‘ප්‍රේමකීර්ති ද අල්විස්’ මහතාගේ භාර්යාවවන ‘නිර්මලා ද අල්විස්’ මහත්මිය මිය යයි

‘ප්‍රේමකීර්ති ද අල්විස්’ මහතාගේ භාර්යාවවන ‘නිර්මලා ද අල්විස්’ මහත්මිය මිය යයි


‘ප්‍රේමකීර්ති ද අල්විස්’ මහතාගේ භාර්යාවවන ‘නිර්මලා ද අල්විස්’ මහත්මිය මිය යයි

(23.07.2025 – gossiplankanews.com)

නැසීගිය ප්‍රවීණ මාධ්‍යවේදී හා ගීත රචක ‘ප්‍රේමකීර්ති ද අල්විස්’ මහතාගේ භාර්යාවවන ‘නිර්මලා ද අල්විස්’ මහත්මිය 70 වන වියෙහිදී අභාවප්‍රාප්තවී තිබේ.

‘නිර්මලා ද අල්විස්’ මහත්මියගේ අභාවය පිළිබඳව, ඇගේ පුත් ‘පූර්ණ සම්පත් ප්‍රේමකීර්තී ද අල්විස්’ මහතා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබු අතර මවගේ දේහය, අද (23) පෙරවරුවේ සිට හෙට (24) සවස 05:00 දක්වා ‘පේරාදෙණිය ෆොන්සේකා මල්ශාලාවේ’ තැන්පත් කෙරෙන බව දන්වා ඇත.

ඇය ‘ප්‍රේමකීර්ති’ නමින් ග්‍රන්ථයක් මෙන්ම ඇගේ ගීත ගණනාවක් රචනා කර ඇති ශිල්පිණියකි.

ඇය ගැන වැඩිපුරම කථාබහට ලක්වූයේ ‘ප්‍රේමකීර්ති ඝාතනය’ සම්බන්ධය ඇය ඉල්ලා සිටි සාධාරණ පරීක්ෂණය නිසාය.

1989 භීෂණ සමයේ ඝාතනයට ලක්වූ ‘ප්‍රේමකීර්ති ද අල්විස් මහතා එසේ ඝාතනය කළේ ඔහුට ගුවන්විදුලියේ අභ්‍යන්තරයේ පැවති තනතුරු ගැටලුවක් මත පුද්ගලික පලිගැනීමක් ලෙස බවට ඇය තර්ක කළ අතර ඒ වෙනුවෙන් ‘හඩ්සන් සමරසිංහ’ හිටපු සභාපතිවරයා සමග නීතිමය ගැටලු වලටද ඇය මුහුණ දුන්නාය ෴

+++

+


පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

(23.07.2025 – hirunews.lk)

හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ‘ටිඑම්විපී පක්ෂයේ’ නායක ‘සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්’ නොහොත් ‘පිල්ලෙයාන්’ විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (23) තීරණය කළා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) (නීතිය ඉදිරියේ අසමානව සැලකීම), 12(2) (දේශපාලන මතය අනුව වෙනස්කම් සිදුකිරීම), 13(1) (හේතු නොදක්වා අත්අඩංගුවට ගැනීම) සහ 13(2) (නීතියේ ක්‍රියා පටිපාටියෙන් බැහැරව අත්අඩංගුවට ගැනීම) යන වගන්ති යටතේ නඩුව විභාග කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.

පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සමග නීතිඥ උදය ගම්මන්පිල පෙනී සිටියා ෴


මහනුවර විදුහල්පතිනියන් දෙන්නෙකු (2) ගැන අල්ලස් පරීක්ෂණ

(23.07.2025 – gossiplankanews.com)

මහනුවර පිහිටි ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාල දෙකක විදුහල්පතිනියන් දෙදෙනෙකුට (2) එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම එක් විදුහල්පතිනියකට අදාළ විමර්ශනයේ වත්මන් තත්ත්වය පිළිබඳව, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කරුණු විමසීමක් සිදුවිය. එහිදී ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරන ලදී.

ඊට පිළිතුරු ලබාදුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණයට අදාළ වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි. අදාළ විදුහල්පතිනියට විරුද්ධව දෙමාපියන්ගෙන් මෙන්ම ආදි ශිෂ්‍යාවන්ගෙන් ද පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය.

මේ අතර අනෙක් ඉහළ පෙළේ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව ද දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයට සහ අල්ලස් කොමිසමට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. එම චෝදනාවලට අනුව, ඇය පාසලට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමාපියන්ගෙන් රුපියල් ලක්ෂ පහේ (5) සිට ලක්ෂ පහළොව (15) දක්වා වන මුදලක් අය කරන බව සඳහන් වේ.

පැමිණිලිකාර දෙමාපියන් පෙන්වා දෙන පරිදි, විදුහල්පතිනිය තමාට හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට අයත් බැංකු ගිණුමකට අදාළ මුදල් බැර කරවා ගන්නා අතර, දින කිහිපයකට පසු එම මුදල් ඇයගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාගන්නා බවට චෝදනා එල්ල වී ඇත.

මෙම ක්‍රියාව සඳහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ඉහළ නිලතල දරන නිලධාරිනියන්ගේ ද සහාය ලැබෙන බව ඇතැම් ආදි ශිෂ්‍යාවෝම පවසති. අල්ලස් කොමිසම මෙම විමර්ශනය කඩිනමින් නිමා කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන ඔවුහු, මීට පෙර ද මෙවැනිම සිදුවීම්වලට සම්බන්ධ වූ මෙම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියන් කිහිප දෙනෙකුටම ජීවිතාන්තය දක්වා සිය විශ්‍රාම වැටුප අහිමි වූ බව ද සිහිපත් කරති ෴


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අරගල සමයේදී මහජන ආරක්ෂක පනත යටතේ පැනවූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

(23.07.2025 – hirunews.lk)

2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහජන ආරක්ෂක පනතේ 02 වගන්තිය යටතේ නිකුත් කරනු ලැබු හදිසි නීති රෙගුලාසි අත්තනෝමතික මෙන්ම බල ශූන්‍ය බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

අග විනිසුරු මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ යන බහුතර විනිසුරුවරූ විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සදහන් කළේ වැඩබලන ජනාධිපතිවරයාගේ හදිසි නීති ප්‍රකාශය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිගා සත්කුණ නාදන් සහ ලිබරල් තරුණ ව්‍යාපාරය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු ගෙවන ලෙසත් රජයට නියම කෙරුණා ෴


නුගේගොඩ පාලම උඩ සිදුවු අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වෙයි

(23.07.2025 – 10:36 +0530 – sinhala.adaderana.lk)

හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන්පාලම මත සිදුවූ රිය අනතුරකින් තරුණයෙක්ට දිවි අහිමි වී තිබේ.

අද (23) අලුයම ත්‍රිරෝද රථයක් මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු සහ පසුපස අසුනේ ගමන් ගත් මගියෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී පිටුපස ආසනයේ ගමන් ගත් තරුණයා මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 21 ක් හැවිරිදි මීගමවත්ත, වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිරිහාන පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


පාස්කු විමර්ශනයකට අදාළව මඩකලපුව හිටපු පොලිස් OIC රඳවාගෙන ප්‍රශ්න කරයි

(23.07.2025 – 17:07 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව අධිකරණයට දැනුම්දී තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ (2) ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන් වන සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුව ගත් බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබේ.

හිටපු ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72 ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව දැනුම් දුන් පොලීසිය අවශ්‍ය වුවහොත් තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්න බවද අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා ඇත ෴


රුපියල් මිලියන 12 ක කුෂ් සමග අයෙක් රාජගිරියෙන් අල්ලයි

(23.07.2025 – hirunews.lk)

රුපියල් මිලියන 12 ක් පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග පුද්ගලයෙකු (1) රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බත්තරමුල්ල සුරා බදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් සමඟ එක්වයි වැටලීම සිදුකර තිබෙන්නේ.

එහිදී ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 02 ක් අත්අඩංගුවට ගත් බවයි සඳහන්.

සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


‘හෝමාගම හඳයා’ගෙන් කහවත්තේ වෙඩික්කරුට ජීප් රථයක් තෑගි

(23.07.2025 – hirunews.lk)

කහවත්තේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් සිදුකළ ප්‍රශන කිරීමේදී තොරතුරු රැසක් හෙළිවී ඇතැයි පොලිසිය පවසනවා.

ඩුබායිහී සැඟවී සිටින ‘හෝමාගම හඳයා’ නැමැති සංවිධානාත්මක අපරාධකරු වෙඩික්කරුට සුසුකි වර්ගයේ ජීප් රථයක් තෑගි දී ඇති බවද හෙළිවී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ වෙනත් අපරාධ සඳහා මෙම ජීප් රථය භාවිතා කොට ඇති බවයි පවසා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රධාන වෙඩික්කරු සමගින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහවත්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු යුද හමුදාවේ වසර 18 ක් සේවය කරන අතරතුර විනය චෝදනා ලැබ සේවයෙන් පහකර ඇති බවද සඳහන්.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ වෙඩික්කරු අවුරුදු 10 හා 15 වයසේ දියණියන් දෙදෙනෙකුගේ (2) පියෙක්.

ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා රැසක් මෙන්ම ස්ත්‍රී දූෂණ චෝදනාවක්ද වන බවයි පොලිසිය පවසන්නේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා ෴


මාරවිල වෙඩි තැබීමේ සිද්ධියට 04 ක් අත්අඩංගුවට

(23.07.2025 – hirunews.lk)

මාරවිල, මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර ඇයගේ පුතුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා පළා ගොස් තිබුණා.

මත්ද්‍රව්‍ය ආරවුලක් ඊට හේතු වී ඇති බවටයි දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ෴


ත්‍රීරෝද රථ සොරාගෙන පාතාලයට දුන් පුද්ගලයෙකු පානදුරේදී අත්අඩංගුවට

(23.07.2025 – hirunews.lk)

ත්‍රීරෝද රථ සොරාගෙන සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබාදුන් පුද්ගලයෙකු පානදුර – මුහුදු මාවතේදී පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ ඔහු විසින් සොරාගන්නා ලද ත්‍රිරෝද රථ 04 ක් සහ මත්ද්‍රව්‍යද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබුණා.

මෙරටින් පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කුඩු සළිදු’ නැමැත්තාගේ සමීපතමයෙකු වන ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ‘ප්‍රකාශ් චතුරංග කෝදාගොඩ’ හෙවත් ‘ඩුබායි සුද්දා’ගේ උපදෙස් මත සැකකරු මෙම ත්‍රීරෝද රථ සොරකම සිදු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මොහු විසින් ඉකුත් 11 වනදා පානදුර උතුර පොලිස් වසමෙන් සහ ඉන් දින 03 කට පසු පානදුර දකුණ පොලිස් වසමෙන් ත්‍රී රෝද රථ දෙකක් (2) සොරාගෙන ඇති බවට ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබුණා.

ඒ අනුව එම ත්‍රීරෝද රථ දෙක (2) හිරණ, කෝන්ගහවත්ත සහ මෝදරවිල සුනාමි නිවාස සංකීරණ භූමියේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා ෴


පාලු බංගලාවක් තුළ අනියම් බිරිඳව ඝාතනය කර සැකකරු පොලීසියට භාරවෙයි

(23.07.2025 – 11:25 +0530 – sinhala.adaderana.lk)

නාවලපිටිය, ඉඹුල්පිටිය වතුයායේ අතහැර දමා තිබූ පාලු බංගලාවක් තුළදී අනියම් බිරිඳගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයා පොලීසියට භාරවී තිබේ.

සැකකරු ගම්පොළ පොලීසියට භාරවී ඇති අතර, පසුව නාවලපිටිය පොලීසිය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.

ඊයේ (22) සවස මෙම ඝාතනය සිදුව ඇති ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය ඉඹුල්පිටිය වතුයායේ පදිංචිව සිටි ‘යෝග මලර්’ නැමති 39 හැවිරිදි තිදරු මවකි.

ඝාතනයට ලක් වූ කාන්තාව සැකකරු සමග ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේ මාස 09 ක පමණ කාලයක් එකට වාසය කර ඇති අතර, පසුව යළිත් සිය නිත්‍යානුකූල සැමියාගේ නිවසට පැමිණ තිබේ.

නිවසට පැමිණ සිටි අදාළ කාන්තාව වරින්වර සැකකරුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර, ගෘහසේවය සඳහා විදෙස්ගත වීමට සුදානමින් සිට ඇත.

පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, විදෙස්ගත වීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබූ බවය.

ඝාතනයට ලක්වූ කාන්තාව විදෙස්ගත වීමට ග්‍රාම සේවක සහතිකයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ දී සැකකරු දුරකථනයෙන් කතා කර පාලු නිවසකට පැමිණෙන ලෙස පවසා ඇති අතර, එහි ගිය පසු කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇත.

මිය ගිය කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

+


අධිබල යතුරුපැදි 03 ක් වාරියපොලින් අත්අඩංගුවට

(23.07.2025 – hirunews.lk)

රේගුවට වංචා කර තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 03 ක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ වාරියපොල – බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කළ වැටලීමකදී.

කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද බුද්ධි තොරතුරක් මත වාරියපොල, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ නිවසක් පොලිසිය විසින් ඊයේ (22) පරීක්ෂා කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා රේගුවට තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කර තිබු අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරු පැදි 03 ක් එම නිවස තුළ සඟවා තිබියදී සොයා ගත්තා.

ඊට අමතරව නීති විරෝධීව ආනයනය කර එකලස් කිරීමට සුදානම් කර තිබු තවත් යතුරුපැදියක කොටස් ද අදාළ නිවසේ තිබී හමු වුණා.

එක් යතුරු පැදියක් ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හා යතුරුපැදි වාරියපොල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඒවා යම් අපරාධයක් සඳහා භාවිත කර ඇද්දැයි සෙවීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා යතුරු පැදි 03 අද (23) දින වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *