ජාතිය ඇමතීමට පාර්ලිමේන්තු පැමිණි ජනපති, ගම්මන්පිලව ඇමතුවේ ඇයි..?

ජාතිය ඇමතීමට පාර්ලිමේන්තු පැමිණි ජනපති, ගම්මන්පිලව ඇමතුවේ ඇයි..?


ජාතිය ඇමතීමට පාර්ලිමේන්තු පැමිණි ජනපති, ගම්මන්පිලව ඇමතුවේ ඇයි..?

(13.08.2025 – 05:50 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පල කරන ලද අදහස් මෙසේය :

“පසුගිය 07 වන දා ජාතිය අමතන්න පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ජාතිය ඇමතීම පැත්තක තියලා මාව අමතනවා අපි දැක්කා. ඒ කතාව පුරාම සම්පූර්ණ නමක් කිව්වා නම් කිව්වේ මගේ නම විතරයි. මගේ නම කියන අතරේ ‘ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයක් තිබෙනවා. රාජ්‍යයේ ඇතුලේ ඉඳගෙන රාජ්‍යයේ පිට ඉඳගෙන නිලධාරින්, පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ පිට ඉඳගෙන දේශපාලකයින් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරනවා නම් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න පියවර ගන්නවා’ කියලා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාව අසාගෙන සිටි ඕනෑම කෙනෙකුට දැනෙන්නේ එතුමා දැඩි පීඩනයකින්, දැඩි ආතතයකින්, දැඩි අනාරක්ෂිත බවකින් ඉන්නවා කියලා. ජනාධිපතිතුමාගේ කතාව සමකළ හැක්කේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාව ඝාතනය කළාට පසු ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ කතාවට විතරයි.

ජනාධිපතිතුමනි, ඔබතුමා ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය කියන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන එක නම්, ඔබතුමා ද ඇතුළුව ආණ්ඩුවේ නායකයින් කියන පච කතා පච බවට ඔප්පු කරන එක නම්, ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු හෙලිදරව් කරන එක නම්, ඔව්, ගම්මන්පිල ඒ ‘කුමන්ත්‍රණයේ’ පිටිපස්සේ හැංගිලා නොවේ එලිපිට ඉදිරියෙන්ම ඉන්නවා.

ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලයේ නම් ආණ්ඩු පෙරලන රට අස්ථාවර කරන කුමන්ත්‍රණ ගණනාවක් කලා. 1971 දී 1987 දී 2006 දී වගේම 2022 දී කලේ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ. ඒ විතරක් නොවේ. 2006 අග දී මහින්ද ජනාධිපතිතුමා කොටින්ට එරෙහිව යුද්ධය පටන් ගත්තාම ඒක කඩාකප්පල් කරන්න අයවැය පරදා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලේත් ඔබතුමාලා. ගෝඨාභය ජනාධිපතිතුමා කෝවිඩ් මර්දනය කරන්න වෑයම් කරන විට ලෝකය පුරාම විපක්ෂ ඒ වෑයමට තමන්ගේ ආණ්ඩු වලට උදව් කරන විට වැඩවර්ජන උද්ඝෝෂණ කැඳවමින් රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ආර්ථික අර්බූදය විසඳන්න ආණ්ඩුව දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින විට ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ඒ නිසා ආණ්ඩු පෙරලන්න හදනවා, රට වට්ටන්න හදනවා කියන චෝදනා අපට නගලා ඔබතුමාගේ මට්ටමින් අපිව මනින්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබතුමා පාර්ලිමේන්තු කතාවේත් ලොකු පචයක් අත හැරියා. ඔබතුමා කියනවා ‘උදය ගම්මන්පිල ප්‍රකාශයක් කරලා තිබෙනවා ආණ්ඩුව විසින් තමයි හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කියලා. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයක් නිසා’ කියලා. ඒක පචයක් ජනාධිපතිතුමනි. අධිකරණයෙන් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් දුන්නේ නෑ. රහස් පොලිසිය බී 8016/2019 යටතේ පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා වල 2010 ජූලි 25 දින සිට 2011 මාර්තු 30 දක්වා කාල සීමාව තුල නාවික හමුදාපති ලෙස, නාවික බුද්ධි අධ්‍යක්ෂවරු ලෙස සහ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ අයගෙන් ප්‍රකාශ ලබා ගන්න අවශ්‍යයි කියලා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අයව පොලිසියට ගෙන්වන්නේ ප්‍රකාශ ලබා ගන්න කියලා. ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කලේ ඇප ලබා දෙන්න බැරි වෙන්න. ඒ නිසා ආණ්ඩුව විසින් නාවික හමුදාපතිව බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන ඒක අධිකරණය පිට පටවන්න එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා.

පොලිසියේ මහත්වරු බොරු ගොතලා අධිකරණයට ඉදිරිපත් කලා විතරක් නොවේ, ඔබතුමාටත් බොරු කියලා නොමග යවලා තිබෙනවා. ඒකනේ ‘නාවික හමුදාපතිතුමා අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයකින්’ කියලා ඔබතුමා කියන්නේ. පොලිසියේ ලොකු පුටුවල ඉන්නා අය මැතිවරණයට කලින් හිටියේ මාලිමා වේදිකාවේ. ඔබතුමාලා රැස්වීම් ගානේ බොරු කියනවා අසාගෙන ඉඳලා දැන් ඒ අයත් බොරු කියනවා වෙනුවට බොරු ලියන්න පටන් අරන්. ඒ නිසා තමයි පච වැලවල් ලියලා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ.

‘ඔබ කියන්නේ බොරු නම් පාර්ලිමේන්තුවේ කිව්වාට කමක් නෑ. ඒත් ඔබ කියන්නේ ඇත්ත නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න’ කියලා ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අවවාදයක් දුන්නා. ඒ අනුව ඔබතුමා වසර 24 ක් පුරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු කියලා පිලිගැනීම ගැන අපට සතුටුයි. වසර 24 ක් පුරා ඔබතුමා පාර්ලිමේන්තුවේ කළ කතා එකතු කරලා ‘නූතන ගජබින්නාලංකාරය’ කියලා ඔබතුමාට පොතක් නිකුත් කරන්න පුළුවන්.

මට ඔබතුමාට කියන්න තිබෙන්නේ ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට දුන් අවවාදයමයි. මම කිව්වේ බොරු නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න. ඔබතුමා මට උත්තර දුන්නේ අවම වශයෙන් මගේ කතාව අහන්නෙත් නැතිව. ඒ කතාව ඇහුව්වා නම් ඔබතුමා තිත්ත ඇත්ත තේරුම් ගනීවි. නාවික හමුදාපතිට එරෙහිව සීඅයිඩිය බොරු චෝදනා ගෙතුවේ කොහොමද කියන එක මම සාක්ෂි සහිතව ඒ කතාවේ ඉදිරිපත් කලා” ෴

+++

11-08-2025

+


උදයංගගෙන් හා බිරියගෙන් සී.අයි.ඩි.ය ප්‍රශ්න කරයි

(12.08.2025 – hirunews.lk)

රුසියාවේ හිටපු තානාපති ‘උදයංග වීරතුංග’ සහ ඔහුගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රශ්නකර ඇත්තේ ‘මිග් යානා ගණුදෙනුව’ සම්බන්ධයෙන්.

පසුගිය කාලයේ මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් වූ විමර්ශන ගොනු වසා දමා තිබුණද නැවතත් ඒවා විවෘතව ඇති බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු’ තොරතුරු වාර්තා කරනවා.

මෙම ගණුදෙනුවට අදාළ නව විමර්ශන සඳහා රුසියාවේ සහ යුක්රේනයේද සහය ලබාගැනීමට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ කටයුතු කරන බවයි සඳහන්.

‘ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්’ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර ඇත්තේ ‘සෙවනගල සීනි කර්මාන්ත ශාලා භූමියට යාබදව ඇති ඉඩමක්’ සම්බන්ධයෙන්.

එම ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වයක් නිරවුල්කර ගැනීමට මෙම ප්‍රශ්න කිරීම සිදුකර තිබෙනවා.

මෙහිදී තහවුරු වී ඇත්තේ එම ඉඩමට උන්වහන්සේගේ සම්බන්ධයක් නොමැති බව යැයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු’ සඳහන් කළා ෴


රුපියල් 200 ක අල්ලසක් ගත් ‘වේලා සටහන්කරුවෙකු’ අත්අඩංගුවට

(12.08.2025 – 17:50 +0530 – sinhala.adaderana.lk)

බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ‘වේලා සටහන්කරුවෙකු’ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- (රුපියල් දෙසීයක) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තරවරයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව කඩුවෙල බස් නැවතුම් පොළේ දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ව්‍යවසායකයා නැත්තට නැතිකරන වානිජ බැංකු මගඩියේ ඇත්ත නැත්ත සංජය හෙළිකරයි | සාක්ෂි එක්කම බඩු පත්තුවෙයි (12.08.2025)

+


මාදුරු ඔයට කඩා වැටී 06 දෙනෙකුට මරු කැඳවූ හෙලිකොප්ටර් යානයේ නියමුවා අධිකරණයට

(13.08.2025 – hirunews.lk)

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටුණේ තම වරදකින් නොවන බවත්, යානයේ ඇති වූ කාර්මික දෝෂයක් ඊට හේතු වන්නට ඇති බවට තමන් සිතන බවත්, හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලගනයේ ප්‍රධාන ගුවන් නියමු පෝලන් ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ, පසුගිය මැයි මස 09 වනදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී හමුදා සාමාජිකයින් 06 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ නඩුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත යාල්හාල හමුවේ ඊයේ (12) කැදවූ අවස්ථාවේදීයි.

මෙම අනතුරේදී යානයේ නියමුවන් දෙදෙනා (2) ඇතුළු තවත් හය දෙනෙකු (6) තුවාල ලැබුවා.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ සිට පැමිණි මෙම යානය මාදුරු ඔය යුද හමුදා විශේෂ බලකා කඳවුරට ගොඩ බස්සා නිදර්ශන චාරිකාවක් සඳහා යළි ගුවන් ගත වූ යානය තප්පර 30 ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බවයි එහි නියමුවා සාක්ෂි දෙමින් සඳහන් කළේ.

නඩුව මේ මස 21 වනදා යලි කැදවීමට නියෝග කළ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්වරයා මියගිය හමුදා සාමාජිකයින්ගේ මරණ වලට හේතුව එදින ප්‍රකාශ කරන බව සඳහන් කළා ෴

+++

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය මාදුරු ඔය ජලාශයට කඩා වැටුණ හේතුව ධම්මරාජ මහා බෝසතානෝ (ලසන්ත බණ්ඩාර මහතා) ප්‍රකාශකරති :

01-07-2025

+


දුර ගමන් බස්වලට AI කැමරා

(13.08.2025 – hirunews.lk)

දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව, පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40 ක් සවි කෙරෙනවා.

එමගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර රියදුරු දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගැනෙන අතර, රියදුරුගේ වෙහෙසකාරී තත්ත්ව සහ නින්දයාම, ඇස් පියවීම ආදිය නිරීක්ෂණයට නව කැමරා පද්ධතියට හැකියාව තිබෙනවා.

ඊට අමතරව මාර්ග නීති පිළිපැදීම සහ බඳපටි පැළඳ සිටීම ආදිය නිරීක්ෂණය කර රියදුරන් වෙත සංඥා නිකුත් කිරීමද මෙම පද්ධතිය මගින් සිදු කෙරෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

මෙම නියමු ව්‍යාපෘතියෙහි පළමු අදියර කතරගම ඩිපෝවේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ඇරඹුණා.

එහිදී දුර ගමන් බස් රථ කිහිපයකට AI කැමරා පද්ධති සවි කෙරුණු අතර, අමාත්‍යවරයා ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූවා ෴


මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව සැප්තැම්බරයේදී

(13.08.2025 – hirunews.lk)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනයේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරන ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference) 2025 සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින (2) තුළ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙය රටේ සියලුම ආර්ථික ක්ෂේත්‍රයන් තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ කෘත්‍රිම බුද්ධි කේන්ද්‍රයක් බවට පත්කිරීම සඳහා මුල පිරීමක් වනු ඇති.

මෙම සම්මන්ත්‍රණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවේ අනාගත AI නාක්ෂණ මාර්ග සිතියම මෙන්ම, ජාතික AI අරමුදල සහ AI විශිෂ්ටත්ව මධ්‍යස්ථානය නිල වශයෙන් එළි දැක්වීමද සිදුකිරීමට නියමිතයි.

ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව යනු ශ්‍රී ලංකාව AI තාක්ෂණයෙන් බලගැන්වෙන අනාගතයක් වෙත රැගෙන යාම සඳහා ශක්තිමත් ආරම්භයක් ලබාගැනීමේ අරමුණින් සංවිධානය කරන ලද්දක්.

එමෙන්ම එය වර්තමානයේ අමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් වන මෙරට ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 15 දක්වා වර්ධනය කරවීමේ ක්‍රමෝපායික දැක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමට සෘජුවම දායක වනු ඇති.

මෙම ඉලක්කය ළඟා කරගැනීම සඳහා AI තාක්ෂණය මගින් 10% ත් 12% ත් අතර දායකත්වයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන අතර, ඒ අනුව AI තාක්ෂණය ඉදිරියේදී මෙරට ආර්ථික පරිවර්තනය වෙනුවෙන් කේන්ද්‍රීය කාර්ය භාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-MOBITEL අතර ඇතිකර ගන්නා ලද ඓතිහාසික එකඟතාවක් තුළින්.

මෙම සමුළුවෙහි ‘Ecosystem Partner’ ලෙස ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) කටයුතු කරන අතර, එය ශ්‍රී ලංකාවේ ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා එම සංගමය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කෙරෙනවා.

රටේ තාක්ෂණික දියුණුව ඉලක්ක කරගත් පුරෝගාමී හවුල්කාරීත්වයක් ලෙස හැඳින් විය හැකි මෙය, ශ්‍රී ලංකාව කලාපය තුළ තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින රටක් බවට පත්කිරීම අරමුණු කරගත් ඩිජිටල් ආර්ථික ඉලක්ක සහ දීර්ඝ කාලීන දැක්ම සමගද මැනැවින් සමපාත වෙනවා.

එමෙන්ම එය රටේ සංවර්ධනය මගින් රටේ සියලුම පුරවැසියන්ට ප්‍රතිලාභ හිමි වන පරිසරයක්ද නිර්මාණය කිරීමට ද සුවිශාල දායකත්වයක් ලබාදෙනු ඇති.

“ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව ශ්‍රී ලංකාවේ AI අනාගතයේ සමාරම්භක සන්ධි ස්ථානයක් බවට පත්වේවි. මෙම වැඩසටහන, නවෝත්පාදනය, ආර්ථික වර්ධනය සහ සියලුම පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ගාමක බලවේගයක් ලෙස AI තාක්ෂණය යොදාගනු ලබන ඩිජිටල් වශයෙන් බලගැන්වුණු දේශයක් නිර්මාණය කිරීම සඳහා රජය දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක්. මෙවැනි වැඩසටහන් තුළින්, වගකීම් සහගත ලෙස AI භාවිතයට ගැනීම සහ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් කලාපයට ආදර්ශයක් ලබාදීමට අපට හැකි වේවි.” ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරසිංහ සඳහන් කරනවා.

SLT-MOBITELහි අනුග්‍රහය සමගින් පැවැත්වෙන මෙම දෙදින වැඩසටහන තුළදී ලොව නවීනතම තාක්ෂණික විශේෂාංග රැසක් දැකබලා ගැනීමට එයට සහභාගී වන්නන්ට අවස්ථාව ලැබෙනු ඇති.

එය AI තාක්ෂණය මගින් ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ අනාගතය හැඩ ගස්වනු ලබන ආකාරය දැක ගැනීම සඳහා මෙරට ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් ඇතුළුව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ලැබෙන මහඟු අවස්ථාවක්.

මෙම ප්‍රදර්ශනය හා සමුළුව තුළදී ශ්‍රී ලංකාවේ AI නාක්ෂණික අනාගතය සම්බන්ධ වැදගත් තේමාවන් රැසක් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති අතර, වගකීම් සහගත ලෙස AI තාක්ෂණය පාලනය කිරීම, විශ්වාසය හා ආචාර ධර්ම, AI භාවිතයට ගැනීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග සහ, බැංකු හා මූල්‍ය සේවා, සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර යනාදී ක්ෂේත්‍ර තුළ AI නාක්ෂණය භාවිතයට ගත හැක්කේ කෙසේද යන්න ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *