වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වේ

වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වේ


වෛද්‍යවරු දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වේ

(06.08.2025 – hirunews.lk)

වෛද්‍යවරුන් මුහුණ දී ඇති ගැටලුවලට ලබන 11 වෙනිදා පෙරවරු 8 ට පෙර විසඳුම් ලබානොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණය වීමට ‘රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය’ තීරණය කර තිබෙනවා.

කොළඹ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් විජේසූරිය කියා සිටියේ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් මේ වනවිට ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි ෴

මේ වනවිට වෛද්‍ය ක්ෂේත්‍රයේ වාර්ෂික ස්ථාන මාරුවීම් දසදහසක් (10,000) පමණ අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය හංසමාල් විජේසූරිය ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (05) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ෴

+++

+


හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

(06.08.2025 – hirunews.lk)

හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අද අත්අඩංගුවට ගැනුනා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් පිරිසක් ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නුගේගොඩ පිහිටි නිවසට ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුගිය අරගල සමයේදී සිදුවූ හානි සඳහා වංචනිකව වන්දි මුදල් ලබාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් මත සිදු කරන විමර්ශනවලට අදාළවයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ මහජන සේවා කාර්යාලයක් සෙවනගල ප්‍රදේශයේ පදිංචි ඒකනායක නැමති අයෙකුගේ නිවසේ පවත්වාගෙන ගොස් ඇති අතර, අරගල සමයේදී නාඳුනන පිරිසක් විසින් එම නිවසට ගිනි තබා තිබුණා.

ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් එම කාර්යාලය පවත්වාගෙන ගිය නිවස සඳහාද වන්දි මුදල් අයථා ලෙස ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ආරම්භ කර තිබෙන්නේ.

+

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

(06.08.2025 – hirunews.lk)

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ලබන (19) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයක් අනූවයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර, වන්දි ලබා ගැනීමෙන් ‘දූෂණය’ නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴

+++

+


COPA සභාපති ඉල්ලා අස්වෙයි

(06.08.2025 – 11:48 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අද (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් සිදුකරමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මේ තීරණය ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කියා සිටියේය ෴


මුළු තණමල්විලටම කසිප්පු බෙදූ නැන්දම්මා සහ ලේලී අත්අඩංගුවට

(06.08.2025 – hirunews.lk)

තණමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ජාවාරමක් පවත්වාගෙන ගිය කාන්තාවක් හා ඇයගේ ලේලිය ඊයේ (05) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල කිතුල්කොටේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක හා ඇයගේ 24 හැවිරිදි ලේලියයි.

කිතුල්කොටේ ප්‍රදේශයේ කාන්තාවක විසින් නිති විරෝධී කසිප්පු ජාවාරමක් සිදුකරගෙන යන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වැටලීමේදී විකිණීමට ගෙනවිත් එම කාන්තාව සන්තකයේ තිබී කසිප්පු ස්ප්‍රිතු බෝතල් 46 ක් හා කසිප්පු පැකට් 13 ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාලව අදාල කාන්තාව පොලිසිය විසින් එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන් ඇති අතර එහිදී එම කාන්තාවගේ 24 හැවිරිදි ලේලිය ඊට ප්‍රතිවිරෝධය පා පොලිස් නිළධාරීන්ගේ රජකාරියට දැඩි ලෙස බාධා කර තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිසිය අදාල කාන්තාවන් දෙදෙනාම (2) පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

තණමල්විල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴


අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගනී

(06.08.2025 – hirunews.lk)

බත්තරමුල්ල අකුරේගොඩ වැව පාරෙ අද (06) අලුයම සිදුවූ රිය අනතුරකින් මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

අද (06) අලුයම හතරට (04:00) පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ තිබූ කණුවක මෝටර් රථය ගැටීමෙනුයි මෙසේ ගිනිගෙන විනාශ වී ඇත්තේ.

පසුව ගිනි නිවීමේ රථයක් පැමිණ ගින්න මැඩ පැවැත්තුව ද ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

අනතුරෙන් කිසිවෙකුට ජීවිත හානියක් සිදුවී නොමැති බවටයි වාර්තා වෙන්නේ.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


ශිෂ්‍යත්ව උපකාර පංති අද (06) මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

(06.08.2025 – hirunews.lk)

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම උපකාර පංති අද (06) මධ්‍යම රාත්‍රී 12 සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රකාශ කරනවා.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය වැඩිදුරටත් පවසා සිටියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් දැන්වීම් ප්‍රචාරණය කිරීම සම්මන්ත්‍රණ, උපකාරක පන්ති, සිසුන් රැස්කර උපදෙස් ලබාදීම්, සමාජ මාධ්‍ය ජාලා මගින් ප්‍රචාරණය සිදුකිරීම ද තහනම් බවයි.

කිසියම් පුද්ගලයකු මෙම නීති උල්ලංඝනය කළහොත් එයට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවයි ඇය පවසා සිටියේ.

විභාගයට සහභාගි වන සියළුම සිසුන් පෙරවරු 08:30 වනවිට විභාග ශාලාවලට පැමිණිය යුතු අතර මුලින්ම පැවැත්වෙන්නේ දෙවන (2) ප්‍රශ්න පත්‍රයයි.

ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2787 ක පැවැත්වෙන අතර මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍ය අයදුම්කරුවන් 231,638 ක්, දමිළ මාධ්‍ය අයදුම්කරුවන් 76,313ක් සහ සම්පූර්ණ අයඳුම්කරුවන් 307,959 ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිතයි ෴


අමෙරිකානු වාහන තීරුබදු රහිතව ආනයනය කරන්නැයි, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් ඉල්ලලා

(06.08.2025 – hirunews.lk)

වෙළඳ පරතරය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, විදුලි වාහන (EV) ඇතුළු ඇමරිකානු වාහන සඳහා තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙන ලෙස ඇමරිකා එක්සත් ජනපදය සිය තීරුබදු සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි බව වෙළඳ සාකච්ඡා පිළිබඳව හුරුපුරුදු මූලාශ්‍රයක් උපුටා දක්වමින් ජාතික ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරනවා.

එම පුවත් වාර්තාව අදාළ මූලාශ්‍රය උපුටා දක්වමින් සඳහන් කරන්නේ, එම යෝජනාව සඳහා ශ්‍රී ලංකා රජය සම්පූර්ණ අනුමැතිය ලබා නොදී ඇති අතර, යම් කාලයක් තුළ එවැනි ගැටළු අදියරෙන් අදියර සලකා බැලීමට එකඟ වී ඇති බවයි.

මේ අතර තීරුබදු තවදුරටත් අඩු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ සංවාදය දිගටම කරගෙන යනු ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්.

එක්සත් ජනපදය විසින් ලොව පුරා රටවලට අතිරේක තීරු බදු පැනවූ අතර, ශ්‍රී ලංකාව මුලින් යෝජිත සියයට 44 ක තීරුබදු ප්‍රමාණයක් පැනවූ නමුත් පසුව එය සියයට 20 දක්වා අඩු කිරීමට කටයුතු කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇති වත්මන් අතිරේක තීරුබදු අනුපාතය බංග්ලාදේශය සහ වියට්නාමය වැනි කලාපීය තරඟකරුවන්ට සමාන බැවින් එය තරඟකාරී මට්ටමක් ලෙසයි සැලකෙන්නේ.

වෙළඳ පරතරය අඩු කිරීම සඳහා වන යෝජනාවක් ලෙස, මිල ගණන් තරඟකාරී නම් එක්සත් ජනපද සමාගම්වලින් ඉන්ධන මිලදී ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් වී ඇති අතර, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) ශ්‍රී ලංකාවේ පිරිවිතර පරීක්ෂණයක් සඳහා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරන ලද WTC බොරතෙල් සාම්පල දැනටමත් ඉල්ලා ඇති බවත් අදාළ පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ෴


යෞවන සමාජ දේශපාලනීකරණයට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයින් අද (06) කොළඹට

(06.08.2025 – hirunews.lk)

යෞවන සමාජ සම්මේලනය දේශපාලනීකරණයට කිරීමට එරෙහිව තරුණ සංගම් කිහිපයක් අද (06) කොළඹදී විරෝධතාවයක් සංවිධාන කර තිබෙනවා.

විවිධ තරුණ සංගම් නායකයින් තවදුරටත් චෝදනා කරන්නේ වත්මන් ආණ්ඩුව යෞවන සමාජ දේශපාලනීකරණය කිරීමට කටයුතු කර ඇති බවටයි.

ඊයේ (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී යෞවන සමාජ දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසා සිටියා ෴


හෙලට පෙරලුන මෝටර් රථය හොයන්න පැයකට වඩා ගියා |මෝටර් රථය පොඩි පට්ටම් වෙලා |රියදුරු පූරුවේ පිනකට බේරෙයි (05.08.2025)

+


කැනඩා, නවසීලන්ත, අයර්ලන්ත හීන පෙන්නා රු. කෝටි 15 ක් විතර ගරලා | දෙහිවල ඒජන්සියක් කරපු කැත වැඩක් (05.08.2025)

+


ට්‍රම්ප් ලංකාවට නංගි පෙන්වා අක්කා දුන්නාද ? විමල් වීරවංශ ප්‍රශ්නකරයි (04.08.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *