2025 වසරේ මුල් මාස 5 තුළ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 ක් ගැබ්ගෙන

2025 වසරේ මුල් මාස 5 තුළ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 ක් ගැබ්ගෙන


2025 වසරේ මුල් මාස 5 තුළ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32 ක් ගැබ්ගෙන

(11.08.2025 – hirunews.lk)

මේ වසරේ මුල් මාස 5 තුළ නව යොවුන් වියේ දැරියන් 32 දෙනෙකු ගැබ්ගැනීම් සිදුවීම් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංඛ්‍යාලේඛනවල දැක්වෙනවා.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර විධිමත් අයුරින් ලිංගික අධ්‍යාපනය දරුදැරියන්ට ලබාදිය යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් වාර්ෂිකව නිකුත් කරන ළමා අපයෝජන පිළිබඳ සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේදී වයස අවුරුදු 18 ට අඩු දැරියන් 53 දෙනෙකු ගැබ් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස 5 තුළ ද දැරියන් 32 දෙනෙකු ගැබ්ගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර විධිමත් අයුරින් ලිංගික අධ්‍යාපනය දරුදැරියන්ට ලබාදිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා ෴


සෞඛ්‍ය ඇමති සමග එළැඹි එකඟතා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි GMOA වෙතින් චෝදනා

(11.08.2025 – 16:16 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ සිදුව ඇති අක්‍රමිකතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එළැඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශ තුළ ස්ථාන මාරු ලැයිස්තු සකස් කිරීම, ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කිරීම, රෝහල්වල පුරප්පාඩු සැපිරීම යන කරුණු නිවැරදිව සිදු නොවූ බවත් ඒ තුළින් උද්ගත වූ තත්ත්වයන් හමුවේ සිය සංගමය වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සලකා බැලීමට ද සිදුවූ බවය.

කෙසේ වෙතත් මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් වාචික පොරොන්දු ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් ක්‍රියාත්මක නොවීම සිය සංගමයයේ දැඩි අප්‍රසාදයට හේතු වී ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එමෙන්ම මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිඛිතව දැන්වීමට පියවර ගත් බවත් තාවකාලිකව අත්හිටුවා ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව සිය සංගමයේ විධායක සභාවේ අවදානයට යොමු වූ බවත් පෙන්වා දෙන එම සංගමය පැවසුවේ තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු මණ්ඩලය මැදිහත් වීමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් හෝ සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට තැත් කරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ පිළිබඳව දැඩි තීන්දු තීරණ ගැනීමට දෙවරක් නොසිතන බවය.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන්නේ නම් එම නිලධාරීන්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු සියලු පාර්ශ්ව වෙත පැමිණිලි කිරීමටද සිය සංගමය කටයුතු කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ සඳහන් කර තිබේ ෴

+++

+


මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වූ පුද්ගල මළ සිරුර ගැන විශේෂ විමර්ශනයක්

(11.08.2025 – 14:19 +0530 – sinhala.adaderana.lk)

මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිසිය පැවසුවේ මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 09 වැනිදායි.

ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ (10) නිවේදනයක් නිකුත්කර තිබුණි.

එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12 වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් (1) අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.

එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07 වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු (5) එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි සඳහන් වේ.

එහිදී කඳවුරේ නිලධාරීන් ඔවුන්ව දැක තිබූ අතර එම නිලධාරීන් පිරිස පලවාහැරීමට කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකපිට සෙබළුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී එක් (1) සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.

අනෙකුත් සෙබළුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන තිබුණේ‍ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කළේය.

එම සෙබළුන් තිදෙනා (3) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මුත්තියාර්කට්ටු වැවේ ගිලීගොස් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුවෙමින් ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද තරකර ඇත ෴

+++

+


රුපියල් ලක්ෂ 20 ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

(11.08.2025 – 11:38 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව – කරුප්පන්කර්නි ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 20 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් (1) ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් අයිස් ග්‍රෑම් 50 ක් සහ හෙරොයින් ග්‍රෑම් 25 ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව 35 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 24 ක සහ 34 ක පුද්ගලයින් වන බව පොලීසිය පැවසුවේය.

මෙම සැකකරුවන් කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බවත් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴


පාකින් ටිකට් කැඩූ ජාවාරමක් හසුවෙයි

(11.08.2025 – 09:32 +0530 – sinhala.adaderana.lk)

හබරාදූව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන දේශීය සංචාරකයින්ගේ රථවාහන ගාල් කිරීම සඳහා මුදල් අයකළ පුද්ගලයින් තිදෙනෙකු (3) උණවටුන සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සැකකරුවන් මෙලෙස වාහනවලින් මුදල් අයකර ඇති බව අනාවරණය වී ඇත.

උණවටුන සංචාරක පොලීසියට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ බස්‍ රථයක් ගාල් කිරීම සදහා රුපියල් 1,500 ක මුදලක් ද, කාර් වෑන් ඇතුළු අනෙකුත් රථවාහන ගාල් කිරීමට රුපියල් 1,000 ක් ලෙස අයකර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 34, 35 සහ 41 යන වයස්වල පසුවන්නන් බව සඳහන්.

සැකකරුවන් හබරාදූව පොලීසිය වෙත භාර දී ඇති අතර, ඔවුන් අද (11) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴


දුම්රිය දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් පටිපාටියට පිටින් යන ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්

(11.08.2025 – 22:03 +0530 – sinhala.adaderana.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව සතු භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙට්‍රික් ටොන් 6,000 ක් පමණ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට (2) පිරිනැමීමට ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් උත්සාහ දරන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවටද පැමිණිල්ලක් සිදුකර ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් විසින් මෙම උත්සාහයේ නිරත වන බවත් මේ වන විට වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජූලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් මගින් ආරම්භ කර ඇති අතර එම ටෙන්ඩරය සඳහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණද පසුගිය මස 23 වැනි දින සිට විවෘත කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනුයේ චෝදනා එල්ලවන එක් සමාගමක් පසුගිය පාලන සමයේදී වංචනික හා අනීතික අන්දමින් දුම්රිය දෙපාර්තමේන්තුව සතු අබලි යකඩ රුපියල් කෝටි ගණනින් පාඩු අගයකට මිලදී ගැනීමටද උත්සාය කළ බවය.

එමෙන්ම අනෙක් සමාගමද ධාවන තත්ත්වයේ වූ මැදිරි අබලි යකඩ ලෙස කපා ඉවත් කිරීමට සම්බන්ධ වූ සමාගමක් බවටද චෝදනා එල්ල වූ බවත් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු විධිමත්ම සිදු නොකිරීම හේතුවෙන් අදාළ සමාගම් දිගින් දිගටම දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියාවන් සඳහා යොමුවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර මීට ඉහතදි අනීතිකව දුම්රිය සතු අබලි යකඩ මිලදි ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වු සමාගම් හා නිලධාරින් සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, දැනට වංචනික ලෙස අබලි යකඩ මිලදි ගැනීමට උත්සහා කරන සමාගම් එම ප්‍රසම්පාදන කටයතුවලින් ඉවත් කර, විධිමත්ව මිල ගණන් ඉදිරිපත් කර ඇති සියළු සුදුසුකම් සපුරා ඇති ගැණුම්කරුවන් සදහා පමණක් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ද කරගත යුතු බව දුම්රිය වෘත්තිය සමිති දුම්රිය බලධාරින්ගෙන් ඉල්ලා තිබේ ෴


මවක් දූෂණය කළ වෛද්‍යවරයෙකුට වසර 15 ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

(11.08.2025 – hirunews.lk)

උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 25 හැවිරිදි මවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද (11) වසර 15 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව පැමිණිලිකාර කාන්තාවට රුපියල් ලක්ෂ පහළොවක (15,00,000) වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා, එය පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 03 ක සිර දඩුවමක් නියම කරන බවයි සඳහන් කළේ.

මෙලෙස දඩුවම් නියම වූයේ අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පදිංචි ‘විජේකෝන් විජේරත්න’ නැමැති අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කළ 70 හැවිරිදි වෛද්‍යවරයෙකුටයි.

2020 වසරේ දී ජනවාරී මස 20 හෝ ඊට ආසන්න දිනයකදී මෙම වරද සිදුකර ඇති බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා ෴


තරුණයින් දෙදෙනෙකුට (2) මරු කැඳවූ සහස්පුර වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට

(11.08.2025 – hirunews.lk)

බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු (3) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) පසුගිය 07 වැනිදා රාත්‍රියේ බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ක්‍රීඩාංගණය අසළ රැඳී සිටි තරුණයින් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා තිබුණා.

සිද්ධියෙන් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනෙකු (4) තුවාල ලැබූ අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තිදෙනෙකු (3) ගෙන් එක් (1) අයෙකු ඊයේ (10) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි ආරුමුගම් අක්ෂදන් නමැති වනාතමුල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේම පදිංචි තරුණයෙක්.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු (3) බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කළා.

විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ, සැකකරුවන් බොරැල්ල පොලිසියට භාර දීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවයි.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර ‘චූටා’ නමින් හඳුන්වන අදාළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිකරුගේ සමීපතමයින් බවයි.

එම යතුරු පැදිකරු, අත්අඩංගුවට පත් ‘සලේ’ නමැති එක් සැකකරුවෙකුට සිම්පතක් අවශ්‍ය බව පවසා ඇති අතර, අත්අඩංගුවට ගත් දෙවැනි (2) සැකකරුගෙන් ‘සලේ’ නමැත්තා සිම්පතක් ඉල්ලා තිබෙනවා.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ, දෙවැනි (2) සැකකරු සමීප ඇසුරක් පවත්වාගෙන යන කාන්තාවකගෙන් එම සිම්පත ලබාගෙන තිබෙන බවයි.

පසුව ‘සලේ’ නමැත්තාට සිම්පත ලැබුණු පසු ඔහු ඒ බව’චූටා’ නමැති වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයාට පවසා ඇති අතර, එම සිම්පත රැගෙන ඒමට ‘චූටා’ නමැත්තා අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරු බොරැල්ල මවුන්ට් මේරි හන්දියට එවා තිබෙනවා.

පසුව එම සිම්පත රැගෙන ත්‍රිරෝද රථ රියැදුරු ‘චූටා’ නමැති සැකකරු රැඳී සිටි කුප්පියාවත්ත ප්‍රදේශයට ගොස් ඇති අතර, ‘චූටා’ නමැත්තා සිම්පත ලබාගෙන යතුරු පැදි හිස්වැසුම් දෙකක් (2) ද රැගෙන එම ත්‍රිරෝද රථයෙන්ම පැමිණ ‘නෙළුම් පොකුණ රඟහල’ අසළින් බැස ඇති බවත් විමර්ශන පොලිසිය ප්‍රකාශ කළා.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, එදින රාත්‍රියේ අදාළ වෙඩි තැබීම කර ඇති අතර,ඉන් පසු යතුරු පැදිකරු දුරකථනය අක්‍රිය කර මේ වනවිට සැඟව සිටින බවයි.

සිම්පත ගත් පුද්ගලයා, ‘සලේ’ නමැත්තා සහ ‘චූටා’ නමැති යතුරු පැදිකරු යන තිදෙනාම (3) ‘වනාතේ දුමින්ද’ගේ පාර්ශ්වයේ අය බව ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා ෴


රුපියල් කෝටියකට අධික මුදල් වංචාවක් ගැන බන්ධනාගාර මූලස්ථානයෙන් විමර්ශනයක්

(10.08.2025 – dasathalankanews.com)

රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධව බන්ධනාගාර මූලස්ථානය විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනගාර පුහුණු පාසලේ පුහුණුවට පැමිණෙන නවක නිලධාරින්ට මෙන්ම විවිධ පාඨමාලා හැදෑරීමට පැමිණෙන නිලධාරීන්ට ලබාදෙන ආහාර වේල් සඳහා කූඨ ලෙස ගණන් මිනුම් යොදා මෙලෙස මුදල් වංචා සිදුකර ඇති බවයි බන්ධනාගාර මූලස්ථානය පවසන්නේ.

වසර එක හමාරකට (1½) අධික කාලයක් මෙලෙස මුදල් වංචාවන සිදුව ඇති බවයි මූලික විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ෴


වළදාන්න නම් දෙන්නේ නෑ කිසි කෙනෙකුට | රනිල්-විදුරලා තමයි මේ විනාසේ කළේ – මිහින්තලා හිමි ජනපතිටම දැණුම් දෙයි (11.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *