අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි

අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි


අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් ගැන ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට යයි

(22.09.2025 – hirunews.lk)

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හයදෙනකුගේ (6) වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විමසීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ දැනට මෙම කැබිනට් අමාත්‍යවරුන් හයදෙනාගේ (6) වත්කම් පිළිබඳව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් අද හෙටම විමසා සිටින බවයි.

ඊට අමතරව ආණ්ඩුවේ සිටින අනෙකුත් ජනතා නියෝජිතයින්ගේද වත්කම් සම්බන්ධයෙන් තොරතුරු සහ ලිපිගොනු එක්රැස් කරමින් පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

කැබිනට් අමාත්‍යවරුන් හයදෙනෙකුගේ (6) වත්කම් සම්බන්ධයෙන් බරපතල සැක මතුවී ඇති නිසා මේ පිළිබඳව කඩිනමින් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් තොරතුරු විමසා සිටීමට තීරණය කළ බවයි මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මෙම අමාත්‍යවරුන් රැකියාවක් සිදු නොකොට, ව්‍යාපාර කටයුතු සිදු නොකර, පූර්ණ කාලීනව දේශපාලනයේ නිරත වෙමින් මෙතරම් වත්කමක් උපයා ගත්තේ කෙසේද යන්න බරපතල සැක සහිත කාරණයක් බව ද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් මෙම තොරතුරු ලබා ගත් පසුව ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන බවද මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


තලගොයා දැක තිරිංග තද කරලා – දකුණු අධිවේගයේ අනතුරක්

(22.09.2025 – hirunews.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 12 බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් ගත් තලගොය‍යෙකුට තිරිංග තද කිරීමත් සමඟම ඊට පිටුපසින් ධාවනය වූ සුඛෝභෝගි මගි බස් රථයක ගැටීමෙන් ඊයේ (21) අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රියක සිටි කාන්තාවක සහ ඇගේ දරුවන් තිදෙනා (3).

එම මෝටර් රථය පදවා ඇත්තේ එම කාන්තාව විසින්. මෙම අනතුරින් රියේ සිටි කතගේ සැමියාට තුවාල සිදුවී නැහැ.

අනතුර සිදුකළ බස් රථ රියැදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ඇති වු බව පොලිසිය සඳහන් කරනවා.

මීගොඩ ප්‍රදේශයේ පදිංචි අඹු සැමි යුවළක් තම කුඩා දරු තිදෙනා (3) සමඟ මෝටර් රථයෙන් ගාල්ල ප්‍රදේශයට ගොස් නැවත නිවෙස කරා යාම සඳහා කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගොඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා තලගොයෙකු ගමන් කර තිබූ බව පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී මෝටර් රථය එම දරුවන්ගේ මව පදවා ඇති අතර ඇය විසින් තලගොයා බේරීම සඳහා තිරිංග තද කිරීමත් සමගම ඊට පිටුපසින් ධාවනය වෙමින් තිබූ කැබ්රථයද තිරිංග තදකර එය අනෙක් මං තීරුව කරා රැගෙන ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබුණා.

ඒ සමඟම ගාල්ල සිට මාකුඹුර දක්වා ධාවනයෙන් තිබූ අති සුඛෝභෝගී මගි බස් රථය තිරිංග තද කිරීමක් නොකර පැමිණි වේගයෙන්ම ධාවනය කර මෝටර් රථයේ සහ කැබ් රථයේ ගැටීමත් සමඟම මෝටර් රථය ඇදී ගොස් ආරක්‍ෂිත වැටේ ගැටී ඇතැයි පොලිසිය පවසනවා.

එම අනතුරින් මෝටර් රථය පැදවූ කාන්තාව සහ ඇයගේ දරු තිදෙනා (3) තුවාල ලැබූ අතර අනතුර සැළවූ වහාම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් සහ ජීවිත ගලවා ගැනීම සහ ගිනිවීමේ නිලධාරීන් විසින් වහා ක්‍රියාත්මක වී තුවාලකරුවන් කහතුඩුව වෑතර දිසාරෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

තුවාල ලැබූ දරු තිදෙනා (3) වයස අවුරුදු 11 ට අඩු වයසේ පසුවන්නන් බව ද පොලිසිය පවසනවා.

සිදු වූ අනතුරින් මෝටර් රථයට, කැබ්රථයට සහ අධිවේගී මාර්ගයේ දේපළවලට හානි සිදුව ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.

බස් රථ රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසනවා.

දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිසක අශෝක කරුණාරත්නගේ උපදෙස් මත ගැලණිගම රථ වාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක කුලිතුවක්කුගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එම්. එම්. චන්දන මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි ෴


‘සම්පත් මනම්පේරී’ වළ දැමූ උණ්ඩවල ‘KPI’ ලෙස සඳහන් කරලා

(22.09.2025 – hirunews.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ බවට සැක රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් (2) සොයාගැනීමේ සිද්ධියට අදාළ ‘සම්පත් මනම්පේරි’ නැමැත්තා විසින් වළ දැමූ බව කියන උණ්ඩ අතර KPI යනුවෙන් සටහන් කළ උණ්ඩ කිහිපයක් තිබෙන බව පොලිසිය පවසනවා.

මෙම උණ්ඩ ඇතුළු ආයුධ තොගය මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක තිබියදී සොයා ගැනීමටයි පොලිසිය සමත්වුණේ.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතයි ඉඩමක් පරීක්ෂාවට ලක්කිරීමේදී මේවා හමුවී තිබෙන්නේ.

මේ පිළිබඳව පොලීසිය සඳහන් කළේ රන් පැහැ ගැන්වූ ටී-56 මැගසින් එකක් (1), ටී-56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක් (1), කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් (1) එහි තිබී සොයාගත් බවයි.

සැකකරු විසින් ඉකුත් 03 වැනිදා ඔහුගේ අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ මේවා වළ දමා ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴


වාහනවල ඉදිරි වීදුරුවේ ගසා ඇති බෝඩ් කෑලි ගලවන්න පොලිසිය සූදානම්

(22.09.2025 – hirunews.lk)

මෝටර් රථවල ඉදිරිපස වීදුරු මත ප්‍රදර්ශනය කරන නාම පුවරු සහ තනතුරු සම්බන්ධයෙන් වන නීතිය බලාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වන බව වාර්තා වී තිබෙනවා.

පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසන්නේ මෙරට නීතිය අනුව තනතුරු නාමපුවරු ආදී වෙනත් දෑ මෝටර් රථයක ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කිරීම නීති විරෝධී බවයි.

ඒ අනුව මෝටර් රථයක වීදුරුව කළු කිරීමට අවසර පවතින්නේ වීදුරුවෙන් පහෙන් එකක ප්‍රමාණයක් වන අතර එයත් සිදුකළ වීදුරුවේ ඉහළ කොටසින් පමණක් බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

ඊට අමතරව වීදුරුව මත ප්‍රදර්ශනය කළ හැක්කේ ආදායම් බලපත්‍රය සහ පෙර අංක තහඩුව සමඟ ලබා දුන් ස්ටිකරය පමණක් බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල පවසා සිටින්නේ ෴


ලොරි රියැදුරු සිහි නැතිකර මුදල් කොල්ල කෑ පාකිස්තානුවන් තිදෙනා (3) අල්ලයි

(22.09.2025 – hirunews.lk)

යම් රසායනිකයක් අඩංගු රුපියල් 5,000 නෝට්ටුවක් ලොරි රථ රියැදුරකුගේ මුහුණට අල්ලා සිහිසුන් කර ඔහු සතුව තිබූ රුපියල් 90,000 ක මුදලක් කොල්ලකා පළාගිය පාකිස්තානුවන් 03 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මෙම පාකිස්තානුවන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සංවිධානාත්මකව මුදල් කොල්ලකෑම්වල නිරතව සිටින බව අනාවරණය වී තිබෙනවා.

පේරාදෙණිය මාර්ගයේ ගමන් කළ ලොරි රථයක් නතරකර ඇති මෙම පාකිස්තානුවන් රුපියල් 5,000 නෝට්ටුවක් පෙන්වමින් එය මාරුකර ගැනීමට හැකිදැයි ලොරි රථයේ රියැදුරුගෙන් විමසමින් එම නෝට්ටුව මුහුණට අල්ලා ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

එම සිදුවීම සිදුව ඇතතේ ඉකුත් (20) වැනිදා බව පොලිසිය පවසනවා.

රියැදුරා සිහිය ලබන විට ඔහු සතුව තිබුණු රුපියල් 90,000 ක මුදල කොල්ලකා ඇති බවත්, පසුව මේ පිළිබඳව රියැදුරා පේරාදෙණිය පොලීසියට පැමිණිලිකර තිබෙනවා.

‍මෙම කොල්ලය වූ ස්ථානය ආසන්නයේ ඇති ආරක්ෂක කැමරා පොලීසිය විසින් පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ මෝටර් රථයක නැගී එම පාකිස්තානුවන් පළාගොස් ඇති බවයි.

එම වාහනයේ අංකය ඔස්සේ කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ වත්තල වාහන කුලියට ලබාදෙන ස්ථානයකින් මෙම මෝටර් රථය පාකිස්තානුවෙක් විසින් කුලියට ගෙන ඇති බවයි.

එම වාහනයේ ඇති ජී.පී.එස්. උපකරණය මගින් කළ පරීක්ෂාවේදී පෙනී ගොස් ඇත්තේ පසුගිය 21 වෙනිදා වන විට එම වාහනය තිහගොඩ ප්‍රදේශයේ තිබී ඇති බවයි.

ඒ අනුව පේරාදෙණිය පොලීසිය තිහගොඩ පොලීසියට මේ බව දැනුම්දී එම වාහනය සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණා.

සැකකාර පාකිස්තානුවන් තිදෙනා (3) පේරාදෙණිය පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව, සැකකරුවන් තිදෙනා (3) ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴


වසර 20 ක් තිස්සේ රෝගීන් ඇන්දු හොර ජීවකයා මාට්ටු

(22.09.2025 – hirunews.lk)

වසර 20 ක පමණ කාලයක් තිස්සේ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රෝගීන්ට ප්‍රතිකාර කළ පුද්ගලයෙක් එගොඩඋයන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාද්දූව දෙල්දූවේ පදිංචිකරුවෙක් වන 54 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන තාලරුක්ඛාරාම විහාරස්ථානය ආසන්නයේ සහන සේවා නමින් පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානයේදීයි.

මෙම පුද්ගලයා වෛද්‍යවරයෙක් නොවන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකයකින් පෙනී සිටින බවටත් ලද තොරතුරකට අනුව පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (21) සවස් කාලයේදීයි.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී බලපත්‍ර නොමැති ඖෂධ රැසක්ද සොයාගෙන තිබෙනවා.

එම ඇතැම් ඖෂධ කල් ඉකුත් වූ ඒවා බවද අනාවරණය වී ඇති බව සඳහන් ෴

+++

+


විදුලි සේවකයෝ පිරිසක් නව සමාගම්වලට එක්වීමට ලිපි දෙති

(22.09.2025 – hirunews.lk)

ලංකා විදුලිබල සංශෝධන පනත ක්‍රියාත්මක කරමින් පිහිටුවන ලද සමාගම් 4 සඳහා සේවකයින් සම්බන්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.

එවන් පසුබිමක විදුලි වෘත්තිය සමිති අද (22) තීරණය කළේ අකුරට වැඩ කිරීම සහ සියලු‍ම ප්‍රසම්පාදන කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය, අනිද්දා (24) දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි.

පසුගිය මස 26 වනදා සම්මත වූ 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධිත පනත මගින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කරමින් පූර්ණ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ජාතික පද්ධති සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීමේ ලංකා සමාගම සහ විදුලි ජනන ලංකා යන සමාගම් 04 ක් පිහිටුවනු ලැබුවා.

බලශක්ති අමාත්‍යංශය අද (22) නිවේදනය කළේ, විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගෙන් කොටසක් මෙම ආයතනවලට සම්බන්ධ වීමට කැමැත්ත පළ කරමින් ලිපි ලබාදීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් ඊයේ (21) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඊට සමගාමීව සියළු විදුලි සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට ද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, නව ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිබල මණ්ඩලය තුළ මතුව ඇති තත්ත්වය පිළිබදව ජනතාව දැනුවත් කිරීමට ලංකා විදුලි සේවක සංගමය අද (22) පස්වරුවේ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකා බෙදාදීමක ද නිරත වුණා.

කෙසේ වෙතත්, මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බවත්, කිසිදු අවස්ථාවක විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කළා.

ඒ, විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී අද (22) එක්වෙමින්.

කෙසේ වෙතත්, එහිදී දැනට දරන තනතුරු හෝ වැටුප් තල කිසිදු අයුරකින් පහළ නොයන සහ ඉහළට යාමට තිබු බාධා ඉවත් කෙරෙන අන්දමින් කටයුතු කිරීම, සියලු‍ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම, නව ආයතන ව්‍යුහය තුළ ලංකා විදුලිබල මණ්ඩලය ලෙස තිබූ සියලු‍ අයිතිවාසිකම් තහවුරු කිරීම, බලශක්ති ස්වෛරිභාවය ආරක්ෂා කිරීම සහ පූර්ණ වශයෙන් රාජ්‍ය සමාගමක් බවට පත් කර ගැනීම යන මූලධර්ම ආරක්ෂා කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා ෴

+++

ජනපතිගේ ගැසට් එක සත පහකට මායිම් නොකර විදුලි සේවකයෝ 24 වනදා සිට වර්ජනයක (22.09.2025)

+


‘ශේඩ් ඔප් ප්‍රෝකෙයා’ තැන්පතුකරුවන්ගේ රුපියල් කෝටි හයසියකට (600) පොලු තියලා

(22.09.2025 – hirunews.lk)

මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබා දෙන බව පවසා තැන්පතුකරුවන් සතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කළ බව කියන ‘ශේඩ් ඔප් ප්‍රෝකෙයා’ නැමැති නීත්‍යානුකූල නොවන පිරමීඩ ආයතනය තැන්පත්කරුවන් සතු රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කළ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(22) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධය විමර්ශන ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත්පත් කරමිණි.

එහිදි එම ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වන ‘මහාචාර්ය මංජුල රණසිංහ’ගේ විදෙස් ගමන් තහනම මාසයකට (1) ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කළා.

සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ සැකකරුට මාසයක (1) කාලයක් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එසේ විදේශ ගමන් තහනම ඉවත් කිරිම සඳහා රුපියල් ලක්ෂ පහක (5) මුදල් තැන්පත් කළ යුතු බව නියෝග කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 25 බැගින් ශරීර ඇප දෙකක් (2) ද සැකකරුට නියෝග කළා.

මේ සිද්ධියට අදාල අධ්‍යක්ෂකවරයා සහ ප්‍රධාන විධායකවරයා වන ‘අමිල විරාජ් ගලප්පත්ති’ මේ වන විට ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළව එම ආයතනයේ සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් සඳහන් කරනු ලැබුවේ, මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියා ලබාදෙන බව පවසා එක් අයදුම්කරුගේන් රුපියල් 21,500 බැගින් මුදල් අය කරගෙන රැකියාව ලබා දෙන බව පවසා වංචා කර ඇති බවය.

අයදුම්කරුවන් රුපියල් ලක්ෂ 5 ක් වූ පසු රැකියා ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාර යවමින් විවිධ මාධ්‍ය හරහා ජනතාව රවටා මෙම ජවාරම කළ ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණට කරුණු දැක්වුවා.

මෙම අන්තර්ජාලය ඔස්සේ කරන ලද ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධිකරණයට දැන්වුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *