මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි

මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි


මව්පිය නොසැලකිල්ලෙන් අවාසනාවන්ත ලෙස සය (6) හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමි වෙයි

(15.07.2025 – 20:04 +0530 – sinhala.adaderana.lk)

නාග දෂ්ඨනයකට ලක්වූ දරුවකු නිසි ප්‍රතිකාර සඳහා යොමු නොකිරීම හේතුවෙන් මියයාමේ අවාසනාවන්ත පුවතක් ‘අද දෙරණ’ට වාර්තා විය.

ඒ හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයෙනි.

හඟුරන්කෙත උඩගලඋඩ ප්‍රදේශයේ පදිංචි සය (6) හැවිරිදි පුංචි අභිලාෂ් පසුගිය ඉරිදා (13) තම මව සහ පියා වැඩ කරමින් සිටි කුඹුර ආසන්නයේ තිබූ නෙල්ලි ගසකට නැග නෙල්ලි කඩමින් සිට තිබුණි.

එහෙත් ගසින් බසින අවස්ථාවේ ගස පාමුලදී අභිලාශ් නාග දෂ්ඨනයකට ලක්ව තිබූ අතර, වහාම ක්‍රියාත්මක වූ මව්පියන් දරුවා කඩිනමින් රැගෙන ගොස් තිබුණේ නිවසට ආසන්න පාරම්පරික සර්ප විෂ වෛද්‍යවරයෙකු වෙතය.

නාග දෂ්ඨනය සිදුව තිබූ අභිලාශ්ගේ දකුණු පාදයෙහි පහළ කොටස තදින් ගැටගැසීමට සර්ප විෂ වෛද්‍යවරයා පියවර ගෙන තිබුණේ නාග විෂ පාදයේ ඉහළට ගමන්කිරීම වැළැක්වීම සඳහා බව පවසමිනි.

එලෙස දවසක් මුළුල්ලේ පාදය ගැටගසා තිබී ඇති අතර අද (15) අලුයම වනවිට අභිලාෂ් අසාද්‍ය තත්ත්වයට පත්වීම නිසා රිකිල්ලගස්කඩ දිසා රෝහලට ඇතුළත් කිරීමට මව්පියන් පියවර ගෙන තිබුණේ ප්‍රදේශවාසීන්ගේ දැඩි බලකිරීම මතය.

දරුවාගේ පාදයේ පටක මියයෑම නිසා ආසාදන තත්ත්වයට පත්ව ඇති බව දරුවා පරීක්ෂාවට ලක්කළ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ නිගමනය වී තිබුණි.

ඒ හේතුවෙන් දරුවා හදිසි ශල්‍යකර්මයකට ලක්කර පාදය ඉවත්කෙරුණද අභිලාශ් අවාසනාවන්ත ලෙස මෙලොව හැරගියේය.

වෛද්‍යවරුන්ගේ නිගමනය වන්නේ පාදය ගැටගසා තිබූ ස්ථානයෙන් රුධිර ගමනාගමනය සිදු නොවීමෙන්, පාදයට දැඩි ලෙස හානි වී දරුවාගේ මොළයට සහ හෘදයට විෂබීජ ආසාදනය වීම මරණයට හේතුව වී ඇති බවය.

ජීවිතය අරඹද්දීම පුංචි අභිලාෂ් මෙලොව හැරයන්නේ ජීවිතයක වටිනාකම පිළිබඳ මනා පාඩමක් වැඩිහිටියන්ට කියාදෙමිනි.

+


ගෝටාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් පලවා හැරීම ගැන මෙතෙක් හෙළි නොවූ තිරය පිටුපස කතාව (10.07.2025)

+

ගෝටා ගෝ හෝම් පිටුපස ජනාධිපති ගෝටාභය අමෙරිකානු තානාපතිනි ජුලී චංට අවනත වූ හැටි (15.07.2025)

+


තරුණයෙක් දූරියන් ඇහිඳීමට ගිහින් වෙඩි කෑ සිද්ධියේ තොරතුරු රැසක් එළියට

(15.07.2025 – hirunews.lk)

මීරිගම, බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට ඊයේ (14) පස්වරුවේ තරුණයින් තිදෙනෙකු (3) පැමිණ තිබුණේ එහි තිබූ දූරියන් ඇහිඳීමේ අරමුණින්.

එම අවස්ථාවේ ඉඩමේ මුරකරු එම තරුණයින් දෙසට වෙඩි තබා තිබෙනවා.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන් එක් (1) තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා (2) එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.

පසුව ඉඩමේ හිමිකරු මේ සම්බන්ධයෙන් මීරිගම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

එහිදී ස්ථානීය පරීක්ෂණය සිදුකරන තෙක් තරුණයාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පොලිසිය පැවසූ බවටයි ඥාතීන් චෝදනා කළේ.

පසුව 1990 ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ තරුණයාගේ සිරුර නැවත පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ ‘අක්කරවිස්ස’ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරු මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

අදාළ තරුණයා මියයාමට පෙර දිනයේ යුද හමුදාවට එක්වීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ද සහභාගී වී තිබූ අතර ඉන් ඔහු තෝරාගෙන තිබුණා ෴


‘දොස්තර කැතහිත’ට සම්බෝල වෙන්න වදී – විමල්ගෙන් අදත් බර අවි ප්‍රහාරයක් (16.07.2025)

+


කාන්තාවක් (1) සහ පුද්ගලයන් දෙදෙනෙක් (2) ත්‍රීරෝද රථයක් කොල්ල කති

(16.07.2025 – hirunews.lk)

දරුවෙකු වඩාගත් කාන්තාවක් (1) සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් (2) ඊයේ (15) රාත්‍රී 9 ට පමණ කොට්ටාවේදී ත්‍රීරෝද රථයකට ගොඩ වී තිබෙනවා.

ඒ තලගල ප්‍රදේශයට යාමට අවැසි බව පවසමින්.

ආලෝකය අවම පාළු මාවතකදී පසුපස සිටි එක් පුද්ගලයෙක් (1) රියදුරුගේ දෑස් දෑතින් වසා, එක්වරම මිරිස් කුඩු වැනි යමක් එල්ල කර තිබෙනවා.

අනතුරුව පසුපස සිටින්නන් විසින් රියදුරුව ඉවතට තල්ලු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉන්පසු ඔවුන්, රියදුරු සන්තකයේ තිබුණු රු. 11,000 කට ආසන්න මුදලක්, ජංගම දුරකථන දෙකක් (2), තවත් ලියකියවිලි සහ ත්‍රී රෝද රථයත් රැගෙන පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මොරගහතැන්න පොලිස් ස්ථානය විසින් සිදු කරනවා ෴


රුපියල් බිලියන 1.8 ක මුදල් වංචාවකට ‘සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ’ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂකගේ වැඩ තහනම්

(16.07.2025 – hirunews.lk)

‘ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ’ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂක ‘සම්පත් ගනේපොළ ආරච්චි’ගේ වැඩ තහනම් කිරීමට එහි ඉහළ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

රුපියල් බිලියන 1.8 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ඉකුත් 11 වැනිදා එම තීරණය ඔහු වෙත දන්වා තිබෙන බවයි සඳහන්.

‘සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ’ ගිණුමට මූලාශ්‍ර නොමැතිව රුපියල් කෝටි දෙසීයකට (200) ආසන්න මුදලක් බැරවී තිබෙන අතර එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ මුදල් වාර්තා තබා නොමැති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙක් ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවේ.

ඊට අමතරව එම මුදල් අක්‍රමවත් ලෙස භාවිත කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙන බවයි එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කළේ.

මේ අනුව ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටයි ‘ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ’ පාලනාධිකාරිය තීරණය කර තිබෙන්නේ.

පසු ගිය මැයි 28 වැනිදා කළ විගණන වාර්තාවට අනුව මෙම වැඩ තහනම් කිරීමට හේතු වූ මුදල රුපියල් 1,828,538,560 ක් බවද ‘ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ’ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා ෴


රුපියල් මිලියන 31.17 ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

(16.07.2025 – hirunews.lk)

රුපියල් තුන් කෝටි එකොළොස් ලක්ෂ හැත්තෑ දහසක් (3,11,70,000) වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’, ඔස්සේ පිට කර යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) පෙරවරුවේ ගුවන් තොටුපොළ රේගුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි, කරත්තයක් භාවිතා කර එළවළු වෙළදාමේ නිරත වන 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවටයි වාර්තා වන්නේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ‘තුනට නවන’ කුඩ 50 ක් ද තායිලන්තයෙන් මිළදී ගෙන ඉන් කුඩ 20 ක් ඇසුරුම් වලින් ඉවත් කර, එම ඇසුරුම් තුළට මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ පුරවා රැගෙන විත් ඇති බව අනාවරණ වී තිබෙනවා.

‘කුෂ්‍ මත්ද්‍රව්‍ය’ කිලෝ 03 යි ග්‍රෑම් 117 ක් එලෙස සඟවා තිබූ අතර, ඒවා අත්අඩංගුවට ගෙන විවෘත කළ පසු දැඩි දුර්ගන්ධයක් ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ පැතිර ගිය බවයි ‘ගුවන්තොටුපල හිරු වාර්තාකරු’ පැවසුවේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

+


‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග කාන්තාවක් අත්අඩංගුවට

(16.07.2025 – hirunews.lk)

‘අයිස් මත්ද්‍රව්‍ය’ ළඟ තබා ගත් කාන්තාවක් මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට මෝදර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.

කොළඹ 13 පදිංචි චන්ද්‍රසේකරන් රාහුල් නමැති පුද්ගලයෙකුගෙන් එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ලබාගත් බව, ඇයගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබෙනවා.

එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරු ද අත්අඩංගුවට ගත් අතර, ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 745 ක් හමුවී තිබෙනවා.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන, දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින පළණි ක්ලෝරියන් ශිරාන් සහ පලණි ක්ලෝරියන් රිමෝෂන් නමැති සංවිධානාත්මක අපරාධකරුවන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බව පොලිසිය හඳුනාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, එම සැකකරුවන් මෝදර, මට්ටක්කුලිය හා බ්ලූමැන්ඩල් ප්‍රදේශවල සිදු වූ පුද්ගල ඝාතන කිහිපයකටම අවශ්‍යව සිටින සැකකරුවන් බවයි.

ඔවුන්ගේ අනුදැනුම මත ඉදිරි දින කිහිපය තුළ තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට ද නියමිතව තිබූ බවත් අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී බ්‍රසීලයේ නිෂ්පාදිත සුදු පැහැති රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ මිලිමීටර් 9 වර්ගයේ පතොරම් 5 ක් ද හමුවී තිබෙනවා.

සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක (7) රැඳවුම් නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයේ රඳවා තබා ගෙන තිබෙනවා.

+


දෙහැවිරිදි (2) දරුවෙකු ‘මීරා ඕඩෙයි ඇළ’ට වැටී ජීවිතක්ෂයට

(16.07.2025 – hirunews.lk)

අක්කරපත්තුව ප්‍රදේශයේ ‘මීරා ඕඩෙයි ඇළ’ට වැටී දෙහැවිරිදි (2) ෆායික් අහමඩ් නම් දරුවා පෙරේදා (14) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.

ඥාතීන් පවසන්නේ අද (16) ෆායික් අහමඩ්ගේ දෙවන (2) උපන්දිනය බවයි.

ඥාතීන් විසින් දරුවා වතුර මත පාවෙමින් සිටියදී සොයාගෙන ඇති අතර, දරුවාව වහාම අක්කරපත්තුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇතත්, අනතුරුව දරුවා මියගොස් තිබෙනවා.

‘මීරා ඕඩෙයි ඇළ’ට වැටී පසුගිය ජනවාරි මාසයේදී ද 6 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

වසර කිහිපයකට පෙර ෆායික්ගේ ඥාති සහෝදරයෙකු ද මෙම ඇළට වැටී මියගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ.

මෙම මරණවලින් පීඩාවට පත් ජනතාව ඊයේ (15) සවස විරෝධතාවයක නිරත වූවා.

ඔවුන් ‘මීරා ඕඩෙයි ජලාශය වටා ආරක්ෂිත වැටක් හෝ තාප්පයක් ඉදිකළ යුතුයි’ යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතා පැවැත්වූවා.

මෙම විරෝධතාවයට එම ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වී තිබෙනවා.

+


SLIIT ඇතුළේ ගහපු ගැහිලි වසන්ත හෙළිකරයි – “වංචාවට සම්බන්ධ වූ සියලුදෙනා පරිස්සමින් ඉන්න” (16.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *