රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් වංචාකරයි
රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් ලක්ෂ 6 ක් වංචාකරයි
(22.07.2025 – hirunews.lk)
රේගු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් නිවසක් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ සහන මිලට ගෘහ භාණ්ඩ ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් හය ලක්ෂ පන්දහසක් (6,50,000) වංචා කළ පුද්ගලයෙකු (1) සහ එයට අනුබල දුන් කාන්තාවක් (1) කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට වතුවල ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය නිවස විකිණීම සඳහා මුහුණු පොතේ දැන්වීමක් පළ කර ඇති අතර කාන්තාවක විසින් දුරකථන ඇමතුමක් ලබා දී නිවස මිලදී ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.
පසුව නිවස බැලීම සඳහා පිරිමියෙකු (1) සමග එම කාන්තාව පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙලෙස පැමිණ පිරිමියා රේගුවේ සේවය කරන බව කියමින් සහන පදනම මත ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ලබා දිය හැකි බව පවසා තිබෙනවා.
නිවෙස් හිමියාද ඒ සඳහා එකඟ වී ඇති අතර ඒ අනුව රුපියල් හය ලක්ෂ පන් දහසක (6,50,000) මුදලක් දින කිහිපයකට පසු බැංකු ගිණුමක් වෙත බැර කර ඇති බවයි වාර්තාකරු පවසන්නේ.
කෙසේ නමුත් මුදල් බැර කර බොහෝ කලක් ගත වුවත් භාණ්ඩ නොලැබුණු නිසා කටුගස්තොට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව කටුගස්තොට පොලිසිය විසින් සැකකාර පුද්ගලයා සහ කාන්තාව පොල්ගොල්ල ගැන්නෑපාන නිවසක සිටියදී අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.
මොවුන් මෙලෙස තවත් මුදල් වංචා කර ඇත්දැයි පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මැලේසියාවට පනින්න ගිය හිරණ වෙඩි තැබීමේ සැකකරුවෙක් කටුනායකදී අල්ලයි
(22.07.2025 – hirunews.lk)
පානදුර, හිරණ ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් මැලේසියාවට පලායාමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපොලේදී අත්ඩංගුවට ගෙන තිබෙනවා.
මුහුණු මගින් පුද්ගලයන් හදුනා ගැනීමේ පද්ධතිය අනුවයි සැකකරු හඳුනාගෙන ඇත්තේ.
අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් මෙම සැකකරු පොලිසියට අවශ්‍යව සිටි බවයි පොලිසිය පවසන්නේ.
ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම සැකකරු අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු උදෑසන 10:40 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව යන එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. 44 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිට තිබෙනවා.
මොහු 28 හැවිරිදි අයෙක් වන අතර ඉකුත් (11) දින පානදුර, හිරණ ප්‍රදේශයේ දී ‘රාජශිල්පගේ හෂිත දුලාජ්’ නැමති අයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ බවයි සැක කෙරෙන්නේ.
පසුව ඔහු පානදුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් භාරයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ ෴
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ හිටපු පුද්ගලික ලේකම්ට ඇප
(22.07.2025 – hirunews.lk)
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ‘ශාන් යහම්පත් ගුණරත්න’ නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල නියෝග කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර අප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා ෴
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ ප්‍රමාණ සමීක්ෂණය සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාවලට NVQ 6 සහතිකය පිරිනැමීමට අනුමැතිය
(22.07.2025 – hirunews.lk)
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) විසින් පවත්වනු ලබන උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලා දෙකක් (2) වන ‘ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව’ (HNDQS) සහ ‘උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව’ (HNDE) පාඨමාලාව සඳහා NVQ 6 මට්ටමේ සමානතා තත්ත්වය ප්‍රදානය කිරීමට අනුමැතිය හිමි වී තිබෙනවා.
2025 ජූලි 08 වන දින පැවති අංක 2025/05/303 දරන තෘතියික හා වෘත්තීය අධ්‍යාපන (TVEC) කොමිෂන් සභා රැස්වීමේදී, ඉහත පාඨමාලා දෙක (2) NVQ 6 මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල බව තීරණය කළ අතර ඒ අනුව ‘ප්‍රමාණ සමීක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව’ සහ ‘උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාව’ පාඨමාලා සාර්ථකව නිම කළ අයට NVQ 6 මට්ටමේ සමානතා සහතිකය නිකුත් කිරීම සඳහා රු. 1000.00 ක ගාස්තුවක් සමඟ SLIATE අධ්‍යක්ෂ / විදුහල්පති / අධ්‍යක්ෂ ජනරාල් විසින් සහතික කරන ලද අවසන් සහතිකයේ පිටපතක් සමඟ තම ඉල්ලීම් එවිය හැකි බව සඳහන්වේ.
ඊට අදාල චක්‍රලේඛය 2025.07.09 දින සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති ෴
බුත්තල ප්‍රදේශයේදී මියගිය අලියාගේ මරණයට වරදකරු වූ, පැපොල් වගාවේ හිමිකරුට ඇප
(22.07.2025 – hirunews.lk)
පසුගියදා බුත්තල ප්‍රදේශයේ පැපොල් වගා භූමියකදී මියගිය වන අලියාගේ මරණය විදුලි සැර වැද්දීමෙන් කර ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් එම පැපොල් වගා භූමියේ හිමිකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇපමත මුදා හැරුණා.
මේ අතර අම්පාර කනගර්ග්‍රාමි පොතුවිල් 25 ගම්මානයේ ද තිබී මියගිය වන අලියෙකුගේ සිරුරක් හමුවුණා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක් පමණ වන අලියෙකු බවයි වනජීවි නිලධාරින් සඳහන් කළේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ විදුලිය සැර වැදීමෙන් ඇති වූ කම්පනය නිසා අලියා මියගොස් ඇති බවයි.
ඒ අනුව අදාළ විදුලි රැහැන ඇද තිබූ ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව එම වනෝද්‍යානයට මායිම්ව ඇති උප්පුආරු ඇළේ වැටී සිටින හස්තියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ, එම හස්තියා පිළිබඳව ‘හිරු ප්‍රවෘත්ති’ පසුගියදා කළ අනාවරණයෙන් පසුවයි ෴
‘වලාන පොලිසියෙන්’ කියා ගෙදරකට පැන්න හමුදා කපිතන් අත්අඩංගුවට
(22.07.2025 – hirunews.lk)
‘වලාන දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්’ බව පවසමින් යම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් පසුගිය දිනක ගල්නෑව, පත්තිනිගම තරුණ ව්‍යාපාරිකයකුගේ නිවසකට පිරිසක් ඇතුළු වී තිබෙන බව පොලිසිය පවසනවා.
සැකකරුවන් පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සුදු වෑන් රථයකින් පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව එම නිවැසියන් කාමරයකට දාමා දොරගුළු ලා නිවස පරීක්ෂා කර ඇති බවයි පැවසෙන්නේ.
අනතුරුව නිවසේ සිටි තරුණයකු ද සැකපිට අත්අඩංගුවට ගතයුතු බව පවසා මාංචු දමා රැගෙන යාමට උත්සහ කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
රාත්‍රීයේ ගමට පැමිණී පිරිස හා සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ගම්වැසියන් එක්ව සැකකරුවන් පැමිණි වැන් රථයේ සිටි පිරිසකගෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදී සැකකරුවන් සූක්ෂම ලෙස පලා ගොස් තිබෙන බව පැවසෙනවා.
ඒ අතර නිවැසියන් ගල්නෑව පොලිසිය වෙත දන්වා අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් අරඹා තිබෙනවා.
අනතුරුව සැකකරුවන් කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිද්ධියට සම්බන්ධ බව කියන යුද හමුදා කපිතාන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ පොලිස් මෙහෙයුම ආරම්භ වීමත් සමඟ සැකකාර හමුදා කපිතාන්වරයා නිවාඩු ලබා අදාළ කඳවුරෙන් බැහැරව පලා ගොස් තිබෙනවා.
එහිදී සැකකාර කපිතාන්වරයා නීතීඥයින් දෙදෙනෙකු (2) මාර්ගයෙන් ගල්නෑව පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවූ බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර කපිතාන්වරයා ගල්නෑවට ආසන්න කඳවුරක සේවය කරන බවයි පැවසෙන්නේ.
මෙම සම්බන්ධයෙන් කුරුණෑගල, මාවතගම හා අනුරාධපුර, බුල්නෑව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි සැකකරුවන් රැසක්, යතුරු පැදියක්, වෑන් රථයක් හා කුඩා සුඛෝපභෝගී වැන් රථයක් ඇතුළු රථවාහන තුනක් (3) අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
සැකකාර හමුදා කපිතාන්වරයා අද(22) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත්කිරීමට නියමිතයි ෴
බදු හිඟය ඉවත් කිරීමට රු. 50,000 ක් අල්ලස් ලෙස ලබාගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට ඇප
(22.07.2025 – hirunews.lk)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් එකොලොස් ලක්ෂයක (11,00,000) පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් පනස් දහසක (50,000) මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා’ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ, ජාවත්ත පාරේ පිහිටි ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු’ වන කේ.සී.කේ. කුමාර නැමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සිදුකරන විමර්ශන වලට සහාය ලබා දිය යුතු බවටත් සැකකරුට නියෝග කර තිබෙනවා.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කරණු දක්වමින් මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිසා ඔහුගේ 14 හැවිරිදි පුත්‍රයා දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව සඳහන් කළා.
ඔහු පාසල් යාම, ආහාර පාන ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙන බවත් ඒ අනුව ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන බවත් නීතිඥවරයා පැවසුවා.
මේවා සුවිශේෂී කරුණක් සේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසයි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ අතර නඩුව නැවත දෙසැම්බර් මස 05 වන දා කැඳවීමටද නියම කළා.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින්, අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලක් අනුව අල්ලස් කොමිසම සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
පැමිණිලිකරු දෙමටගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයතනයක් වෙනුවෙන් 2025 වර්ෂය සඳහා බදු නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
එහිදී පසුගිය වසර (2024) සඳහා රුපියල් එකොලොස් ලක්ෂයක (11,00,000) බදු හිඟ ගෙවීමට තිබෙන බව, සැකකරු විසින් පැමිණිලකරුට දන්වා තිබෙන බව අල්ලස් කොමිසම පවසනවා.
රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ලබා දෙන්නේ නම් එම හිඟ බදු මුදල ඉවත් කර දිය හැකි බවට සැකකාර කොමසාරිස්වරයා පැමිණිලිකරුට දන්වා ඇති අතර පැමිණිලිකරු එම ඉල්ලීමට එකඟතාවය පළ කරමින් අල්ලස් මුදල රුපියල් 50,000 දක්වා අඩු කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පසුව අදාළ දෙපාර්තමේන්තු කාර්යාලයේදී අදාල අල්ලස් මුදල් ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා ෴
කැනේඩියානු කාන්තාවක් රුපියල් මිලියන 181 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
(22.07.2025 – hirunews.lk)
අද (22) අළුයම 02:50 ට පමණ, කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ සිට දෝහා හරහා කටාර් ගුවන්සමාගම මෙහෙයවන QR 662 ගුවන් යානයෙන් පැමිණි කැනේඩියානු ජාතික කාන්තාවක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිලධාරීන් කළ පරීක්ෂණයකදී සැකකාරියගේ පරීක්ෂා කරන ලද ගමන් මලු තුළ සඟවා තිබූ හෂිෂ් ග්‍රෑම් 18,123 ක් සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
එහි මුළු වටිනාකම රු. මිලියන 181 ක් පමණ වන බවයි ශ්‍රී ලංකා රේගුව තක්සේරු කර ඇත්තේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 37 ක කාන්තාවක්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය මඟින් සිදු කරමින් සිටින අතර සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු හා නීතිමය කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නියාමන කාර්යාංශයට භාරදීමට නියමිතයි ෴
ටී-56 ගිනිඅවියක් සමග හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට
(22.07.2025 – 10:19 +0530 – sinhala.adaderana.lk)
ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (21) සවස අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය.
එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30 ක් සහිත පතරොම් ගැබක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 560 ක් ද සොයා ගෙන තිබේ.
අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත්ව ඇත.
කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන අතර, ඔහුව පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවය.
සැකකරු අවුරුදු 30 ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනිඅවියක් සමඟ පැමිණ ඇතැයි පොලීසිය සැක පළ කරයි.
කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
මාරවිල, මරද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට
(22.07.2025 – hirunews.lk)
මාරවිල, මරද ප්‍රදේශයේ වෙඩි තැබීමකින් කාන්තාවක් (30) මියගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් පිරිමි ළමයෙකු (10) තුවාල ලබා ඇති බවද පොලිසිය පවසනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴