තුසිත හල්ලොලුව කිවූ ග‍්‍රීසියේ ආයෝජන අහන්න අරගල නායකයෙක් CID කැඳවයි .. ඇමති රැසක නම් කියන්නට සිදුවෙයිලු ..
(05.08.2025 – 14:10 +0530 – lankacnews.com)
ගාලු මුවදොර අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකාරිකයෙකු වන ‘කැලුම් අමරසිංහ’ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ (CID) හමුවට අද පෙරවරුවේ කැඳවා තිබුණි.
ජනාධිපති අනුර දිසානායකට ග්‍රීසියේ ආයෝජන ඇති බවට තුසිත හල්ලොලුව විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ‘කැලුම් අමරසිංහ’සඳහන් කළේ, ජනාධිපතිවරයා ග්‍රීසියේ සමාගමක ආයෝජනය කළ බවට තමන් විසින් පැවසූ බව ‘තුසිත හල්ලොලුව’ ප්‍රකාශ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තමන්ව කැඳවූ බවත්ය.
තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක සිදු කර නොමැති බවත්, මිතුරන් සමඟ සිදු කරන සාකච්ඡාවලදී එවැනි තොරතුරු හුවමාරුවූ නමුත් ඒවා සනාථ කළ හැකි හෝ ඔප්පු කළ හැකි තොරතුරු නොවන බවත් හෙතෙම පැහැදිලි කළේය.
මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවත්, අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ නම් පවා සඳහන් කිරීමට සිදුවියහැකි බවත් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
+++
+
හිටපු නාවික හමුදාපතිගේ සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක් (05.08.2025)
+
මාස 7 ට මත්ද්‍රව්‍ය චෝදනාවලට පොලිසියේ 90 කගේ වැඩ තහනම්
(05.08.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවලට ලක්ව සිටින පොලිස් නිලධාරීන් 90 දෙනෙකු පමණ වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් පවසනවා.
පොලිසිය සඳහන් කරන්නේ ජනවාරි 01 වනදා සිට අගෝස්තු 04 වනදා දක්වා කාලය තුළ චෝදනාවලට ලක් වූවන් මෙලෙස වැඩ තහනමට ලක්ව ඇති බවයි ෴
තලංගමදී ඇල්ලූ ක්‍රිකට් සූදු කප්පිත්තෝ 07 වැනිදා දක්වා රිමාන්ඩ්
(05.08.2025 – hirunews.lk)
සූදු ජාවාරමක් පවත්වාගෙන යාමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 11 දෙනා අගෝස්තු 07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පිරිස තලංගම පොලිස් වසමේ පැලවත්තේ අකුරේගොඩදී ඊයේ (04) රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර එහිදී ඔවුන් ඉන්දියානු ක්‍රිකට් ඔට්ටු සූදුකරුවන් පිරිසක් බවට අනාවරණය වුණා.
ඔවුන් පසුගිය ජුනි හා ජුලි මාසවලදී මෙරටට පැමිණ අකුරේගොඩ දෙමහල් නිවසක් කුලියට ගෙන පරිගණක හා ජංගම දුරකතන උපයෝගී කරගෙන අන්තර්ජාලය ඔස්සේ ක්‍රිකට් සූදූ ඔට්ටු මෙහෙයවා තිබෙන බවයි මේ වන විට හෙළි වී තිබෙන්නේ.
ක්‍රිකට් ඔට්ටු සූදු මෙහෙයවූ එකොළොස්දෙනෙකු (11) මෙහිදී අත්අඩංගුවට පත් වූ අතර ඔවුන් අතරේ පිරිමින් අටදෙනෙකු (08) ද කතුන් තිදෙනෙකු (03) ද සිට ඇති බව සඳහන්.
ඔවුන් අතරේ මෙම සූදු ඔට්ටු මෙහෙයවූ පුද්ගලයා ද සිට ඇති අතර මෙම පිරිස ඊයේ (04) අවසන් වූ එංගලන්ත – ඉන්දියානු පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ගැන පවා එම තරගය පැවැත්වෙන අතරතුර සූදු ඔට්ටු මෙහෙයවා තිබූ බව ඔවුන්ගේ ජංගම දුරකතන හා පරිගණකවල ඇතුලත් තොරතුරු ගැන කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ද අද (05) පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණ එම සැකකරුවන්ගෙන් දීර්ඝව ප්‍රශ්න කර තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.
ඉන්දියාවේ සිට මෙම තොරතුරු මෙහෙයවන මහමොළකරුගේ සියලු තොරතුරු එම ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇති අතර මේ වනවිට එම මහ මොළකරු කොටු කර ගැනීමට ඉන්දියානු ආරක්ෂක අංශ මෙහෙයුමක් අරඹා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ ෴
කීර්තිබණ්ඩාරපුර රථවාහන අංශයේ OIC අල්ලස් දැලේ
(05.08.2025 – hirunews.lk)
නුවරඑළිය – කීර්තිබණ්ඩාරපුර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ලොරි රථයකින් රුපියල් 10,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියකට අදාළවයි.
අත්අඩංගුවට පත් ස්ථානාධිපතිවරයා වලපනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
ජනාධිපති අරමුදලින් මැති ඇමතිවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට විදේශ අධ්‍යාපනය සඳහා දුන් මුදල් ගැන හෙළිදරව්වක්
(05.08.2025 – hirunews.lk)
මැති ඇමතින්ගේ දරුවන් සහ හිතවතුන් සඳහා ජනාධිපති අරමුදලෙන් විදේශීය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපනයට අරමුදල් ලබා දී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව, එසේ මුදල් ලබාගත් නාමයන් සහ සංඛ්‍යාලේඛන තොරතුරු එහිදී ඔහු සභාගත කිරීමට කටයුතු කළා.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා :
“මේ අරමුදලින් ජනාධිපතිවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට එහෙම නැත්නම් ඥාතීන්ට, හිතවතුන්ට 2005 වර්ෂයේ පසුව ජනාධිපති අරමුදල ලබාදීලා තියෙනව ද ? ඔව් ලබාදීලා තියෙනවා. 2005 වසරේ සිට 2014 වර්ෂය දක්වා ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාදීපු පුද්ගලයන් හා ඒ පිළිබඳ තොරතුරු මම සභාගත කරනවා. ඒ අතරින් කිහිපයක් මේ සභාවේ දැනගැනීම සඳහා මම ඉදිරිපත් කරන්න කැමතියි.
එක් එක් පුද්ගලයන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ දේශපාලන සම්බන්ධතාවය කුමක්ද කියන එක සම්බන්ධයෙන් …
2005 දී දේශපාලනඥයාගේ නම සරත්චන්ද්‍ර රාජකරුණා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්කය ; දරුවාගේ නම හර්ෂණ සුපුන් රාජකරුණා ශිෂ්‍යත්වයේ වටිනාකම මම සභාගත කරනවා.
2006 දී කරුණාසේන කොඩිතුවක්කු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය ; දරුවාගේ, ඥාතියාගේ හෝ හිතවතාගේ නම අයි.එම්. කොඩිතුවක්කු.
2006 දී බී රාධා ක්‍රිෂ්ණන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික ලැයිස්තුව. ශිෂ්‍යත්වලාභියා වෙන්නේ කේ. රාධක්‍රිෂ්ණන් මහත්මිය.
2006 දී දේශපාලන සබඳතා මත දිනේෂ් දොඩංගොඩ නැමැත්තාට ශිෂ්‍යත්වය ලබා දීලා තියෙනවා.
ඒ වගේම 2006 දී කේ.කේ. පරණවිතාන යන අයට ශිෂ්‍යත්වය ලබාදීලා තියෙනවා.
ඒ වගේම මේ කාරණයත් එක්ක 2005 සිට 2014 දක්වා …
2005 දී රු. හැත්තෑ තුන් මිලියන හාර ලක්ෂ තිස්පන්දහස් හාරසිය හයයි සත හැට එකක් ලබාදීලා තියෙනවා.
2006 දී රු. හැටපන් මිලියන දහනවදහස් අටසිය අනූ හතක් ලබාදීලා තියෙනවා.
2007 දී 42 දෙනෙකුට රු. තිස්තුන් මිලියන තුන්ලක්ෂ හතලිස් දාස් හත්දහස් හත්සිය අසූ තුනක් පමණ ලබාදීලා තියෙනවා.
2008 දී 18 දෙනෙකුට රු. එකොළොස් මිලියන පනස් පන්දාස් දෙසිය පනහක් ලබාදීලා තියෙනවා.
2009 දී 04 දෙනෙකුට රු. තුන් මිලියන නවලක්ෂ පනස් දෙදහස් නවසිය හයක් ලබාදීලා තියෙනවා.
2010 දී 03 දෙනෙකුට රු. තුන් මිලියන හාරලක්ෂයක් ලබාදීලා තියෙනවා.
2011 දී දෙදෙනෙකුට (02) රු. එක් මිලියන හය ලක්ෂයක් ලබා දීලා තියෙනවා.
2012 දී දෙදෙනෙකුට (02) රු. තුන් මිලියන දෙලක්ෂ තිස් දහස් දෙසිය තිස් අටක් ලබා දීලා තියෙනවා.
2014 දී එක් (01) පුද්ගලයෙකුට රු. ලක්ෂ හතක් ලබා දීලා තියෙනවා.
මේ අනුව ජනාධිපති අරමුදලේ මුදල් පොත් පරීක්ෂා කිරීමේදී ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට ඒ වගේම ඥාතීන්ට, හිතවතුන්ට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දීලා තියෙන බව නිරීක්ෂණය වෙනවා. ඒ වගේම අනිත් අයගේ තොරතුරු දීර්ඝ ලේඛනයක් තියෙන්නේ, මේක මම සභාගත කරනවා ෴
සී.අයි.ඩියේ ‘ඩී.අයි.ජී.’ තනතුරටත් විශ්‍රාමික ලොක්කෙක්!
(05.08.2025 – hirunews.lk)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටද කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සේවය ලබාගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරනවා.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධූරය පුරප්පාඩුව පවතිනවා.
එම තනතුරට පත්කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තුළ 50 කට වැඩි නියෝජ්‍ය පොලිස්පතිවරු සිටියත් එම පුරප්පාඩුව පිරවීමට පොලිස් බලධාරීන් පියවර ගෙන නැති බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස සේවයේ නිරතව සිටින ශානි අබේසේකර ද කොන්ත්‍රාත් පදනමින් සේවයේ නිරතව සිටිනවා.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් වන ඔහු ගේ වසරක කොන්ත්‍රාත් කාලය තවත් මාස කිහිපයකින් අවසන් වීමට නියමිතයි.
තවදුරටත් ඔහුගේ කොන්ත්‍රාත් සේවා කාලය වසරකින් දිගුවනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මෙතෙක් කාලයක් සේවයේ නිරතව සිටියේ වැඩ බලන පොලිස්පතිවරයෙක් වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිලයි.
මාස කිහිපයකට පෙර ඔහු සිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව පොලිස් සේවයෙන් විශ්‍රාම ගත්තා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නැවත කොන්ත්‍රාත් පදනමින් පත්කිරීමට නියමිතව ඇත්තේ ඔහු බවටයි පැවසෙන්නේ.
එම පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුව ඇතත් ඔහු විශ්‍රාම යන විට දැරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මේ වන විට පැන නැගී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ ඔහු නියෝජ්‍ය පොලිස්පතිධූරයේ කටයුතුකර ඇත්තේ වැඩ බැලීම සඳහා වන බැවින්.
මෙම නිලධාරියා විශ්‍රාම යන විට නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබූ බැවින් විශ්‍රාම ගියද ඔහුට එම සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිට උසස්වීම ලබාගැනීමට හැකියාව පවතිනවා.
ඒ අනුව මෙම නිලධාරියා ඉදිරියේදී පැවැත්වෙන නියෝජ්‍ය පොලිස්පති සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට නියෝජ්‍ය පොලිස්පතිධූරය ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිධූරයට නැවත ගෙන ඒමට නියමිත බවයි හිරු ප්‍රවෘත්ති වෙත පොලිස් තොරතුරු අනාවරණය කළේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිධූරය සහ අධ්‍යක්ෂධූරය කොන්ත්‍රාත් පදනමින් විශ්‍රාමික පොලිස් නිලධාරීන් පත්කර නොතිබුණු බවයි පොලිස් තොරතුරු සඳහන් කරන්නේ ෴
හමුදා සේවය හැර යාම සම්බන්ධයෙන් 3,500 කට අධික හමුදා නිලධාරීන් අත්අඩංගුවට
(05.08.2025 – hirunews.lk)
නිසි අවසරයකින් තොරව සේවය හැර යාම හේතුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයින් 3,500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ වාර්තාවක සඳහන්.
අමාත්‍යාංශයේ වාර්තාවට අනුව, පෙබරවාරි 22 සිට අගෝස්තු 03 දක්වා කාලය තුළ සිදු කරන ලද මෙහෙයුම් වලදී නිවාඩු නොමැතිව රාජකාරී සඳහා නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3,504 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සාමාජිකයින් 2,937 ක්, නාවික හමුදා සාමාජිකයින් 289 ක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 278 ක් සිටිනවා.
ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබෙන්නේ, අනවසරයෙන් ඉවත් වූ හමුදා සාමාජිකයින්ට විධිමත් ලෙස නැවත සේවයට පැමිණීමට ඉඩ සලසමින් පසුගිය 2024 වසරේදී සහන කාලයක් ප්‍රකාශයට පත් කළ බවයි.
එම කාල සීමාව තුළ නැවත වාර්තා කිරීමට අපොහොසත් වූ හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම වසරේ පෙබරවාරි 22 වන දින සිට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා ෴
මෙතෙක් අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා ගිනි අවි ගැන මහජන ආරක්ෂක ඇමති හෙළිකරයි
(05.08.2025 – hirunews.lk)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා පොලිසිය විමර්ශන 128 ක් සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විමර්ශන 149 ක් මේවනවිට සිදුකර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (05) පාර්ලිමේන්තුව අමතමින්.
පොලිසිය ගිනිඅවි යොදාගනිමින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයන්, ගිනිඅවි භාවිතයෙන් මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම සහ තුවාල කිරීම, ගිනිඅවි යොදාගනිමින් තහනම් සතුන් ඝාතනය සම්බන්ධවයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එමෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින විදේශිකයන්ට, වීසා කොන්දේසි කඩ කරමින් මෙරට රැඳී සිටින විදේශිකයන්ට, මෙරට ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ව්‍යජ තොරතුරු සහ කූඨ ලේඛන සකස් කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙනුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 241 ක්, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම සහ තුවාල කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 180 ක්, ඝාතනය කිරීමට තහනම් සතුන් ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු ලෙස 425 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වියට්නාම් ජාතිකයින් 23 ක්, පාකිස්ථාන ජාතිකයින් 02 ක්, බංග්ලාදේශ් ජාතිකයින් 106 ක්, ඉන්දියානුවන් 56 ක්, චීන ජාතිකයින් 04 ක්, තායිලන්ත ජාතිකයින් 06 ක්, පිලිපීන ජාතිකයින් 02 ක්, බුරුන්ඩි ජාතිකයින් 02 ක්, ඉතියෝපියානු ජාතිකයින් 01 ක්, කෙන්යානු ජාතිකයින් 02 ක්, උගන්ඩා ජාතිකයින් 01 ක්, නේපාල ජාතිකයින් 01 ක්, රුසියානු ජාතිකයින් 03 ක්, නෙදර්ලන්ත ජාතිකයින් 01 ක්, යේමන් ජාතිකයින් 02 ක්, ඊශ්‍රායල් ජාතිකයින් 04 ක්, ඔස්ට්‍රේලියානු ජාතිකයින් 01 ක්, ඉතාලි ජාතිකයින් 01 ක් සහ සුඩාන 01 ක් ලෙස 219 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර, පොලිසිය විසින් මනුෂ්‍ය ඝාතන සම්බන්ධව නඩු 03 ක් සහ මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීම, තුවාල කිරීම සම්බන්ධව නඩු 03 ක් ලෙස නඩු 06 ක් පවරා ඇති බව ඔහු පැවසුවා.
පසුගිය ජූලි 31 වනදා වනවිට නීතිවිරෝධි ගිනි අවි 2089 ක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි.
මෙහිදී අමාත්‍යවරයා පැවසුවේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ද මේ වනවිට පුළුල් කර ඇති බවයි.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴