ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට

ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට


ග්‍රයින්ඩර තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදී සිසුවෙක් ජීවිතක්ෂයට

(12.07.2025 – hirunews.lk)

ග්‍රයින්ඩරයක තලයක් කැඩී විසිවී ගොස් පපුවේ වැදීමෙන් පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා මියගොස් තිබෙනවා.

සිදුවීම කටාන ප්‍රදේශයෙන් වාර්තා වන බවයි පොලිසිය පවසන්නේ.

අවුරුදු 15 ක දරුවෙක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි කටාන පොලිසිය පැවසුවේ.

මෙම සිසුවා ඊයේ (11) පෙරවරුවේ ඥාතියෙකුට අයත් එම වැඩපොළට ගොස් ග්‍රයින්ඩරයක් ආධාරයෙන් පී.වී.සී. බටයක් කැපීමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ.

එහිදී දී ග්‍රයින්ඩරයේ තලය කැඩී විසිවී ළමයාගේ පපුව පසාරු කරගෙන ගොස් තිබෙන බව පැවසෙනවා.

එම අවස්ථාවේ තුවාල ලැබූ සිසුවා මීගමුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) දහවල් ඔහු මියගොස් ඇති බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


කොටහේන ත්‍රිරෝද රථ කොල්ලයට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට

(12.07.2025 – hirunews.lk)

කොටහේන, සංඝරාජ මාවතේ හෝටලයක් අසලදී ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු (8) ඊයේ (11) කොටහේන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ස්ටේට්ස් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අවුරුදු 28 ත් 53 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ත්‍රිරෝද රථය කුලී පදනම මත ධාවනය කර ඇති අතර, එය හිමිකරු සන්තකයේ තිබියදී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනතුරුව, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත්, පැහැරගෙන ගොස් තිබූ ත්‍රිරෝද රථය සොයා ගැනීමටත් හැකි වූ බවයි සඳහන් ෴


ඇල්ලේ ගින්නකින් ඉදිකරමින් තිබූ සංචාරක නිකේතනයක් විනාශයි

(12.07.2025 – hirunews.lk)

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ප්‍රදේශයේ කැලෑව ආශ්‍රිතව හටගත් ගින්නකින් ඉදිකරමින් පැවති සංචාරක නිකේතනයක් මුළුමනින්ම විනාශ වී ඇති බව ඇල්ල පොලීසිය පවසනවා.

පවතින වියළි කාලගුණික තත්ත්වයන් සහ තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම සංචාරක නිකේතනය ගිනිදැල්වලට හසුව විනාශයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ඇතිවූ මෙම ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති බවයි.

බණ්ඩාරවෙල ගිනි නිවීමේ ඒකකය, පොලීසිය සහ වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් ගත් සංචාරක බෝට්ටුවක් අනතුරට

(12.07.2025 – hirunews.lk)

යාපනයේ ඩෙල්ෆ්ට් දූපත බලා ගමන් කරමින් සිටි දේශීය සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්ව තිබෙනවා.

මෙම බෝට්ටුවේ සංචාරකයින් 12 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු ගමන් කර ඇති අතර, අනතුරෙන් පසු ඔවුන් සියලු දෙනා ආරක්ෂක අංශ විසින් බේරා ගැනීමට සමත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මුහුද මැදින් ගමන් කරමින් තිබූ ‘සබරිෂ්’ නම් දිගු දුර බෝට්ටුවේ කාර්ය මණ්ඩලය, අනතුරට පත් සංචාරක බෝට්ටුවෙන් සුදු කොඩියක් ප්‍රදර්ශනය කරනු දැක තිබෙනවා.

ඔවුන් ක්ෂණිකව ක්‍රියාත්මක වී, හානියට පත් බෝට්ටුවේ සිටි සියලුම සංචාරකයින් ආරක්ෂිතව තම බෝට්ටුවට මාරු කර ගැනීමට සමත් වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව එම ස්ථානයට පැමිණි නාවික හමුදා බෝට්ටුව, බේරාගත් මගීන් තම බෝට්ටුවට නංවාගෙන තිබෙනවා ෴


කොස්ගොඩ, වෙඩි තැබීම ‘ෂාන් මල්ලි’ – ‘බාලේ’ ගැටුමේ දිගුවක්

(12.07.2025 – hirunews.lk)

කොස්ගොඩ, හතරමංහන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) පස්වරුවේ කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනූව දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘ෂාන් මල්ලි’ නැමැත්තා විසින් එම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි හෙළිව ඇත්තේ.

එම වෙඩි ප්‍රහාරයෙන් කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ‘නිමුතු අභිෂාන්’ හෙවත් ‘රන් මහත්තයා’ නැමැත්තා තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කෙසේ වෙතත් වෙඩික්කරුවන්ගේ ඉලක්කය මෙම පුද්ගලයා නොවන බවටයි පොලිසිය අනාවරණය කරගෙන තිබෙන්නේ.

තුවාල ලැබූ තැනැත්තා ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

ඒ ඔහු අහුන්ගල්ල ප්‍රදේශයේ සිට කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී බවයි පොලිසිය කියා සිටියේ. අදාළ ත්‍රිරෝද රථයේ හිමිකරුවන ‘බාලේ’ නැමැත්තා වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ‘බාලේ’ නැමැත්තාගේ සහෝදරයෙක්.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එක්ක කර ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

මීට වසරකට පමණ ඉහතදීත් ‘බාලේ’ නමැත්තා ඉලක්කකර අහුන්ගල්ලේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් එහිදී ඔහු තුවාල ලබා තිබෙන බවත් පොලිසිය පවසනවා.

‘බාලේ’ නැමැත්තා සහ ‘ෂාන් මල්ලි’ අතර කලක සිට පවතින ආරවුලක් වෙඩි ප්‍රහාරයට හේතුව බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ ෴


හම්බන්තොට කුරුලු උද්‍යානයේ ගබඩාවකින් සුපිරි යතුරු පැදි තොගයක් සොයාගැනේ

(12.07.2025 – hirunews.lk)

හම්බන්තොට – නාගරවැව කුරුලු උයනේ ආහාර ගබඩාවේ සඟවා තිබියදී, නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරු පැදි 21 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කුරුලු උයනේ කළමණාකරු සහ ගබඩා පාලකවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 40 සහ 50 වයස්වල පසුවන ඔවුන් මාතර සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට ලද විශේෂ තොරතුරක් මත ‘මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්’ කණ්ඩායමක් අද (12) පෙරවරුවේ මෙම වැටලීම සිදුකර තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, අදාළ යතුරු පැදි තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට (1,50,00,000) අධික බවයි.

මෙහිදී කුරුලු උයන පරිශ්‍රයේ නීති විරෝධීව වගාකර තිබූ ගංජා පැල 04 ක් ද සොයාගෙන තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *