ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි

ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි


ලංවිම සේවක විරෝධතාවය නිසා මාර්ගය අවහිර වෙයි

(22.07.2025 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයින් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

මෙම විරෝධතාකරුවන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මංතීරුවක් අවහිර කරමිනුයි විරෝධතාවයේ නිරත වී ඇත්තේ.

ඔවුන් මෙසේ විරෝධතාවයක නිරත වී ඇත්තේ, එම මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත් කෙටුම්පතට විරෝධය පළකරමින්.

විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ මේ සදහා වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් අද (22) එක්වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතරයක් මෙන්ම ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා කතානායකවරයා වෙත දැනුම් දුන්නා.

ඒ අනුව ආණ්ඩුව සැලසුම් කර ඇත්තේ කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන කෙටුම්පතට ඇතුළත් කිරීමටයි.

විදුලිබල සංශෝධන කෙටුම්පත පිළිබද දෙවන (2) වර කියවීමේ විවාදය අනිද්දා (24) පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සංශෝධන හරහා සිදුවන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විදුලි සේවකයින් නිසි පරිදි දැනුවත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවයි විදුලි වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටියේ.

+++

+


රියදුරන්ගේ මුහුණට මිරිස් කුඩු ගසා ත්‍රිරෝද රථ කොල්ල කෑ තිදෙනෙකු (3) කොටු

(22.07.2025 – hirunews.lk)

කහතුඩුව පොලිස් වසමේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර ඊයේ (21) හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 700ක් හා හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මොවුන් කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවල ගමන්කර රියදුරන්ගේ මුහුණුවලට මිරිස් කුඩු ගසා එම ත්‍රීරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එක් සැකකරුවෙකුගේ බිරිදක්ද මෙම කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 24, 27 ක් වූ කලවාන හා කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 29 ක් වූ කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මොවුන් විසින් කහතුඩුව, බොරලැස්ගමුව හා මොරගහහේන පොලිස්වසම්වලදී මෙලෙස ත්‍රීරෝද රථ කොල්ලකා ඇති අතර, කොල්ලකන ලද ත්‍රීරෝද රථ 04 ක් ද නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

+++

+


ICU එකට බෙහෙත් එද්දී ලෙඩා යන්නම ගිහිල්ලා | වෛද්‍යවරුන්ගේ රතු කට්ට පනී (22.07.2025)

+

මේක මහ පිස්සු වැඩක් | බෙහෙත් හිඟයට රජයෙන් දුන්නේ මාර උත්තරයක් | වෛද්‍යවරුන්ගේ ඔළුගෙඩි රත්වෙයි (22.07.2025)

+

ඇතුලට යන්න කළින් කෙහෙළිය තවත් හිරවෙන වැඩක් ගැන වෛද්‍ය චමල් සංජීවගෙන් අනාවරණයක් (22.07.2025)

+


රනිල්, විදුර ඇතුළු සෙට් එකක ගහපු සුපිරි ගේමක් හෙළි කරමින් මිහින්තලේ හිමි CID යයි (22.07.2025)

+


ආණ්ඩුවට මාස 10 යි .. පොරොන්දු 1,329 න් එකක්වත් ඉටු කරලා නෑ .. එකක් කළ බව ‘වෙරිටේ රිසර්ච්’ කියන්නේ බොරුවක් ..

(23.07.2025 – 03:22 +0530 – lankacnews.com)

‘ආණ්ඩුවට මාස 10 යි. පොරොන්දු 1,329 න් එකක්වත් ඉටු කරලා නෑ. එකක් (1) කළ බවට ‘වෙරිටේ රිසර්ච්’ කියන්නේ බොරුවක්’ යයි ‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

“මේ ආණ්ඩුව පත් වුණේ අවුරුදු පහකට (5). ඒ කියන්නේ මාස 60 කට. හරියටම අදට (22) මේ ආණ්ඩුව පත් වෙලා මාස 10 යි. ඒ කියන්නේ ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6 ක් අදින් ඉවරයි. එහෙම නම් මේ ආණ්ඩුව ලබා දුන්නු පොරොන්දු වලින් 1/6 ක් මේ වන විට ඉටු කර තිබෙන්න ඕනේ.

මේ ආණ්ඩුව මැතිවරණ වේදිකාවේ ලබා දුන්නු පොරොන්දු නම් ඔක්කෝම වගේ පච වෙලා තිබෙනවා. අපි මාලිමා පච 100 ක් එකතු කරලා ‘උදය ගම්මන්පිල යූ ටියුබ් නාලිකාව’ ට එකතු කරලා තිබෙනවා. ඒවා ආවාට ගියාට කිව්ව ගොං කතා කියමුකෝ. නමුත් මැතිවරණ ප්‍රකාශනයක් එහෙම නෑ. විද්වතුන් වෘත්තීයවේදින් සහ දේශපාලකයින් එකතු වෙලා සකස් කරන වැදගත් ලේඛණයක්. වේදිකාවේ පච කිව්වත් මැතිවරණ ප්‍රකාශනයේ පච තිබෙන්න බෑ. මේ නිසා ‘පිවිතුරු හෙළ උරුමයේ පර්යේෂණ අංශය’ විසින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කියන ‘ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ’ පොරොන්දු ගැන හොයලා බැලුවා.

මේ මැතිවරණ ප්‍රකාශනයේ ‘පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්’ කියන පරිච්ඡේදයේ පොරොන්දු 331 ක් තිබෙනවා. ‘ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්’ කියන පරිච්ඡේදයේ පොරොන්දු 181 ක් තිබෙනවා. ‘නවීන ජීවිතයක් – පොහොසත් රටක්’ කියන පරිච්ඡේදයේ පොරොන්දු 604 ක් තිබෙනවා. ‘අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්’ කියන පරිච්ඡේදයේ පොරොන්දු 213 ක් තිබෙනවා. මේ සියල්ල එකතු කලාම මාලිමා ආණ්ඩුව ජනතාවට පොරොන්දු 1,329 ක් ලබා දීලා තිබෙනවා. අදට (22) ආණ්ඩුවේ ආයු කාලයෙන් 1/6 ක් අවසන් නිසා අද (22) වන විට මේකෙන් අඩුම ගණනේ 1/6 ක් ඒ කියන්නේ පොරොන්දු 221 ක් ඉටු කරලා තිබෙන්න ඕනි. නමුත් ඇත්තටම ඉටු කරලා තිබෙන්නේ කීයද? අපට නම් ඉටු කළ පොරොන්දු එකක්වත් හමු වුණේ නෑ. මොනවා හරි ඉටු කලා නම් අනේ අපට කියන්න. එතකොට අපි ඒක පිලි ගන්නම්.

‘වෙරිටේ රිසර්ච්’ කියන රාජ්‍ය නොවන සංවිධානයක් කියලා තිබුණා පුද්ගල ආදායම් බදු වල නිදහස් සීමාව ඉහළ දැමීමේ යෝජනාව විතරක් ඉටු කලා කියලා. නමුත් ඒක බොරුවක්. මාලිමාව පොරොන්දු වුණේ පුද්ගල ආදායම් නිදහස් සීමාව ලක්ෂ 12 සිට ලක්ෂ 24 දක්වා ඉහල නංවනවා කියලා. මැතිවරණ ප්‍රකාශනයේ 103 පිටුව බලන්න. ඒකේ තිබෙන්නේ එහෙමයි. ‘පුද්ගලයින් සඳහා වන වාර්ෂික නිදහස් බදු සීමාව රුපියල් ලක්ෂ 12 සිට රුපියල් ලක්ෂ 24 දක්වා වැඩි කිරීම සහ බදු කාණ්ඩ සහ බදු අනුපාත සාධාරණ ලෙස සංශෝධනය කිරීම’.

ඇත්තටම නිදහස් බදු සීමාව වැඩි කලේ ලක්ෂ 24 ට නොවේ. ලක්ෂ 18 ක් දක්වා විතරයි. ඉතින් කොහොමද ඒ පොරොන්දුව ඉටු කලා කියන්නේ. මුකුත්ම නොකරපු ආණ්ඩුවක් එක පොරොන්දුවක් හරි ඉටු කලානෙ කියලා ආණ්ඩුව බේරා ගන්න ගහපු ගැටයක් ඒක.

මේ ආණ්ඩුව බලයට ආවේ බදු අඩු කරලා ආදායම වැඩි කරලා බඩු මිල අඩු කරලා අපට ‘පොහොසත් රටක් ලස්සන් ජීවිතයක්’ ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා. හැබැයි අඩු වෙලා තිබෙන්නේ බිත්තර මිල විතරයි. බිත්තර වලින් විදුලි පහන් පත්තු වෙන්නේ නෑ. බිත්තර වලින් වාහන දුවන්නේ නෑ. අසනීප වලට බෙහෙත් ගන්න ගියාම දොස්තර බිත්තර කන්න කියලා ලියන්නේ නෑ. අද මේවාට එරෙහිව උද්ඝෝෂණයක් වත් නැත්තේ එදා හිටියේ ඇවිදින ඇටසැකිලි නම් අද ඒ ඇටසැකිලි වලට ඇවිදින්නවත් බැරි තත්වයක් ඇති වෙලා තිබෙන නිසා. ඒ නිසා ‘පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්’ කියන ආණ්ඩුවේ තේමාව ‘පොහොසත් අයට – ලස්සන් ජීවිතයක්’ ලෙස වෙනස් කරන්න අපි යෝජනා කරනවා” ෴

+++

පාස්කු මහ මොළකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමා..? ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් (22.07.2025)

+


මන්ත‍්‍රීට හොදටම පහර දී අතපය බැද දමා මුදල් කොල්ල කයි..

(23.07.2025 – 00:02 +0530 – lankacnews.com)

මිරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධනේශ රාජපක්ෂ (සජබ) මහතාගේ පල්ලෙවෙල නිවසට 20 වැනිදා අලුයම ඇතුළු වූ කිසියම් පිරිසක් ආරක්ෂක නිලධාරියා බැඳ දමා මන්ත්‍රීවරයාට පහර දී තුවාල සිදු කර රුපියල් තුන්ලක්ෂ අසූ දහක (3,80,000) මුදලක් ඇතුළු දේපොළ පැහැර ගෙන යෑමේ සිද්ධියක් පළිබඳ පරීක්ෂණ පවත්වන බව පල්ලෙවෙල පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් තුවාලලත් ආරක්ෂක නිලධාර්යා මිරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මන්ත්‍රීවරයාගේ හිසට සිදුවූ තුවාල සඳහා බාහිර ප්‍රතිකාර ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

අලුයම දෙකට (02:00) පමණ පැමිණි ඇති පිරිස මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක නිලධාරියාට පහර දී මුඛයට රෙදි කැබලි ඔබා ප්ලාස්ටර් අලවා අතපය බැඳ දමා පිරිස නිවසේ නාන කාමරයේ කවුළුවකින් නිවසට ඇතුළු වී ඇති බව මූලික පරීක්ෂණයේදී හෙළිවී ඇත.

අනතුරුව මෙම කල්ලිය කාමරයේ තිබූ බඩුබාහිරාදිය අවුස්සා ඇති අතර ඔවුන් පසුව මන්ත්‍රීවරයා නිදා සිටි ඉහළ මහලේ කාමරයට ඇතුළු වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පිරිස පැමිණීමත් සමග වහා අවදි වූ මන්ත්‍රීවරයා මැර පිරිස සමග පොර බදා ඔහුගේ හිතවතෙකුට මේ බව දුරකථනයෙන් දැනුම් දීමට ගත් උත්සාහයේදී, කල්ලියේ සාමාජිකයෙක් මන්ත්‍රීවරයාට කිසියම් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දීම නිසා මන්ත්‍රීවරයාගේ හිසට තුවාල සිදු වී ඇත. මන්ත්‍රීවරයාගේ කුඩා දරුවන් තිදෙනා (3) කාමරයක සිරකර තබා සිට ඇත.

මේ අතර ආරක්ෂක නිලධාරීයා තමා බැඳ දමා තිබූ රැහැන් දැඩි පරිශ්‍රමයකින් යුතුව ගලවා දමා පිටතට පැමිණ අවට ප්‍රදේශ වාසීන්ට ඇසෙන පරිදි කෑ ගසා ඇති අතර මුරකරුගේ කෑ ගැසීම ඇසුණු මෙම කල්ලිය පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මන්ත්‍රීවරයා සන්තකයේ තිබූ රුපියල් තුන්ලක්ෂ අසූ දාහක (3,80,000) මුදලක් මෙම කල්ලිය පැහැර ගෙන ගොස් ඇති බව හෙළි වී ඇත.

මෙම පිරිස පැමිණ ඇත්තේ දේපොළ සොරා ගැනීමේ අරමුණින්ද නැතහොත් වෙනත් අරමුණකින්දැයි හෙළි කර ගැනීමටද පරීක්ෂණ සිදු කෙරේ.

නිට්ටඹුව ‘පොලිස් නිල සුනඛ ටාරා’ගේ සහාය මෙම පරීක්ෂණ සඳහා ලබා ගත් අතර ගම්පහ පොලිස් අපරාධ නික්ෂණ අංශයේ නිලධාරීහු ස්ථාන පරීක්ෂණ සිදු කළහ.

පුෂ්ප කුමාර මල්ලව ආරච්චි


මාරවිල වෙඩිතැබීමක් – කාන්තාවක් මරුට – දරුවෙකුට තුවාල

(22.07.2025 – 23:08 +0530 – sinhala.adaderana.lk)

මාරවිල මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) විසින් අද (22) රාත්‍රී මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 10 හැවිරිදි දරුවෙකු (1) ද ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ දරුවා මියගිය කාන්තාවගේ පුත්‍රයා බව පොලීසිය පැවසුවේය.

මියගිය 30 හැවිරිදි කාන්තාව මැද නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්ය.

ඇය මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප ලබා සිට පැමිණ තිබේ.

අදාළ කාන්තාව ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටි අතර තුරදී නිවස ආසන්නයේදී වෙඩි වැදීමට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි තැබීම සඳහා රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් හෝ පිස්තොලයක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පලකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *