දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ?

දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ?


දුම්රිය නියාමකවරුන්ගෙන් පැය 48 ක වැඩවර්ජනයක් ?

(13.08.2025 – hirunews.lk)

වෙන් කළ ආසන සහිත දුම්රිය සඳහා අනීතික ලෙස වෙන් කරවාගත් ප්‍රවේශ පත්‍ර භාවිතා කිරීමට නැවත අවස්ථාව ලබා දී ඇති බවට ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් අද (13) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තම සංගමය ඊට විරුද්ධ වන අතර මේ සඳහා නිසි පියවරක් නොගන්නේ නම් අනිද්දා (15) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩවර්ජනයක නිරත වන බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ප්‍රවේශපත්‍ර කළුකඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් දැඩි ලෙස අසාධාරණයට ලක්වන බව, ‘හිරු ප්‍රවෘත්ති’ මීට පෙර අනාවරණ කළා.

දුම්රිය ආසන වෙන්කිරීමට අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ මස පළමු වැනිදා (01) සිට පියවර ගත්තේ එම ගැටලු‍ව විසඳීම සඳහායි.

නව වැඩපිළිවෙළ අනුව දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ඉල්ලු‍ම්කරුගේ හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කෙරුණා.

එමෙන්ම එම හැඳුනුම්පත් අංකය හෝ විදේශ ගමන් බලපත්‍ර අංකය හිමි ඉල්ලු‍ම්කරු ගමනට එක්වීම අනිවාර්ය කිරීමත් මෙම නව ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී තවත් නව ගැටලු‍වක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, ඇතැම් විදේශීය සංචාරකයින් නියෝජිත ආයතනවලින් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේදී ඒවායේ අදාළ විදේශිකයාගේ පාස්පෝට් අංකය සඳහන් නොවීමයි.

ඒ අනුව මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර වෙන් කරවාගත් විදේශිකයන්ට එම දුම්රිය මැදිරියේ ගමන් කිරීමට අවස්ථාව හිමි නොවූ අතර ඒ වෙනුවට ඔවුන්ට තුන්වැනි (3) පංතියේ ටිකට් පතක් අලු‍තින් මිල දී ගෙන ගමන් කිරීමට සිදුව තිබෙනවා.

එවන් පසුබිමක මෙම දුම්රිය ප්‍රව්ශපත්‍ර ගැටලු‍ව පිටුපස දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිටින බවටයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, දුම්රිය ආසන වෙන්කිරීමට අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් නව ක ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේදී මතුවී ඇති ගැටලු සති 3 කින් පමණ විසදනු ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියා සිටියා ෴


පොලිස්පති හා සෘජුවම සම්බන්ධ වෙන්න ජනතාවට WhatsApp අංකයක්

(13.08.2025 – hirunews.lk)

මහජනතාවට මුහුණ පෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම් දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 071 859 8888 දරණ නව WhatsApp දුරකථන අංකය අද (13) දින සිටයි හඳුන්වා දී ඇත්තේ.

මෙම WhatsApp දුරකථන අංකය ඔස්සේ මහජනතාවට පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවිඩ ලබා දීම, වීඩියෝ දර්ශන හා ඡායාරූප යොමු කිරීම සඳහා පමණක් භාවිතා කළ හැකි අතර, දුරකථන ඇමතුම් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවට වැඩිදුරටත් දන්වා සිටිනවා.

එමෙන්ම පොලිස් නිලධරයන්ට ද මෙම අංකය ඔස්සේ තම ගැටළු හා තොරතුරු සම්බන්ධයෙන් දැනුම් දීමේ හැකියාව පවතින බවයි පොලිසිය විසින් නිවේදනය නිකුත් කරමින් සඳහන් කරන්නේ ෴


නිට්ටඹුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක්

(13.08.2025 – hirunews.lk)

හෙට (14) පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා පැය 10 ක කාලයක් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

එම ජල කප්පාදුව, රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවල සිදුකෙරෙන අතර, ඒ හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ඇති.

නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝන්ගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකාදෙණිය, රන්පොකුණුගම, රන්පොකුණුගම නව නිවාස යෝජනා ක්‍රමය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන යන ප්‍රදේශ සඳහාත්,

මාතලාන, හග්ගල්ල, කලල්පිටිය, ඇල්ලමුල්ල, බටලීය, මාඉඹුල, මාතලාන, අලවල යන ප්‍රදේශ සඳහාත් මෙලෙස පැය 10 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන් ෴


වාහන රැසක් රේගුවේ රඳවාගනී.. මිල ඉහලට.. රැදවුම් ගාස්තු චීනයට..

(14.08.2025 – 05:50 +0530 – lankacnews.com)

ආනයනය කරන ලද වාහන 1,000 කට ආසන්න සංඛ්‍යාවක් රේගුව විසින් රඳවාගෙන ඇතැයි වාහන ආනයනකරුවෝ කියති.

මෙම තත්ත්වයට හේතුව ලෙස දැක්වෙන්නේ, තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි (Letter of Credit) විවෘත කිරීම මඟින් ආනයන කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට රේගුව චෝදනා කිරීමයි.

වාහන ආනයනකරුවන් පවසන පරිදි, රේගුව විසින් මැයි 27 වැනිදා සිට තෙවැනි පාර්ශ්ව රටකදී ණයවර ලිපි විවෘත කර ඇති වාහන නිදහස් කිරීම අත්හිටුවා ඇත.

මෙම වාහන සඳහා වන ප්‍රමාද ගාස්තු මේ වන විට අතිශය ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර, රජය විසින් තීරණයක් ගන්නා විට එම ගාස්තු පාරිභෝගිකයාට දැරිය නොහැකි වනු ඇතැයි ආනයනකරුවෝ පෙන්වා දෙති.

විශේෂයෙන්, හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන සඳහා අය කෙරෙන ප්‍රමාද ගාස්තු ලැබෙන්නේ ශ්‍රී ලංකා රජයට නොව චීන රජයට බවද ඔවුහු ප්‍රකාශ කරති.

රේගුවේ වාහන සිරවී තිබීම හේතුවෙන් වෙළෙඳපොළේ වාහන සැපයුම පහළ බැස ඇති අතර, එමඟින් වෙළෙඳපොළේ පවතින වාහනවල මිල ඉහළ යෑමේ අවදානමක් පවතී. මෙම තත්ත්වය අවසානයේදී පාරිභෝගිකයාට සෘජුවම බලපාන බව ආනයනකරුවෝ පෙන්වා දෙති.

ආනයනකරුවන් පවසන පරිදි, බොහෝ දෙනා දැනටමත් ණයවර ලිපි සඳහා මුදල් ගෙවා අවසන් කර ඇති අතර, වාහන නිදහස් කිරීම සඳහා විශාල නැව් ගාස්තු ද ගෙවා ඇත. මෙම පිරිවැය අවසානයේදී ආනයන පිරිවැයට එකතු වේ.

මෙම ගැටලුවට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ආනයනකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ගැටලුවට නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් බොහෝ පාර්ශ්වයන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවද ඔවුහු අවධාරණය කරති ෴


තායිලන්තයෙන් මෙරටට ගෙන ආ රු. කෝටි 4 ක් වටින කුෂ්

(14.08.2025 – 08:17 +0530 – sinhala.adaderana.lk)

වායු සමීකරණ උපකරණ තුළ සඟවා තායිලන්තයේ සිට මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි හතරක් (4) පමණ වටිනාකමින් යුත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිය භාරයට ගෙන තිබේ.

පෑලියගොඩ නුගේ පාර වරාය බහාලුම් අංගනයක බහලුමක් තුළ තිබී කිලෝග්‍රෑම් 6 කට අධික ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේය.

මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය ආනනය කිරීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

+++

A/C කියලා පෙන්නලා ‘කුෂ්’ ගෙන්නලා | මැෂින් ගලවලා බලද්දී පොලිසිය මවිත වෙයි | රු. කෝටි 04 ක ‘කුෂ්’ අල්ලපු සුපිරි මෙහෙයුම | හිතාගන්න බැරි ගේමක් ගැහුවත් බඩු මාට්ටු (13.08.2025)

+


කියූ දේ නොකලොත් වහාම වර්ජන.. – GMOA

(14.08.2025 – 08:40 +0530 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනය =

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීමේ ක්‍රියාවලීන් මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධව දැනුවත් කිරීම.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කරන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කිරීමට නියමිතව තිබු දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන ලදී.

මේ වන විට එම නියෝගයන්ට අනුකූලව, මාරු මණ්ඩල වල මැදිහත් වීම තුල ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම්, දුෂ්කර සේවා ස්ථාන මාරු යන කටයුතු සාධනීය ලෙස සිදු වෙමින් පවති.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යම් අවස්ථාවක අමාත්‍යවරයාගේ නියෝගයෙන් බැහැරව යමින් නිත්‍යානුකූල ක්‍රමවේදයට එරෙහිව මෙම මාරු මණ්ඩල වල දී කටයුතු කිරීමට සුදානම් වන්නේ නම් එසේ සිදු වන ඕනෑම මොහොතක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට පසුබට නොවන බවට අවධාරණය කර සිටින්නෙමු ෴


පොලිස් ලොක්කෙක් අල්ලස් දැලේ

(14.08.2025 – 09:54 +0530 – sinhala.adaderana.lk)

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබාගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

+++

+


මොරටුව සරසවියේ මහාචාර්ය ඒකකය කඩිනමින් විවෘත කරන්නැයි ඉල්ලීමක්

(14.08.2025 – hirunews.lk)

මොරටුව විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන්ට අවශ්‍ය කරන මහාචාර්ය ඒකකයේ වැඩකටයුතු මේ වන තෙක් සම්පූර්ණ කර නොමැති බවට එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය පෙන්වා දෙනවා.

අවසන් වසරේ අධ්‍යයන කටයුතු ලබ මස 15 වනදා ආරම්භ කිරීමට නියමිත අතර මේ හේතුවෙන් හෙට (15) වන විට මහාචාර්ය ඒකකයේ කටයුතු සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව පවතින බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

අවසාන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් 102 ක් සිටින බවත් මේ වන තෙක් මහාචාර්ය ඒකකයට අවශ්‍ය කායික හා ශල්‍ය වෛද්‍ය වාට්ටු සම්පූර්ණ කර නොමැති බව මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති ඩී.එස්. අමරසිංහ සඳහන් කළා.

මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ‘සිතුම් සුදුර’ ඒ සම්බන්ධයෙන් කළුතරදී මෙලෙස අදහස් පළ කළා ෴


මහවැලි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවෙයි

(14.08.2025 – 10:07 +0530 – sinhala.adaderana.lk)

මහනුවර පොලිස් වසමේ පොල්ගොල්ල ප්‍රදේශයේ මහවැලි ගඟෙහි තිබී නාඳුනන මළ සිරුරක් හමු වී තිබේ.

මහනුවර පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.

මෘත ශරීරය නරක් වී ඇති අතර උඩුකයට නිල් පැහැති ටී ෂර්ට් එකක් සහ යටිකයට නිල් පැහැති ඩෙනිම් කලිසමක් හැද සිටින බව පොලීසිය සඳහන් කරයි.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත ෴


ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ වැවකින් T56 පතොරම් 5,038 ක් සොයාගනී

(14.08.2025 – hirunews.lk)

ගලෙන්බිඳුණුවැව ගැටලාව ප්‍රදේශයේ වැවකින් T56 පතොරම් 5,038 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මෙම වැව වෙත දර කැඩීම සඳහා පැමිණි පුද්ගලයෙකු වැවට බැස ඇති අතර, එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබෙනවා.

මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව පොලිස් නිළධාරින් පිරිසක් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී T56 වර්ගයේ ජීව පතොරම් 5,038 මෙසේ සොයාගෙන තිබුණා.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ තිබෙන අතර, එම ප්‍රදේශයෙන්ම තවත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කරන්නේ.

+++

ගැටලාව වැවෙන් තවත් උණ්ඩ තොගයක් මතුවෙයි

(14.08.2025 – 17:39 +0530 – sinhala.adaderana.lk)

ගැටලාව වැවේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් ටී-56 ගිනි අවි සදහා යොදාගන්නා මැගසින් 11 ක්, ටී-56 ජීව උණ්ඩ 1965 ක්, ආධාරක අවි උණ්ඩ 115 ක් සහ ඔයිල් කෑන් 05 ක් සොයාගෙන තිබේ.

පසුගිය 13 වැනිදා වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී ටී-56 වර්ගයේ ජීව පතොරම් 5038 ක් සොයා ගැනීමත් සමඟ අද (14) මෙම විශේෂ පරීක්ෂාව සිදු කෙරිණි.

ගැටලාව වැව වෙත දරකැඩීම සදහා පැමිණි පුද්ගලයෙකු දරකැඩීම සඳහා වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබුණි.

මේ පිළිබඳව එම පුද්ගලයා විසින් 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇති අතර එහිදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී මෙම උණ්ඩ තොගය සොයා සොයා ගෙන ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයෙන් සොයාගත් උණ්ඩ තොගය පොලිස් භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය ෴


දුම්රිය නියාමකවරු අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ

(14.08.2025 – hirunews.lk)

වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට ලංකා දුම්රිය නියාමක සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් කියා සිටියේ ප්‍රවේශපත්‍ර පරීක්ෂා කිරීමේදී නිවැරදි මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පියවර නොගතහොත් අද (14) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වෘත්තිය කියාමාර්ගයට එළඹෙන බවයි.

ඒ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ෴

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට වෙන්කළ ආසන සහිත දුම්රිය ධාවන රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය නියාමක සංගමය ගත් තීරණය අත්හිටුවා තිබෙනවා.

දුම්රිය ප්‍රවේශ පත්‍රයේ කිසිවෙකුගේ හැදුනුම්පත් අංකයක් නොමැති අවස්ථාවක රුපියල් 3000 ක මුදලක් ගෙවා අතිරේක පත්‍රයක් නිකුත් කිරීමට දුම්රිය බලධාරීන් ගනු ලැබූ තීරණයට එරෙහිවයි මොවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණේ.

කෙසේ වෙතත්, අද (14) පස්වරුවේ නව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගැටලු‍වට විසදුම් ලැබීම නිසා වර්ජනය අත්හිටුවීමට කටයුතු කළ බව දුම්රිය නියාමක සංගමයේ ලේකම් කේ.ඩී.ඩී. ප්‍රසාද් කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *