‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල

‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල


‘හිරු CIA’ ඇසට හසු වූ කැළණි ගං ඉවුර වනසන ඇස්වත්තේ මැණික් ගැරිල්ල

(20.07.2025 – hirunews.lk)

කොස්ගම – හද්දුවවත්ත ප්‍රදේශයේ කැලණි ගං ඉවුරෙන් මතු වූ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඉල්ලමක් රැගෙනයාමට සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් දැඩි පරිසර හානියක් සිදුකරමින් සිටිනවා.

ජාවාරම්කරුවන් කැලණි ගඟ හරස් කර එම ස්ථානයේම මැණික් ඉල්ලම් සේදීම ද සිදුකරන අතර ඔත්තුකරුවන් ජාලයක් යොදා අදාළ ජාවාරම සිදුකරන බවයි ‘හිරු සී.අයි.ඒ.’ කළ නිරීක්ෂණයේදී හෙළි වුණේ.

අවිස්සාවේල්ල – කොස්ගම ඇස්වත්ත හද්දුවවත්ත යන ප්‍රදේශයේ කැළණි ගං ඉවුරේ රුපියල් කෝටි ගණනක් වටිනා මැණික් ඉල්ලමක් මතුව ඇති බවත් සංවිධානාත්මක පිරිසක් අදාල මැණික් ඉල්ලම් බලහත්කාරයෙන් රැගෙන යන බවටත් ‘හිරු සී.අයි.ඒ.’ වෙත තොරතුරු වාර්තා වුණා.

තොරතුරුකරුවන් ප්‍රකාශ කලේ කිසිදු අවස්ථාවක හද්දුවවත්ත ප්‍රදේශයෙන් ගොස් මෙම ජාවාරම් වැටලීමට නොහැකිවන ලෙස ප්‍රදේශය පුරා ඔත්තුකරුවන් ජාලයක් යොදා ඇති බවයි.

දිනපතා උදෑසන 9 සිට සවස්කාලය දක්වා මැණික් ජාවාරම්කරුවන් කැළණි ගං ඉවුර බිඳ දමන අතර ඉවුර අසල ඇති ගස් බිම හෙළන බවයි වාර්තා වන්නේ.

නීති විරෝධීව කැළණි ගග හරස් කර දැව දඩු හා ලෑලි යොදා ඉදිකිරීම් සිදුකර මෙම ස්ථානයේම ඉල්ලම් සෝදා රැගෙන යාමටයි ජාවාරම්කරුවන් කටයුතු කරන්නේ.

මෙම මැණික් ජාවාරම වැටලීමට ආරක්ෂක අංශ පැමිණිය හොත් පළායාම සඳහා ගං ඉවුරේ විවිධ ස්ථානවල ජාවාරම්කරුවන් ඔරු හා පාරු ආදිය ද සුදානම් කර තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ ලබාදුන් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම ස්ථානය නිරීක්ෂණයට පැමිණි අතර ඒ වනවිටත් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පළා ගොස් තිබුනා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් නීති විරෝධී මැණික් ජාවාරම් හරහා සිදුව ඇති පරිසර හානිය නිරීක්ෂණය කළා.

කොස්ගම ඇස්වත්ත -හද්දුවවත්ත යන ප්‍රදේශයේ මැණික් ජාවාරම්කරුවන්ට මෙලෙස තවදුරටත් රිසි සේ ඉවුරු බිඳ මැණික් ඉල්ලම් කොල්ලකෑමට මෙරට ආරක්ෂක අංශ ඉඩදෙනවාද ?

එසේත් නොමැතිනම් මැණික් ඉල්ලම් කොල්ලකරුවන්ගේ ඔත්තු ජාලය බිඳහෙලා මෙම පරිසර පද්ධතිය රැකගැනීමට ආරක්ෂක අංශ ඉදිරියේදී හෝ නිසි වැඩපිළිවෙලක් සකසනවාද ?

+


ආණ්ඩුවෙන් ‘හොර අන්තරය’ක් හදලා.. – ඇත්ත අන්තරෙන් නිවේදනයක්..

(21.07.2025 – 10:00 +0530 – lankacnews.com)

ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විසින් ‘අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය’ නම අවභාවිතා කරමින් නිල ලාංඡන හා ලිපි ශීර්ෂද යොදා ගනිමින් ඇතැයි ‘අන්තර් ශිෂ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය චෝදනා කරයි.

එම බල මණ්ඩලය නමින් ව්‍යාජ සමාජ ජාල ගිණුමක් හා නව නිලධාරීන් හඳුන්වා දෙමින් සමාජ ජාලාවල පළ කර ඇති සටහන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් මේ බව කියා සිටියි.

මේ බව පවසමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

= මාධ්‍ය නිවේදනයයි! =

සිසුන් හා ජනතාව ව්‍යාකූල කරන ආණ්ඩුවේ අතකොළුවල බොරු ප්‍රචාරවලට නොරැවටෙමු!

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමට එරෙහිවත්, රටේ පොදු ජනතාවගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහාත්, නිශ්චිත ප්‍රතිපත්ති සහ ස්ථාවරයන් මත කටයුතු කරන සංවිධානයකි. එය දශක හතරකට වැඩි කාලයක් තුළ අඛණ්ඩව සටන් වදිමින් සිටී. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය යනු කිසිඳු ආණ්ඩුවක් ඉදිරියේ දණ නොනැමූ, ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුනු ඉතිහාසයක් ඇති සංවිධානයකි.

1981 ගෙන ආ ධවල පත්‍රිකාව පරාජය කිරීමේ අරගලයේ සිට මෙරට නිදහස් අධ්‍යාපනය වැනසීමට ගෙන ආ සියළු යෝජනා අ.වි.ශි.බ.ම ඉදිරියේ හකුළා ගැනීමට පාලකයන්ට සිදු විය. මෑත කාලය තුළදීත් SAITM උපාධි කඩය, කොතලාවල පනත පරාජය කිරීම මෙන් ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පලවාහැරීමේ 2022 අරගලය තුළ ද අ.වි.ශි.බ.ම තම සළකුණ නොමැකෙන ලෙස තබා ඇත.

වර්තමාන ආණ්ඩුව සිය ඉතිහාසයට ද පිටුපාමින්, ඉතිහාසය තුළ පැවති සියළු ආණ්ඩු ද ඉක්මවා යමින් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ සැලසුම දිගහරිමින් සිටී. එම සැලසුම තුළ කොතලාවල හරහා වෛද්‍ය උපාධිය රු. ලක්ෂ 175 කට විකිණීමත්, ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අධාපනය කප්පාදුවත්, පාසල් වසා දැමීමට ගෙන යන සැලසුමත්, නිදහස් අධ්‍යාපනයෙන් සුදුසුකම් ලැබූ සමසෞඛ්‍ය උපාධිය කුණු කූඩයට තල්ලු කිරීමත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෞද්ගලික උපාධි කඩ සඳහා මුද්‍රා තනන ආයතනයක් දක්වා පටු කීරීමත් ඇතුළු යෝජනා රැසක් ඇත.

මෙම අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයේ ප්‍රධානම අභියෝගය වී ඇත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයයි. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට නම් ශිෂ්‍ය ව්‍යාපාරය දුර්මුඛ කිරීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට ඇත. ඒ සඳහා සරසවි ශිෂ්‍ය නායකයෙන් යැයි කියාගත් තම රූකඩ යොදා ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බව පෙනේ. ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කීර්තිමත් නාමයත්, නිළ ලාංඡන සහ ලිපි ශීර්ෂ ද යොදා ගනිමින් ඇත.

එනිසා මෙම ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් වලට නොරැවටී වත්මන් ආණ්ඩුව ගෙනයන තිරස්චීන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස මෙරට සියළු විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සහ රටේ පොදු ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

මදුෂාන් චන්ද්‍රජිත්
කැඳවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය

+++

‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක්

(21.07.2025 – 15:14 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් පිරිසක් එක්ව ‘අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය’ නමින් නව ශිෂ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර ති‌බේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නව බලමණ්ඩලය පැවසුවේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් හා උසස් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම නව ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ බවය.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා :

“1978 අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පටන් ගන්නවාත් එක්කම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් වගේම, නිදහස් අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දැවැන්ත අරගල ප්‍රමාණයක් කරපු, දැවැන්ත කැපකිරීම් ප්‍රමාණයක් කරපු යුගයක් තමයි. මේ රටේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වෙනවා අලුතෙන් විශ්වවිද්‍යාල, ඒ වගේම උසස් අධ්‍යාපන ආයතන, සමාජය ඉදිරියට යනවා. තාක්ෂණය අතින් ලෝකය ඉදිරියට යනවා. හැබැයි ගැටලුකාරී තත්වය බවට පත් වෙන්නේ, ලංකාවේ පිළිගත්ත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන විදිහට, අවස්ථානුකූලව හැඩගැසෙන්න මැලිකමක් දක්වනවා. මේ නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් වීමත් සමඟ වැඩිවෙන ආයතන එකතු කරගන්නවා වෙනුවට, තියෙන ආයතන පවා එකින් එක ගැලවී වෙන්විලා යන්න පටන් ගන්නවා. හැබැයි අවබෝධයක් තිබ්බා මේ ශිෂ්‍ය ව්‍යාපාරය යන්නේ කොහෙටද කියලා. ජනතාවගේ සටන්වලට, ජනතාවගේ අයිතීන්වලට නිදහස් අධ්‍යාපනයට මූලිකත්වය දුන්නු, නායකත්වය දුන්නු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයම පහුකාලයකදි ලංකාවේ ජනතාවගෙන්ම ගැටළුකාරී තත්වය ඇවිල්ලා ප්‍රතික්ෂේප වීම් බවට පත් වෙනවා. අද අපිට හැකි වෙලා තියෙනවා, ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයට නව පන්නරයක් ලබා දෙන්න. කාගෙවත් මේ ඕනෑ එපාකම්වලට දුවන්නේ නැති සීයට සීයක් ලංකාවේ විශ්වවිද්‍යාලවල පද්ධතියේ ඉන්න ශිෂ්‍යයන්ගේ වගේම, එළියේ ඉන්න මහ ජනතාවගේ ඕනෑ එපාකම් මත ක්‍රියාත්මක වෙන්න පුළුවන්, අන්තර් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ව්‍යුහගතකරලා හදන්න තීරණය කරේ”

+++

+


බුද්ධි­මය දේපළ ගෝලීය සම්මා­නය රැගෙන ආචාර්ය නදීශා චන්ද්‍ර­සේන මෙර­ටට

(21.07.2025 – dinamina.lk)

ලෝකයේ පළමු වැනි ‘තට්ටු දෙකේ සුහුරු කානුව’ (Smart Drain) නමැති නවෝ­ත්පා­දන නිර්මා­ණය කර­මින් ‘2025 ලෝක බුද්ධි­මය දේපළ ගෝලීය සම්මා­නය’ හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍ර­සේන මහ­ත්මිය පෙරේදා (19) රාත්‍රීයේ මෙර­ටට පැමි­ණි­යාය.

මෙම සම්මාන උලෙළ ලෝක බුද්ධි­මය දේපොළ සංවි­ධා­නය විසින් ජිනීවා නුවර පවත්වා තිබූ අතර මේ සඳහා ලෝකයේ රට­වල් 95 ක නවෝ­ත්පා­දන නිර්මාණ 780 ක් ඉදි­රි­පත් කර තිබුණි.

වැසි දින­වල නගර ආශ්‍රි­තව කානු පද්ධති, ප්ලාස්ටික් සහ පොලි­තීන් සිර­වීම නිසා නිතර ජල ගැලීම් ඇති වන අතර මෙම ‘තට්ටු දෙකේ සුහුරු කානුව’ මඟින් උඩ තට්ටුවේ ගසා ගෙන යන ප්ලාස්ටික් සහ පොලි­තීන් ඉවත් කරනු ලබයි. දෙවන (යට) තට්ටුව මඟින් වැසි වතුර නිද­හසේ ගලා ගෙන යාමට අව­ස්ථාව සලසා දී තිබේ.

එම­ගින් මෙම ‘ස්මාර්ට් තට්ටු දෙකේ කානුව’ ගංව­තුර පාල­න­යට මහත් සේවා­වක් ලොව පුරා ඉටු කරනු ලබයි.

+++

+++

+


පාස්කු ප්‍රහාරයට හිටපු ජනපතිවරුන් වන මෛත්‍රී, රනිල් සහ ගෝඨාභය අධිකරණයට ගෙන එන්න – කතෝලික සභාව ඉල්ලයි

(21.07.2025 – hirunews.lk)

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට ගෙන ආ යුතු බව කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවයි උන්වහන්සේ කියා සිටියේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පෙරේදා (19) තීරණය කරනු ලැබුවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, රාජකාරි පැහැර හැරීමට අදාළව පැවති විනය පරීක්ෂණයෙන් ඔහු වරදකරු වූ බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගත යුතු බවයි කොළඹ අගරදගුරු පදවියේ ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් ඊයේ (20) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ එම ප්‍රකාශය තුළින් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුටත් බලපෑම් එල්ල විය හැකි බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීම සම්පූර්ණ අසාධාරණ ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

එමෙන්ම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර එම තනතුරේ තබාගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකළ නොහැකි බැවින් ඔහු එම තනතුරින් ඉවත් කළ යුතු බවට සමගි ජන බලවේගය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව සදහන් කළේ, කොළඹ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ෴


පෙම්වතිය වියානා ඇලේ සැඟව යද්දී පෙම්වතා බේරෙයි

(21.07.2025 – hirunews.lk)

මහියංගනය වියානා ඇළෙහි ගිලී තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය තම පෙම්වතා සමග ඇළ කණ්ඩිය මතින් ඇවිද ගිය අවස්ථාවේ දිය සෙවළ සහිත ස්ථානයකින් පෙම්වතා එක්වරම ලිස්සා ගොස් දියට වැටී තිබෙනවා.

එවිට පෙම්වතා බේරා ගැනීම සඳහා පෙම්වතිය අත දී ඇති අතර ඔවුන් දෙදෙනාම (2) වතුරේ ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවක් සහ ඇගේ සැමියා වූ මහියංණය පොලිස් පුහුණු පාසලේ නිලධාරියෙක් වතුරට පැන පෙම්වතා බේරාගෙන තිබෙනවා.

ඔවුන් පෙම්වතා පමණක් දැක ඇති අතර පෙම්වතිය දැක නොමැති බවයි සඳහන් වෙන්නේ.

මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ රජරට විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වූ අවුරුදු 26 ක් වූ තරුණියක්.

ඇය විශ්වවිද්‍යාලයෙන් නිවස වෙත ඇරලීම සඳහා පෙම්වතා පැමිණි අවස්ථාවේ ඔවුන් දෙදෙනා (2) මෙම අනතුරට මුහුණ දී තිබෙනවා ෴

මහියංගණය, වියානා ඇලේ ගිලී අතුරුදන් වූ තරුණියගේ සිරුර අද (21) දවල් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කළ සෝදිසියේදී, දියබානාවැව ප්‍රදේශයෙන් එම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක්.

ඇය රජරට විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන අතර හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි සඳහන්.

+


අධිබල රැහැන් පද්ධතියකට ගසක් වැටී ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටී

(21.07.2025 – hirunews.lk)

හැටන් සිට තලවකැලේ, සෙන්ක්ලෙයාර් දක්වා ඇති වෝල්ට් 33,000 විදුලි රැහැන් පද්ධතියක් මතට විශාල ගසක් වැටී ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

මේ හේතුවෙන් විදුලි රැහුන් පද්ධතියට දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණහිට ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි නිමල් සමරකෝන් පැවසුවා.

අයහපත් කාලගුණය මත කඩා වැටුණු ගස කපා ඉවත් කිරීමට බාධා පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


හිටපු ඇමති ගම්මන්පිලට එරෙහිව නඩුවක් යළි කැදවීමට නියෝග

(21.07.2025 – hirunews.lk)

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා නියම කළේ, අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා යළි කැඳවන ලෙසයි.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ටේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *