යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්

යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්


යටිනුවර ප්‍රා.ස. මන්ත්‍රී, බිරිඳ සහ දියණියගේ මරණ ගැන තොරතුරු රැසක්

(29.07.2025 – 19:24 +0530 – sinhala.adaderana.lk)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ දෙමහල් නිවස තුළ තිබී අද උදෑසන මෙම මළසිරුරු සොයාගෙන තිබිණි.

මන්ත්‍රීවරයා නිවසේ පිටුපස පිහිටි තාවකාලිකව ඉදිකර ඇති ස්ථානයක ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගෙන සිටි අතර ඔහුගේ බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ ඉහළ සහ පහළ මහලේ කාමර දෙකක් තුළ තිබී පොලීසිය විසින් සොයාගෙන ගත්තේය.

කෙසේවෙතත් බිරිඳ සහ දියණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය සැකකරනු ලබන්නේ බිරිඳට සහ දියණියට නින්දයාම සදහා පසුදින රාත්‍රියේ යම් පෙතිවර්ගයක් ලබා දීමෙන් අනතුරුව අදාළ මන්ත්‍රීවරයා විසින් ඔවුන්ගේ ගෙල සිරකර ඝාතනය කරන්නට ඇති බවය.

මන්ත්‍රීවරයාගේ බාල දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර ඇය පෙරදින අධ්‍යාපන චාරිකාවක් ගොස් මධ්‍යම රාත්‍රීය පසුවී නිවසට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

එම දැරිය පොලීසියට පවසා ඇත්තේ පියා තමන්ටත් යම් පෙති වර්ගයක් පානය කිරීමට ලබාදුන් බවය.

අලුයම් කාලයේ තම ගෙල සිරවන බවක් දැනීමෙන් අවදි වූ තමාට, වයරක් අතැතිව සිටින පියා දැකගැනීමට හැකිවූ බවත් ඒ අවස්ථාවේ පියා තමාව බදාගනිමින් හැඩූ බවත් බාල දියණිය පොලිසිය හමුවේ පවසා තිබේ.

ඉන්පසු පියා නාන කාමරයට යන බව පවසා පිටව ගොස් ඇති අතර මදවේලාවකට පසු ගෙරවිලි ශබ්දයක් තමාට ඇසුණු බවත් , එහි ගොස් බැලීමේදී පියා එල්ලී සිටින ආකාරය දැකගන්නට ලැබුණු බවත් දැරිය පවසා ඇත.

එමෙන්ම සිදු කළ වැඩිදුර විමර්ශන වලදී මියගිය චම්පික නිලන්ත මන්ත්‍රීවරයා විසින් ලියන ලද බව කියන පිටු 4ක ලියුමක්ද මෙහිදී විමර්ශන නිලධාරීන්ට හමුව තිබේ.‍

උපුටා ගැනීම

“විජේසිංහ උඹට ශාප වේවා.. මට මරණ තර්ජනය කරලා ගේ විකුණන්න බැරිනම් උඹව මරනවා කියලා හැම වෙලාවේම තර්ජනය කරනවා. දුවගේ ස්කෝලේ ළඟට ඇවිත් දවසක් දුව ළඟ ඉන්නකොට කොලරයෙන් අල්ලා ගෙදර ඇවිල්ලා අත්සන් කරන්න කියනවා. මට අත්සන් කරන්න බෑ කිව්වාම යකඩෙකින් ඔළුවට ගැහුවා. තවමත් නළලට උඩින් ඒ කැළල තියෙනවා.”

උපුටා ගැනීම අවසන්

මරණ සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (29) පෙරවරුවේ මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබුණි.

අනතුරුව මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පේරාදෙණිය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+++

පොලී මුදලාලිලයි පොලීසියයි එකතුවෙලා – චම්පිකට මෙහෙම වුණේ ඒ නිසා – කිරිඇල්ලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (30.07.2025)

+++

යටිනුවර මන්ත්‍රීගේ අවසන් ලිපියෙන් වෙන්න යන දේ මෙන්න (29.07.2025)

+++

යටිනුවර මන්ත්‍රී පවුලේ මරණ ගැන විවෘත තීන්දුවක්

(30.07.2025 – hirunews.lk)

යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි චම්පික නිලන්තගේ සියදිවි නසා ගැනීම සහ බිරිදගේ මෙන්ම වැඩිමහල් දියණියගේ මරණ සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇති අතර, එහිදී විවෘත තීන්දුවක් ලබාදුන්නා.

මේ අතර, සියදිවි හානිකරගැනීමට පෙර ඔහු විසින් ලියා තිබූ ලිපිය සම්බන්ධයෙන් ද වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

එම ලිපියෙහි සඳහන් කර ඇති ව්‍යාපාරිකයා සහ මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියාගෙන්ද ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ජීවිතක්ෂයට පත් වූ චම්පික නිලන්තගේ, ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ මෘතදේහ මේ වන විට ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබුණේ මන්ත්‍රීවරයා බිරිඳට සහ වැඩිමහල් දියණියට නිදි පෙති පානය කිරීමට සලස්වා පසුව ඔවුන්ගේ ගෙළ සිරකර මරණයට පත්කර ඇති බවටයි.

ඔහුගේ 13 හැවිරිදි දියණිය අදාළ සිද්ධිය වන දිනයේ පාසල් චාරිකාවට සහභාගී වී සිටි අතර, අලු‍යම 01:30 ට පමණ මන්ත්‍රිවරයා විසින්ම සිය දියණිය ත්‍රිරෝද රථයකින් නිවසට රැගෙනවිත් තිබුණා.

නවතම විමර්ශන අනුව ඔහු බාල දියණියටද නිදි පෙත්තක් කිරිවලට දමා පානය කිරීමට ලබාදී තිබෙනවා.

පොලිසිය සැක කරන්නේ යම් හේතුවක් මත එහි ක්‍රියාකාරිත්වය අවමවීමෙන් දැරියට නින්ද නොගොස් ඇති බවයි.

ඒ අතරතුර මන්ත්‍රිවරයා විසින් අවස්ථා දෙකකදී (2) ඇයගේ ද ගෙල සිරකර ඝාතනය කිරීමට උත්සහ කර තිබෙනවා.

එහෙත් එම අවස්ථා දෙකෙහිම (2) අඩ නින්දේ සිටි දියණිය අවදිවීම නිසා ඇය මන්ත්‍රීවරයා විසින්ම නිදි කරවා ඔහු සියදිවි හානිකරගෙන තිබෙනවා.

ඊට මොහොතකට පෙර ඔහු බාල දියණිය සමග වැලඳගෙන මහ හඩින් හැඩූ බවටයි ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, සියදිවි හානිකර ගැනීමට පෙර ප්‍රාදේශීය සභා මන්ත්‍රි චම්පික නිලන්ත විසින් ලියන ලද බවට සැකකෙරෙන ලිපියක් සම්බන්ධයෙන්ද පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එම ලිපියේ ‘විජේසිංහ’ නමැත්තෙකු සහ ‘මහනුවර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු’ සම්බන්ධයෙන් ද සඳහන් කර තිබුණා.

ඒ අනුව ගම්පොල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මේ වනවිට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි ෴

+++

යටිනුවර විපක්ෂ නායකගේ ලිපිය ඔස්සේ මහනුවර පොලිස් ප්‍රධානීන් ගැන විමර්ශන; රු. ලක්ෂ 50 ක ණයක් අරගෙනත් නෑ!

(30.07.2025 – hirunews.lk)

බිරිඳත් වැඩිමහල් දියණියත් ඝාතනය කර සියදිවි හානිකරගත් සමගි ජන බලවේගයේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මෙම අපරාධය සිදුකිරීමට මුල ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 50 ක ණය මුදලක් හේතුවෙන් නොවන බවත් ඔහු විසින් එසේ ව්‍යාපාරිකයාගෙන් ණය මුදලක් ලබාගෙන නොමැති බවත් මූලික විමර්ශන වලින් තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම කරුණු හෙළිවී ඇත්තේ ඔහු බිරිඳ සහ දියණිය ඝාතනය කිරීමෙන් පසු සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් කරුණු ඇතුලත්ව පිටු 04 ක ලිපිය ඔස්සේ කරනු ලබන විමර්ශන ඔස්සේයි.

මධ්‍යම පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයැවීමෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන්නේ ගම්පොල කොට්ඨාශයභාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය. ඔහු යටතේ ක්‍රියාත්මක විමර්ශකයින් මහනුවර පොලිස් ප්‍රධානියෙකුගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා. ඊට මුල්වී ඇත්තේ ව්‍යාපාරිකයා සහ එම පොලිස් ප්‍රධානියා අතර ඇති සම්බන්ධය ගැන මෙන්ම සියදිවි හානිකරගත් චම්පිකගෙන් එම පොලිස් ප්‍රධානියාට ලබාදීමට යැයි සඳහන් කරමින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ලබාගැනීමක් ගැන ද මෙහිදී විමර්ශනයට ලක් වෙනවා. එසේම අදාල ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලක් මුල්කරගෙන මහනුවර පොලිස් ලොක්කන්ගෙන් චම්පික නිලන්තට එල්ලවූ විවිධ පීඩන සහ තර්ජනය කිරීම් ගැන ද විමර්ශන බවත්වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

චම්පික නිලන්ත ට ස්ථිර රැකියාවක් තිබී නැත. ඔහු කර ඇත්තේ බ්‍රෝකර් රැකියාවය. එහිදී ඔහු ව්‍යාපාරිකයාට ඉඩමක් අලෙවි කිරීමට බ්‍රෝකර් කටයුත්තක් කර ඇත. එම ඉඩම ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 3 කට පමණය. ඊට මාස කිහිපයකට පසු එම ඉඩම රුපියල් කෝටි තුනහමාරකට (3½) අලෙවිකර දෙන ලෙස ව්‍යාපාරිකයා චම්පිකගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් එම ඉඩමේ සැළසුම අනුමත කර නොතිබීම හේතුවෙන් ඉඩම එම මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව සඳහන්.

එහිදී මෙම ව්‍යාපාරිකයා චමිපික බිය ගන්වා ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටි වකවානුවේ දී එම ඉඩමේ සැලසුම අනුමත කළ ආකාරයට ව්‍යාජ අනුමැතියක් චමිපිකගේ අත්සනින් සකස්කර ඇති බව ට තොරතුරක් ගැනද පරීක්ෂණ පවත්වන බව මහනුවර පොලිස් ප්‍රධානියෙක් සඳහන් කළේ.

පසුව මෙම ව්‍යාපාරිකයා චමිකට එරෙහිව ඉඩමකට ව්‍යාජ සැළසුමක් සකස්කල බවට පැමිණිල්ලක් දමා ඇති බවත් ව්‍යාපාරිකයාට හිතවත් පොලිස් ප්‍රධානීන් කිහිප දෙදෙනෙක් ඒ පිටුපස සිටින්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මෙම පැමිණිල්ල මුල්කරගෙන චම්පිකට පොලිසියෙන් මෙන්ම ව්‍යාපාරිකයාගෙන්ද තර්ජන බිය ගැන්වීම් පහරදීම් සිදුව ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර අවසානයේදී චම්පික සතු වාහනයත් ව්‍යාපාරිකයා විසින් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ ෴


බොරැල්ල අනතුරට හේතුව අනාවරණය වෙයි

(29.07.2025 – hirunews.lk)

බොරැල්ල කනත්ත අසලදී ඊයේ (28) සිදුවූ මාරක රිය අනතුර සිද්ධියට සම්බන්ධ දොඹකර රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බව දැන දැනම රියැදුරු එය ධාවනය කර ඇති බව බොරැල්ල පොලිසිය අදත් අධිකරණයට දැනුම් දුන්නා.

එසේම, අනතුර සිදුවීමට පෙර රථය වම් පැත්තට හරවා කනත්ත තුළට රැගෙන ගියා නම් එම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකිව තිබූ බවත් පොලිසිය අද (29) අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකර රථයේ රියදුරු ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.

එසේම එම දොඹකරයේ හිමිකරු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අධිකරණය නියම කරනු ලැබුවා.

මෙම මාරක රිය අනතුර හේතුවෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් 7 දෙනකු බරපතල තුවාල ලබා තිබෙන බව ද පොලිසිය අධිකරණයට සඳහන් කළා.

ඊට අමතරව යතුරු පැදි 06 කට සහ මෝටර් රථ දෙකකට (02) හානි සිදුවූ බවද එහිදී දැනුම් දුන්නා.

තුවාල ලබා සිටින පිරිස් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු (02) හා අල්ලස් කොමිසමට අනුයුක්ත පොලීස් නිලධාරියකු (01) ද සිටිනවා.

මෙම රථය පැදවූ රියදුරු ‘ගංජා මත්ද්‍රව්‍ය’ පානය කර ඇති බවට කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරියා ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව පවතින බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මෙම රථයේ ඇන්ජිම පණ ගන්වන ස්විචය පමණක් ක්‍රියාත්මකව පැවැති බවත් ඇන්ජිම අක්‍රීය කරන ස්විචය ක්‍රියාත්මක නොවූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අධික ලෙස රත්වීම නිසා තිරිංග ක්‍රියා විරහිත තත්ත්වයට පත්වන බව දැන දැනම මෙම රියැදුරු අදාළ රථය මාර්ගයේ ධාවනය කර ඇති බවත්, මීටර් 200 ක පමණ දුරක් තිරිංග ක්‍රියාකාරිත්වයකින් තොරව ධාවනය වී ඇති බව විමර්ශනවලින් අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම රථය රජයේ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පරීක්ෂාවට ලක් කළ අතර එහි ‘අත් තිරිංග’ අක්‍රිය තත්ත්වයක පවතින බවට හෙළි වී ඇති අතර තිරිංගවල තෙල් පවා නොතිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

එසේම මෙම රථයේ හිමිකරු ද අදාළ වාහනය නිසි පරිදි නඩත්තු කර නොමැති බව අනාවරණය වී ඇති බවයි පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

මෝටර් රථ වාහන පනතේ 169 වන වගන්තියට අනුව මෙවැනි වාහනයක් ධාවනය කරන රියදුරකු පැය 8 ත් 12 ත් අතර කාලයක් එම ධාවනයේ යෙදෙන්නේ නම් ඊට පෙර පැය 10 ක විවේකයක් ලබාදිය යුතු බව සඳහන්ව තිබුණත් අදාළ රථයේ හිමිකරු විසින් රියදුරුට එවැනි විවේකයක් ලබාදී නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණ වී ඇතැයි සඳහන්.

එසේම මෙම රථය ධාවනය කරන අවස්ථාවේ ඔහු දැඩි තෙහෙට්ටුවකින් හා මානසික අයෝග්‍යතාවයකින් පෙළුනු බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම රථයට අංක තහඩුවක් පවා නොතිබූ අතර එහි අංකය කඩදාසියක ලියා සවිකර තිබූ බවත් ඒ සම්බන්ධයෙනුත් වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකාර රියැදුරු කඩුවෙල දෙස සිට කිලෝමීටර් දහයක් (10) පමණ කිසිදු ආබාධයකින් තොරව මෙම රථය ධාවනය කර ඇති බව ප්‍රකාශ කළා.

හදිසියේ තිරිංග අක්‍රියවීම ඔහුගේ පාලනයෙන් තොර කටයුත්තක් බවත් ඔහුට මෙවැනි වාහනයක් පැදවීමට අවශ්‍ය කරන යෝග්‍යතා සහතික පවතින බව සඳහන් කළ එම නීතිඥවරයා අදාල ලේඛනයද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එසේම අදාල රථය පැදවූ අවස්ථාවේදී සැකකරු ගංජා පානය කර සිටි බවට පොලිසිය ප්‍රකාශ කළත් එවැනි ද්‍රව්‍යයක් ඔහු විසින් පානය කර තිබෙන්නේ දින හතරකට (04) කලින් බවත් නීතිඥවරයා ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ වාහනය පදවන අවස්ථාවේ ඔහු කිසිදු මත්ද්‍රව්‍යක් පානය කර නොසිටි බවයි නීතිඥවරයා කියා සිටියේ.

ඔහු තමන්ට හැකි ආකාරයට හානිය අවම කර ගැනීමට උත්සාහ කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙම රථයේ හිමිකරුට එම රථයට අදාළව යෝග්‍යතා සහතිකයක් තිබෙන බවත් එම රථය භාවිත කිරීමට සුදුසු මට්ටමක පවතින බව එම වාර්තාව තුළින් දක්වා තිබෙන බවත් නීතිඥවරයා සදහන් කළා.

මෙය චේතනාන්විතව සිදුකළ අපරාධක ක්‍රියාවක් නොවන බව පවසා ඇති විත්තියේ නීතිඥවරයා තම සේවා දායකයින් දෙදෙනා (02) ඈපමත මුදාහරින ලෙසයි අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

තම සේවාදායකයින් විසින් මියගිය පුද්ගලයා වෙනුවෙන් සානුකම්පිත දීමනාවක් ගෙවීමට සූදානම් බවත් ඔහු අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර රියදුරු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා.

කෙසේ වෙතත් අදාළ රථයේ හිමිකරු ඇපමත මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

සිද්ධියෙන් තුවාල ලැබූ හත්දෙනා (07) තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා ෴


හරිනි මෙනවියගේ සාකච්ඡාවෙන් ආචාර්යවරු කුපිත වෙයි | මාරම බැනිල්ලක් බනින්නේ | ඇතුලේ වුණු දේවල් එළියට (30.07.2025)

+++

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *