හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති

හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති


හෙට (01) සිට ‘ඉඩම් සිතියම්’ ගෙදරටම ගෙන්වා ගත හැක – මැනුම්පති

(31.07.2025 – hirunews.lk)

එළඹෙන අගෝස්තු 01 සිට ඔන්ලයින් හරහා ගෙවීම් සිදුකර ‘ඉඩම් සිතියම්’ නිවසටම ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බව මැනුම්පති වයි. ජී ඥාණතිලක පවසනවා.

මැනුම්පතිවරයා මේ බව සඳහන් කළේ, ‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ’ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙතෙක් කාර්යාල හරහා මහජනතාව වෙත සිතියම් නිකුත් කිරීම සිදු කළ නමුත්, හෙට (01) සිට ඔන්ලයින් ක්‍රමය යටතේ සිතියම් ලබාගැනීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇති බවයි ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර මහජනතාවට ඉඩම් තොරතුරු පද්ධතියේ තිබෙන තොරතුරු අන්තර්ජලය හරහා දැක ගැනීමට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවත් මැනුම්පති වයි. ජී ඥාණතිලක සඳහන් කළා ෴


නුවර පෙරහරට ආ සහායක ඇත් ගොව්වෙකුගේ මළ සිරුරක් බෝගම්බර වැවේ පාවෙයි

(31.07.2025 – hirunews.lk)

මහනුවර පෙරහරට ඊයේ (30) රාත්‍රියේ එක් වූ හස්ති පාලක සහායකවරයෙකුගේ මළ සිරුරක් අද (31) උදෑසන නුවර වැවේ පාවෙමින් තිබියදී සොයා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා කතරගම දේවාලයේ පෙරහරට අරණායක ප්‍රදේශයේ සිට රැගෙන ආ අලියෙකුගේ ප්‍රධාන පාලකගේ සහායක වශයෙන් කටයුතු කළ අචලංක නැමැති 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ.

ඔහුගේ මරණය කුමන ආකාරයෙන් සිදු වූයේදැයි යන්න පිළිබඳ මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴


රත්නපුර සිර මැදිරියෙන් සැකකරුවෙකු පළායාමේ සිද්ධියට පොලිසියේ‍ දෙදෙනෙකුගේ (2) වැඩ තහනම්

(31.07.2025 – hirunews.lk)

අපරාධ නඩු කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් රැදවුම්භාරයෙන් පලායාම සිද්ධියට අදාළව රත්නපුර පොලිසියේ‍ නිලධාරින් දෙදෙනෙකුගේ (2) වැඩ තහනම් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රත්නපුර මුලස්ථාන පොලිසියට භාරදී තිබුණා.

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ඔහු රත්නපුර අංගම්මන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෙරේදා (29) රාත්‍රියේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඔහු පොලිසියෙන් පළාගොස් තිබුණා.

පළාගිය සැකකරුට මනුෂ්‍ය ඝාතන සිද්ධීන් දෙකක් සම්බන්ධ නඩු දෙකක් (2) සහ විවෘත වරෙන්තු දෙකක් (2) පවතින බවයි වාර්තා වන්නේ ෴


සමාජ මාධ්‍යය ඔස්සේ තරුණියන්ට සිදුවන අපහරණයක් ගැන හෙළිදරව්වක්

(31.07.2025 – hirunews.lk)

ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කාන්තාවන් සහ තරුණ තරුණියන්ගේ අසභ්‍ය ඡායාරූප අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ලද පැමිණිල්ලකට අනුවයි.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීනියක් වන ‘චාන්යා හේරත්’ කරුණු අනාවරණ කර තිබූ අතර එමගින් ඇය දක්වා තිබුණේ නැගණියගේ ඡායාරූප මුදලට අලෙවි කරන සහෝදරයෙකු පිළිබදවයි.

ටෙලිග්‍රෑම් ගිණුමක පුද්ගලයින්ට ඔහු විසින් මීට අදාළ අසභ්‍ය ඡායාරූප යොමුකර ‘ඊසී කෑෂ් ක්‍රමය’ ඔස්සේ මුදල් උපයා ඇති බවයි ඇය සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබුණේ.

මේ පිළිබදව සමාජ මාධ්‍ය තුළ මේ වනවිට දැඩි කතාබහක් පවතිනි අතර ඒ සම්බන්ධයෙන් තොරතුරුද හුවමාරුවෙමින් පවතිනවා.

එවන් පසුබිමක මෙම සිද්ධිය පිළිබදව විමර්ශනයක් ආරම්භ කළ බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය වන ප්‍රීති ඉනෝකා රණසිංහ’ කියා සිටියා ෴


මෙරට පිරිමින් අතර ‘පෙණහලු පිළිකා’ ඉහළ යෑමක්

(31.07.2025 – hirunews.lk)

මෙරට ‘පෙණහලු පිළිකා’වල වර්ධනයක් දක්නට ලැබෙන බව ‘වැලිසර ජාතික ළය රෝහලේ උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ’ පවසනවා.

ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඔහු කියා සිටියේ මෙරට පිරිමි පුද්ගලයන් තුළ පෙණහලු පිළිකාවල වර්ධනයක් දක්නට ලැබෙන බවයි ෴


සෞදියේ සැණකෙළි භූමියක බිහිසුණු අනතුරක්

(01.08.2025 – 08:55 +0530 – sinhala.adaderana.lk)

සෞදි අරාබියේ සැණකෙළි භූමියක විනෝදාස්වාදය සඳහා ඉදිකර තිබූ උපාංගයක් (Fairground ride) කඩාවැටී සිදු වූ බිහිසුණු අනතුරකින් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඉන් තිදෙනෙකුගේ (3) තත්ත්වය බරපතළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

ජෙඩා නගරයේ තායිෆ් හි අල්-හඩා ප්‍රදේශයේ විනෝද උද්‍යානයක මෙම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විනෝද උද්‍යානය ද වසා දැමීමට නියෝග කර තිබේ.

+++

+


Ella Weekend Express සුඛෝපභෝගී දුම්රිය සේවය අගෝස්තු 16 සිට

(01.08.2025 – hirunews.lk)

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 16 වන දින සිට ‘ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්’ (Ella Weekend Express) නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම නව සේවාව කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වීමට නියමිතයි.

විශේෂයෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉල්ලීම මත මෙම දුම්රිය සේවාව හඳුන්වා දී ඇති අතර, එහි අරමුණ වන්නේ සුන්දර කඳුකර ප්‍රදේශවලට සුවපහසු සහ දර්ශනීය සංචාරක අත්දැකීමක් ලබාදීමයි.

ආසන 350 කින් සමන්විත මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අලුයම 05:30 ට කොළඹ කොටුවෙන් පිටත් වී, එදිනම පස්වරුව වන විට බදුල්ලට ළඟා වීමට නියමිතයි.

නැවත කොළඹ බලා පැමිණීම සඳහා මෙම දුම්රිය සෑම ඉරිදා දිනකම රාත්‍රී 09:00 ට බදුල්ලෙන් පිටත් වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ෴


මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්

(01.08.2025 – hirunews.lk)

මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ඇසල පෙරහරේ රන්දෝලි පෙරහර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කරනු ඇති.

එහිදී පෙරවරු 08:55 ට කොළඹ කොටුව සිට මහනුවර දක්වාත්, රාත්‍රී 11:30 ට මහනුවර සිට කොළඹ දක්වාත්, රාත්‍රී 11:45 ට මහනුවර සිට පොල්ගහවෙල දක්වාත් විශේෂ දුම්රිය ධාවනයට එක්කිරීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව පස්වරු 03:30 ට මාතලේ සිට මහනුවර දක්වාත්, රාත්‍රී 11:35 ට මහනුවර සිට මාතලේ දක්වාත්, පස්වරු 01:55 ට නාවලපිටියේ සිට මහනුවර දක්වා සහ රාත්‍රී 11:55 ට මහනුවර සිට නාවලපිටිය දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴


Secret Language of Animals – Afterlife, Reincarnation, Telepathy | Sumathi Neelamegham on Sacred Pod (03.01.2025)

+


සීල් කරලා අධිකරණයට දෙන්නම්.. රටට කියන්න ඉන්දියාව කැමති නෑ.. – ඉන්දීය ආරක්ෂක ගිවිසුම ගැන රජය අධිකරණයට දන්වලා..

(01.08.2025 – 14:10 +0530 – lankacnews.com)

පසුගිය අප්‍රේල් 05 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම මහජනතාවට හෙළිකළ නොහැකි බව ආණ්ඩුව නිලවශයෙන් දැනුම් දී ඇති බව සිවිල් සමාජ ක්‍රියාධරයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

ඔහු සඳහන් කරන්නේ මේ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තාකර ඇති බවයි.

ගිවිසුම් ගත තොරතුරු හෙළිදරව් කිරීමට ඉන්දියාව අකමැති බැවින් අදාළ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට නොහැකි බැවින් ගරු අධිකරණයට එම තොරතුරු ලියුම්කවරයක බහා මුද්‍රා තබා භාර දිය හැකි බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇතැයි ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක් වෙමිනි.

මෙය රටේ සවෛරිභාවය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් මෙරට අධිකරණය පවා ඉන්දියාව හමුවේ දණගස්වා පුරවැසියන්ගේ මුලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කර ඇති බවද ඔහු මෙහිදී පවසා තිබේ.

+


BYD කතාව විසදන්නේ කොහොමද? (31.07.2025)

+


දුම්රියක තිබී බිළිඳකුගේ මළ සිරුරක් හමු වෙයි

(01.08.2025 – hirunews.lk)

පුත්තලම සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක තිබී දින කිහිපයක් වයසැති බිලිඳකුගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

එමෙන්ම, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිසිය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබූ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අද (01) පෙරවරු 10:46 ට පුත්තලම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක් පිරිසුදු කිරීම සඳහා මාලිගාවත්ත දුම්රිය අංගනයට ඇතුළත් කළ අවස්ථාවේදී, දුම්රිය දෙපාර්තමේන්තුවේ පිරිසුදු කිරීමේ සේවකයෙකු විසින් වැසිකිළියක දමා තිබූ කළු බෑගයක තිබී මෙම බිළිඳාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

පසුව එම සේවකයා විසින් මේ පිළිබඳව දෙමටගොඩ පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දෙමටගොඩ පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දිසානායක මහතා විසින් බිළිඳාගේ මරණයට හේතුව නිශ්චය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි එහිදී නියෝග කර ඇත්තේ.

+


ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් අගෝ. 06 මධ්‍යම රාත්‍රියේ සිට උපකාරක පන්ති තහනම්

(01.08.2025 – hirunews.lk)

අගෝස්තු 10 පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාල උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු අගෝස්තු 06 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය නිම වනතුරු විභාගයට අදාල උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු සියල්ල තහනම් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් ෴


අධිකරණ නියෝග මත විනාශ කිරීමට ගෙනා විදෙස් මත්පැන් බෝතල්වල පල් වතුර හා තේ කහට

(01.08.2025 – hirunews.lk)

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81 ක් සහ බියර් බෝතල් 150 ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමටයි නියෝග කළේ.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාල මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය පෙබරවාරි 17 දින නියෝග කර තිබුණා.

මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කර තිබුණා.

මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

ඒ අනුව අදාල බෝතල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *