සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි

සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි


සේවයෙන් පහ කළ නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගද අවශ්‍ය බව කතෝලික සභාව කියයි

(20.07.2025 – hirunews.lk)

සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇති, අනිවාර්ය නිවාඩු යවා සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ‘නිලන්ත ජයවර්ධන’ පිළිබදව අධිකරණ ක්‍රියාමාර්ගද ගත යුතු බව කොළඹ අගරදගුරු පදවි, ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිසම පසුගියදා තීරණය කළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හැරීමට අදාළවයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් කොමිසම පැවසුවේ, රාජකාරි පැහැර හැරීමට අදාළව ඔහුට එරෙහිව පැවැත්වූ විනය පරීක්ෂණයෙන් ඔහු වරදකරු වූ බවයි.

ඒ අනුව ඔහු විසින් කරන ලද වරදේ තීව‍‍්‍රතාවය සැලකිල්ලට ගෙන ආයතන සංග‍‍්‍රහය අනුව මෙලෙස සේවයෙන් පහ කිරීමට පසුගියදා පැවති ජාතික පොලිස් කොමිෂන් සභා සැසිවාරයේදී තීරණය කර තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා කිතුණු දේවස්ථාන සහ මෙරට ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කරමින් එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බවත්, ලැබුණු බුද්ධි තොරතුරු නිසි පරිදි විමර්ශනය කර අදාළ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන්, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබුණා.

එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු චෝදනා එල්ල වූ පිරිසට, ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ගෙවන ලෙසටයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ.

එමෙන්ම, මෙම ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු කිහිපයක් පත් කළ අතර, සාක්ෂි විමර්ශනය කළ ජනාධිපති කොමිසම හමුවේ සියලු විත්තිකරුවන් අවස්ථා ගණනාවකදී ද පෙනී සිටියා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ කාලයේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද එම ජනාධිපති කොමිසම අවස්ථා කිහිපයකදී පෙනී සිට සාක්ෂි ලබා දුන්නා.

පාස්කු ප්‍රහාරයට පෙර, එනම් 2019 වසරේ අප්‍රේල් 04 වැනිදා ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුණු බවටත් සහ නිසි පරිදි ඒ පිළිබඳව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව චෝදනා එල්ල වූ අතර, ඒ අනුව ඔහු සේවයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්තා.

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයේ නඩුවක් ද ගොනු කෙරුණු අතර, පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75 ක වන්දියක් වින්දිතයින්ට ගෙවන ලෙසට ද ඔහුට නියම කර තිබුණා.

එම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන, සිය රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් 2023 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඔහුට චෝදනා පත්‍රයක් නිකුත් කිරීමට ද තීරණය කළා.

එම චෝදනා පත්‍රයට අදාළව නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ අතර, ඊට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල විනිශ්චය සභාව පසුගිය 04 වැනිදා පොලිස් කොමිසම වෙත යොමු කර තිබුණා.

ඒ අනුවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන චෝදනා පත්‍රයේ සඳහන් සියලූ‍ චෝදනා සඳහා වැරදිකරු බව, පසුගිය 17 වැනිදා රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් තීරණය කර ඇත්තේ.

+++

පාස්කු ප්‍රහාරය ගැන දයාසිරිගෙන් ලීක් වුණ සාක්ෂි – නිලන්ත ජයවර්ධන පාස්කුවේ වැඩේ හරියටම කළා (20.07.2025)

+


සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ අභිරහස් මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

(20.07.2025 – hirunews.lk)

යාපනයේ චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය වූ ‘තමිලිනී සදීසන්’ගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාව කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (19) දින යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 පෙබරවාරි 15 වන දින, ඇය සිය නිවසේ නිදා සිටියදී ගින්නකට හසුවී පිලිස්සුම් තුවාල ලබා මියගොස් සිටි අතර, එම අවස්ථාවේදී ඇයගේ සැමියා රෝහලට සහ පොලීසියට ප්‍රකාශ කර තිබුණේ රාත්‍රියේදී මදුරු දඟරයක් දැල්වීමට යාමේදී ඇගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.

කෙසේ වෙතත්, මෙම මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් පවතින බව මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මව, පියා ඇතුළු ඥාතීන් විසින් කෝපායි පොලීසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇගේ සැමියා විසින් ඇගේ සිරුරට ගිනි තබා ඇයව ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේ ඇය මාස හයක ගැබිනියක්ව සිට ඇති අතර, සැකපිට අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරියෙකු වන ඇයගේ සැමියා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් තිබෙනවා ෴


වඩුකෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (2) අතර අද (20) ඇතිවූ ගැටුම

(20.07.2025 – hirunews.lk)

වඩුකෝඩෙයි මූලෙයි ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් (2) අතර අද (20) ඇතිවූ ගැටුමකින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ටද ගල් ප්‍රහාර එල්ල වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළ අන්දමට ඊයේ (19) දින පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර යම්කිසි කරුණක් හේතුවෙන් ආරවුලක් ඇති වී තිබෙනවා.

එහිදී අද (20) දිනයේදී මෙම ගැටලුවට ගම්වාසීන්ද සම්බන්ධ වීමත් සමග එය විශාල ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ගැටුම අතරතුරදී යතුරුපැදියකට ගිනි තබා ඇති අතර, තවත් යතුරුපැදියක් සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි වඩුකෝඩෙයි පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී, ඔවුන්ට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙහිදී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් කණ්ඩායමකට අයත් පුද්ගලයන් දෙදෙනෙකු (2) මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මූලෙයි ප්‍රදේශය සඳහා පොලිස් ආරක්ෂාව සපයා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+


රූපලාවණ්‍යාගාරයක සිටි තරුණියක් පිරිසක් සිහිසුන්වී ඇද වැටෙයි

(20.07.2025 – hirunews.lk)

මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ පිහිටි මහල් ගොඩනැගිල්ලක වූ රූපලාවණ්‍ය ආයතනයක් තුළදී හදිසියේ සිහි මුර්ඡා තත්ත්වයට පත්වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව අප වාර්තාකරු පවසනවා.

එහිදී අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ රූපලාවණ්‍ය ආයතනයේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් එහි සියලු දොර ජනෙල් වසා දමා විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර, වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ඇතිවූ විෂ වායු තත්වයක් හේතුවෙන් මෙම හදිසි තත්ත්වය උද්ගතව ඇති බවට පොලිසිය විසින් සැක කරනු ලබන බවයි.

සිද්ධිය අනාවරණය වී ඇත්තේ, අසල වෙළඳසැලක සේවකයෙකු, රූපලාවණ්‍යාගාරයේ ඉදිරිපස සිහිසුන්ව බිම වැටී සිටි තරුණියක් දැකීමෙන් වන අතර, තවත් කිහිප දෙනෙකු සමග පැමිණ දොර විවෘත කර ඇතුළට ගිය අවස්ථාවේදී තවත් තරුණියන් සය දෙනෙකු (6) සහ පුද්ගලයෙකු (1) ද සිහිය නොමැතිව වැටී සිටින අයුරු දැක තිබෙනවා.

මෙම පිරිස විසින් වහාම පොලිසිය දැනුවත් කර ඇති අතර, සිහි නොමැතිව සිටි පිරිස රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සය දෙනෙකු (6) මහනුවර ජාතික රෝහලටද, තවත් දෙදෙනෙකු (2) මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකටද ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+++

+


පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා රිමාන්ඩ්

(20.07.2025 – hirunews.lk)

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා අගෝස්තු (01) වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ මතුගම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මතයි.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලදැයි කියන වාහනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

නීතිවිරෝධී ලෙස එකලස් කරන ලදැයි කියන වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ඒකකය විසින් ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ෴


නාවික හමුදාවේ විශේෂ මෙහෙයුමකින් පසු ධීවරයින් තිදෙනෙකු (3) මුදාගැනේ

(20.07.2025 – hirunews.lk)

වත්තල – පල්ලියවත්ත ප්‍රදේශයේ සිට නාවික සැතපුම් දෙකක් (2) පමණ දුරින් වූ බටහිර මුහුදේ ආපදාවට ලක්වූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසු මුදාගෙන තිබෙනවා.

ඔවුන් මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ධීවර දෙපාර්තමේන්තුව වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

පසුගිය 18 වනදා මෙම ධීවරයින් පිරිස පල්ලියවත්ත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සදහා පිටත්ව ගොස් ඇති අතර, අයහපත් කාලගුණයක් සමග ඔවුන් ගමන්ගත් යාත්‍රාව ක්‍රියා විරහිත වී තිබෙනවා ෴


කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමට පැමිණි දෙදෙනෙකුට (2) පහරදීමක්

(20.07.2025 – hirunews.lk)

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට (2) එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී තිබෙනවා.

පහරදීම හමුවේ ඝාතනය සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනා (2) ඝාතනයට රැගෙන ආ T56 වර්ගයේ ගිනි අවිය සහ යතුරු පැදිය ද එම ස්ථානයේ දමා පළා ගොස් තිබුණා.

එලෙස සමාජ ශාලාවේ දමා ගොස් තිබියදී T56 වර්ගයේ ගිනි අවිය, පතොරම් 25 ක් සහ පතොරම් ගැබක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

වෙඩි තැබීම සඳහා පැමිණි යතුරුපැදිය අදාළ සමාජ ශාලාවේ නිලධාරින් විසින් කොල්ලු‍පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලු‍පිටිය පොලිසිය සහ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා .

+++

+


වත්තලදී ඝාතනයට ලක්වූ තැනැත්තා ගැන කරුණු රැසක් හෙළිවෙයි

(20.07.2025 – hirunews.lk)

වෙඩිතැබීමකට අනුබල දුන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය තිබෙනවා.

පොලිසිය පවසන්නේ ඊයේ (19) රාත්‍රීයේ අදාළ පුද්ගලයා සිය දෙමහල් නිවස තුළ දී එම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝතනයට ලක්ව ඇත්තේ 43 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) විසින් ත්‍රිරෝද රථයකින් අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ තියුණු ආයුධවලින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) ද නිවසේ සිට තිබේනවා.

මියගිය පුද්ගලයා මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී පදනම යටතේ ලබාගෙන බිරිඳ සහ දරුවන් දෙදෙනා (2) සමග ජීවත්ව සිට ඇති බව සඳහන්.

ඔහු 2023 වර්ෂයේ මහබාගේ ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අදාල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු අත්අඬංගුවට ගෙන නොමැති අතර වත්තල පොලිස් ස්ථානය මඟින්‍ හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කොට තිබෙනවා.

+


ඩිජිටල් ID හදන්න කළින් රටේ වෙන්න ඕනේ ප්‍රබල වෙනසක් ගැන නීති ප්‍රවීණයින් කට අරියි (20.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *