රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා රු. 945,000 ක් වංචා කළ ‘විදේශ රැකියා ඒජන්සි සමාගමේ’ කළමනාකරුවෙකු අත්අඩංගුවට
(13.08.2025 – 06:32 +0530 – sinhala.adaderana.lk)
රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000 ක මුදලක් වංචා කළ බවට සැකපිට ‘ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු’ අත්අඩංගුවට ගෙන තිබේ.
නාරාහේන්පිට පිහිටි ‘විදේශ රැකියා ඒජන්සි ආයතනයේ’ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ පැවසුවේය.
අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබා ගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ වෙත පැමිණිලිකර තිබේ.
‘විදේශ රැකියා ඒජන්සි සමාගම’, ‘විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය’ යටතේ පාලනය වන අතර අත්අඩංගුවට පත්වන විට සැකකරු එම සමාගමේ පරිගණක අංශයේ සහකාර කළමනාකරු වශයෙන් සේවය කරමින් සිට ඇති බව සඳහන්ය.
සැකකරු අද (13) හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයව තිබේ ෴
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
(13.08.2025 – hirunews.lk)
වත්තල – ජෝශප් මාවත ප්‍රදේශයේදී රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් ‘හෙරොයින්’ තොගයක් සමග පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පරෙවි සුදා’ නැමැත්තාගේ ගෝලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝවකට (1) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරු එම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙකු බවද විමර්ශනවලදී හෙලිව ඇතැයි පොලිසිය සඳහන් කළා ෴
කුරුණෑගල රෝහලේ ඖෂධවේදීන් අද (13) සංකේත වර්ජනයක
(13.08.2025 – 06:57 +0530 – sinhala.adaderana.lk)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ අද (13) දිනයේ පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති අජිත් තිලකරත්න මහතා සඳහන් කළේ, අඩු සුදුසුකම් සහිත ඖෂධ සංයෝජකවරයෙක් රෝහලට අනුයුක්ත කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.
ඒ අනුව අද (13) උදෑසන 8 සිට මෙම සංකේත වර්ජනය ආරම්භ වීමට නියමිතය.
සුදුසුකම් සහිත ඖෂධවේදීන් තම සේවය සපයමින් සිටින අතරතුර සේවා අවශ්‍යතාවය නොමැති ඖෂධ සංයෝජකවරයෙක් මෙලෙස අනුයුක්ත කර ඇති අතර, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව අවස්ථා දෙකකදී දැනුම් දී ඇතැයිද අජිත් තිලකරත්න මහතා පවසයි.
නමුත් බලධාරීන් එම දැනුම්දීම නොසලකා හැර තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කළේය ෴
දිලිත් ජයවීරගේ පාතාල මන්ත්‍රීව වෙඩි තබා මරලා – රු. කෝටි 20 ක කප්පමක් – වෙඩික්කරු හමුදාවේ අයෙක් (13.08.2025)
+
එදා කොටියෝ පුපුරන ද්‍රව්‍ය 1008 Kg පුරවපු මාළු ලොරියක් කොළඹට එවලා පුපුවරවන්න ගියා (13.08.2025)
+
මනූෂටත් බඩු සෙට්වෙයි | කිරි ගහට ඇන්නා වගේ නියම කට උත්තරයක් දුන්නා | දැන් කට්ටියට වැලට එන්න වෙයි (13.08.2025)
+
වසන්ත සමරසිංහට කියන්නේ ‘ඔච්චරම නාන්න එපා ජල සන්නිය හැදෙයි’ – ගම්මන්පිලට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර (13.08.2025)
+
රට ගිහින් ආවොත් හැර මැලේරියාව හැදෙන්න ක්‍රමයක් නෑ – විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න
(13.08.2025 – hirunews.lk)
මදුරුවන් දෂ්ට කිරීම නිසා ඇතිවන මැලේරියාව මාරාන්තික රෝගයක්. එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන්නේ ඇනෝෆිලිස් නම් මදුරුවා දෂ්ට කිරීමෙන් පසුවයි. එම රෝග කාරකය ප්ලාස්මෝඩියම් නම් පරපෝෂිතයා බව සඳහන්. නිවර්තන සහ උපනිවර්තන රටවල මෙන්ම ලෝකයේ මැලේරියාව දැනට පවතින නමුත් ශ්‍රී ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා.
එවැනි පසුබිමක ඉකුත් දිනෙක යාපනය ශික්ෂණ රෝහලෙන් මැලේරියා රෝගය වැළඳුණු අයෙක් ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බැවින් ඇතැමුන්ට දැනී ඇත්තේ අවධානම් සහගත තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්නගෙන් අප විමසීමක් කළා.
“මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළේ 2016 වසරේදී. ඊට පෙර මෙරටින් අවසන් රෝගියා වාර්තා වුණේ 2012 වර්ෂයේ. ඊට කළින් අවසන් මැලේරියා මරණය වාර්තා වුණේ 2007 අවුරුද්දේ. ඒ අනූව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර තිබෙනවා ලංකාව මැලේරියා රෝගය තුරන් කළ රටක් වශයෙන්. මේ නිසා විදේශයක සිට පැමිණි පුද්ගලයෙකුට හැර මෙරට කෙනෙකුට රෝගය වැළඳීමේ අවස්ථාවක් නෑ” යැයි ඇය පවසනවා.
මේ අනූව 2023 සහ 2024 වර්ෂවලදී එක් රෝගී මරණය බැගින් වාර්තා වී තිබෙනවා. එමෙන්ම 2025 වසරේදීද එක් රෝගී මරණයක් වාර්තා වූ බවයි සඳහන්. ඔවුන්ද විදෙස් ගතව සිට පැමිණි අයෙක් බවයි වාර්තා වෙන්නේ.
“2023 සහ 2024 අවුරුදු දෙකේදී මැලේරියා මරණ එක බැගින් වාර්තා වුණා. අනතුරුවයි පසුගියදා යාපනය රෝහලෙන් එවැනි මරණයක් වාර්තා වුණේ. ඒ මරණකරුත් විදේශයක සිට පැමිණි අයෙක්. මේ විදියට 29 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි බවට අනාවරණය වුණා. පිරිසෙන් දෙදෙනෙක් (2) යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ. මේ දෙන්නාගෙන් පළමු රෝගියා බේරා ගන්න හැකිවුණා. අනෙක් පුද්ගලයා තමයි මරණයට පත්වුණේ. මේ අය අතර හතර දෙනෙක් (4) හඳුනා ගත්තා සංකූලතා සහිත මැලේරියා රෝගීන් බවට. මේ සියළුම දෙනා අක්‍රමවත් ලෙස විදෙස් ගතවූ අය බවට තහවුරු කර ගත්තා. මේ අය නීතිවිරෝධී ක්‍රමයකට යුරෝපීය රටකට යන්න පිටත්වෙලා තියෙනවා. ප්‍රංශයට යන්න ගිය ඔවුන් අතරමගදි අප්‍රිකානු අතරමැදි රටක නැවතිලා තියෙනවා. දින ගාණක් එහෙම අතරමංවෙලා වගේ ඉඳලා යම් ක්‍රමයකින් නැවත ලංකාවට ආ බවට තහවුරු කෙරුණා. මෙවැනි පිරිස් ඇත්ත කරුණු වසන් කරනවා. ප්‍රතිකාර කරන්නත් ඒක ලොකු ගැටලුවක්” විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න පවසනවා.
කෙසේ වෙතත් ඉකුත් දිනෙක යාපනය රෝහලේදී මැලේරියා රෝගයෙන් මියගිය පුද්ගලයා ජූලි 30 වැනිදා මෙරටට පැමිණි බවයි අනාවරණය වන්නේ. ඔහු ඩෙල්ෆ් ප්‍රදේශයේ දින දෙකක් (2) සිට තිබෙනවා. එම කාලයේදී ඔහු තෙහෙට්ටුවෙන් හා සිහිමඳ ගතියෙන් පසුවූ බවයි පැවසෙන්නේ. ඒ අනුව පසුගිය 05 වැනිදා රෝගී බව වැඩි වීමත් සමග යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත්ව තිබෙනවා.
“මේ තත්ත්වයෙන් රෝහල්ගත වූ රෝගියා යාපනය ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. මිනිත්තු 30 ක් ඇතුළත අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙම ඉද්දි මැලේරියා රෝගී බව අඩු වුණා. අනතුරුව සී.ටී. ස්කෑන් පරීක්ෂාවක් සිදුකළා. එහෙම ඉඳලා දින තුනකට (3) පස්සේ තමයි මේ රෝගියා මිය ගියේ. කොහොම නමුත් විදේශිකයින් මෙරටට පැමිණීම හරහා රෝගය ව්‍යාප්ත වීමක් සිදුවෙන් නෑ. ඔවුන් අවශ්‍ය ප්‍රතිකාර සහ නියමිත ක්‍රමවේද යටතේ එන්නේ. ලංකාවේ සිට නීතිවිරෝධී ක්‍රමවලට ගිය පිරිස නැවත එද්දි තමයි රෝගය රැගෙන එන්නේ. ඒක අවධානම් තත්ත්වයක්. 2024 වසරේ එහෙම ආපු අයගෙන් 97% ක් පිරිමි. පිරිසෙන් වයස 21 – 60 අතර ප්‍රමාණය 86% ක් වගේම පිරිසෙන් 76 ක්ම ලාංකිකයින්” බවයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න පවසන්නේ.
අක්‍රමවත් ලෙස රැකියා සඳහා විදෙස්ගත වූවන්, මැණික් ව්‍යාපාරය සඳහා යන පිරිස මෙන්ම ධීවර සහ වෙළඳාම වෙනුවෙන් යන එන පිරිස හරහා රෝගය පැතිරීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ. මේ අතර ඉන්දියාව සහ තායිලන්තය වෙත ගිය පිරිස් වන බවයි සඳහන්. විදෙස්ගත වීමකදී ලබාගත යුතු ඖෂධ වර්ග තිබෙන බවත් ඒවා භාවිතයට ගන්නා ලෙසයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න පවසන්නේ. එම ඖෂධ ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකකවල තිබෙනවා. විදෙස්ගත වීමට ප්‍රථම ඒවා ලබා ගන්නා ලෙසත් නැවත පැමිණි පසුව උණ, හිසරදය, වමනය, ඇඟපත රුදාව වැනි රෝග පවතින්නේනම් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අංශවලට දැනුම් දෙන්නැයිද ඒ සඳහා නිසි ප්‍රතිකාර ඇති බවයි මැලේරියා මර්දන ව්‍යාපාරය පවසන්නේ. ඒ සඳහා වන ප්‍රතිකාර මධ්‍යස්ථාන දිවයින පුරා පවතින අතර ප්‍රධාන රෝහල්, ප්‍රාදේශීය ප්‍රතිකාර මර්දන ඒකක මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හරහා ද සිදුවනවා. එවැනි රෝගී තත්ත්වයන් සුළු රුධිර පරීකෂාවකින් තහවුරු කර ගැනීමට හැකියාව පවතිනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා 24 පැයේ ක්‍රියාත්මක 071 284 1767 හදිසි දුරකතන අංකය ඇමතිය හැකියි.
මේ අතර විදේශයක සිට මෙරටට පැමිණෙන්නේනම් අදාළ රුධිර පරීක්ෂාවක් සිදුකර ගන්නා ලෙස මැලේරියා මර්දන ව්‍යාපාරයේ විශේෂඥ ප්‍රජා වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න කියා සිටියා. එවැනි රෝගියෙක් වාර්තා වුවහොත් ඒ ආශ්‍රිත පරීක්ෂාවක් සිදුකරන අතර ආශ්‍රිතයින් සම්බන්ධයෙන්ද පරීක්ෂා කෙරෙනවා. එමෙන්ම තෝරා ගත් ස්ථානවල දුමායනය සිදුකිරීම, මදුරුවන් සහ මිනිසුන් පරීක්ෂාවට ලක්කිරීමටද පියවර ගන්නවා. මෙකී වැඩ සටහන සඳහා ජාතික මදුරු මර්දන වැඩසටහනට සමගාමීව ක්ෂේත්‍ර නිලධාරීන්, රසායනාගාර ශිල්පීන්, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය එක්ව පුහුණු වැඩසටහන්ද සිදුකරනවා.
මේ අතර මැලේරියා රෝගයේ අවධානමක් ඇති නොවීම වෙනුවෙන් යමෙක් විදෙස්ගත වීමට මත්තෙන් හා නැවත මෙරටට පැමිණි පසුවත් නියමිත ඖෂධ භාවිතයට ගන්නා ලෙසත් ප්‍රතිකාර සඳහා යොමුවන පිරිස සිය සංචාරක ගමනාන්ත පිළිබඳව පැහැදිලි තොරතුරු සෞඛ්‍ය අංශ වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි මැලේරියා මර්දන ව්‍යාපාරය මහජනතාවට දැනුම් දෙන්නේ ෴
මන්නාරම සුළං විදුලි බලාගාරවල ඉදිකිරීම් මාසයකට අත්හිටුවයි
(13.08.2025 – hirunews.lk)
මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20 ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර තිබෙනවා.
යෝජිත සුළං විදුලි බලාගාරය සහ මතු වී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙහිදී රටේ බලශක්ති අවශ්‍යතාව සහ ආර්ථිකයට ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරුණා.
සුළං බලාගාරය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට ඇති වී ඇති ගැටලු පිළිබඳව සොයා බලා ඒ සඳහා විසදුම් ලබා දීමට අවශ්‍ය ව්‍යුහයක් ඇති කිරීමටද මෙහිදී තීරණය වුණා.
ටෙන්ඩර් කැඳවා කොන්ත්‍රාත් ප්‍රදානය කර, මේ වනවිට ආරම්භ කර ඇති මෙගාවොට් 20 ක සහ යෝජිත මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදි කිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කෙරුණා.
බලශක්තිය යනු ප්‍රදේශයේ පමණක් නොව රටේ ජාතික සම්පතක් බවත්, විදුලිය ප්‍රශ්නය ගෘහස්ථ විදුලි බිලට පමණක් නොව රටේ නිෂ්පාදන පිරිවැය, විදෙස් ආයෝජන සහ සමස්ත ආර්ථිකය සමඟ බැඳී පවතින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ.
මෙම ව්‍යාපෘති මඟින් ජනතාවගේ ජීවන වෘත්තියට, ආර්ථිකයට හා ජීවිතය පවත්වාගෙන යාම සඳහා වන බලපෑම් සහ ජනතාවගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට රජය ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
රටේ සියලුම සම්පත් මේ රටේ ජනතාවට අයිති බවත් බලශක්තිය යනු එක් ප්‍රදේශයකට සීමා වන දෙයක් නොව සමස්ත රටේම ජනතාවගේ අයිතියක් බවතයි ජනාධිපතිවරයා පැවසුවේ.
සංවර්ධන ව්‍යාපෘති තවදුරටත් පමා කිරීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට තිබෙන අවස්ථාව මඟ හැරයාම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධතා දැක්වීම නිසා සිදු වන්නේ ආයෝජකයින්ට, කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට ආණ්ඩුවට නොහැකි වීම බවද පැවසුවා.
මෙහිදී මන්නාරම ප්‍රදේශය නියෝජනය කරමින් පැමිණි ආගමික නායකයින් ඇතුළු ජනතාව කියා සිටියේ ඉල්මනයිට් ව්‍යාපෘතිය සහ සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා පරිසර හානි මෙන්ම ජන ජීවිතයට බලපෑම් එල්ල වන බවයි.
පරිසර වාර්තා සහ නිර්දේශ නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවද එම ජනතාව ජනපති වෙත කරුණු දැක්වුවා.
මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ මන්නාරම ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන ගැටලු සොයා බැලීම සඳහා මෙම ව්‍යාපෘතිය මසකින් කල් දමන බවයි.
අදාළ කාලය තුළ ගැටලු සොයා බලා ඊට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.
අදානි සමාගම මඟින් විදුලි ඒකකයක් ඇමරිකානු ඩොලර් 8.26 කට මිලදී ගැනීමට තිබූ අතර එය ලංකාවේ මුදලින් රුපියල් 25 ක්.
නමුත් මෙම සුළං විදුලි ව්‍යාපෘතියේ නිෂ්පාදිත විදුලි ඒකකයේ මිල ඇමරිකානු ඩොලර් 4.65 ක් වන අතර එය ශ්‍රී ලංකා රුපියල් 13 ක්.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ සාමාන්‍ය මිල රුපියල් 13 ක අවස්ථාවරයකට පවත්වාගෙන යාමටයි රජය සැලසුම් කර තිබෙන්නේ.
උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා.
සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පැවසුවේ.
ඉඩම් ගැටලු විසඳීම සඳහා, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ඉඩම් අමාත්‍යංශය සහ පරිසර අමාත්‍යංශය එක්ව උතුරේ ඉඩම් පිළිබඳ වාර්තාවක් සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
උතුරු පළාත් ආගමික නායකයින්ද, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ යන මහත්වරු සහ උතුරු පළාත නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ මන්නාරම පුරවැසි කමිටු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්වුණා ෴
හද සසල කළ සීදුවේ ඝාතනය
(13.08.2025 – 10:00 +0530 – sinhala.adaderana.lk)
සීදූව පොලිස් වසමේ ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය පවසයි.
පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බරපතළ තුවාල සහිතව මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.
මරණකරු අවුරදු 40 ක ඊරියගහළිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අපරාධයට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴