සියලුම තැපැල් හා පාලන කාර්යාලවල හෙට (17) වර්ජනයක්

සියලුම තැපැල් හා පාලන කාර්යාලවල හෙට (17) වර්ජනයක්


සියලුම තැපැල් හා පාලන කාර්යාලවල හෙට (17) වර්ජනයක්

(16.08.2025 – hirunews.lk)

ඉල්ලීම් 19 ක් මුල්කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ හෙට (17) පස්වරු 4 සිට සේවයෙන් ඉවත්වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තැපැල් නිලධාරින්ගේ අතිකාල ගෙවීම් පාලන කාර්යාල සහ ගිණුම් කාර්යාලවල නිලධාරින් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණිම හා පිටවීම සඳහන් කළ යුතු අතර, ලබාදී ඇති උපදෙස්වලට විරෝධය පළකරමිනුයි මෙලෙස මොවුන් වර්ජනයේ නිරතවන්නේ.

ඒ අනුව, පස්වරු 4 ට මධ්‍යම තැපැල් හුවමාරුවේත්, එදින මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලුම තැපැල් හා පාලන කාර්යාලවලත් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් තැපැල්පති ආර්.පී. සත්කුමාර කියා සිටියේ දිවයින පුරා උප තැපැල් කාර්යාල 3,354 ක මෙම වර්ජනය ක්‍රියාත්මක වුව ද උප තැපැල් ස්ථානාධිපතිවරුන් ඊට එක් නොවන බව දන්වා ඇති බවයි.

එමෙන්ම, තැපැල් භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු ප්‍රමාදයකට ලක්විය හැකි බව ද ඔහු සඳහන් කළා ෴

+++

තැපැල් දෙපාර්තමේන්තුවේ නිවාඩු හෙට (17) සිට අවලංගුයි

(16.08.2025 – hirunews.lk)

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) සිට නැවත දැනුම්දෙන තුරු අවලංගු කර තිබෙනවා.

මේ බව සඳහන් කරමින් තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර විසින් ඊයේ (15) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි සඳහන් ෴

+++

සාකච්ඡා අසාර්ථකයි – අපි වර්ජනයේ | තැපැල් සේවකයෝ බැරිම තැන ගත්ත තීන්දුව මෙන්න (16.08.2025)

+++

තැපෑල අද (17) 4 න් නවතී | වෘත්තීය සමිති දැඩි වෙයි | මේක සාධාරණ නෑ | තැපැල් සේවක සංගමයෙන් වෙනස්ම කතාවක් (17.08.2025)

+


ගැස්මාගේ ආයුධ මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම්වලට යොදාගත්තේ දැයි විමර්ශන

(16.08.2025 – hirunews.lk)

මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ ආරක්ෂක නිලධාරියා සතුව තිබී සොයාගත් ගිනි අවි එම ප්‍රදේශයේ පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිවලට යොදාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

එමෙන්ම, මෙම වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තාවූ ප්‍රදේශවල තිබී සොයාගත් ටී-56 හිස් පතොරම් කොපු සහ ඊයේ (15) සොයාගත් ටී-56 ගිනි අවියේ ඇති උණ්ඩවල සමානකම් පවතී ද යන්න පිළිබඳව පරීක්‍ෂණ සිදුකරන බවයි පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

සැකකරුගේ නිවස අපරාධ සඳහා අවි ආයුධ ලබාදෙන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගියේ ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ලද තොරතුරකට අනුව සැකකරුගේ නිවසේ තිබී ටී-56 ගිනි අවියක්, පිස්තෝලයක්, පිස්තෝල ආකෘති 02 ක්, ටී-56 උණ්ඩ 14 ක්, මීලිමිටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ 06 ක්, මිලීමිටර් දෙකයි දශම දෙකේ (2.2) උණ්ඩ 09 ක්, කඩු 03 ක් සහ කිනිසි 02 ක් සොයා ගෙන තිබුණේ ඊයේ (15) උදෑසනයි.

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි ‘චන්දිම ජයරත්න’ හෙවත් ‘ගැස්මා’ යන අන්වර්ථ නාමයෙන් ද හදුන්වනවා.

මොහු දැනට ඩුබායිහි සිටින ‘මිනුවන්ගොඩ කලුවා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ ගණුදෙනු කර ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබුණා.

කෙසේ වෙතත් සැකකරු ත්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමට අදාළ ලිපිය මේ වනවිටත් ආරක්ෂක අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා ෴


‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ අද (16) සිට සති අන්තයේ ධාවනයට

(16.08.2025 – hirunews.lk)

දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සැලසීම සඳහා සති අන්තයේ ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ නමින් නව දුම්රියක් අද (16) සිට ධාවනයට එක්වුණා.

ස්වාභාවික සෞන්දර්ය විඳගනිමින් කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියෙන් ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින්ගෙන් දැඩි ඉල්ලුමක් පවතින අතර ඒ අනුවයි, ‘ඇල්ල වීක්එන්ඩ් එක්ස්ප්‍රස්’ නමින් සති අන්තයේ නව දුම්රියක් ධාවනයට පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව, අද (16) සිට සෑම සෙනසුරාදාවකම අලුයම 05:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් කරන මෙම දුම්රිය ඊට පසු දින පස්වරු 01:45 ට බදුල්ලෙන් පිටත්ව කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴


රු. කෝටි 05 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(16.08.2025 – hirunews.lk)

වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49 ක් වන ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් කුලී පදනම මත ලබා ගත් නිවසක කාමරයක් තුල සඟවා තිබියදීයි මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් අද (16) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


පොලිස්පතිගේ නව වට්සැප් අංකයට පැමිණිලි 2000 ක්

(16.08.2025 – hirunews.lk)

ජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලූ ක්ෂණිකව දැනුම් දීම සදහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් හඳුන්වා දුන් නව වට්ස්ඇප් අංකයට මේ වන විට පැමිණිලි 2000 කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, මෙම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

071 859 8888 යන වට්ස්ඇප් අංකය පසුගිය 13 වනදා හදුන්වාදෙනු ලැබුවේ පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවුඩ, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමුකිරීම සදහායි ෴


දක්ෂිණ අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී

(16.08.2025 – hirunews.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කළ බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඒ දොඩංගොඩ හුවමාරුව සහ වැලිපැන්න හුවමාරුව අතර 48 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී.

මාකුඹුර සිට ගාල්ල දක්වා ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක පිටුපස කොටසේ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ගින්නෙන් මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද පොලිසිය පවසනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

+++

+


නීති විරෝධී ගල් කොරියක් වැටලූ නිලධාරීන්ට ප්‍රා. සභා මන්ත්‍රීගෙන් තර්ජන (16.08.2025)

+


මිනිස්සුන්ට කුණු කෑම කවන හෝකන්දර හෝටල් (16.08.2025)

+


“කම්මැලි නම් කාටුන් එකකුත් බලලාම යන්න” | වටවල පොලිසියෙන් හිතාගන්න බැරි වැඩක්

+


රුපියල් ලක්ෂ පහකට (05) අධික මත් කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

(17.08.2025 – 10:05 +0530 – sinhala.adaderana.lk)

රුපියල් ලක්ෂ 05 කට අධික මත්කරල් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ.

සැකකාරිය සමග මත්කරල් 5,000 ක් සහ එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් රුපියල් 134,000 ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල ප්‍රදේශයේ දෙමහල් නිවසක පදිංචි කාන්තාවක් විසින් මත්කරල් අලෙවි කරන බවට ලද පැමිණිල්ලක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සිදුකරන ලද සෝදිසියේදී නිවසේ කාමරයක තිබූ අල්මාරියක සඟවා මෙම මත් කරල් තොගය පොලීසියි විසින් සොයාගෙන ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකාරිය මින් පෙරද ‘හෙරොයින්’ සමග පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බවය.

අත්අඩංගුවට ගත් කාන්තාව 31 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණ පවත්වයි ෴


පෞද්ගලික ආරවුල මරණයෙන් කෙළවර වෙයි

(17.08.2025 – 14:40 +0530 – sinhala.adaderana.lk)

දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ දී තිදෙනෙකු (3) එක්ව කළ පහරදීමකින් පුද්ගලයෙකු (1) මිය ගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදු කර ඇති අතර පිහියකින් සහ පොලුවලින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බව වාර්තා වේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වන මඩම්පැල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

දිවුලපිටිය පොලීසිය විසින් සැකකරුවන් තිදෙනා (3) අත්අඩංගුවට ගැනීම සඳහ කණ්ඩායමක් යොදා ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

(17.08.2025 – 13:01 +0530 – sinhala.adaderana.lk)

ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වූ ගාලු කුමාරි දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රිය ඊයේ (16) දින පස්වරු 05:30 ට පමණ ගිංතොට දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්විය.

පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් 250 කට ආසන්න ප්‍රමාණයක් සහ දුම්රිය පීලිවලටද දැඩි හානි සිදුවිය.

දුම්රිය පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

හානියට පත්වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (16) රාත්‍රියේම නැවත ආරම්භ කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

ඒ අනුව අද (17) පෙරවරු 11:00 ට පමණ එක් මංතීරුවක් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ පීලි පැනීමෙන් හානියට පත්වූ දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කර හැකි ඉක්මනින් දුම්රිය ධාවනය සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බවය.

+


කටුනායක ගුවන්තොටේ තදබදයකින් මගීන් අසීරුවේ

(17.08.2025 – hirunews.lk)

කටුනායක ගුවන්තොටුපළේ ඊයේ (16) රාත්‍රියේ දැඩි තදබදයක් පැවති බවට චෝදනා කරමින් ගුවන් මගීන් බලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා.

පරීක්ෂා කිරීමේ කවුන්ටරයේ මෙන්ම ආගමන විගමන කවුන්ටරයේද මෙම තදබදය සමග දිගු පෝලිම් පැවති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුව මත සමහර මගීන් කියා සිටියේ පැවති තදබදය සමග ප්‍රමාදයක්ද පැවතීමෙන් ඔවුන්ගේ ගුවන් ගමන් පවා මග හැරීමට ඉඩ පැවති බවයි.

සීමිත වේලාවක් තුළදී ගුවන් ගමන් කිහිපයක් සැලසුම් කර තිබීම නිසා ප්‍රමාණය ඉක්මවා මගීන් රැස්වීම හේතුවෙන් මෙසේ පිටත්වීමේ පර්යන්තයේ දැඩි තදබදයක් පැවති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් බොහෝ මගීන් පිරිසක් අපහසුතාවට පත්ව සිටි බවත් ඔවුන් අතර විදේශික සංචාරකයන්ද වූ බව පැවසෙනවා.

මෙවැනි බාධා නැවත සිදු නොවීම සඳහා බලධාරීන් පියවර ගතයුතු බවයි අපහසුතාවට පත් පිරිස් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දැක්වූ ගුවන්තොටුපොල ප්‍රකාශකයෙකු කියා සිටියේ චෝදනාවට අදාළ තදබද තත්ත්වයක් හටගෙන තිබූ බවත් එවැනි සිදුවීමක් නැවත නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *