විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි


විල්පත්තුවේ නීතිවිරෝධී ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලානෙන් වටලයි

(09.08.2025 – 20:08 +0530 – sinhala.adaderana.lk)

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ඉල්මනයිට් සේදීමේ මහා පරිමාණ ජාවාරමක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අද වටලනු ලැබීය.

ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙනි.

පසුගිය ආණ්ඩු සමයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ ජාවාරම පිටුපස සිටියේදැයි සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ අරුවක්කාඩුව අධිසංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම භූමිය සිය භාරයට ගත්තේය.

මෙහිදී එම කටයුතුවලට භාවිත කළ යන්ත්‍ර සූත්‍ර තොගයක් පොලිස් භාරයට ගැනුණු අතර, එහි වටිනාකම රුපියල් කෝටි 200 කට අධිකය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීකරණය යටතේ මෙම වැටලීම ක්‍රියාත්මක කෙරිණි.

මේ වන විට අනාවරණ වී ඇත්තේ, අක්කර 20 ක භූමි ප්‍රදේශයක් පුරා ක්‍රියාත්මක කර තිබූ මෙම නීතිවිරෝධී ජාවාරමේදී වසර සිය ගණනක් පැරණි කළුවර, බුරුත, වීර ඇතුළු දැවැන්ත වෘක්ෂයන් කපා දමා ඇති බවය.

මෙය විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයට මිටර් 500 ක දුරකින් පිහිටා ඇති අතර, එම ස්ථානයට ජලය සපයාගෙන ඇත්තේ විල්පත්තුව ප්‍රේරක කලාපයට අයත් සීමාවේ පිහිටි ලුණු ඔයෙනි.

මෙම ස්ථානයේ ජලාශයක් ඉදිකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර ගෙන තිබුණ ද, කැණීම් කිරීමට අවසර ලබා දී නොමැත.

නමුත් පුරාවිද්‍යා නිර්දේශ නොතකමින් මෙහි අක්කර දෙකකට වැඩි භුමියක අඩි 20 කට වැඩි ගැඹුරට ජලාශයක් ඉදිකර ඇති බවද හෙළි වී තිබේ.

මෙම ජාවාරම පිටුපස හිටපු මැති ඇමතිවරුන් සිට ඇද්දැයි මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙහිදී මෙම ස්ථානය සිය භාරයට ගත් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත එම ස්ථානයේ ආරක්ෂාවට වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් පිරිසක් රැඳවීමටද පියවර ගත්තේය.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පැවසුවේ, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හෙට (10) පුත්තලම අධිකරණයට කරුණු වාර්තා කරන බවය.

+++

+


මුහුදේදී මියගිය ධීවරයකුගේ සිරුර ගොඩබිමට

(09.08.2025 – 22:19 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල ධීවර වරායේ සිට ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය බහු දින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු මුහුදු සැතපුම් 180 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ දී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (08) පෙරවරුවේ මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

ධීවරයින් 06 දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මෙම බහුදින යාත්‍රාවේ සිටි අයෙක් මෙසේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවට ගාල්ල රේඩියෝ මධ්‍යස්ථානය අමතා එම යාත්‍රාවේ නියමුවා විසින් දැනුම් දී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බලපිටිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ධීවරයෙකි.

මියගිය පුද්ගලයාගේ දේහය රැගෙන මෙම යාත්‍රාව අද (09) පස්වරුවේ ගාල්ල ධීවර වරාය වෙත පැමිණියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+


බලන්ගොඩ නිවසක ගින්නකින් මව පියා බේරී දරුවා මරුට

(09.08.2025 – 14:17 +0530 – sinhala.adaderana.lk)

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

පොලීසිය සදහන් කළේ අද (09) අලුයම 03:30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත.

මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදු අනතුරක් සිදු නොවීම හේතුවෙන් මෙම මරණය සැකසහිත බව පොලීසිය පැවසීය.

දරුවාගේ පියා මත්ද්‍රව්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහිවූවෙකු බවත්, පවුල් ආරවුල් හේතුවෙන් මව සහ පියා වෙන්ව සිට ඇති බව සඳහන්.

එමෙන්ම මව වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ඊයේ (08) රාත්‍රියේ අදාළ කාන්තාව යළි නිවසට පැමිණීමත් සමග කිසියම් ආරවුලක් ඇති වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය බලන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකරන අතර, දරුවාගේ මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය බලන්ගොඩ මූලික රෝහලේදී සිදුකිරීමට නියමිතය.

+++

+


කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ ප්‍රවේශපත් කවුළුවේ දිගු පෝලිම්

(09.08.2025 – 12:45 +0530 – sinhala.adaderana.lk)

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ.

මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී.

විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණීමත්, අගෝස්තු නිවාඩු සමයත් නිසා මෙලෙස මේ දිනවල කවුඩුල්ල වනෝද්‍යානය සංචාරකයින්ගෙන් පිරී ඇත.

ඒ හේතුවෙන් ප්‍රවේශපතක් ලබාගෙන වනෝද්‍යානය නැරඹීමට සංචාරකයින්ට පැය ගණනාවක් දිගු පෝළිම්වල රැඳී සිටීමට සිදුව තිබේ.

මෙම ප්‍රමාදය නිසා සතුන් නැරඹීමට ඇති හොඳම අවස්ථා අතපසුවන බව සංචාරකයින් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නන් චෝදනා කරයි.

ප්‍රවේශපත් ලබාදීම සඳහා සීමිත නිලධාරින් පිරිසක් පමණක් සිටිම මෙම තත්ත්වය උද්ගතවීමට හේතු වී ඇත.

තාක්ෂණය දියුණු, මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත් නිකුත් කිරීමේ හැකියාව පවතින කාලසීමාවක මෙවන් තත්ත්වයන් නිර්මාණය වීම සැබැවින්ම කනගාටුදායකය.

මෙරරට පැමිණෙන සංචාරකයින් අපහසුතාවට පත් නොකර ඔවුන්ට කඩිනම් සේවාවක් ලබාදී මෙරටට විදේශ විනිමය උපයාගැනීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමක් නොවේද?

+++

+


‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ගෝලයා පොලිසියට කළ පාපෝච්චාරණය (09.08.2025)

+


අල්විස්වත්තේ ඝාතනයට 17 හැවිරිදි තරුණයෙකුත් කොටු – රුපියල් 1,000 ක් දීලා වැඩේ කරගෙන (09.08.2025)

+


පොලිස් අණ නොතකා පලා ගිය ජීප් රියෙන් මතුවූ ගිනි අවිය – සැකකරු ඇතුළට.. මුගටි පැටවා වන ජීවියට.. (09.08.2025)

+


මෙරට පැරණි වාහන අපනයනය කර නව වාහනවල බදු අඩු කිරීමේ යෝජනාවක් (09.08.2025)

+


ඩොලර් ගේන underwear | “රටවල් 57 ක අලෙවිසැල් 5700 ක්” (09.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *