කථානායකට එරෙහිව CIDයට පැමිණිල්ලක්
(11.08.2025 – hirunews.lk)
පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව නව ජනතා පෙරමුණ විසින් අද (11) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී තිබෙනවා.
මෙම පැමිණිල්ල භාරදෙනු ලැබුවේ නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් විසින්.
කථානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙන බව වර්තා වන බවත්, ආයතන සංග්‍රහය අනුව උපලේඛනගත නිල නිවසක් වන නිසා කථානායක නිල නිවස වෙනත් කටයුත්තකට යෙදවිය නොහැකි බව දිනේෂ් අබේකෝන් පෙන්වා දෙනවා.
කථානායක නිල නිවස වෙනත් කටයුත්තකට යොදවනවා නම් ඒ සඳහා කැබිනට් අනුමැතියක් අවශ්‍ය බවත්, නමුත් කැබිනට් අනුමැතියක් ලබා නොගෙන ඒ සඳහා පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබාගෙන ඇති බවත්, එවැනි අනුමැතියක් ලබාදීමට උපදේශක කාරක සභාවට බලයක් නොමැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
මෙය රාජ්‍ය දේපල අවභාවිතාවක් වන නිසා මේ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකළ බවද ඔහු එහිදී පැවසුවා.
මීට අමතරව පසුගියදා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් නීතිවිරෝධි ආකාරයෙන් තීරුබදු රහිත සාප්පුවලින් ලබාගත් විස්කි බෝතල් සම්බන්ධයෙන් ද CCTV දර්ශන ඔස්සේ පරීක්ෂා කර නිසි නීතිමය පියවර ගන්නා ලෙසටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
+
රේණුකා ඒකනායක පොලිස් කොමිසමෙන් ඉල්ලා අස්වෙයි
(11.08.2025 – hirunews.lk)
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් රේණුකා ඒකනායක ඉල්ලා අස්වී තිබෙනවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එම ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර තිබෙනවා.
ඉල්ලා අස්වීමට අදාල ලිපියෙහි පිටපතක් ජාතික පොලිස් කොමිසමටද ලැබී ඇතැයි එහි සාමාජිකයෙක් පැවසුවා.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ බිරිඳ වන ඇය හිටපු අමාත්‍යාංශ ලේකම්වරියක්.

ඕස්ට්‍රේලියාවෙන් 2018 වසරේදී ගැබ්බර කිරි ගවයන් 15,000 ක් මිල දී ගැනීමට නෙදර්ලන්ත බැංකුවකින් ගත් ණය මුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 11.7 ක මුදලක් අදාළ සමාගමකට අත්තිකාරමක් ලෙස ගෙවා ඇතත් මෙතෙක් එම කිරි ගවයන් මෙරටට ආනයනය කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් පසුගියදා ඇගෙන් ප්‍රශ්න කළා.
එකල පශු සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කර ඇත්තේ රේණුකා ඒකනායකයි ෴
ලාංකිකයන් 11 ක් අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධවලට යවලා
(11.08.2025 – hirunews.lk)
ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
පසුගිය සති කිහිපය තුළ මෙසේ ලාංකිකයන් 11 දෙනෙකු විදෙස්ගත කර ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරන්නේ ෴
පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටුවක් පෙරළීමෙන් පිය – පුතු දෙපළක් (2) ජීවිතක්ෂයට
(11.08.2025 – hirunews.lk)
පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටුවක් පෙරළීමෙන් පිය-පුතු දෙදෙනෙක් (2) මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
මරණ කරුවන් වයස අවුරුදු 72 සහ 38 වියේ පසු වූවන් බවයි වාර්තා වන්නේ.
බෝට්ටුව පෙරළීමෙන් අනතුරට පත් තවත් 8 දෙනෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ෴
නිට්ටඹුව, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්
(11.08.2025 – hirunews.lk)
ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියේ නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා දිවෙන සම්ප්‍රේෂණ නළය පිරිසිදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් 14 වැනිදා තාවකාලික ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ අනුව, එදින (14) පෙරවරු 10:00 සිට රාත්‍රී 08:00 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම නිවේදනයේ සඳහන්.
එම ජල කප්පාදුව, රන්පොකුණුගම, බටලීය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාපවල සිදුකෙරෙන අතර, ඒ හේතුවෙන් පහත සඳහන් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ඇති.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝන්ගස්දෙණිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකාදෙණිය, රන්පොකුණුගම, රන්පොකුණුගම නව නිවාස යෝජනා ක්‍රමය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන යන ප්‍රදේශ සඳහාත්,
මාතලාන, හග්ගල්ල, කලල්පිටිය, ඇල්ලමුල්ල, බටලීය, මාඉඹුල, මාතලාන, අලවල යන ප්‍රදේශ සඳහාත් මෙලෙස පැය 10 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන් ෴
හිටපු මහ ඇමතිවරු තිදෙනෙකු (3) ගැන අල්ලස් විමර්ශන
(11.08.2025 – hirunews.lk)
හිටපු මහ ඇමැතිවරුන් තිදෙනකුට (3) එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඵහි අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරනවා.
සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත්, මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති සරත් ඒකනායක සහ උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න යන අයට එරෙහිව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම හිටපු මහ ඇමතිවරුන්ට ඵරෙහිව අයථා ඉපයීම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවද විමර්ශන අංශ සඳහන් කරනවා ෴
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්
(11.08.2025 – hirunews.lk)
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින් පෙත්සම ඉදිරිපත් කළා.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් හිමිවී තිබෙන හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් 07 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බවයි.
යෝජිත පනත් කෙටුම්පතේ 01 සිට 04 දක්වා වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
ඊට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරී භාවය සහ ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කිරීමක් සිදුවන බවත් පෙත්සමෙන් තවත් චෝදනාවක් එල්ල කර තිබෙනවා.
සමස්තයක් වශයෙන් ගත්කළ යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික හරයන් උල්ලංඝනය වීමක් සිදුවන බවයි පෙත්සම්කරු චෝදනා කර සිටින්නේ.
යෝජිත පනත් කෙටුම්පත හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු චෝදනා කරනවා.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට නිගමනයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා ෴
මී උණ රෝගයේ ව්‍යාප්තියක්
(11.08.2025 – hirunews.lk)
මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සරුංගල් වාරය ආරම්භ වීමත් සමග කුඹුරු යායවල සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.
අගෝස්තු පාසැල් නිවාඩුවත් සමග සරුංගල් වාරය ආරම්භ වන අතර කුඩා දරුවන් බොහෝ දෙනා සරුංගල් යැවීමට දක්වන්නේ දැඩි රුචියක්.
මේ දිනවල දරුවන් බෙහෝ දෙනෙකු කුඹුරු යායවල සරුංගල් යවන අතර මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් ද දක්නට ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
ඒ හේතුවෙන් කුඹුරු යායවල හා මඩ සහිත බිම් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරුවිය හැකි අතර, සෞඛ්‍ය බලධාරීන් මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි.
+
විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණයෙක් කටුනායකදී කොටුවෙයි
(11.08.2025 – hirunews.lk)
රුපියල් ලක්ෂ හැටක් (60,00,000) පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටට ගෙනයමින් සිටි ලාංකික ගුවන් මගියෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.
ඔහු මහනුවර, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි අයෙක් වන අතර ඩුබායි හි ගෘහ සේවයේ නිරතව සිටි පුද්ගලයෙක්.
මේ තැනැත්තා අද (11) අලුයම 05:35 ට ඕමානයේ, මස්කට් නුවර සිට ඕමාන ගුවන් සේවයේ ඕ.වී 437 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු රැගෙන ආ ගමන් මලු 2 ක් තුළ වෙළඳ නාම දෙකකට (2) අයත් දුම්වැටි 40,000 ක් අඩංගු කාටූන් 200 ක් සඟවා ගෙන සිටි බවයි පොලිසිය පවසන්නේ.
එම සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ඉල්මනයිට් සේදීමේ ස්ථානය පොලිස් භාරයේ තැබීමට නියෝග
(11.08.2025 – 20:05 +0530 – sinhala.adaderana.lk)
විල්පත්තුව මායිමේ පිහිටි අරුවක්කාඩුවේ ඉල්මනයිට් සේදීමේ ස්ථානයේ ඉදිරි විමර්ශන සිදුවන තුරු එම ස්ථානය පොලිස් භාරයේ තබා ගන්නා ලෙස පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා අද (11) නියෝග කළේය.
එම ප්‍රදේශයේ අධි සංවේදී පරිසර පද්ධතියක් තුළ නිසි නීත්‍යානුකූල අවසරයකින් තොරව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ ස්ථානය සම්බන්ධයෙන් පුත්තලම අධිකරණය හමුවේ කරුණු වාර්ථා කිරීමේන් අනතුරුවය.

අදාළ ඉල්මනයිට් සේදීමේ දේශීය සමාගම විසින් පරිසරය වනසමින් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ නිසි අවසරයකින් තොරව මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දුන් නියෝගද පැහැර හරිමින් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකාය විසින් පසුගියදා වටලනු ලැබීය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය පැවසුවේ ඉල්මනයිට් සේදීම හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුව ඇති බවය.
මෙම දේශීය සමාගම විසින් භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයෙන් නිසි අවසරයක් ලබා ගෙන නොමැති බවත්, එසේ තිබියදී දැවැන්ත ජලාශයක් (1) ඉදිකර ඒ සමගම තවත් ජලාශ හතරක් (4) ස්ථාන හතරක ඉදි කරමින් බරපතළ පරිසර හානියක් කර ඇති බවත් වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බලකායේ පොලිස් පරික්ෂක ආර්.ඒ. ජනිත කුමාර මහතා අධිකරණය හමුවේ කරුණු දැක්විය.
මෙහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු පිළිබදව අදාළ දේශීය සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මඩුල්ල ප්‍රශ්ණ කිරීමක් සිදු නොවු අතර එම නිතිඥ මඩුල්ලේ විසින් අධිකරණය හමුවේ පවසා සිටියේ මෙම ස්ථානයට අවස්ථා ගනනාවකදී භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයෙන් බලපත්‍ර ඉල්ලා සිටියද එය ලබා නොදිම සම්බන්ධව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවය.
මෙම කරුණු සියල්ල සලකා බැලු පුත්තලම දිසා විනිසුරු මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා වලාන පානදුර මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකාය අදාළ විමර්ශන අවසන් වන තුරු මෙම ස්ථානය පොලිස් භාරයේ තැබිමට නියෝග කළේය.
එමෙන්ම මේ සම්බන්ධව ලබන සැප්තැම්බර් 11 දින යළි නඩුව කැඳවිමටද නියෝග කෙරුණි ෴
රුපියල් කෝටි ගාණක රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
(11.08.2025 – 19:23 +0530 – sinhala.adaderana.lk)
රුපියල් කෝටි එකොළහමාරකට (11,50,00,000) අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 2.66 ක් බව සඳහන් වේ.
විමර්ශන නිලධාරීන් සදහන් කළේ ඩුබායි රාජ්‍යයේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් ඒවා මෙරටට ගෙන්වා ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 58 ක් වන හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු රේගු නිලධාරීන්ට වාහන අමතර කොටස් සදහා පනවා ඇති බදු ද ගෙවා පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඇති වූ සැකය මත අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ ෴
පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කෙරේ
(11.08.2025 – 16:25 +0530 – sinhala.adaderana.lk)
යාපනය – කයිට්ස් පොලිස් වසමට අයත් පුන්ගුඩුතිව් ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වන පුන්ගුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එහි සිටි පිරිස ඝාතනයට පැමිණි පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ දරා ඇති අතර එහිදී ඔහු විසින් එම පිරිසටද පහර දී ඇත.
එම පහරදීම් හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුළු සිව් දෙනෙකු (4) තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
කයිට්ස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴