ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට

ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට


ඇඹිලිපිටියේ කුඩු සිද්ධියට ‘බැකෝ’ සමන්ගේ බිරිඳ සී.අයි.ඩී. අත්අඩංගුවට

(30.08.2025 – hirunews.lk)

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන නිදහස් කළ ‘බැකෝ සමන්’ගේ බිරිඳ ‘පී.එස්. ලක්ෂානි’ නමැත්තිය ‍ඊයේ(29) මෙරටට පැමිණීමෙන් අනතුරුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපොල ඒකකයේ’ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 30 ක් වන ඇය මිද්දෙණිය උලහිටියාවේ පදිංචිකාරියකි. ඇය මෙරටට පැමිණෙන්නේ ඊයේ (29) සවස් කාලයේදීය. ඇගේ දරුවා ඥාතියෙකුට භාරදීමට පියවර ගෙන ඇති බවද සඳහන්.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වීම සහ ඇඹිලිපිටි‍ය ම/උ , බී.ආර්. 1059/22 දරණ නඩුවේ අධිකරණ නියෝග සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගත් බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ සඳහන් කළා.

ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් 2022 වසරේ ජූලි මාසයේදී ඇඹිලිපිටියේ පිහිටි නිමි ඇදුම් හා ගමන් මලු නිෂ්පාදනය කිරීමේ ස්ථානයක ගබඩාකර තිබී හෙරොයින් කිලෝ 38 කට අධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදි. එම මත්කුඩු සමග මවක් සහ පුතෙක්ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම මත්කුඩු තොගය ‘හරක් කටා’ට අයත් බව එකල පැවැත්වූ විමර්ශන වලින් හෙළිවී තිබිණි. ඒ වනවිට ‘හරක් කටා’ රැඳී සිටියේ ඩුබායි වලය. මුහුදු මාර්ග ඔස්සේ පකිස්තානයේ සිට මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ සිය ගණනක් අතරින් මෙම කොටස බෙදා හැරීම සඳහා මෙම ස්ථානයේ සඟවා තබා ඇත්තේ ‘බැකෝ සමන්’ සහ ඔහුගේ බිරිඳ විසින් බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

පොලිස් බුද්ධි අංශයක් වන ‘විශේෂ කාර්යාංශයේ ඇඹිලිපිටිය ඒකකයේ’ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කිරීමත් සමඟ ‘බැකෝ සමන්’ සහ බිරිඳ රටින් පළාගිය බව සඳහන්.

මෙම මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට ඔත්තුව පොලිසියට ලබාදුන්නේ ‘මිද්දෙණියේ කජ්ජා’ විසින් බවට දිගින් දිගටම ‘බැකෝ සමන්’ සැකකර තිබෙනවා.

ඒ අනුව ‘බැකෝ සමන්’ විසින් ‘කජ්ජා’ ඝාතනය කිරීමට අවස්ථා ගණනාවක්ම ඩුබායි සිට උත්සහ දරා තිබුණා.

‘හරක් කටා’ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනීමත් සමග ‘බැකෝ සමන්’ගේ බලය ගිලිහී ගියත් පසුව ඔහු ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු කණ්ඩායම් සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනිමත් සමඟ බලවත් වෙමින් ‘කජ්ජා’ ඝාතනය කරවා ඇති බව විමර්ශන වලින් අනාවරණය වුණා ෴

+++

+++

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පිරිස රැගෙන එන්න CID කණ්ඩායමක් ඉන්දුනීසියාවට

(30.08.2025 – hirunews.lk)

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’, ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒම සඳහා ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ කණ්ඩායමක් ඊයේ (29) එහි ගොස් තිබෙනවා.

ඒ අනුව බොහෝදුරට හෙට (31) ඔවුන් මෙරටට රැගෙන එනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර මෙම අපරාධ කල්ලි සාමාජිකයින් අද (30) දිවයිනට රැගෙන ඒමට නියමිත තිබූ බවට ප්‍රකාශ කෙරුණත් ඉන්දුනීසියානු රජය පාර්ශවයෙන් මතුවී ඇති නීතිමය ගැටලුවක් මොවුන් රැගෙන ඒම ප්‍රමාද වීමට හේතු වී තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ සමග ‘කමාන්ඩෝ සලින්ත’, ‘පානදුරේ නිලංග’, ‘බැකෝ සමන්’ සහ ‘තැඹිලි ලහිරු’ නැමැති අපරාධකරුවන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් මේ වන විට ජකර්තා නුවර පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

සංවිනාත්මක අපරාධකරුවෙකු වන ‘ගනේමුල්ල සංජීව’ සහ ‘කජ්ජා’ ඝාතනය ඇතුළු කලක් තිස්සේ මෙරට සිදුවූ බරපතල ගණයේ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ජාත්‍යන්තර පොලිසිය, ඉන්දුනීසියානු පොලිසිය සහ මෙරට පොලිසියේ විශේෂ කණ්ඩායමක්, සතියක පමණ කාලයක් සිදුකල ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් පසුවයි.

ඒ අනුව ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ‘කෙහෙල්බද්දර පද්මේ’ට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් චෝදනා 07 ක් සහ ‘කමාන්ඩෝ සලින්ත’ හෙවත් ‘පිට්ටුවා’ට චෝදනා 11 ක් පවතින බව සඳහන්.

මේ අතර, අත්අඩංගුවට ගත් ‘බැකෝ සමන්’ගේ බිරිද සහ දියණිය ඊයේ (29) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණා. පසුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් විසින් ඒ දෙදෙනා සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව 30 හැවිරිදි වියේ පසුවන අතර දියණියගේ වයස අවුරුදු 03 ක්.

පසුව ඔවුන් කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය වෙත රැගෙනවිත් තිබෙනවා.

මේ අතර, අත්අඩංගුවට ගත් මෙම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙරට සිටින දෙවන (2) පෙල සාමාජිකයින් මේ වන විට හඳුනාගෙන ඇති බව ‘අපරාධ වාර්තා කොට්ඨාශයේ’ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ප්‍රවෘත්ති’ සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර පසුගිය 06 වනදා මහරගම – නාවින්න ප්‍රදේශයේ දී හිටපු යුද හමුදා සෙබළෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ‘බස්නාහිර දකුණ අපරධ කොට්ධාශය’ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ සඳහන් කළේ ඊයේ (29) රාත්‍රියේ කොට්ටාව නගරයේදී මොහු අත්අඩංගුවට ගත් බවයි.

39 හැවිරිදි සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී විදෙස් රටක නිෂ්පාදිත ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ පතුරම් 3 ක් ද ඔහුගේ නිවසේ තිබී සොයාගෙන තිබෙනවා ෴

+++

කෙහෙල්බද්දර පද්මෙලා බලවතුන් සහ හිතවතුන්ගේ නම්වලින් ගත් දේපළ තහනම්

(30.08.2025 – aruna.lk)

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී ඉකුත්දා අත්අංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට මිලදී ගෙන ඇති රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සූදානම් වෙයි.

එම සංවිධානාත්මක අපරාධකරුවන් නීතිවිරෝධී අයුරින් උපයාගෙන ඇති එම චංචල හා නිශ්චල දේපළ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ දේපළ කඩිනමින් තහනම් කිරීමට අවශ්‍ය නියෝග ලබාගන්නා බව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.

“ඉතා රහසිගත මෙහෙයුමකින් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ කොමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම, ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබෙන සහ ඩුබායිහි, ඉන්දියාව ඇතුළු රටවල සැඟවී සිටිමින් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ සිදුකරන පුද්ගලයන් රැසක් නීති විරෝධීව උපයාගත් මුදල්වලින් මෙරට චංචල හා නිෂ්චල දේපළ රැසක් මිලදී ගෙන තිබෙන බව මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා” යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාස‍යේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකු සතිඅග ‘අරුණ’ට පැවැසීය.

“මෙලෙස නීතිවිරෝධීව උපයාගත් මුදල්වලින් මිලදී ගත් දේපළ අතර සුඛෝපභෝගී නිවාස, වටිනා ඉඩම්, හෝටල, අධිසුඛෝපභෝගී මෝටර් රථ, රත්රන් ඇතුළු දේපළ රැසක් තිබෙනවා. ඇතැම් සංවිධානාත්මක අපරාධකරුවන් ඔවුන්ගේ හිතවතුන්, ගෝලයන් නමින් එම දේපළ මිලදී ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා. රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් එම දේපළ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණයට කරුණු වාර්තාකර තහනම් නියෝග ලබාගැනීමට කටයුතු කරනවා” යැයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

මීට අමතරව දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ නම්වලින් දේපළ මිලට ගෙන තිබේ ද යන්න සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත ෴

+++

‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පිරිස දිවයිනට රැගෙන එයි

(30.08.2025 – 19:20 +0530 – sinhala.adaderana.lk)

ඉන්දුනීසියාවේ ජකර්තා හිදී අත්අඩංගුවට ගත් අපරාධ කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ ඇතුළු පිරිස රැගත් ගුවන් යානය මීට සුළු මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වී තිබේ.

පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව අද (30) පස්වරු 03:30 ට පමණ ජකර්තා අගනුවරින් පිටත් වූ ගුවන් යානය රාත්‍රී 07:20 ට පමණ ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇත.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයිද ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

මේ වන විට මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක වුඩ්ලර් යන මහත්වරුන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මහින්ද ජයසුන්දර යන නිලධාරීන් දෙදෙනා (2) විසින් ඉන්දුනීසියාවේ විශේෂ පොලිස් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

+++

+++

+++

+


අල ලූනු බදු අර්බුදයක් : අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි !

(30.08.2025 – 14:01 +0530 – deshaya.lk)

ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැණිව අල සහ ලූනු සඳහා බදු ඉහළ දමන ලෙසට ‘මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා’ගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ ‘මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර මහතා’ සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අස්වනු නෙලන කාලයට ආනයනික අල ලූනු සඳහා මුදල් අමාත්‍යවරයා විසින් බදු පැනවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. එහෙත් එම බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන්ය. එසේ වුවද මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව ‘මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා’ ‘අධ්‍යක්ෂ ජනරාල්වරයා’ට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.

එම නියෝගය නීතියට පටහැණි බව කියමින් බදු පැනවීමේ ගැසට්ටුව නිකුත් කළ නොහැකි බව ‘වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා’ ‘අමාත්‍යංශ ලේකම්වරයා’ට දැනුම් දී තිබේ. නමුත් ‘අමාත්‍යංශ ලේකම්වරයා’ කෙසේ හෝ මෙම කටයුත්ත සිදුවිය යුතු බවට නැවත නියෝග කළ බැවින් එම නීතිවිරෝධී නියෝගය ඉටුකළ නොහැකි බව පවසමින් ‘අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර මහතා’ සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අතර රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම බදු පැනවීමට දින කිහිපයකට පෙර ලූනු මෙට්‍රික් ටොන් 27,000 ක් පමණ ආනයනකරුවන් විසින් ආනයනය කර ඇති බවයි. සාමාන්‍යයෙන් මෙරට මාසික ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000 ක් පමණය. එම ලූනු නව බද්ද නොගෙවා ආනයනය කර ඇති නමුත් අලෙවි කරන්නේ බදු සහිතව වැඩි මිලට බව වාර්තා වෙයි. මෙයින් ලූනු ආනයනකරුවන් රුපියල් කෝටි 100 කට අධික විශාල ලාබයක් ලබන බව තොග වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි ෴


පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්

(30.08.2025 – 16:16 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

‘ටිකිරි මැණිකේ’ සහ ‘උඩරට මැණිකේ’ දුම්රිය දෙක (2) එම දින තුන තුළ පේරාදෙණිය සහ මහනුවර අතර ධාවනය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව ‘ටිකිරි මැණිකේ’ දුම්රිය, නානුඔයේ සිට පේරාදෙණිය හරහා කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර ‘උඩරට මැණිකේ’ දුම්රිය කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා බදුල්ල දක්වා ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දුම්රියවලින් ගමන් පහසුකම් සළසා ගැනීම සඳහා මහනුවර දුම්රිය ස්ථානය වෙත පැමිණෙන මගීන්ට බස් රථ මගින් පේරාදෙණිය දක්වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.


‘කමාන්ඩෝ සලිඳු රණවිරුවෙක්’ කියලා උදය ගම්මන්පිල කවදාවත් කියලා නෑ (30.08.2025)

+


අභය භූමියක නීතිවිරෝධී දඩයමක්

(30.08.2025 – hirunews.lk)

වනජීවි දෙපාර්තමේන්තුවේ හේරත්ගම අඩවියේ නිලධාරීන් කහල්ල – පල්ලේකැලේ අභය භූමියේ වැටලීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

එහිදී අභය භූමිය තුළ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී බෙහෙත් පුරවා ක්‍රියාත්මක කළ හැකි බෙහෙත් කොටන තුවක්කුවක්, ඉත්තෑ මස් කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සහ තේක්ක දැව කඳන් 15 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.

එහිදී එක් නිවසක නීතිවිරෝධී ලෙස තබා ගත් තේක්ක දැව තොගයක් නිලධාරින් භාරයට ගැනීමේදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ එම නිවැසියන් ඊට විරෝධය පළ කිරීමත් සමගයි.

අනතුරුව හේරත්ගම අඩවියේ දුම්මීය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවේ නීති විරෝධිව සන්තකයේ තබා ගෙන තිබූ තේක්ක දැව තොගයක්ද සොයා ගැණුනා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැනුණා ෴


රනිල්ට අත තියන්න අනුරට බෑ, ඒකනේ කෙටි සුව නින්දකින් පස්සේ රනිල් ගෙදර ගියේ (30.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *