SSP සතිෂ් ගමගේ ගේ ගිණුම්වල සැකකටයුතු රුපියල් කෝටි එකහමාරක් (1½)
SSP සතිෂ් ගමගේ ගේ ගිණුම්වල සැකකටයුතු රුපියල් කෝටි එකහමාරක් (1½)
(14.08.2025 – hirunews.lk)
රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට (1,40,00,000) අධික මුදලක් සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු පුද්ගලයන්ගෙන් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) වැඩබලන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ‘සතිෂ් රන්ජන් හියාරේ ගමගේ’ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ අද (14) පෙරවරුවේදීයි.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව කටයුතු කරමින් සිටි කාලයේදී වෙනත් පුද්ගලයකු නමින් පුද්ගලික බැංකු තුනක (3) ගිණුම් තුනක් (3) විවෘත කර සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවාවන් ලබාගන්නා පුද්ගලයන්ගෙන් සහ අනෙකුත් අපරාධකරුවන්ගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන ගිණුම්වල තැන්පත් කර මුදල් විශුද්ධිකරණය කර ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඔහුට එරෙහිව චෝදනා නගා තිබෙනවා.
සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සම්බන්ධයෙන් නගන මෙම චෝදනාවන්ට පාදක වී ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන ‘ලක්ෂාන් ද සොයියා විජේසිංහ’ නොහොත් ‘රත්ගම විදුර’ නමැත්තාගේ මුදල් පොලිස් ලොක්කන්ගේ ගිණුම්වල යන චෝදනා ගැන විමර්ශනයක් ආරම්භ කිරීමත් සමගයි.
‘රත්ගම විදුර’ වැඩි කාලයක් තිස්සේ ගත කරන්නේ ඉතාලියේ ය. ඉතාලියේ සිට මෙරට දකුණේ පාතාලය මෙහෙයවමින් ඔහු කටයුතු කරන බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
ඔහු පොලිස් නිලධාරීන්ට ද අල්ලස් දී තිබෙන බව පැහැදිලිවම හෙළිවන්නේ යුක්තිය මෙහෙයුම පැවති වකවානුවේදී යි.
මෙම මෙහෙයුමේදී ‘රත්ගම විදුර’ගේ ගෝලබාලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම චෝදනා තහවුරුවන කරුණු පියවරෙන් පියවර අනාවරණය වී තිබෙනවා.
‘රත්ගම විදුර’ බැංකු ගිණුම්වලට මුදල් බැරකරන පොලිසියේ ලැයිස්තුවකගේ නම් ද එළියට ආවේ මේ කාලයේදීයි.
‘සතිෂ් ගමගේ’ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් තොරතුරු එළියට එන්නේද ඒ අයුරින්.
ඔහු, එවකට ගාල්ල කොට්ඨාශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයායි.
ඒ අනුව එවකට සිටි පොලිස්පති ‘දේශබන්දු තෙන්නකෝන්’ගේ නියෝගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කළේ මේ ‘සතිෂ් පෙරේරා’ සම්බන්ධයෙන්.
මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි ‘ටිරාන් අලස්’ ද අවස්ථා ගණනාවකදී නම නොකියා මෙම නිලධාරියා ගැන කීවේ පාතාලයෙන් වැටුප් ගන්නා පොලිස් ලොක්කන් පවා ශ්‍රී ලංකා පොලිසියේ සිටින බව සඳහන් කරමින්.
‘විදුර’ගේ සහ ‘සතිෂ්’ගේ සම්බන්ධකම් එළියට එන විට ගාල්ලෙන් ඔහුව මාරු කිරීමට හැදූ සෑම අවස්ථාවකදීම දේශපාලන මැදිහත්වීම්වල ද අඩුවක් නොවුණු බවද වාර්තා වෙනවා.
අවසානයේදී සිදුවන්නේ ගාල්ලෙන් ඔහුව යැවීමට උවමනා නිසාම ඇඹිලිපිටියේ පොලිස් ප්‍රධානියාව සිටි මහනුවර වත්මන් නියෝජ්‍ය පොලිස්පති ‘සුදත් මාසිංහ’ පොලිස් මූලස්ථානයට කැඳවා ඔහුට ඒ තැන දීමයි.
කෙසේ වෙතත් ‘සතිෂ්’ට එරෙහිව තිබුණු පොලිස් විමර්ශන අතරමග ඇණ හිටියේ ඒ සම්බන්ධයෙන් එල්ල වී තිබූ විවිධ බලපෑම් හේතුවෙන්.
එම විමර්ශනය නැවත ඇරඹෙන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමගින්.
ඇඹිලිපිටියේ සිටි ‘සතිෂ්’ කොළඹට කැඳවා ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත කෙරුණේ මෙම විමර්ශන ආරම්භ කිරීමත් සමගින්.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් ආරම්භ කරනු ලැබූ විමර්ශනවලට අදාළව ‘සතිශ් ගමගේ’ අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගැනෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.
දකුණේ ප්‍රබල පාතාල අපරාධකරුවෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවක්ද වන ‘රත්ගම විදුර’ගෙන් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව තිබෙනවා.
මෙම නිලධාරියා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූයේ පසුගිය වසරේදීයි.
ඒ වන විට ඔහුව ගාල්ල කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස පත්කර තිබිණා.
රත්ගම විදුර සමඟ පවතින සම්බන්ධකම් මෙන්ම ඔහුගේ පුද්ගලික බැංකු ගිණුමකට බැරවී ඇති සැකකටයුතු මුදල් ගණුදෙනුවක් මුල්කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කිරීමත් සමග මෙම නිලධාරියා ඇඹිලිපිටිය කොට්ඨාශය භාර පොලිස් ප්‍රධානියා ලෙස මාරුකර යැවුණා.
පසුව ඔහුව ඇඹිලිපිටියෙන් ද ස්ථාන මාරුකර කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට කැඳවා තිබුණා.
අල්ලස් කොමිසම සිදු කරනු විමර්ශනයට අනුව සතිෂ් ගමගේ ගේ පුද්ගලික බැංකු ගිණුම් සහ සමීපතමයින්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ආදායමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් එම බැංකු ගිණුම් ඔස්සේ සංසරණය වී ඇති බව පෙනී ගොස් තිබෙනවා.
එසේම ඇතැම් මුදල් බැරවීම් ගැන කියන්නට ද ඔහුට හැකියාවක් ලැබී නැතැයි පැවසෙනවා.
ඒ අනුව අල්ලස් කොමිෂන් සභාව විසින් අද (14) ඔහුව අත්අඩංගුවට ගැනුනා.
අල්ලස් කොමිසම ඔහුව අත්අඩංගුවට ගත්තද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන තවමත් අවසන් නොමැත.
මෙම සැකකරු අද (14) සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රවත්වරිය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මෙම නියෝගය නිකුත් කර තිබෙනවා ෴
රුපියල් කෝටි තුනක් (3) කප්පම් ගත් පවුලක්ම අල්ලයි
(14.08.2025 – hirunews.lk)
නීති විරෝධි මූල්‍ය ආයෝජන ක්‍රමයක් මගින් රුපියල් කෝටි ගණනක මුදලක් උපයාගෙන සිටි පුද්ගලයෙක් බිය ගන්වා රුපියල් කෝටි තුනකට (3) අධික කප්පම් මුදලක් ලබාගත් මවුපිය යුවලක් සහ දියණියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශ ගතව සිටින පාතාලයේ අපරාධකරුවෙකු ලෙස දුරකථන ඇමතුම් දෙමින් බිය ගන්වා ලබාගෙන ඇති කප්පම් මුදල රුපියල් 31,500,000 ක් වන බවයි විමර්ශන වලින් අනාවරණය වී තිබෙන්නේ.
මෙම කප්පම් ගැනීම සිදුව ඇත්තේ 2023 වසරේ අගොස්තු 13 වැනිදායි.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත මව, පියා සහ දියණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර මවත් පියාත් වරාය අධිකාරියේ හිටපු කම්කරුවන් වෙන අතර ඔවුන් අවුරුදු 75 සහ 67 යව වයස්වල පසුවන්නයි බවයි සඳහන් වෙන්නේ.
දියණිය රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන අතර ඇය 30 හැවිරිදි වියේ පසුවෙනවා.
මෙම තිදෙනාම (3) පදිංචිව සිටින්නේ හංවැල්ල, වග, පින්නවල උතුරේ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කප්පම් ගැනීම මෙහෙයවා ඇත්තේ මෙම තිදෙනා (3) එක්ව බවත් ඔවුන් දන්නා කියන අයෙකු ගෙන්ම මෙසේ කප්පම් ලබාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ ෴
වැටලීමකට ගෙනගිය රුපියල් ලක්ෂ 30 ක් නාකොටික් පීසීගේ බැංකු ගිණුමේ
(14.08.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදලකින් රුපියල් ලක්ෂ 30 ක් සිය පුද්ගලික බැංකු ගිණුමක තබාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ලද තොරතුරකට අනුවයි විමර්ශන පවත්වා මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 35 ක් වන මෙම නිලධාරියා විසින් වැටලීමක් සඳහා මෙම මුදල් රැගෙන ගොස් මේ ආකාරයට සිය පුද්ගලික බැංකු ගිණුමක තැන්පත්කරගෙන සාවද්‍ය පරිහරණයක් සිදුකර ඇති බැවින් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴
රුපියල් කෝටි 09 කට විද්ද අනුරපුරේ බැංකුවක කලමනාකරුවෙක් සී.අයි.ඩී. දැලේ
(14.08.2025 – hirunews.lk)
වාණිජ බැංකුවක අනුරාධපුර ශාඛාවේ සහකාර මහජන සම්බන්ධතා කළමනාකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැංකු ශාඛාවේ ගිණුම් හිමියකුගේ ගිණුම්වල තිබුණු රුපියල් කෝටි 09 ක මුදලක් එම ගිණුම් හිමියාගේ අත්සන වෙනස්කර කූඨ ලේඛන සකස්කර ලබාගැනීම සම්බන්ධයෙන් කෙරන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් බැංකුවේ තවත් කිහිප දෙනෙකු ද මෙම වංචාවට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ ෴
‘පස් දිලීප’ට වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය හමුවේ
(14.08.2025 – hirunews.lk)
මිනුවන්ගොඩ – පත්තඩුවන ප්‍රදේශයේදී අපරාධ කල්ලි සාමාජික ‘දිලීප ලක්මාල්’ හෙවත් ‘පස් දිලීප’ නැමැත්තාට වෙඩිතැබීම සදහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ සීදුව – රද්දොලුගම නිවාස සංකීර්ණයේ නිවසක දමාගොස් තිබියදීයි.
අදාළ යතුරු පැදියෙහි අංක තහඩු ද ඉවත් කර ඇති අතර ඒවා උරයක බහා විනාශ කර තිබියදී සොයාගෙන තිබෙනවා.
එමෙන්ම, ඔවුන් පැලඳ ආ හිස්වැසුම් ද යතුරු පැදිය අසළ සඟවා තිබියදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
‘දිලීප ලක්මාල්’ හෙවත් ‘පස් දිලීප’ නැමැත්තා ඉලක්ක කරගනිමින් ඊයේ (13) දහවල් සිදු කළ වෙඩි තැබීමක් ව්‍යාර්ථ වුණා. ඒ ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.
පොලිසිය සදහන් කළේ, ‘පස් දිලීප’ නැමැත්තා නිවසෙහි රැඳී සිටින අවස්ථාවේදී පොලිස් ශරීර සුවතා ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි.
ඒ සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.
‘පස් දිලීප’ නැමැත්තා නිවසෙහි දහවල් ආහාරය ගනිමින් සිටියදී මොවුන් දෙදෙනා (2) නිවසට පැමිණ වෙඩි තබා ඇති අතර, ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමග ‘පස් දිලීප’ සහ ඔහුගේ බිරිද වෙඩික්කරුවන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව වෙඩික්කරුවන් එම පහරදීම අතරතුරම ‘පස් දිලීප’ට අවස්ථා දෙකකදී (2) යළිත් වෙඩි තැබීමට තැත් කළත් එහිදී ද ගිනි අවිය ක්‍රියාත්මක වී නැහැ.
එම අවස්ථාවේ ‘පස් දිලීප’ නැමැත්තාගේ කුඩා දරුවන් ද ඒ අසළ රැදී සිට තිබුණා.
පොලිසිය සදහන් කළේ, ‘සුරාජ් රණවක’ හෙවත් ‘වෑලිය සුරාජ්’ නැමැත්නා විසින් මෙම වෙඩිතැබීම සැලසුම්කර ඇති බවට සැක කරන බවයි.
‘වෑලිය සුරාජ්’ සහ ‘පස් දිලීප’ අතර කාලයක සිට ගැටුමක් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ ෴
හංවැල්ලේ වෙඩිතැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(14.08.2025 – hirunews.lk)
හංවැල්ල – තුන්නාන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර පළා ගොස් තිබෙනවා.
ඊයේ (13) රාත්‍රියේ සිදු වු වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් මොහුගේ පාදයට තුවාල සිදු ව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 55 හැවිරිදි තුන්නාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ‘ශාන්ත මුදුන්කොටුව’ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන දැනට ඩුබායි සිටින ‘ලලිත් කන්නන්ගර’ගේ සමිපතමයකු බව කියන ‘ඉරේෂ්’ නැමැත්තාගේ පියා බවටයි අනාවරණය වී ඇත්තේ ෴
+++
හංවැල්ලේ වෙඩිතැබීම ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් – බුද්ධි තොරතුරුත් ලැබිලා
(14.08.2025 – 13:36 +0530 – sinhala.adaderana.lk)
හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ දී සිදුකර ඇති වෙඩිතැබීම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ‘ශාන්ත මුදුන්කොටුව’ හෙවත් ‘බනා මන්ත්‍රී’ ඝාතනයට පළිගැනීමක් බවට පොලීසිය සැක පළ කරයි.
හංවැල්ල පහත්ගම ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර තිබුණි.
ඊයේ (13) රාත්‍රී 09:50 ට පමණ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් එහි සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇත.
පොලීසිය පැවසුවේ, පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් අදාළ පුද්ගලයාගේ වම්පාදයට තුවාල සිදුව ඇති බවය.
වෙඩිතැබීම සිදුකර වෙඩික්කරුවන් දෙදෙනා (2) පලාගොස් තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ ‘ලලිත් කන්නංගර’ හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තාගේ සමීපතයෙකු වන ‘කන්දඋඩ ඉරේෂ් ‘ නමැත්තාගේ 56 හැවිරිදි පියායි.
පසුගිය 12 වැනිදා මීගොඩ, ආටිගල මාර්ගයේදී හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ‘ශාන්ත මුදුන්කොටුව’ හෙවත් ‘බනා මන්ත්‍රී’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
ඝාතනය වූ ‘බනා මන්ත්‍රී’ නැමැත්තාගේ මස්සිනා වන ‘ගගන’ සහ ‘හඳපාන්ගොඩ හඳයා’ නම් අපරාධකරුවන් විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, ‘හඳපාන්ගොඩ හඳයා’ගේ පාර්ශ්වයෙන් ‘ලලිත් කන්නංගර’ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවිය හැකි බවට බුද්ධි අංශ මඟින් තොරතුරුද ලැබී තිබූ බවය.
ඒ අනුව ‘ලලිත් කන්නංගර’ගේ සමීපතමයන් එම ප්‍රදේශයෙන් ඉවත් කර පොලිස් ආරක්ෂාව ලබාදී තිබූ බවත් ඒ අතරතුරදී මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් අදාළ පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය ෴
විශේෂ සෝදිසි මෙහෙයුමෙන් ඊයේ (13) සැකකරුවන් 878 ක් අත්අඩංගුවට
(14.08.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කරගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වනවිට දෛනිකව ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවට අනුව ඊයේ (13) සිදුකළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්දව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (13) දිනයේදී ශ්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත්, ත්‍රිවිධ හමුදාවේත් 6,676 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිදු කර ඇති අතර, එහිදී පුද්ගලයන් 26,125 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර, වාහන 10,791 ක්ද යතුරු පැදි 8,091 ක ප්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එකී වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 878 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 18 දෙනෙකුද, වරෙන්තුකරුවන් 530 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එමෙන්ම, එකී මෙහෙයුම් තුළදී නීති විරෝධී ගිනි අවි 06 ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවද එකී විශේෂ මෙහෙයුම් අතරතුරදී විශේෂ අත්අඩංගුවට ගැනීම් කිහිපයක්ම වාර්තා වී ඇති අතර, ඒ අතර චාවකච්චේරිය පොලිස් වසමේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 284 කුත් ග්‍රෑම් 415 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත්, වත්තල පොලිස් වසමේ පරණ මීගමු පාරේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 1 කුත් ග්‍රෑම් 230 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමත් සිදුවූ බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ඊයේ (13) දිනයේදීම විශේෂ රථවාහන මෙහෙයුම් මගින් බීමත් රියදුරන් 103 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙනත් වැරදි සම්බන්දයෙන් 4,060 දෙනෙකුට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ෴
ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්
(14.08.2025 – hirunews.lk)
නුවරඑලිය ඩිපෝවට අයත් ගාල් කර තිබූ ලංගම බස් රථයේ එන්ජිමට යූරියා පොහොර දැමූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නුවරඑලිය හයිෆොරස්ට් පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා,
නුවරඑලියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධවනය වන එන්.බී. 8933 දරණ බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී 12 වෙනි දින රාත්‍රියේ කිසියම් පුද්ගලයෙක් විසින් බස් රථයට අතුලු වී බස් රථයේ එන්ජීමේ මූඩිය ගලවා බස් රථයේ එන්ජිම තුලට යූරියා පොහොර බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍යක් දමා ඇති බවට එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා විසින් හයිෆොරස්ටි පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.
රාත්‍රි කාලයේ බස් රථය ගාල් කර උදෑසන බස් රථය ධවනය කිරිමට ප්‍රථම එන්ජිමේ තෙල් පරික්ෂා කිරිම සදහා එන්ජිමේ ආවරණය විවෘත කර බැලීමේදි බස් රථයේ එන්ජිමේ මූඩිය ගලවා තිබූ බවත්, ඒ අසළ සුදු පාට යූරියා පොහොරවලට සමාන රසායනික ද්‍රව්‍යක් එන්ජිම වටා වැටී තිබූ බව එම බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා කරන ලද පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය ඩිපෝවේ ඩිපෝ කළමණාකරවරයාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ බස් රථයට කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් එක්ව එන්ජිම තුලට යූරියා පොහොර දමා ඇති බවත්, ඒ අනුව බස් රථය පණ නොගන්වා ඇදගෙන නුවරඑලිය ඩිපෝව වෙත රැගෙන විත් එන්ජිම ගලවා පරික්ෂා කිරිමට පියවර ගනිමින් සිටින බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴