‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්

‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්


‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් පොලිසියට තර්ජනාත්මක දුරකථන ඇමතුමක්

(04.08.2025 – hirunews.lk)

විදෙස්ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරැවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් ‘බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා’ට දුරකතනයෙන් අමතා මරණ තර්ජන එල්ලකර තිබෙනවා.

ඒ, ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයෙකු වන ‘දිසානායකගේ දේවාන්මිනි දිසානායක’ හෙවත් ‘ගම්පහ පස්දේවා’ නමැත්තා අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරොධය පළකිරීමක් ලෙසයි.

‘පස්දේවා’ නමැත්තා මෙලෙස කටුනායක ගුවන් තොටුපළේ දී ‘අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරින් විසින් ඊයේ (03) දිනයේ දී මෙලෙස අත්අඩංගුවට ගැණුනේ තායිලන්තය බලා පලායාමට පැමිණි අවස්ථාවේදීයි.

ඔහු අද (04) පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව තිබෙනවා.

අත්අඩංගුවට ගත් ‘පස්දේවා’ගෙන් ප්‍රශ්න කිරිමේ දී ‘කෙහෙල්බද්දර ප්‍රදේශයේ ඇති හෝටලයක්’ පිළිබඳ තොරතුරු අනාවරණය කර ඇති අතර, එම ස්ථානයට ගිය විමර්ශන කණ්ඩායම් එහි තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.

ඉන්පසුව ‘පස්දේවා’ යළි ‘බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය’ වෙත රැගෙන යන අතරතුර මෙලෙස ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් එම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වාට දුරකතනයෙන් අමතා මරණ තර්ජනය කර තිබුණා.

+


දේශීය සමාගම් විදෙස් රටවල ආයෝජනයේදී ඉහළ දැමුණු සීමාවන් හඳුන්වා දීමේ ගැසට් පත්‍රයට අනුමැතිය

(04.08.2025 – hirunews.lk)

දේශීය සමාගම්වලට විදේශයන්හි ආයෝජනය කිරීම සඳහා ඉහළ දැමුණු සීමාවන් හඳුන්වා දීමේ ගැසට් පත්‍රයට රාජ්‍ය මුදල් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් 500,000 සිට 750,000 දක්වා ඉහළ දමා ඇති අතර ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා ආයෝජන සීමාව ඇමරිකානු ඩොලර් 150,000 සිට 200,000 දක්වා ඉහළ දමා ඇති බවයි ‘පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව’ නිවේදනය කළේ.

එමෙන්ම මෙම සීමා ඉක්මවා ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සමාගම්වලට විදේශ මූලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් මිලියන 02 ක් දක්වා ණය මුදල් ලබාගත හැකියි.

කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් මිලියන 02 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ විශේෂ අනුමැතියක් අවශ්‍ය වන බවයි ‘පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව’ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴


ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය – පොලීසියෙන් පැහැදිලි කිරීමක්

(04.08.2025 – 22:09 +0530 – sinhala.adaderana.lk)

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

පසුගිය 25 වන දින අළුයම් කාලයේදී මකුළුගස්වැව පොලිස් වසමේ වැටකොළුවැව ප්‍රදේශයේදී තිත් මුවෙකු වෙඩි තබා මරණයට පත් කිරීම සම්බන්ධව ගම්වාසීන් විසින් පුද්ගලයින් තිදෙනෙකු (3) අල්ලාගෙන සිටින බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කරන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර සැකකරුවන් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන ජුලි 26 වන දින දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනෙකු (2) ගිරානේගම පොලිස් ස්ථානයට හා මඩාටුගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී යෙදී සිටි පොලිස් සැරයන්වරු දෙදෙනෙකි.

අධිකරණය මඟින් මෙම සැකකරුවන් දෙදෙනා (2) රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හා රුපියල් 5,000 බැගින් වූ මුදල් ඇප මත මුදා හැර ඇති අතර 2025.12.05 වන දින නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනා (2) මුවෙකු වෙඩි තබා ඝාතනයට අනුබල ලබා දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබූ අතර දීර්ඝ විමර්ශනයකින් පසු සැකකාර පොලිස් සැරයන්වරු දෙදෙනාගේ (2) රාජකාරී වැඩ තහනමට ලක් කර ඇත.

එසේ තිබියදී අගෝස්තු 03 වන දින දහවල් කාලයේ ඉහත තිත් මුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වූ ප්‍රදේශයේ ගංජා හේනක් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් වැටලීම් සිදු කිරීමට යාමේදී ගම්වාසීන් එයට විරුද්ධව පොලිස් නිලධාරීන් සමඟ බහින් බස් වන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මෙම වැටලීම සඳහා සහභාගී වූ නිලධාරින් සිවිල් ඇඳුමින් සැරසි සිටීම සහ පොලිස් නිලධාරීන් යම් නීතිවිරෝධි හෝ අනීතික ක්‍රියාවක නිරතවීද යන්න සම්බන්ධව අනාවරණය කරගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරි දඹුල්ල විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

පුසිගිය ජුලි 25 වන දින තිත් මුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ විමර්ශන නිලධාරීන්ද සිවිල් ඇදුමින් සැරසී රාජකාරී කිරීම සම්බන්ධවද විනයානුකූලව කටයුතු කිරීමට දැනටමත් ක්‍රියා කර ඇති බව පොලීසිය පවසයි.

තවදුරටත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් ජුලි 25 වන දින මුල් සිදුවීමේදී පොලිස් ජීප් රථයේ රියදුරුට පහරදී රාජකාරියට බාධා සිදුකළ පුද්ගලයා අද (04) අත්අඩංගුවට ගෙන දඹුල්ල ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

මෙම සිදුවීම්වලට අදාළව නිලධාරීන් නිසි ලෙස මෙහෙයවීම හා අධීක්ෂණය නොකිරීම සම්බන්ධව මකුළුගස්වැව ස්ථානාධිපතිවරයාට විරුද්ධව විනය පියවර ගැනීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බව පොලීසිය පවසයි ෴


සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

(04.08.2025 – 16:33 +0530 – sinhala.adaderana.lk)

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ සලසාදීම, සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20 ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම, ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20 ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම මෙම පනතේ විධිවිධානවල ඇතුළත් වේ.

තවද කොටස්වල ‘අර්ථලාභී අයිතිය’ සම්බන්ධයෙන් නව විධිවිධාන හඳුන්වා දීම, එනම් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ තොරතුරු, ලේකම්වරුන් සහ අධ්‍යක්ෂවරුන් විසින් විස්තර රෙජිස්ට්‍රාර්වරයාට හෙළිදරව් කිරීම, රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තොරතුරු පිළිබඳ වාර්තා තබා ගැනීම, සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර්වරයා විසින් මහජනතාව වෙත ලබා දීම, සමාගමක් හෝ රෙජිස්ට්‍රාර්වරයා විසින් අර්ථලාභී අයිතිකරුවන් පිළිබඳ විස්තර රාජ්‍ය බලධාරීන් වෙත ලබා දිය යුතු බව සහ ‘අර්ථලාභී අයිතිය’ සහ ‘සඵල පාලනය’ සඳහා නව අර්ථකථන ඇතුළත් කිරීම මෙම පනත සංශෝධනය කිරීම මගින් සිදුවේ.

එමෙන්ම ඇතැම් ලේඛන සහ තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා සමාගමකට ලබා දෙන කාල සීමාවක් දීර්ඝ කිරීමට රෙජිස්ට්‍රාර්වරයාට බලය ලබා දීම, නම කපා හරින ලද සමාගමකට නිශ්චිත කාල සීමාවක් තුළ නැවත ලියාපදිංචි වීමට සහ රජය සතු කරන ලද එහි දේපළ නැවත ලබා ගැනීමට අවස්ථාවක් ලබා දීම, ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා ‘සමාගම් ආරවුල් මණ්ඩලය’ට යොමු කිරීමේ හැකියාව පුළුල් කිරීම, සමාගම් අධ්‍යක්ෂවරුන් ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය සංශෝධනය කිරීම, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ යම් නිලධාරීන් පන්තියකට මුදල් විෂය භාර අමාත්‍යවරයා විමසා දිරි දීමනා ගෙවීමට ප්‍රතිපාදන සැලසීම, සාමාන්‍ය දඬුවම් සඳහා විධිවිධාන සැලැස්වීම සහ ප්‍රධාන ප්‍රඥප්තියේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පාඨවල දෝෂ නිවැරදි කිරීම සඳහා උපලේඛනයක් සැපයීම මෙම පනත සංශෝධනය මගින් සිදුවේ.

මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025 ජුනි මස 05 වන දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව මෙම සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ ෴


ජනාධිපති ලේකම්ට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි කෙරේ ..

(05.08.2025 – 03:18 +0530 – lankacnews.com)

‘නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා’ හා ‘නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර මහතා’ විසින් ‘ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා’ගේ නිල රථය අවභාවිතා කිරිම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිල්ලක් බාර දෙමින් ඉල්ලා සිටියේය.

එහිදි නව ජනතා පෙරමුණේ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා විසින් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය :

“මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල අපි දැක්කා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාට අයත් සුඛෝපභෝගි ඔහුගේ නිල රථය ඊයේ (04) දිනයේ දී අධික වේගයෙන් යමින් සිටිය දී පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී රිය අනතුරකට ලක් වෙනවා. මෙම රිය අනතුර සිදු වන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඉඳලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ බිරිද බවට තොරතුරු ලැබිලා තියෙනවා.

පාරේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටීම නිසා මව, පියා හා වයස අවු 2, 6 දරුවන් දෙදෙනාත් (2) රෝහල් ගත කරලා තියෙනවා. අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා (2) හා මව තවම ප්‍රතිකාර ලබමින් සිටින්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ නිල රථය තම බිරිඳ හෝ වෙනත් පාර්ශවයක් විසින් කොහොම ද මේ ලෙස භාවිතා කරන්නේ කියලා. මෙය රාජ්‍ය දේපල අවභාවිතාව කිරිමක්. අපට ලැබි ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිඳ මෙම රථය යොදා ගෙන ඇත්තේ බිරිඳට සාප්පු සවාරි යාම සඳහාය. පුනරුද ආණ්ඩුව පත්වුනේ කිසිම රාජ්‍ය දේපලක් අවභාවිතා නොකරන බව ප්‍රකාශ කරමිනි.

නමුත් අද වනවිට රජයේ මැති ඇමතිවරුන් නිළධාරින් කිසිදු හිරිකිතයක් නැතිව රාජ්‍ය ද්පල අවභාවිතා කරනවා. ජනාධිපති ලේකම්තුමාම ඔහුගේ බිරිඳට සාප්පු සවාරි යන්න දිලා අනතුරට පත් වුනාම එය සාධාරණියකරනය කරනවා. නමුත් අපට තොරතුරු ලැබි ඇත්තේ මෙම අනතුර සිදු වි ඇත්තේ රාත්‍රී 09:00 ට බවය. රෑ නමයට එවැනි පෞද්ගලික ගමන් යාමට ඇත්නම් රාජ්‍ය දේපල භාවිතා නොකර තම බිරිදට පෞද්ගලික රථයක් ලබා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඔබතුමා රට ඉදිරියේ ‘චංචා දුෂණ වලින් තොරව රාජ්‍ය සේවය ආදර්ශමත් වෙන්න’ කියලා බණ දේශනා කරමින් සිදු කරනුයේ ‘ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ’ වගේ වැඩක්. ජනාධිපති ලේකම්තුමනි , අනේ පින් සිද්දවෙයි .. ‘රාජ්‍ය දේපල අවභාවිතා නොකර නෝනට සවාරි යාමට වාහනයක් අරන් දෙන්න’ කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.

ඒ වගේම මේ අවස්ථාවේ පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධව අපට විශාල සැකයක් පවතිනවා, පොලිසිය පක්ෂග්‍රාහිව ක්‍රියා කිරීමක් සිදු කර ඇති බවට.

පුද්ගලයෙකු අතින් රිය අනතුරක් සිදු වු විට යම් පුද්ගලයෙක් ඒ තුලින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්නම් කිසිම අවස්ථාවක එම රිය අනතුර සිදු කල තැනැත්තා නිතියෙන් නිදහස් කරනු නොලබයි. මෙහිදි පොලිසිය විසින් නිවරදි තොරතුරු අධිකරණයට ලබා දී ඇත් දැයි යන්න අපට පැහැදිලි සැකයක් පවතිනවා මන්ද එම අනතුර සිදු කල පුද්ගලයා නීතියෙන් නිදහස් කිරිම සිදු කර ඇති නිසාය.

එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්තුමන්ගේන් රාජ්‍ය දේපල අවභාවිතාව හා අපහරණය පිළිබදව පැහැදිලි කට උත්තරයක් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් ලබා ගනීවි යයි කියලා.

ඒ වගේම ජනාධීපති ලේකම්තුමන්ගේ නිදහස් කල රියදුරු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ‘නව ජනතා පෙරමුණ’ වන අප ඉල්ලා සිටිනවා ෴


අන්තර්ජාලය ඔස්සේ මුදලට සූදු සෙල්ලම් කළ ඉන්දීය ජාතිකයින් 11 ක් අත්අඩංගුවට

(05.08.2025 – hirunews.lk)

තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේදී පරිගණක හා ජංගම දුරකථන උපයෝගී කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ විදේශ ජාතික සැකකරුවන් 08 දෙනෙකු හා සැකකාරියන් 03 දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී ඔවුන් සතුවූ ජංගම දුරකථන 20 ක්, ලැප්ටොප් පරිගණක 03 ක් හා ටැබ් යන්ත්‍රයක් (01) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 22, 30 හා 43 යන වයස්වල හා සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 29 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින්.

තලංගම පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා ෴


අවුරුදු 18 ට අඩු ළමුන්ට සංස්කෘතික උරුමයන් නොමිලේ නැරඹීමට අවස්ථාව

(05.08.2025 – 07:54 +0530 – sinhala.adaderana.lk)

සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

දේශීය දරුවන් අතර සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ජාතික උරුමයන් සහ ස්ථාන පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

ඒ අනුව සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26 ක් ප්‍රවේශ පත්‍ර රහිතව ළමුන්ට නැරඹීමේ අවස්ථාව හිමිවේ.

මෙයට සමගාමීව විදේශීය ළමුන් සඳහා ද සීමිත කොන්දේසී යටතේ අදාළ ස්ථාන සඳහා ඇතුළු වීමේ අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේය ෴


“ඇයි මෙහෙම පච කියන්නේ.. කවද්ද පච කීම නවත්තන්නේ..” – කවිදු අසයි.. අනිල් ජයන්ත අසරණ වෙයි..

(05.08.2025 – 09:20 +0530 – lankacnews.com)

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳව දෙරණ රූපවාහිනී නාලිකාවේ පැවති 360 සාකච්ඡාවකදී අදහස් හුවමාරු විය.

මෙහිදී, මාධ්‍යවේදී කවිඳු කරුණාරත්න මහතා ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ආර්ථික වර්ධන වේගය සහ විදේශ සංචිත පිළිබඳ ඉදිරිපත් වූ දත්තවල නිරවද්‍යතාවය වෙතයි.

නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් විසින් ප්‍රකාශ කර තිබුණේ රටේ ආර්ථික වර්ධන වේගය 8.3% ක් අත්පත් කරගෙන ඇති බවයි. එමෙන්ම, රජය බලයට පත්වන විට රටේ විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කටත් වඩා අඩු මට්ටමක තිබූ බවත්, වසරක් යාමට පෙර (ලබන සැප්තැම්බර් මාසයට පෙර) එය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 කට වඩා විශාල සංචිතයක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර තිබුණි.

මෙම ප්‍රකාශයන් පිළිබඳව ප්‍රශ්න කරමින් කියා සිටියේ, “කොහොමද මෙහෙම බොරු කියන්නේ? කොහොමද රටේ ජනතාව කිසිම දෙයක් නොදන්න ලදරුවෝ කිසිම දෙයක් නොතේරෙන අය කියලා හිතාගෙනද රටේ වගකියන නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මාධ්‍යත් ඉස්සරහ තියාගෙන රටේ ජනතාවට මෙච්චර බොරු කියන්නේ” යනුවෙනි.

ඔහු අවධාරණය කළේ සාමාන්‍ය පුරවැසියෙකුට ආර්ථික වර්ධන වේගය නොදැන සිටීම ගැටලුවක් නොවුණත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනෙකුගෙන් කෙනෙකු රටේ ආර්ථික වර්ධන වේගය (8.3% ක් නොවන බව) දැනගත යුතු බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින්, සාකච්ඡාවට එක්වූ මුදල් නියෝජ්‍ය ඇමති අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේ ඔහු චේතනාන්විතව බොරුවක් නොකී බවයි.

විදේශ සංචිත පිළිබඳවද මෙවැනිම වැරදීමක් සිදුව ඇති බව අනාවරණය විය. නියෝජ්‍ය අමාත්‍යවරයා සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් බවට පවසා තිබුණද, සත්‍ය වශයෙන්ම රජය බලයට පත්වන විට සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක්ව තිබූ බව සාකච්ඡාවේදී නිවැරදි කරන ලදී. දැනට විදේශ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 කට ආසන්න බවද සඳහන් විය.

මෙම වැරදීම් සාධාරණීකරණය කරමින්, “ඕනෑම ප්‍රාඥයකු වුවත් එය කියන විට වරදින්න පුළුවන්” සහ “මිනිසුන්ගේ ස්වභාවය, ධාරිතාවය (capacity) වෙනස් විය හැකි” බවට අදහස් ඉදිරිපත් විය. තවද, සමහර මන්ත්‍රීවරුන්ට ආර්ථිකය පිළිබඳ සියලු කරුණු නොදැන සිටිය හැකි බවත්, ඔවුන්ට පැවරී ඇති රාජකාරී ඉටු කිරීම ප්‍රමාණවත් බවත් අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, කවිඳු කරුණාරත්න මහතා අවධාරණය කළේ, රටේ ජනතාවට හැමදාම වැරදි තොරතුරු සන්නිවේදනය කළ නොහැකි බවත්, රටේ ජනතාවත් සමඟ ඇත්ත සන්නිවේදනය කළ යුතු බවත්ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රටේ ආර්ථික වර්ධන වේගය සහ නිල සංචිත ප්‍රමාණය පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතු බවට ඔහු දැඩිව අවධාරණය කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *