිංහ සඳහන් කර සිටියා.

ඒ අනුව තවදුරටත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනවා. ඉදිරි දිනවලදී එකතු වී සාකච්ඡා කර වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි ගමන පිළිබඳ තීරණය කරන බවයි විදුලිබල වෘත්තීය සමිති සඳහන් කරන්නේ ෴


මොරටුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ගැනීමට පියවර ගෙන තිබෙනවා – අල්ලස් කොමිසම

(23.09.2025 – hirunews.lk)

මාර්ග සංවර්ධනය කිරීම සඳහා මොරටුව නගර සභාවට වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන එම නගර සභාවේ හිටපු සභාපති සමන් ලාල් ප්‍රනාන්දු සිය හිතවත් කොන්ත්‍රාත්කරුවන්ට ලබාදී රජයට පාඩු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එවකට නගර සභාවේ සේවයේ නියුතුව සිටි නාගරික මන්ත්‍රීවරුන්ගෙන් හා මේ වන විට සේවය යෙදී සිටින නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගෙන ඇති බව අල්ලස් කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එසේ කොන්ත්‍රාක් ලබාදීම සඳහා සැකකාර හිටපු සභාපතිවරයා එහි සේවයේ නියැළී සිටි නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල කිරීම නිසා බොහෝ පිරිසක් ස්ථාන මාරුවීම් ගොස් ඇති බවට විමර්ශන වලදී කරුණු අනාවරණය වූ බව ද අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

මාර්ග සංවර්ධනය කිරීම සඳහා වරාය මහාමාර්ග අමාත්‍යාංශය මගින් 2013 වසරේ මොරටුව නගර සභාව වෙත වෙන් කරන ලද රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන හිතවත් කොන්ත්‍රාත්කරුවන් අට දෙනෙකුට (8) ලබාදී රජයට පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (23) නියෝග කළා.

සැකකරුට රු. ලක්‍ෂ දහය (10) බැගින් වූ ශරීර ඇප තුනක් (3) සහ රු. පනස්දාහක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයය නියම වුණා.

බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරු අද (23) උදැසන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් එහි පළාත් පාලන කොමසාරිස්වරිය හරහා 2013 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කරන ලද පැමිණිල්ලක් විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

එවකට වරාය මහා මාර්ග අමාත්‍යාංශය විසින් මඟ නැගුම වැඩසටහන යටතේ නාගරික ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා මොරටුව නගර සභාව වෙත රුපියල් මිලියන 105 ක ප්‍රතිපාදන ලබා දී ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණයට දැන්වුවා.

එසේ වෙන් කරන ලද මුදල් ප්‍රජාපාදක සමීතියක කොන්ත්‍රාත් සඳහා ලබාදීමේදී රාජ්‍ය මුදල් චක්‍රලේඛය අනුව කටයුතු කරන ලෙසද එසේ නොමැති නම් ඍජු ක්‍රමය යොදා නගර සභාව මගින් සිදු කරන ලෙස දැනුම් දුන් බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූවා.

එසේ දැනුම්දීි තිබියදී සැකකාර හිටපු නගරාධිපතිවරයා නගර සභා ආඥා පනතට හා මුදල් රෙගුලාසි වලට පටහැනි ලෙස කටයුතු කරමින් ගිවිසුම් ගත පාර්ශවයට හැර ඔහුට හිතවත් වෙනත් පාර්ශවයන් වෙත මුදල් ගෙවීමට නීති විරෝධී ලෙස මැදිහත්වී දුෂණය නමැති වරද සිදුකර ඇති බවද එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවයෙහි නියුතු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබෙන බවත් සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

විමර්ශන නිලධාරීන් හා සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළා ෴


ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීමට අනුමැතිය

(23.09.2025 – hirunews.lk)

ආයතනික රැකවරණය හා භාරකාරත්වයේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා මාසිකව රුපියල් 5,000 ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා 2025-06-16 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව, ‘අර්ථ’ ලෙස නම් කරනු ලැබ ඇති එකී වැඩසටහනේ ප්‍රතිලාභ ලබා දීම 2025 ජුලි මාසයේ සිටයි ආරම්භ කර ඇත්තේ.

‘අර්ථ ‘ වැඩසටහන සඳහා 2025 වසරට වෙන්ව ඇති රුපියල් මිලියන 1,000 ක ප්‍රතිපාදන ප්‍රමාණය දරුවන්ගේ උපරිම යහපත වෙනුවෙන් යොදා ගත හැකි වන අයුරින් 2025 ජනවාරි මාසයේ සිට බල පැවැත්වෙන පරිදි එකී ප්‍රතිලාභය ලබා දීමට හැකියාව පවතින බව පෙනී ගොස් තිබෙනවා.

ඒ අනුව, ‘අර්ථ’ වැඩසටහනේ ප්‍රතිලාභ හිමි ගැන්වීම ආරම්භ වන දිනය 2025-01-01 දින ලෙස සැලකීමටත්, එදින සිට හිමි හිඟ ප්‍රතිලාභ දරුවන්ගේ ගිණුම් වලට බැර කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා ෴


මහජනතාවට රජයේ සේවාවන් ලබා ගැනීමට හැකිවන පරිදි ‘රජයේ සුපර් ඇප්’ යෙදවුමක් නිර්මාණය කිරීමට අනුමැතිය

(23.09.2025 – hirunews.lk)

එකිනෙකට වෙනස් පද්ධති, බහු-සත්‍යාපන ක්‍රියාවලි සහ විවිධ රාජ්‍ය දෙපාර්තමේන්තු හරහා නැවත නැවත දත්ත ඇතුළු කිරීම් අවශ්‍යවන රාජ්‍ය සේවා සැපයීම සඳහා වර්තමානයේ පවතින එකිනෙකට වෙනස් වූ ප්‍රවේශයන් හේතුවෙන් පුරවැසියන්ට සැලකිය යුතු අපහසුතා ඇති වන බව නිරීක්ෂණය වී තිබෙනවා.

එමෙන්ම, එමගින් වාර්ෂිකව රුපියල් මිලියන 500 කට වැඩි ආර්ථික හානියක් සිදු වන බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.

එබැවින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික සැලැස්මට අනුකූලව පුරවැසියන්ට තනි පරිගණක යෙදවුමක් මගින් රජයේ සේවාවන් සැපයීම සඳහා පුළුල් පරාසයක් ආවරණය වන ‘රජයේ සුපර් ඇප්’ යෙදවුම් (Govement SuperApp) සංවර්ධනය කිරීම උපායමාර්ගික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබෙනවා.

සියලුම රාජ්‍ය සේවාවන් පොදු එක් පරිශීලක හිතකාමී ජංගම දුරකතන සහ වෙබ් යෙදවුමකට ඒකාබද්ධ කරමින්, ශ්‍රී ලංකාවේ මිලියන 14 ක් වූ වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන්ට සහ වාර්ෂිකව පිවිසෙන්නන් මිලියන 2 කට එක් අතුරු මුහුණතක් හරහා රාජ්‍ය සේවාවලට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ඩිජිටල් වේදිකාවක් මෙම ව්‍යාපෘතිය මගින් සකස් කරනු ලබනවා.

ඒ අනුව, ‘රජයේ සුපර් ඇප්’ (Govement SuperApp) යෙදවුම් ව්‍යාපෘතිය අදියර 02 ක් යටතේ සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 500 ක් භාවිතයෙන් 2025-2026 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා ෴


පස්සර පානීය ජලයෙන් 90% ක අසූචි : පොලිසියට, රෝහලට දෙන්නෙත් දූෂිත ජලය

(23.09.2025 – hirunews.lk)

බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පිහිටි ජල සාම්පල තත්ත්ව පරීක්ෂණාගාරයේදී සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, පස්සර ප්‍රාදේශීය සභාව මගින් පස්සර නගරවාසීන්ට සපයනු ලබන ජලයේ අසූචි මිශ්‍ර ‘E.coli’ බැක්ටීරියාව අඩංගු වන බවයි.

මෙම ජලය භාවිත කරන ආයතන අතරට පොලීසිය සහ රෝහල ඇතුළු රාජ්‍ය ආයතන ද අයත් බව සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය.

ඉකුත් 2024 ඔක්තෝම්බර් මාසයේ සිට 2025 අගෝස්තු මාසය දක්වා කාලය තුළ ජල සාම්පල 96 ක් පමණ පරීක්ෂාවට ලක් කර ඇති අතර, එම පරීක්ෂණවල ප්‍රතිශතයක් ලෙස ගත් කල, මෙම ජලයෙන් 90% ක E.coli බැක්ටීරියාව අඩංගු වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම ජල සැපයුම සඳහා ජලය සපයනු ලබන්නේ නුමුණුකුල පාර්ශවයේ පිහිටි පුහුල්ලත්ත වැවෙන් සහ පස්සර මිල්ලබැද්ද ඉහළ ප්‍රදේශයේ උල්පතකිනි.

පුහුල්ලත්ත ජලාශය මේ දිනවල දිය සිඳෙමින් පවතින අතර, අවට පරිසරය ද අපද්‍රව්‍යවලින් දූෂණය වී තිබේ. එම ජලයම පහළට ගලා යන හොරොව්වක් ඔස්සේද, රෝස්කොට් නව මාර්ගය ඔස්සේ ද රැගෙන යාම සිදු වෙයි. එම හොරොව්ව අවටදී ද ජලය අපවිත්‍ර වන ආකාරය ද දක්නට ලැබේ.

මෙම ද්විත්ව ආකාරයෙන්ම සැපයෙන ජලය නිසි ලෙස පවිත්‍ර කිරීම සඳහා, පුරනැගුම ව්‍යාපෘතිය යටතේ රෝහලට ඉහළින් රුපියල් කෝටි 6 ක වියදමින් ජල පවිත්‍රාගාරයක් ඉදි කර ඇතත්, එය මේ දක්වාම අක්‍රීයව පවතී.

ජලය නිසි ලෙස නොලැබෙන බවටත්, නව ජල ව්‍යාපෘතිය යටතේ ජලය නොලැබෙන බවටත්, ලැබෙන ජලය අපිරිසිදු බවටත් ජනතාව චෝදනා කරති.

පස්සර ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් පියදාස මහතා පැවසුවේ, මේ සියලු ගැටලු සහ අඩුපාඩු මේ වන විට හඳුනාගෙන ඇති බවයි.

තව දුරටත්, මෙම ජල ව්‍යාපෘතිය සභාව මගින්ම ක්‍රියාත්මක කරනවාද, නැතිනම් ජාතික ජල සම්පාදන මණ්ඩලයට භාර දෙනවාද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය ෴


මුණුබුරා සමඟ ගල්තලාවක නිදන් හෑරූ හිටපු මන්ත්‍රීනිය අත්අඩංගුවට

(23.09.2025 – hirunews.lk)

මුණුබුරා සමඟ එක්ව නිවෙස පිටුපස ඓතිහාසික බවක් ඇති බවට සැක කෙරෙන ගල්තලාවක නිදන් හාරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියනවා.

අත්අඩංගුවට ගත් එම මන්ත්‍රීවරිය හොරණ ප්‍රාදේශීය සභාව නියෝජනය කළ තැනැත්තියක් බව පොලිසිය සඳහන් කරනවා.

එම සැකකාරිය සහ සැකකාර මුණුබුරා සමඟ නිදන් හෑරීම සඳහා යොදාගත් රසායනික ද්‍රව්‍ය , හිල්ටි යන්ත්‍රයක් , උල්කටු කීපයක් , වයර් කෝඩ් කීපයක්, ශාන්ති කර්ම සඳහා යොදාගත් බුලත් මැටි පහන් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.

කාන්තාවක් තවත් කීප දෙනකු සමඟ ඇයගේ නිවෙස පිටුපස පිහිටි ගල්තලාවක් පුපුරුවා හරිමින් නිදන් හාරමින් සිටින බවට 119 හදිසි ඇමතුම් ඒකකය මඟින් මොරගහහේන පොලිසියට ලද දුරකථන පණිවිඩයක් පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදුකළ වැටලීමේදී එම කාන්තාව සහ මුණුබුරා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසියය පවසනවා.

අනතුරුව පොලිස් නිලධාරීන් සිදුකළ පරික්ෂාවේදී විශාල ගල්තලාවක් මැද අඩි හයක (6) පමණ පළලින් යුත් අඩි විස්සක (20) පමණ යටට විශාල දෝනාවක් දක්නට ලැබුණු බවත් ඒ තුළ දැඩි අඳුරකින් යුක්ත වීම හේතුවෙන් සැකකරුවන් ගල විඳීම සඳහා විදුලි රැහැන් උපයෝගී කරගෙන නිවසින් විදුලිය ද ලබාගෙන තිබූ බවත් විමර්ශනවලදී දැකගත හැකිවූ බව පොලිසිය පවසනවා.

පිටතට ශබ්ද නොඇසීම සඳහා ගල පිපිරීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදා ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ගල මේ තරමට යටට පිපිරවිමට මාස දෙකක (2) පමණ කාලයක් ගත වූ බව අත්අඩංගුවට ගත් සැකකාරියගේ මුනුබුරාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය පවසනවා.

මෙම ගල්තලාව මත අලියෙකුගේ සහ කිරිබත් කෑල්ලක හැඩයෙනුත් රූප සටහන්ද දක්නට ලැබෙන බවත් සැකකාරිගේ ප්‍රකාශවලින්ද අනාවරණය වූ බවත් ඊතලයක හැඩයෙන් යුත් රූප සටහන් ගල්තලාව නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බව වැටලීම සිදුකළ නිලධාරියෙක් පවසයි.

ඊට අමතරව වසර සිය ගණනක් පැරණි පුස් වැලක්ද ගල්තලාව ආසන්නයේ වැවී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මෙම ගල්තලාව මත ඇති නිධානය ගැනීම සඳහා සැකකාරිය විවිධ පුද පූජා පවත්වා ඇතැයිද අවට නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකිවූ බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් 76 හැවිරිදි සැකකාරිය හා 20 හැවිරිදි මුණුබුරා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


හර්ෂ ඉලුක්පිටියට දෙවසරක (2) සිර දඬුවම් – ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

(23.09.2025 – hirunews.lk)

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක (2) සිර දඬුවම් නියම කළා.

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක් පිටිය මහතා අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු වරයා සඳහන් කළා.

ඉකුත් රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව විසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා ෴


ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් කළුරිය කරයි

(23.09.2025 – hirunews.lk)

ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම අභාවප්‍රාප්ත වනවිට ඔහු 56 හැවිරිදි වියේ පසුවුණා.

ප්‍රදීප් උඩවෙල සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1998 දී ජැක්සන් ඇන්තනි විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ජුලියට්ගේ භූමිකාව’ චිත්‍රපටයෙන්.

ඔහුගේ වඩාත් ජනප්‍රිය සිනමා නිර්මාණ අතර ‘තාරකා මල්’, ‘පරාවර්තන’ සහ ‘අසයි මං පියාඹන්න’ චිත්‍රපට හදුන්වා දිය හැකියි.

ඊට අමතරව ‘ජුරියා’, ‘කැලණි පාලම’, ‘මැන්ඩෙලා’ සහ ‘සුද්දෙක් ඔබ අමතකයි’ ඇතුළු වේදිකා නාට්‍ය රැසකට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

එමෙන්ම ‘අකුරු මැකි නෑ’, ‘අපර්ණා’, ‘බට්ටි’, ‘ගං දෑල නිසලය’, ‘ඉසුරු පවුර’, ‘මහතල හටන’ වැනි ඇතුළු ටෙලිනාට්‍ය රැසකටද මොහු සම්බන්ධ වී තිබුණා.

2014 වසරේදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යටතේ බස්නාහිර පළාත් සභාවට තරග කර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *