නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝගයක්
නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝගයක්
(09.07.2025 – hirunews.lk)
විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කළා.
එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහාය හා පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය අමාත්‍යවරයාට නියම කරනු ලැබුවා.
2020 වසරේ නවකවදය හේතුවෙන් ශාරීරික මෙන්ම මොළයට සිදුවූ තුවාල හේතුවෙන් පීඩාවට පත්ව සිටින පළමු වසරේ සිසුවක වන පසිඳු හිරුෂාන් ද සිල්වා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශිරාන් ගුණරත්න, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කළා.
මෙම නියෝග ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රගතිය විමසීම සඳහා මෙම නඩුකරය ජනවාරි මස 14 වන දා කැඳවන ලෙසත් අධිකරණය නියම කරනු ලැබුවා ෴
කඳානේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(09.07.2025 – hirunews.lk)
පසුගිය 03 වැනිදා කඳාන පොලිස් වසමේ කඳාන පොදු වෙළඳසැල අසල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් කාර් රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට (2) ගිනි අවියකින් වෙඩි තබා පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (08) දහවල් කාලයේදී කඳාන පොලිස් වසමේ රූපමුල්ල හන්දියේදී හා කඳාන නගරයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට හා තවත් පුද්ගලයෙකුට තුවාල කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සහ කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු රාගමදී අත්අඩංගුවට
(09.07.2025 – hirunews.lk)
රාගම පොලිස් වසමේ සහස්පුර නිවාස සංකීර්ණය ප්‍රදේශයේදී කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (08) සවස් කාලයේදී ක්ෂණික මාර්ග බාධක යොදා සිදුකළ පුද්ගලයින් පරීක්ෂාවකදී හෙරොයින් කිලෝ 09 ග්‍රෑම් 240 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 26 ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී රාගම පොලිස් වසමේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සඳහා යොදා ගෙන ඇති ගිනි අවිය වෙඩික්කරු වෙත ප්‍රවාහනය කර ඇති බවත්, අපරාධයෙන් පසුව ගිනි අවිය ලබාගෙන ඔහු සඟවා තැබූ බවටත් අනාවරණය වී තිබෙනවා.
මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය ලබාගෙන ආරක්ෂිතව නිවසේ සඟවාගෙන සිට ඇති බවටත් කරුණු අනාවරණය වී තිබුණා.
මෙම සැකකරුගේ තාවකාලික පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී SMG වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2), එම අවියට යොදන පතරොම් ගැබ් දෙකක් (2), අවියට භාවිතා කරන 9MM වර්ගයේ ජීව පතරොම් 10 ක් සහ T56 වර්ගයේ ගිනි අවියක යකඩ බට් කොටසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
තවද සැකකරුගේ ප්‍රකාශ මත අනාවරණය කරගත් කරුණු අනුව එම නිවසේ තිබී කේරළ ගංජා කිලෝ 67 යි ග්‍රෑම් 570 ක්, විද්‍යුත් තරාදියක්, ගුවන් හමුදා නිළ ඇඳුමක කමීසයක්, යුධ හමුදා නිලධාරීන් පලඳින බූට් සපත්තු යුගලක්, රවුටරයක්, යතුරු පැදියක්, ජංගම දුරකථන 03 ක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් හා තවත් දේපළ රැසක් පොලිස් භාරයට ගෙන තිබුණා.
කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා ෴
අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයින් දෙදෙනා (2) රාගම, බටුවත්ත ප්‍රදේශයේ ‘ආමි උපුල්’ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙනවා.
රාගම මිහිඳු මාවතේදී පසුගිය ජූලි 03 වැනිදා රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි අයෙකු (1) විසින් ‘උපුල් අමරජිත් රත්නායක’ නොහොත් ‘ආමි උපුල්’ නැමති පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
ඔහු ඝාතනයට ලක්වූ ‘ගණේමුල්ල සංජීව’ගේ ප්‍රධානතම ගෝලයෙක් බවටයි සිදුකළ විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූයේ ෴
නැන්දා ගෙදර නැති වෙලේ මාමා කළ අහස පොළොව නුහුලන අපරාධය
(08.07.2025 – hirunews.lk)
11 හැවිරිදි බාල වයස්කාර දැරියක් සිය මාමා විසින් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ සිදුවීමක් තණමල්විල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
සැකකාර පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් පාසැලක 6 වැනි ශ්‍රේණියේ දරුදැරියන් සඳහා එම පාසැලේ විනයභාර ගුරුවරිය විසින් දරුවන්ට සිදුවන අපචාර සහ හිරිහැර ගැන දැනුවත් කිරීමේ දේශනයක් පවත්වා තිබෙනවා.
එහිදී දරුවන් දැනුවත් කර ඇත්තේ කිසියම් දරුවෙකුට මෙවැනි කරදර සිදුවී ඇත්නම් තමාව දැනුවත් කරන ලෙසයි.
එහිදී හයවැනි (6) ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි දැරියක් පැමිණ ඇයට ලිපියක් ලබාදී ඇති අතර, එහි සඳහන්ව තිබී ඇත්තේ අදාළ දැරියට සිදුවූ ලිංගික හිරිහැරයක් සම්බන්ධයෙන්.
ඒ අනුව පාසැලේ විනයභාර ගුරුවරිය විසින් ඒ බව පාසැලේ විදුහල්පතිවරයා දැනුවත් කර ඇති අතර විදුහල්පතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ දැරිය පොලිසියට ගෙන්වා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී දැරිය තමාව අවස්ථා කීපයකදීම අපයෝජනයට ලක් වූ බව පවසා තිබෙනවා.
තමා දිනක් උපකාරක පන්තියකින් යලි නිවසට රැගෙන යාම සඳහා මාමා යතුරුපැදියෙන් පැමිණි අතර, අසල වෙළෙඳසැලකින් තමාට ලොලිපොප් දෙකක් රැගෙන දී මාමාගේ නිවසට රැගෙන ගිය බවයි දැරිය පොලිසියට පවසා තිබෙන්නේ.
තම පියාගේ නැගනිය වන නැන්දා එදින නිවසේ සිට නොමැති අතර එම අවස්ථාවේ මාමා තමාට කාමරයට යන ලෙස පැවසුවත් තමා එය ප්‍රතික්ෂේප කළ බවයි දැරිය පවසා ඇත්තේ.
එහිදී මාමා තමාව බලෙන් ඔසවාගෙන කාමරයට රැගෙන ගොස් තමාව අපයෝජනයට ලක් කළ බවත් දැරිය පවසා තිබෙනවා.
මෙලෙස දැරිය අවස්ථා කිහිපයදීම සිය මාමා විසින් අපයෝජනයට ලක් කර ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ දැනුවත් කළහොත් ඇය සහ ඇගේ මව ඝාතනයට ලක් කරන බවට ද තර්ජනය කළ බවයි දැරිය පවසා ඇත්තේ.
එමෙන්ම දැරිය අපයෝජනයට ලක් කළ අවස්ථාවක ඒ සම්බන්ධයෙන් කිසිවෙකුත් දැනුවත් නොකරන ලෙසට දන්වා දැරියට රුපියල් 100 ක්ද ලබා දුන් බව දැරිය වැඩිදුරටත් පවසා තිබෙනවා.
පසුව දැරිය තණමල්විල රෝහලට ඇතුලත් කර වැඩිදුර වාර්තා ලබාගැනීම සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල ප්‍රදේශයේම පදිංචි දැරියගේ මාමා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ අතර ඔහු 24 හැවිරිදි අයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
+
මහියංගණයේ පාසල් දරුවන් ගැන පොලීසියෙන් අනාවරණයක් – එක් දරුවෙක්ට ඒඩ්ස්
(09.07.2025 – 11:19 +0530 – sinhala.adaderana.lk)
මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15 ක පාසල් දරුවෙකුට ඒඩ්ස් වැලඳී ඇතැයි තහවුරු වී තිබේ.
බදුල්ල දිස්ත්‍රික් (111) සහකාර පොලිස් අධිකාරි ජී. ඩබ්.බී.එස්. පළිපාන මහතා බදුල්ල ශික්ෂණ රෝහලේ දී පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් මේ බව අනාවරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, බොහෝ පාසල් සිසුන් පාසල් හෝ උපකාරක පන්තිවලට සහභාගී නොවී අනවශ්‍ය තැන්වලට යන බවය.
“පාසැල් යනවා කියල නැතිනම් උපකාරක පන්ති යනවා කියල සමහර ළමයි ගිහිල්ලා කැලෑවල ඉන්නේ. එහෙම හිටියම මේ ළමයින් හැදෙන ලෙඩ රෝගත් තියෙනවා. සොරබොර වැවට ළමයි 15 ක් විතර උදේට ගිහින් තිබුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස වෙනම ගාඩ් එකක් දාලා තියෙන්නේ. මහියංගණය ප්‍රදේශයේ අවුරුදු 15 ක ළමයෙකු ඒඩ්ස්වලට ගොඳුරුවූ බව ළඟදි අනාවරණය වුණා. අවුරුදු 16 ට අඩුනම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තව කෙනෙක් එක්ක යන්න බැහැ.”
ලෝක චර්ම සෞඛ්‍ය දිනය වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩල සාමාජිකන් දැනුවත් කිරීම සඳහා ඌව සායනික සංගමය විසින් සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් සහකාර පොලිස් අධිකාරීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ, මහිංයංගණය ප්‍රදේශයේ බොහෝ පාසල් ළමුන් රූපලාවන්‍යාගාර වෙත යොමුවීම කරදරකාරී තත්ත්වයක් බවය.
“මහියංගණය ප්‍රදේශයේ අපි දකිනවා අද දකින ළමයා නොවෙයි හෙට ඉන්නේ. ගැහැණු ළමයි සුදුවෙලා අමුතුයි. හිතාගන්න බැරි සුදක් තියෙන්නේ. මහියංගණයේ ඉස්සර එහෙම ළමයි හිටියේ නැහැ. රූපලාවන්‍යාගාරවලට ගිහින් ස්වාභාවික ලස්සන නැති කර ගන්නවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව රූපලාවන්‍ය ද්‍රව්‍ය ෆාමසිවලින් හිතුමතේට නිකුත් කරනවා. ඒ නිකුත් කිරීම තුළින් ළමයිගේ හමේ තියෙන පැහැපත්බව නැති කරගන්නවා. ළමයි විතරක් නොවෙයි අම්මලාත් සුදුවෙන්න යනවා. මොන හේතුවක් නිසා එහෙම වෙනස්වෙන්න උත්සාහ කරනවා ද දන්නේ නැහැ. ක්‍රීම් වර්ග භාවිතා කරලා සමහර අයගේ මුණවල්වලින් ගන්න දෙයක් නැහැ. විරුපී වෙලා.”
බදුල්ල ශික්ෂණ රෝහලේ චර්ම සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කසුන් ජයසිංහ මහතා විශේෂ දේශනය පවත්වමින් කියා සිටියේ, වෛද්‍ය නිර්දේශ නොමැතිව භාවිතා කරන ඇතැම් රූපලාවන්‍ය ද්‍රව්‍ය නිසා බොහෝ දෙනෙකු අතුරු ආබාධයන්ට ලක්වන බවය.
මේ අයුරින් බදුල්ල ශික්ෂණ රෝහලේ සායනවලටද පැමිණෙන කාන්තාවන්ගේ වැඩිවීමක් තිබෙන බවද ජයසිංහ මහතා පැවසීය.
+
2026 දී සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්
(09.07.2025 – 10:17 +0530 – sinhala.adaderana.lk)
2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අද (09) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“පාසල් 1000 ක ‘සුහුරු පුවරු’ සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනාකර තිබෙනවා. ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට ‘සුහුරු පුරවරු’ 1900 ක් පාසල් 1500 ක් වෙත බේදාදීමට නියමිත වෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමටත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. 2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපෙක්ෂිතයි. රුපියල් 5,000 ‘අසීමිත දත්ත පැකේජයක්’ පාසල්වලට හඳුන්වා දීලා තියෙනවා” ෴
හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්
(09.07.2025 – 09:16 +0530 – sinhala.adaderana.lk)
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් (1) අතුරුදන් ව ඇති බව හැටන් පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන් ව ඇත්තේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි.
එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග ඊයේ (08) පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට ගොස් ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදී මෙසේ ජලාශයට ඇද වැටී ඇත.
ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා අතුරුදන් වූ සිසුවාගේ සිරුර සොයා ගැනීමට නොහැකි වු බවත්, සිසුවාගේ සිරුර සොයා ගැනීම සදහා පොලිස් ජීවිත ආරක්ෂක බලකායේ සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නිලධාරින්ගේ සහාය ඉල්ලා ඇති බවත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැවසුවේය.
මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අතුරුදන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති අතර ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදි පරිඝණක භාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවය ෴
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?
(09.07.2025 – 07:16 +0530 – sinhala.adaderana.lk)
ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, ඉන්ධන ප්‍රවාහනයත් ඒකාධිකාරියකට යටත් කිරීමට උත්සාහයක් පවතින බවය.
“මේ වෙලාවේ ඉතාම විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා බවුසර් රථහිමියන්ට. මෙතෙක් කාලයක් තොග ගබඩාවලට බවුසර් රථවලින් තෙල් ඇද්දේ අපේ බවුසර් රථහිමියන් විසින්. මොකද අපි තමා මේ ලංකාවේ ප්‍රධානතම ප්‍රවාහන සේවාව කරන්නේ. අපි තෙල් ඇද්දේ නැත්නම් වෙන කිසිම කෙනෙක්ට දුවන්න තෙල් හම්බවෙන්නේ නෑ. නමුත් පහුගිය වසර දෙක තුනක කාලයේ සිට මේ ව්‍යාපාරය ගජමිතුරු ව්‍යාපාරිකයින් දෙතුන් දෙනෙකුට පවරලා දෙන්න ලෑස්ති වෙලා තිබුණා. අපි සංගමයක් විදියට මැදිහත් වෙලා කාලයක් පුරා ඒක නවත්තාගෙන තිබුණා. නමුත් මේ අවස්ථාවේ තමන්ගේ ගජමිතුරන් කිහිපදෙනෙකුට මේ ප්‍රවාහන සේවය පවරලා දෙන්න තමා මේ හදන්නේ.
බවුසර් එකක් දෙකක් තියෙන බවුසර් රථහිමියන් තමා, ගොඩක් වෙලාවට මේ ව්‍යාපාරයේ යෙදෙන්නේ. බවුසර් රථහිමියෝ 400 – 500 ක් විතර මේ සංගමයේ ඉන්නවා. නමුත් මේ අය නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ සහ මුතුරාජවෙල ඉඳලා කුරුණෑගල පර්යන්තය දක්වා තෙල් ප්‍රවාහනය කිරීම ටෙන්ඩර් මඟින් එක් මුදලාලි කෙනෙකුට භාරදෙන්න හදනවා. මෙහෙම ගියොත් අන්තිමට වෙන්නේ අනෙක් ප්‍රවාහන සේවාවන්ට සිදුවුණ දේ තමා. ඒ නිසා මේක වහාම නවත්තලා සාමාන්‍ය පරිදි ප්‍රවාහන සේවා ඒකාධිකාරියකට යටත් කරන්නේ නැතුව පොදු ජනතාවගේ සේවාවක් ලෙස කරන් යන්න අවස්ථාව දෙන්න” ෴
මට ඉන්න බෑ; ඩොක්ටර් හම්බවෙන්න යන්න තියෙනවා! CIDයෙන් එළියට ආපු විමල් කිව්ව දේ (09.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴