බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල


බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් – පස්දෙනෙකුට (5) තුවාල

(07.08.2025 – hirunews.lk)

බොරැල්ල, සහස්පුර සිරිසර උයන ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම වෙඩි තැබීමෙන් පස්දෙනෙකු (5) තුවාල ලබා කොළඹ මහරෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) විසින් T-56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.

+

08-08-2025

+


අමාත්‍ය නලින්දගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර වංචාකළ පිරිසක් ගැන CID පරීක්ෂණ

(07.08.2025 – hirunews.lk)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර බැංකු ගිණුම් සකස්කර හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බව පවසා ආධාර මුදල් එකතු කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කරුණු වාර්තා කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්සගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් බැංකු ගිණුම් සකස්කර හිමිනමකට රෝද පුටුවක් ලබා දෙන බවට පවසා ජනතාවගෙන් ආධාර මුදල් ලබාගෙන තිබෙන බවට පැමිණිල්ලේ සඳහන් කර තිබෙන බවයි.

ඒ ආකාරයෙන් මේ වනවිට රුපියල් තිස්අටදාහක (38,000) මුදලක් බැංකු ගිණුමක තිබී අනාවරණය වූ බව සඳහන් කළ පොලිසිය, මෙම සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අධිකරණයට සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන සිදුකර අධිකරණයට එහි ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව වහාම විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාල අංශ වෙත නියෝග කළා ෴


සූදු ගැසූ ඉන්දීය ජාතිකයින් 11 දෙනා පිටුවහල් කිරීමට නියෝග; රු. ලක්ෂය බැගින් දඩ

(07.08.2025 – hirunews.lk)

සූදු ජාවරමක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වූ ඉන්දීය ජාතිකයින් 11 දෙනාට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂය (100,000) බැගින් වූ දඩ නියම කර තිබෙනවා.

ඔවුන් දඩ මුදල් ගෙවූ පසු රටින් පිටුවහල් කිරීමටයි නියෝග කර තිබෙන්නේ ෴


බදු ගැටලුවක් මත රේගුව භාරයේ තිබූ BYD වාහන 991 ක් මුදා හැරීමට එකඟතාව

(07.08.2025 – hirunews.lk)

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින බී.වයි.ඩී වාහන 991 ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (07) අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළකළා.

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින අදාල වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෝන් කීල්ස් සී ජී සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද (07) අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී මෙම එකගතාවය පළ කළා.

මෙම පෙත්සම අද (07) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපියක් අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන, කොන්දේසි කිහිපයක් යටතේ මෙම රඳවාගෙන සිටින වාහන 991 ක් මුදා හැරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව පැවසුවා.

ඒ අනුව අදාළ වාහනවල බදු අතර පවතින පරතරය ලෙස ගණනය කර තිබෙන රුපියල් 3,552,909,200/- (රුපියල් බිලියන 3.6 කට ආසන්න) මුදල රාජ්‍ය බැංකුවක ඇපකරයක් වශයෙන් පෙත්සම්කාර සමාගම විසින් ඉදිරිපත් කළ යුතු අතර, එම ඇපකරය සඳහා අදාල වන පොලිය පෙත්සම්කාර සමාගම විසින් ගෙවීමට එකඟ විය යුතු බවත් එම කොන්දේසි වල සඳහන් වුණා.

මෙම වාහන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මගින් සිදු කරන පරීක්ෂණ සඳහා පෙත්සම්කාර පාර්ශවය සහාය විය යුතු බවත් එම ලිපියේ කොන්දේසියක් ඇතුළත් වුණා.

ඊට අමතරව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව කිලෝ වොට් 100 ද නැතිනම් 150 ද යන්න නිගමනය කිරීම සඳහා පේරාදෙණිය හා මොරටුව විශ්ව විද්‍යාලවල තාක්ෂණික විශේෂඥයින් දෙදෙනෙකු, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයෙකු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂඥ නිලධාරියකු ඇතුලත් කමිටුවක් පත් කිරීම ද ඊට ඇතුළත් කොන්දේසියක්.

ඊට අමතරව නීතිපතිවරයා සමග සාකච්ඡා කර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව අදාළ වාහනවල මෝටරයේ ධාරිතාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මෝටර් රථ තත්ත්ව පරීක්ෂණාගාරයකින් වාර්තාවක් කැඳවීමට කටයුතු කිරීම ඇතුළු කොන්දේසි කීපයක් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයට ඇතුළත් කළ ලිපියේ සඳහන් වුණා.

එම කොන්දේසි අතුරින් බොහොමයකට තමන් එකඟ බව පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ ෆර්සානා අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාල වාහන මුදා හැරීමට අධිකරණය හමුවේ එකඟතාවය පළ වුණා.

මෙහිදී රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර සමාගම අද (07) දින අදාල බැංකු ඇපකරය ඉදිරිපත් කරන්නේ නම් අදාල වාහන ලබන සෙනසුරාදා මුදා හැරීමට හැකියාව තිබෙන බවයි.

ඒ අනුව අදාල බැංකු ඇපකරය අද (07) දින ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 03 වනදා යළි කැඳවීමටද නියම වුණා ෴


ලොව ඉහළම අන්තර්ජාල තාක්ෂණය ස්ටාර්ලින්ක් හරහා ලංකාවටත්

(07.08.2025 – hirunews.lk)

අමෙරිකාවේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම මෙරට ක්‍රියාත්ම වීම හරහා දැනට ලෝකයේ ක්‍රියාත්මකවන ඉහළම අන්තරජාල සේවා තාක්ෂණය ශ්‍රී ලංකාවේද බල ගැන්වෙන බව ස්ටාර්ලින්ක් හි මෙරට නියෝජිත ආයතන වන ‘සිංගර් ශ්‍රී ලංකා’ සමාගම පවසනවා.

‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සම්මූඛ සාකච්ඡාවකට එක් වෙමින් ‘සිංගර් ශ්‍රී ලංකා’ සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන පවසන්නේ ස්ටාර්ලින්ක් අන්තර්ජාල පහසුකම හරහා මෙරට දැනට පවතින අත්ර්ජාල බාධා ඉවත් වන බවයි

ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව යනු පෘථිවි පෘෂ්ඨයට ආසන්න හෝ පහළ පෘථිවි කක්ෂයක් තුළ ස්ථානගත කර ඇති චන්ද්‍රිකා මත පදනම් වූ අන්තර්ජාල පද්ධතියක්.

ෆයිබර් ඔප්ටික් කේබල් භාවිත කිරීම වෙනුවට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව අධි වේගයෙන් දත්ත හුවමාරු කිරීම සඳහා චන්ද්‍රිකා දහස් ගණනකින් මෙම ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය සමන්විත වීමද විශේෂත්වයක්.

රේඩියෝ තරංග හරහා අන්තර්ජාල දත්ත කක්ෂයේ ඇති චන්ද්‍රිකා වෙත යැවෙන අතර එය පෘථිවියේ විවිධ ප්‍රදේශවල සිටින පරිශීලකයින් වෙත මුදා හැරෙනවා.

ෆයිබර් ඔප්ටික් කේබල්වලට ළඟා විය නොහැකි දුරස්ථ ප්‍රදේශවලට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට ළඟා විය හැකි වීමත් විශේෂත්වයක්.

අමෙරිකාවේ ස්ථාපිත එලෝන් මස්ක්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන සමාගම වන SpaceX සමාගම පළමුව 2019 වසරේදී චන්ද්‍රිකා 60 ක් පහළ පෘථිවි කක්ෂයට යොමු කළ අතර 2020 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවා.

මේ අතර ස්ටාර්ලින්ක් සේවාව මේ වන විට ශ්‍රී ලාංකිකයින්ටද අත්විදීමට හැකි වී අතර එමගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින සියලු අන්තර්ජාල බාධා ඉවත් වන බවයි ස්ටාර්ලින්ක් හි මෙරට නියෝජිත ආයතනය වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පවසන්නේ.

+


සබරගමුව හිටපු මහ ඇමති මහීපාල හේරත්ට ඉන්ධන චෝදනා

(07.08.2025 – hirunews.lk)

2014-2017 වර්ෂවලට අදාළව එවකට සබරගමුව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් මසකට හිමි ඉන්ධන ලීටර් 1700 වෙනුවට ඉන්ධන ලීටර් 4700 ක් භාවිත කර ඇති බව කෝපා කමිටුව හමුවේ අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඒ සඳහා රුපියල් අනු අට ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක (98,50,170) මුදලක් ලබාගෙන ඇති බවයි එහිදී සඳහන් කර ඇත්තේ.

ඒ සබරගමුව පළාත් සභාවේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

මේ අතර, කෝපා කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද සෙනරත් මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විපක්ෂයට කෝපා කමිටුවේ සභාපති ධුරය ලබා දීමේ එකඟතාව මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇති.

කෝපා කමිටුවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කිරීමට නියමිත බවට වාර්තා වනවා ෴


මහරගම වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

(07.08.2025 – hirunews.lk)

මහරගම නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (06) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබු යුද හමුදා කෝප්‍රල්වරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මහරගම නාවින්න ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ ඊයේ (06) රාත්‍රී 8 ට පමණ.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

දැනට කරන ලද විමර්ශනවලට අනුව වෙඩි වැදුණු පුද්ගලයා කුලී පදනම මත ලබාගත් යතුරු පැදියකින් මහරගම නාවින්න ප්‍රදේශයට පැමිණ ඇති බවයි හෙළි වී ඇත්තේ.

පසුව ඔහු නාවින්න ප්‍රධාන බස්නැවතුම්පල අසළදී එම යතුරු පැදිය නවතා කිසියම් පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එම අතරවාරයේදී ආහාර බොදාහරින ආයතනයක බෑගයක්ද සහිතව එම ස්ථානයට පැමිණි දෙදෙනෙකු (2) විසින් ඔහුට වෙඩි තබනු ලැබ ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් පළාගොස් ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා තුවාල සහිතව හයිලෙවල් මාර්ගයේ සිට දුම්රිය මාර්ගය දෙසට මීටර් දහයක් (10) පමණ දුරක් දිවගොස් තිබෙනවා.

එම ස්ථානයේ ඇදවැටුණු ඔහු පොලිසිය මැදිහත්වී රෝහල් ගතකිරීමට පියවර ගත්තා.

පොලිසිය පැවසුවේ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ශල්‍ය කර්මයකට භාජනය කොට දැඩි සත්කාර ඒකකගේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙසේ තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ පදිංචි ‘ලියනගේ දේශාන් කුමාර පෙරේරා’ නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා 07 සේවා බලකායේ ස්වාධීන ප්‍රවාහන බලඝණයට අනුයුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදුණු පුද්ගලයාගෙන් පොලිසිය කළ විමසීමකදී ඔහු පොලිසිය හමුවේ පවසා ඇත්තේ, සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කොස් මල්ලි’ නමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවයි.

‘කොස් මල්ලි’ නමැත්තා විසින් ඔහුට නාවින්න ප්‍රදේශයට පැමිණෙන ලෙසට දැනුම් දී ඇති බව ද පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීමට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් (2) අතර සිදුවු ගැටුමක් බවටයි පොලිසිය සැකකරන්නේ.

වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘බඩෝවිට අසංක’ගේ පාර්ශ්වයෙන් සිදුකරන්නට ඇති බවටත් සැක පලවනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ, වෙඩි ප්‍රහාරයට ලක් වූ යුද හමුදා කෝප්‍රල්වරයා සම්බන්ධයෙන් වෙනමම විමර්ශනයක් සිදුකරන බවයි.

ඔහු සම්බන්ධකම් පැවැත්වූ පාතාල කණ්ඩායමක් සම්බන්ධයෙන් හෝ ඔහු විසින් සිදුකළ අපරාධයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවද ඔහු සඳහන් කළා.

මෙම වෙඩි තැබීමත් සමග සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වසරේ මේ දක්වා වෙඩි තැබීම් 76 ක් සිදුකර ඇති අතර ඉන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් 44 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

+


2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

(07.08.2025 – hirunews.lk)

2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන https://www.doenets.lk/ හෝ https://www.results.exams.gov.lk/ වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.

එමෙන්ම, මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා 2025 අ.පො.ස.(උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වු අයදුම්කරුවන්ට 2025.08.07 දින සිට 2025.08.12 දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *