SSP ‘සතිෂ් ගමගේ’ ගේ ගිණුම් තුනකට (3) ආරක්ෂකයා සියවතාවකට (100) වඩා, රියැදුරා පනස් (50) වතාවකට වඩා, විදෙස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුන්වතාවකට (3) වඩා මුදල් තැන්පත් කරලා
(14.08.2025 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පුද්ගලයන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට (1,40,00,000) අධික මුදලක් ලබාගෙන මුදල් විශුද්ධිකරණය කළැයි කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩ බලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සතිෂ් රන්ජන් හියාරේ ගමගේ’ ලබන (18) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (14) නියෝග කළා.
සැකකාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුනේ අද (14) පෙරවරුවේදීයි.
ගාල්ල හා ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශය භාරව කටයුතු කළ කාල වකවානුව තුළ වෙනත් පුද්ගලයකු නමින් ගිණුම් තුනක් (3) විවෘත කර එම ගිණුම් වලට සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පොලිසියේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයට (1,40,00,000) අධික මුදලක් බැර කරවා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණා.
පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂිකා නීතිඥ තුසිතා ජයනෙත්නි අධිකරණය හමුවේ පෙනී සිටියා.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා තමන්ගෙන් සේවය ලබා ගැනීමට පොලිසියට පැමිණි පුද්ගලයන්ගෙන්, මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිව ඇති බවයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ.
මෙම සැකකරු නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් පවා මුදල් ලබාගෙන බැංකු ගිණුම් තුනක (3) මුදල් බැර කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයිද අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය :
“ස්වාමීනි, මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘දුලාජ් තරංග’ යන අය අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඔහුගේ වට්සැප් ගිණුමට පණිවිඩ තුනක් (3) ලැබිලා තිබුණා. ‘අනුර නානායක්කාර’ කියන තැනැත්තෙකුගේ ගිණුම් විස්තර පිළිබඳව ඒ එක පණිවිඩයක සඳහන්ව තිබුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‘අනුර නානායක්කාර’ යන අයව ගෙන්වා ප්‍රශ්න කරලා තියෙනවා. එම ප්‍රකාශවලදී ඔහු කියලා තියෙන්නේ ඒ බැංකු ගිණුම් තමන්ගේ ඒවා නොව, ඒවා මේ විත්ති කූඩුවේ සිටින මෙම සැකකරුගේ බවයි. එහෙම තමයි මේ වංචාව ගැන හෙළි වුණේ. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්තුවා. පසුව එම තොරතුරු අනුව මෙම සැකකරුව ඔහුගේ රාජකාරි ස්ථානයේදී අත්අඩංගුවට ගත්තා. ‘අනුර නානායක්කාර’ යන පුද්ගලයාගේ නමින් මෙම සැකකරුට අයත් ගිණුම් තුනක් (3) පෞද්ගලික බැංකු තුනක (3) තිබෙනවා. එම බැංකු ගිණුම්වලට අවස්ථා ගණනාවකදී මොහුගෙන් සේවා ලබා ගැනීමට පැමිණි පුද්ගලයන්ගෙන්, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් හා නීතිවිරෝධී සම්බාහන මධ්‍යස්ථානවලින් වෙනත් අපරාධකරුවන්ගෙන් මුදල් තැන්පත් කරගෙන තිබෙන බවට හෙළි වී තිබෙනවා.
ස්වාමීනි මෙම ප්‍රශ්නගත බැංකු ගිණුම් තුනට (3) රුපියල් ලක්ෂ 140 මුදලක් බැර වෙලා තියෙන්නේ මාස අටක් (8) වැනි කෙටි කාලයක් තුළදීයි. මෙම සැකකරුගේ බිරිඳව අල්ලස් කොමිසම හමුවට ගෙනල්ලා ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේදී ඇය මෙම සිද්ධිය සම්බන්ධව සත්‍යය හෙළි කළා.
ඒ වගේම, ස්වාමීනී, මේ සැකකරුගේ ආරක්ෂක නිලධාරියා විසින් මෙම ප්‍රශ්නගත බැංකු ගිණුම් තුනට (3) සියයකට (100) වැඩි වාර ගණනකදී මුදල් තැන්පත් කරනු ලැබ තිබෙන බවට අනාවරණය වී තිබෙනවා. ඒවගේම, මොහුගේ රියදුරු අදාළ බැංකු ගිණුම්වලට අවස්ථා 50 කදි රුපියල් ලක්ෂ 14 කට අධික මුදලක් තැන්පත් කල බවටද කරුණු හෙළි වී තිබෙනවා.
එපමණක්ද නොව ස්වාමීනි මෙම සැකකරුගේ බැංකු ගිණුම්වලට විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසින් ද අවස්ථා තුනකදී (3) මුදල් තැන්පත් කර තිබෙනවා. ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘අමිල පරණවිතාන’ නමැති පුද්ගලයෙකු ගෙන් ද මෙම ගිණුම්වලට මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාමීනී මෙම සිද්ධියට අදාළව තවත් බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙනවා.”
“ස්වාමීනි, ‘අනුර නානායක්කාර’ යන අය 2025 අගෝස්තු 05 වැනි දින කොමිසම හමුවේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දුන්නා. ඔහු සිය දිවුරුම් ප්‍රකාශය මගින් ඔහුට මේ සැකකරුගෙන් බලපෑම් එල්ල වෙලා ඇති බවට පවසා තිබෙනවා. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පළමුව කැඳවූ අවස්ථාවේදී සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිව ඇත්තේ ඒ නිසා. ඒ කියන්නේ සකකරු කරපු බලපෑම් ගැන මේ වෙනකොට කරුණු අනාවරණය වී තිබෙනවා. ස්වාමීනි, මේ තුළින් සිදුව ඇත්තේ දූෂණය නම් වරදයි. ඇප පනත ප්‍රකාරව සහ දූෂණ විරෝධී පනතේ 122 වගන්තිය යටතේ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම ස්වාමීනී අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය පරිදි මොහුව මෙම නඩුකරය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එම නිසා මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් ඉල්ලා සිටිනවා.”
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා :
“ස්වාමීනි, අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පවසන පරිදි ‘අනුර නානායක්කාර’ යන පුද්ගලයා කොමිසමට දිවුරුම් ප්‍රකාශය දීලා තිබෙන්නේ 2025 අගෝස්තු මාසේ 05 වැනිදා. නමුත් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ 2024 වර්ෂයේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු ලබා දීලා තිබෙනවා. ඇප ලබාදිය හැකි අවස්ථාවන් නම් සියලු සැකකරුවන් හට ඇප ලබා දෙන්න කියලා. අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑම වෙලාවක ඕනෑම පුද්ගලයකුගෙන් දිවුරුම් ප්‍රකාශ ගන්න පුළුවන්. එහෙමයි කියලා දිවුරුම් ප්‍රකාශයක් මත සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ හැකියාවක් නැහැ. එම නිසා සුදුසු ඇප කොන්දේසියක් මත මගේ සේවාදායකයා මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.”
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය , සැකකරුගේ තරාතිරම කෙසේ වෙතත්, මේ වන විට සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් නොවන බැවින් සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවට දැනුම් දුන්නා. එමෙන්ම මෙම සැකකරුගෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් ඇතිවිය හැකි බවටද කරුණු අනාවරණය වන බැවින් සැකකරු ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග නිකුත්වුණා ෴
හිටිහැටියේ කෝටිපතියන් වූ පොලිස් ලොක්කන්ට වැඩ වරදී
(14.08.2025 – hirunews.lk)
සිය ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙන්ම පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සමීපව ඇසුරුකරන උසස් පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අද (14) දිනයේදීම ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී මෙම හඳුනාගැනීම සිදුවන්නේ ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන්.
පොලිස් ස්ථානාධිපතිවරුන් ගෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා ඉහළ නිලධාරීන් කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.
එසේ හඳුනාගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට දැනුම්දීමටත් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශ කොට්ඨාශය මගින් විමර්ශනයක් පැවැත්වීමටත් කටයුතු කරනු ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළා.
සිය ආදායමට වඩා හිතාගන්නවත් බැරි තරමට වත්කම් උපයාගෙන සිටින පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක්ම පොලිස් සේවයේ සිටී.
එවැනි නිලධාරින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව ද විමර්ශන පවත්වන අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද ඒ අතර සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
එසේ ආදායමට වඩා විශාල ලෙස වත්කම් උපයා ඇති ඇතැම් පොලිස් නිලධාරීන්ට හෝටල් පවා ඇති බව සඳහන්.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ කෝටිපතියන් වූ ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන පැවැත්වෙන බව ද ආරංචි මාර්ග අනාවරණය කළා ෴
නව පොලිස්පති බුද්ධි අංශයට අනතුරු අඟවයි
(14.08.2025 – hirunews.lk)
පාතාලය සහ මත්කුඩු ජාවාරම ඇතුළු අපරාධ මැඩලීමට නිසි ලෙස සාර්ථක තොරතුරු පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශයවන ‘පොලිස් විශේෂ කාර්යාංශයෙන්’ නොලැබෙන්නේ නම් කොනක සිට එම බුද්ධි අංශය ශුද්ධ කර අලුත් නිලධාරීන් ඊට පත්කරන බව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය අනතුරු අඟවනවා.
පොලිස්පතිවරයා ලෙස අද (14) උදෑසන වැඩ භාරගැනීමෙන් අනතුරුව සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාක්ඡාවකදී මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබෙනවා.
මුළු රටම ආවරණය වන ලෙස 3,000 කට වැඩි පොලිස් නිලධාරීන් පිරිසකගෙන් ‘පොලිස් විශේෂ කාර්යාංශය’ සමන්විතයි.
දිවයිනේ සෑම පොලිස් ස්ථානයකම පාහේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන් ස්ථානගතකර සිටිනවා.
මෙම නිලධාරීන් පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා ගැනද තොරතුරු රැස්කරනවා.
පොලිස්පතිවරයාගේ ඝෘජු අධික්ෂණය යටතේ ක්‍රියාත්මක විශේෂ කාර්යාංශය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මකයි.
පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ගැන තමන් කොතෙකුත් තොරතුරු ලබාදුන්නත් පොලිසිය එම ඡාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන බැවින් ලබාදෙන තොරතුරු ඔස්සේ නිසි විමර්ශන හෝ වැටලීම් සිදු නොවන බව විශේෂ කාර්යාංශයේ නිලධාරීන් නගන චෝදනාවක්.
මත්කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධකරුවන් රැසක් පොලිසියේ දූෂිත නිලධාරීන් සමඟ සම්බන්ධකම් පවත්වන බැවින් තමන් කොතරම් බුද්ධි තොරතුරු ලබාදුන්න ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සිදුවන්නේ මන්දගාමීව බව එම නිලධාරීන් චෝදනා කරනවා.
මුලින්ම කළ යුත්තේ පාතාලය සහ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධකම් පවත්වන ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගෙන ඒ අය පොලිසියෙන් නෙරපා හැරීම බවද එම නිලධාරීන් පෙන්වා දෙනවා.
පාතාලයේ මත්කුඩු ජාවාරම් මැඩලීමට බුද්ධි තොරතුරු රැස්කිරීමට සමගාමීව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් ප්‍රශ්න කිරීමටත් අවශ්‍ය බලය විශේෂ කාර්යාංශයට ලබාදෙන්නේ නම් පාතාලය සහ මත්කුඩු ජාවාරම් කරුවන් මට්ටු කිරීමට තමන්ට හැකි බවද බුද්ධි අංශ සඳහන් කරනවා.
යුද්ධය පැවති සමයේදී ත්‍රස්තවාදී ක්‍රියා පාලනය කිරීමට තමන්ට ලබා දී තිබුණු එම බලය නැවත ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදීම පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා ඇතත් මේ දක්වා එය නොලැබී ඇති බවද විශේෂ කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කරනවා ෴
මරදානේ ලැගුම්හලක අභිරහස් කාන්තා මළ සිරුරක්
(14.08.2025 – hirunews.lk)
මරදාන – ටෙක්නිකල් මංසන්ධියේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි ලැගුම්හලක් තුළ තිබී කාන්තා මළ සිරුරක් අද (14) පස්වරුවේ සොයාගැණුනා.
එම කාන්තාව පිරිමි පුද්ගලයෙකු සමඟ ඊයේ (13) රාත්‍රියේ ලැගුම්හලට පැමිණ ඇති අතර, අදාළ පුද්ගලයා ඉන් පිටව ගොස් මේ වන තුරු යළි පැමිණ නොමැති බවයි පොලිසිය පැවසුවේ.
අවුරුදු 40 ත් 45 ත් අතර වයසේ පසුවන එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
ඇය සහ අදාළ පුද්ගලයා ඊයේ (13) රාත්‍රි 8 ට පමණ පැමිණ ලැගුම්හලේ දෙවැනි (2) මහලේ කාමරයක් වෙන්කරවාගෙන තිබෙනවා.
පසුව එම පුද්ගලයා ලැගුම්හලෙන් පිටතට ගොස් නැවත පැමිණ ඇත්තේ බීම බෝතලයක්ද රැගෙනයි.
ඔහු පස්සර, දෙමීලියාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.
අදාල යුවල අද (14) උදෑසන නැවත ලැගුම්හලෙන් පිටතට යෑමට නියමිතව තිබූණත් දහවල් වන තුරුම පිටත් නොවීම හේතුවෙන් ලැගුම්හලේ කළමණාකරු විසින් ඔවුන් රැදී සිටි කාමරය පරීක්ෂා කර තිබෙනවා.
ඒ වන විටත් කාමරයේ දොර අගුලු දමා තිබී ඇති අතර, පසුව අදාළ කාන්තාවගේ සිරුර ඇඳ මත තිබෙනු දැක ඇය මියගොස් ඇති බව හෙළිවීමත් සමගයි ලැගුම්හලේ කළමණාකරු ඒ බව මරදාන පොලිසිය දැනුවත් කර ඇත්තේ.
පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේ දී අදාළ කාමරයේ තිබී කාන්තාවට අයත් ඇඳුම් සහිත බෑග් දෙකක් (2) පමණක් සොයාගෙන තිබෙනවා.
අදාළ කාන්තාවගේ හැඳුනුම්පත හෝ ඇගේ අනන්‍යතාවයට අදාළ කිසිදු ලේඛනයක් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මෙම මරණය ඝාතනයක් ද එසේ නොමැති නම් ස්වාභාවික මරණයක් ද යන්න තහවුරු කර ගැනීම සදහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
+
ගලෙන්බිදුණුවැවෙන් හමුවූ, ජීව උණ්ඩ දසදහස (10,000) පනී
(14.08.2025 – hirunews.lk)
ගලෙන්බිඳුණුවැව – ගැටලාව වැවේ සඟවා තිබීයදී සොයාගත් ටී-56 වර්ගයේ ජීව පතොරම් ප්‍රමාණය 10,000 ඉක්මවා තිබෙනවා.
දරකැඩීම සදහා පැමිණි පුද්ගලයෙකු ජලයේ තිබූ මෙම උණ්ඩ තොගය දැක ඒ පිළිබදව කළ දැනුම්දිමකට අනුව පොලිසිය ඊයේ (13) දිනයේ පතොරම් 5,038 ක් සොයාගෙන තිබුණා.
පසුව අද (14) දිනයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීම යටතේ විශේෂ පරීක්ෂා කිරීමක් සිදුකළ අතර, එහිදී ද ටී-56 වර්ගයේ ජීව පතොරම් 3,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පතොරම්වලට අමතරව ටී-56 වර්ගයේ ගිනි අවි සදහා භාවිතා කරන මැගසින් 11 ක් ද, එම ගිනි අවි අලුත්වැඩියා කිරීම සදහා යොදා ගන්නා තෙල් බෝතල් 05 ක් ද හමුවී තිබෙනවා.
කවුරුන් විසින් හෝ මෙම පතොරම් තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමා යන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
කෙසේ වෙතත්, මේවා පිටුපස සටහන් වී ඇති කාණ්ඩ අංක ආරක්ෂක අමාත්‍යංශයට යොමුකර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම, පසුගිය මස 23 වනදා ද ගලෙන්බිඳුණුවැව හුරුළුවැවේ දියනෑමට පැමිණි තරුණයින් තුන්දෙනෙකුට (3) ද විවිධ වර්ගයේ ජීව පතොරම් හමුවී තිබුණා.
පසුව පොලිසිය සිදුකළ පරීක්ෂාවකදී ටී-56 උණ්ඩ 63 ක්, අත්බෝම්බයක් (01), එල්.එම්.ජී. වර්ගයේ උණ්ඩ 54 ක් සහ වෙනත් වර්ගයේ පතොරම් 05 ක් සොයාගනු ලැබුවා.
+
ආනයනික ලුණු බහාලුම් 400 ක් වරායේ සිරවෙයි
(14.08.2025 – 20:02 +0530 – sinhala.adaderana.lk)
මෙරටදී ඇසුරුම් කිරීම සඳහා ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 28,000 කට ආසන්න ප්‍රමාණයක් අඩංගු බහාලුම් 400 ක් නිදහස් කරගැනීමට නොහැකිව මේ වන විටත් කොළඹ වරායේ සිරවී ඇතැයි ‘ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය’ පවසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව මීට හේතු වී ඇති බවය.
වසරේ ලුණු අස්වැන්න බලාපොරොත්තු වූ පරිදි නොලැබීම හා කාලගුණ වෙනස්කම් වැනි හේතූන් මේ වසර මුලදී මෙරට ලුණු නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටුණි.
මේ හේතුවෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක් නිර්මාණය වූ අතර ලුණු මිල ද ඉහළ ගියේය.
ඊට පිළියමක් ලෙස ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ලුණු ආනයනය කිරීමට දෙවරක්ම පියවර ගැනුණි ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴