රෝහිතගේ හා ජගත්ගේ දරුවන් සම්බන්ධ වාහනයේ පැටිකිරිය එළියට; එංගලන්තයෙන් ගෙනා ජීප් රිය සොයා විමර්ශන ඇරඹේ

රෝහිතගේ හා ජගත්ගේ දරුවන් සම්බන්ධ වාහනයේ පැටිකිරිය එළියට; එංගලන්තයෙන් ගෙනා ජීප් රිය සොයා විමර්ශන ඇරඹේ


රෝහිතගේ හා ජගත්ගේ දරුවන් සම්බන්ධ වාහනයේ පැටිකිරිය එළියට; එංගලන්තයෙන් ගෙනා ජීප් රිය සොයා විමර්ශන ඇරඹේ

(31.07.2025 – hirunews.lk)

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ගේ දියණියත් බෑණාත්, ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුත්‍රයාත් අත්අඩංගුවට ගැනීමට මුල්වූ කොටස් එකලස් කළ බව කියැවෙන ජිප් රථය එංගලන්තයේ සිට මෙරටට නීත්‍යානුකූලව ගෙන්වන ලද ජිප් රථයක ලියාපදිංචි තොරතුරු ඇතුලත්කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

සැබෑ ජිප් රථයේ වර්ණය හැඩය මෙන්ම වර්ගයට මෙම ජිප් රථය සැසඳෙන්නේ නැති බවද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැබෑ ජිප් රථය එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයෙක් විසින් කලකට පෙර මෙරටට ඔහු පැමිණෙන විට රැගෙන ආ එකකි.

ඒ නිසි ක්‍රමවේදයට අනුව මෙරටට ඔහු රැගෙන විත් මෙරට රැදී සිටින මාස 06 ක කාලය තුළ පරිහරණය කර නැවත එංගලන්තයට යන විට රැගෙන යාමේ අපේක්ෂාවෙනි.

ජිප් රථය ඔහු මෙරට දී භාවිතා කර ඇත්තේද එංගලන්තයේ ලියාපදිංචි අංකයෙනි.

මාස 06 ක කාලයක් ඔහු මෙරට රැදී සිටීමට අපේක්ෂා කලද මාස 05 කින් පමණ නැවත එංගලන්තය බලා ගොස් තිබෙනවා.

ඒ ජිප් රථය සිය මිතුරෙකුට භාරදෙමින්.

මාස 06 ගෙවී යන විට ශ්‍රී ලංකා රේගුවෙන් ඔහුට දැනුම්දීමක් ලැබී ඇත්තේ නියමිත කාලය ඉක්මවා ඇති බැවින් ජිප් රථය මෙරටින් රැගෙන යන ලෙසත් එසේ නොවන්නේ නම් රේගු බදු ගෙවා නිදහස් කර ගන්නා ලෙසයි.

එංගලන්තයට රථය රැගෙන යනවා වෙනුවට රුපියල් ලක්ෂ 21 ක රේගු බදු මුදලක් ගෙවා එම රථය තබා ගැනීමට මිතුරා කටයුතු කර තිබෙනවා.

මෙම රථය පසුව එම මුල් ලියාපදිංචි හිමිකරු විසින් විකුණා ඇති අතර, එම රථය රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ බෑණාගේ ගේ නමින් ලියාපදිංචි වී ඇත්තේ 07 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙසින් බව ‘වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය’ සඳහන් කරනවා.

අනතුරුව මෙම ජිප් රථය රෝහිත අබේගුණවර්ධනගේ දියණියගේ නමට ලියාපදිංචි වී ඇති අතර, සැමියාගේ නමින් තිබුණු මෙම ජිප් රථය බිරිඳගේ නමට 08 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙස ලියාපදිංචී තිබීම ද සැකයට තුඩුදී තිබෙනවා.

ජගත් විතාන මන්ත්‍රීවරයා විසින් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දියණියගෙන් වන අතර, ඒ 09 වෙනි ලියාපදිංචි හිමිකරු ලෙසින්.

විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එංගලන්තයෙන් මෙරටට රැගෙන ආ ජිප් රථය අතුරුදන්ව එම රථයේ චැසි, එංජින් අංක මෙන්ම ලියාපදිංචි අංකයෙන් වෙනස්ම ආකාරයේ ජිප් රථයක් එලියට එන්නේ 07 වෙනි ලියාපදිංචි හිමිකරු අතට රථය පත්වීමෙන් අනතුරුව බවයි.

වලානේ පොලිස් කණ්ඩායම දැන් සොයන්නේ එංගලන්තයෙන් රැගෙන ආ ජිප් රථයට කුමක් සිදුවීදැයි කියාය.

එම රථය කොටස් කර අලෙවිකර තිබේද? නැතිනම් වෙනත් වාහනයක අංකයකින් එය ධාවනය වන්නේද? යන්න ගැන ඇත්තේ තවමත් සැකයන්ය ෴


හසලක OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

(31.07.2025 – hirunews.lk)

2019 වසරේ ‘ධර්ම චක්‍රයක්’ සහිත ඇඳුමක් පැළඳ සිටියේ යැයි කාන්තාවක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

මෙසේ අත්අඩංගුවට පත් කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘අබ්දුල් රහිම් මසාහිමා’ නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලිසියේ එවක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ‘චන්දන නිශාන්ත’ විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 30,000 ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියම කළා.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් නියෝගයේ සඳහන් වුණා.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව පොලිසි වලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කළා.

පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවා මාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව ‘ධර්ම චක්‍රයක්’ සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තද පසුව එය නැවක ‘සුක්කානමක්’ බවට කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

ඒ අනුව ඇය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් නීතිඥවරයා තර්ක කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබා දුන්නා.

2019 වසරේ මැයි මස 17 වැනිදා හසලක පොලිස් වසම තුළදී ‘ධර්ම චක්‍රය’ සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලිසිය විසින් කටයුතු කර තිබුණා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


පසුපස අසුනේ ආසන පටි නොපැළඳ අධිවේගී මාර්ගවල ගමන් කිරීම හෙට (01) සිට තහනම්

(31.07.2025 – hirunews.lk)

හෙට (01) සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, එය දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනු ඇති.

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.


මගීන්ට සිහි නැතිකර රන්භාණ්ඩ කොල්ලකෑ ත්‍රිරෝද රථ රියදුරෙකු අත්අඩංගුවට

(31.07.2025 – hirunews.lk)

සිය ත්‍රීරෝද රථයට කූලී ගමන් යාම සඳහා ගොඩවන පුද්ගලයින්ට අතරමඟදී සිහි නැතිවන පානයක් උපක්‍රමකව බීමට ලබාදී රන් භාණ්ඩ සොරකම් කළ ත්‍රී රෝද රථ රියදුරෙකු පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙතෙක් ලද පැමිණිලි අනුව සැකකරු එලෙස මගීන් දෙදෙනෙකු (2) රවටා රුපියල් ලක්ෂ 25 ක පමණ වටිනාකමින් යුත් රන් භාණ්ඩ සොරාගෙන ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

පෙති සහ කුඩු විශේෂයක් මගින් පානයක් සකස්කර ත්‍රී රෝද රථයේ තබාගෙන නිසි අවස්ථාවක් බලා පානය මගීන්ට පානය කිරීමට දී ඔහු මෙම සොරකම් සිදුකර තිබුණා.

සැකකරු ලඟ තිබී සොරකම් කරන ලද රන් භාණ්ඩ සහ රන් භාණ්ඩ උකස්කර ලබාගත් උකස් පත්‍රිකාද පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා ෴


විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1,994 ක් යළි වින්දිතයින්ට

(31.07.2025 – hirunews.lk)

2025 ජනවාරි සිට ජූලි දක්වා වූ මාස හතක (7) කාලය තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයන් සහ බලපත්‍ර රහිත රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව නඩු පවරා, වින්දිතයන්ට රුපියල් ලක්ෂ 1,994 කට අධික මුදලක් යළි අයකර දීමට ‘ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ කටයුතු කර තිබෙනවා.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතිඥ නෙළුම් සමරසේකරගේ උපදෙස් මත සිදුකළ විශේෂ වැටලීම් සහ කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර ඇති බවයි එම කාර්‍යාංශය සඳහන් කළේ.

පසුගිය මාස හත (7) තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු 567 ක් ගොනු කර ඇති අතර, එම කාලය තුළ පැමිණිලි 2620 ක් කාර්යාංශයට ලැබී තිබෙනවා.

මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් වැටලීම් 05 ක් සිදුකර ඇති අතර, ඊට නීති විරෝධී ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද ඇතුළත්.

වංචනිකයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතරට බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයන් 07 ක් ද අයත්.

එමෙන්ම, 2024 වසරේදී රුපියල් ලක්ෂ 1825 කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයන්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්ව ඇති අතර, පසුගිය 2024 වසරේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658 ක් කාර්යාංශය වෙත ලැබී ඇති බවයි එම කාර්‍යාංශය සඳහන් කළේ ෴


රුපියල් ලක්ෂ 216 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

(31.07.2025 – hirunews.lk)

යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී.

යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද (31) අළුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 108 ක ප්‍රමාණයක් (පාර්සල් 54), අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය විසින් සිදුකරනු ලබනවා ෴


නවක අපරාධකරුවන්ගේ වර්ධනයක්

(31.07.2025 – hirunews.lk)

අපරාධ සම්බන්ධයෙන් සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වූ කරුණු මත මාසිකව පුද්ගලයින් හතළිහත් පනහත් (40-50) අතර ප්‍රමාණයක් නවක අපරාධකරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ලෙස බන්ධනාගාර ගත වෙන බවට අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥ ඩී.එම්.එස්. ධම්මික බණ්ඩාර පවසනවා.

ඒ අනුව මාසිකව රටේ ආර්ථිකයට බලපාන ශ්‍රම දායකත්ව හතළිස් දහසක් (40,000) පමණ අහිමිවන බවයි ඔහු සඳහන් කළේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම පැවසුවේ, මේවන විට සිටින නිල අපරාධ කරුවන්ගේ සංඛ්‍යා ලේඛන අනුව එම එක් අපරාධකරුවකුගේ ක්‍රියාකාරකම් අධ්‍යයනය සඳහා නිලධාරීන් හතළිස් හත් දෙනකුගේ (47) දායකත්වය අවශ්‍යවන බවයි.

එමෙන්ම එලෙස බන්ධනාගාරගතවන පුද්ගලයින් නිසාවෙන් ඔවුන්ගේ පවුල්වල සිටින බිරිඳ හෝ කාන්තාව මුදල් අඟහිකකම මත නීති විරෝධී කටයුතු හෝ වෙනත් මුදල් ඉපයීමේ මාර්ගවලට යොමු වීමෙන් එම පවුල් ද තව තවත් රජයට බරක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


රෝහලේ සිටි ඥාතියා බලන්න ගිය ජෝඩුව අනතුරේ; බිරිඳ ජීවිතක්ෂයට, සැමියාට බරපතලයි

(31.07.2025 – hirunews.lk)

මරදානේ සිට නාවලපිටිය දක්වා අඹුසැමි යුවලක් ගමන්ගත් යතුරුපැදියක් අද (31) උදෑසන, අනතුරට පත් වීමෙන් බිරිඳ එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වී යතුරු පැදිය ධාවනය කල සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරා ස්නයි නැමති (44) හැවිරිදි දෙදරු මවක්.

ඒ, අඹු සැමි යුවළ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදීයි.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ඉස්සරකර යෑමට තැත් කිරිමේදි මෙලෙස යතුරුපැදිය ලිස්සා ගොස් තිබෙනවා.

එහිදි යතුරුපැදියේ පසුපස ගමන් ගත් බිරිද ලොරි රථයේ පසුපස රෝදයට යට වී එම ස්ථානයේම ජීවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතු වී ඇති බවත්, ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිස් ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *