‘හිරු’ කළ අනාවරණයෙන් පසු දුම්රිය ටිකට් වංචාව නතරවේ
(09.08.2025 – hirunews.lk)
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියවල මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කරගැනීමේදී ප්‍රවේශ පත්‍ර කළු කඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් නිසා දෙස් විදෙස් සංචාරකයින් දැඩි අසාධාරණයකට මුහුණ දෙන බව ‘හිරු CIA’ හරහා අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ කළා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ද සිදුකළ අතර දුම්රිය දෙපාර්තමේන්තුවද දුම්රිය ආසන වෙන්කිරිම සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමට අදාළව නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා.
එම නව ක්‍රමවේදය අද (09) සිට ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
‘උඩරට මැණිකේ’, ‘පොඩි මැණිකේ’, ‘ඇල්ල ඔඩිසි’ ඇතුළු උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය කෙරෙන දුම්රියවල මාර්ගගත ක්‍රමය ඔස්සේ හෝ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ආසන වෙන් කරගැනීමේදී දේශිය සංචාරකයෙකුනම් සිය ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය වන අතර ඉල්ලුම්කරු එම සංචාරයට එක්වීම ද මෙම නව ක්‍රමය යටතේ අද සිට අනිවාර්ය කර තිබෙනවා.
විදෙස් සංචාරකයින් ආසන වෙන්කර ගැනීමේදී සිය ගුවන් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම ද අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව මෙම නව ක්‍රමවේදය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේ දුම්රිය ප්‍රවේශපත්‍ර කළු කඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් නිසා දෙස් විදේස් සංචාරකයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ‘හිරු CIA’ හරහා අවස්ථා කිහිපයකදී රට හමුවේ අනාවරණ කළ පසුබිමකයි.
+
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේත් අස්වීමේ ලියුම භාරදෙයි!
(09.08.2025 – hirunews.lk)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ ‘වෛද්‍ය රත්නසිරි හේවගේ’ ලබන සැප්තැම්බර් මස මැදදී සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වෙනවා.
ඒ සඳහාවන ලිපිය රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත මේවන විටත් භාරදී ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.
එමෙන්ම, රෝහලේ අධ්‍යක්ෂවරයා මේවන විටත් රාජකාරි නිවාඩු වාර්තා කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසා සිටියා ෴
දෙල්තොට, ව්‍යාපාරික ස්ථානයක ගින්නක්
(09.08.2025 – hirunews.lk)
ගලහා, දෙල්තොට, පෝපිටිය නගරයේ ව්‍යාපාරික ස්ථානයක් අද (09) සවස හදිසියේ ගිනිගෙන තිබෙනවා.
ගින්නෙන් එම ස්ථානයේ තිබූ සිල්ලර වෙළඳසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ගින්න පාලනය කිරීම සඳහා ප්‍රදේශවාසීන්, සහ පොලිසිය එක්ව කටයුතු කර තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ ෴
‘හීනටියන මහේෂ්’ගේ ගෝලයෙක් රු. කෝටි 3 ක කුඩුත් එක්ක මාට්ටු
(09.08.2025 – hirunews.lk)
ඩුබායි හී සැගව සිටින පාතාල කල්ලි නායක හා මත්කුඩු ජාවාරම්කාරයෙකු වන ‘හීනටියන මහේෂ්’ගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ රුපියල් කෝටි 3 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක්ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, උන්නාරුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් දෙමහල් නිවෙසක සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්.
විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකය බස්නාහිර උතුර නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මෙම නිවස පරීක්ෂාකර තිබූ අතර, එහිදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් හැට හයක් (1.066) සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් තුන්සිය අටක් (308) මෙම නිවසේ තිබියදී සොයාගෙන තිබෙනවා.
අත් අඩංගුවට පත් සැකකරුට ලැබෙන හෙරොයින් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ කොටස් කරන්න ‘හීනටියන මහේෂ්’ විසින් දැනුම් දෙන ස්ථානය හා පුද්ගලයින්ට බෙදා හරිම සිදුකර ඇති අතර ඒ සදහා සැකකරුට දිනකට වැටුප වශයෙන්ම රුපියල් පහළොස් දහසක් (15,000) ලබා දෙනබවයි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ.
ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා සැකකරු මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇති බවද සඳහන්.
+
කාන්තාවකට බස් රථයකදී පිහි ප්‍රහාරයක්
(09.08.2025 – hirunews.lk)
බණ්ඩාරවෙල බස් නැවතුම්පොලේ බස් රථයක වාඩිවී සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා තුවාල කිරීමේ සිදුවීමක් අද (09) උදෑසන 7 ට පමණ වාර්තා වූ බව පොලිසිය පවසනවා.
බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ බස් රථයකදී මෙය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහල්ටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලටත් මාරුකර යවා තිබෙනවා.
මෙහිදී තුවාල ලබා ඇත්තේ බණ්ඩාරවෙල, ලියන්ගහවෙල පදිංචි කාන්තාවක්.
මෙම කාන්තාවගේ ගෙල කපා ඇත්තේ ඇගේ සැමියා බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එම සැකකරු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් පවුල් ආරවුලක් මත වෙන වෙනම ජීවත්ව සිටි බව පැවසෙන අතර එකී ආරවුල ගැටුමට හේතු වී ඇති බවද අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
+++
+
හෙට (10) පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය ගැන විශේෂ දැනුම්දීමක්
(09.08.2025 – hirunews.lk)
2025, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එම්. ඉන්දිකා කුමාරිගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන විභාග දෙපාර්තමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් පැවැත්වුණා.
එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, උදෑසන 09:30 ට විභාග කටයුතු ආරම්භ කරන බවත් සියලුම සිසුන් අදාළ විභාග මධ්‍යස්ථානය වෙත උදෑසන 08:30 වනවිට පැමිණ සිටිය යුතු බවයි.
එමෙන්ම උදේ 9 වනවිට විභාග ශාලාවේ දරුවන් අසුන් ගත යුතුවනවා.
මෙහිදී විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ,
“දෙවෙනි (2) ප්‍රශ්න පත්‍රය මුලින්ම දරුවන්ට ලබාදෙනවා. දෙවෙනි (2) ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ උදෑසන 09:30 ට. අවසන් වෙන්නේ 10:45 ට.”
“ඉන් අනතුරුව පැය භාගයක (½) විවේක කාලයක් තිබෙනවා.”
“විවේක කාලය තුළ දරුවන්ට විභාග පරිශ්‍රයෙන් පිටතට යන්න බැහැ.”
“දෙමව්පියන් හෝ කිසිදු බාහිර පුද්ගලයෙක්ට විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරයකින් තොරව විභාග පරිශ්‍රයන්ට ඇතුළු වෙන්න බෑ.”
“පළමු (1) ප්‍රශ්න පත්‍රය ආරම්භ වන්නේ උදෑසන 11:15 ට. මේ ප්‍රශ්න පත්‍රයට පැයක (1) කාලයක් තියෙනවා. ඒ අනුව 12:15 ට තමයි ඒ ප්‍රශ්න පත්‍රය අවසන් වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ විභාගයම අවසන් වෙන්නේ 12:15 ට.”
“විශේෂයෙන්ම දරුවන් ලියන්න අවශ්‍ය පෑන්, පැන්සල්, මකන කෑල්ලක්, අඩිරූලක් විනිවිද පෙනෙන කවරයක දාගෙන යන්න, වෙනත් අනවශ්‍ය දේවල් රැගෙන යන්න එපා.”
“කටුවැඩ සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ කඩදාසියක් ලබා දෙනවා. එක කඩදාසියක් ප්‍රමාණවත් නැත්තම් ඉල්ලුවොත් නැවත වාරයක් තවත් කඩදාසි ලබාදෙනවා. ඒ නිසා කටුවැඩ සඳහා හෝ අනවශ්‍ය අවශ්‍යතාවයකට වෙනත් කඩදාසි ෆයිල් කවර විභාග ශාලාවට රැගෙන යන්න එපා”
වැඩිදුරටත් ඇය දරුවන්ගෙන් ඉල්ලා සිටියේ සන්සුන් මනසකින් යුතුව පැහැදිලි අත් අකුරින් විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන ලෙසයි ෴
+++
+++
+
බොරැල්ලේ වෙඩි වරුසාව ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(09.08.2025 – hirunews.lk)
බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පෙරේදා (07) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙන් ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් පසු මියගිය 23 හැවිරිදි තරුණයා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබූ බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූණේ ‘සුරේෂ් මදුෂාන්’ නැමති කැළණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු ද හදුනාගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
මියගිය තරුණයා දැනට ඩුබායිහි සිටින ‘වනාතේ චතූ’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන අයෙක් බවට වාර්තා පළවනවා.
මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට ඔහු මීට දින කිහිපයකට පෙර නිදහස්ව පැමිණ තිබුණා.
‘වනාතේ චතූ’ නැමැත්තාගේ සහෝදරයෙකු සිරිසර උයන ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සිදුකර ඇති අතර, තවත් තරුණයින් කිහිපදෙනෙකු සමග මියගිය තරුණයා එම ස්ථානයට පැමිණ තිබුණා.
එහිදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) ටී-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදු කර පලාගොස් තිබූ අතර සිද්ධියෙන් තුවාල ලැබූ 4 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඉන් දෙදෙනෙකු (2) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර දැනට ඩුබායිහි සිටින ‘වනාතේ චතූ’ සහ ‘වනාතේ දුමින්ද’ යන අය අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ෴
අලුත්ගමදී වෑන් රථයක් දුම්රියක ගැටී කාන්තාවකට තුවාල
(09.08.2025 – hirunews.lk)
අලුත්ගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් අද (09) උදෑසන දුම්රියක ගැටී තිබෙනවා.
සීලානන්ද පාර ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
කොළඹ සිට බෙලිඅත්ත බලා යන මෙම දුම්රියේ ගැටී කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.
ඇය විසින් මෙම වෑන් රථය පදවා ඇති අතර, අනතුරින් ඇයට බරපතල තුවාල නොමැති බවයි ස්ථානාධිපතිවරයා පැවසුවේ ෴
+++
+
පිහිනුම් තටාකයක ගිලී 12 හැවිරිදි දරුවෙකු මරුට
(09.08.2025 – hirunews.lk)
ඕපනායක ප්‍රදේශයේ පිහිටි හෝටලක පිහිනුම් තටාකයේ ගිලී අවුරුදු 12 ක් පමණ වයසැති පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (08) මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.
මොහු සිය දෙමාපියන් සමග ප්‍රිය සම්භාෂණයකට සහභාගී වී සිටියදී මිතුරන් සමග පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ෴
+++
+
එක රැයෙන් ගමේ දාපු ස්පා එක… ගම්මු එකතුවී වසා දැමූ හැටි (09.08.2025)
+
පෝදා ඇසෙන්න ගිය මහා ඛේදවාචකයක් දුම්රිය රියදුරා නූලෙන් වැළකූ හැටි සජීවීව ජංගම දුරකථනයක පටිගත වෙයි (09.08.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴