AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන්

AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන්


AI තාක්ෂණය අවභාවිත කරන්නන් ගැන අවධානයෙන්

(02.07.2025 – hirunews.lk)

‘ඒ.අයි. තාක්ෂණය’ පිළිබද ලොවම අවධානයට ලක්කර ඇති පසුබිමක එම තාක්ෂණය අවභාවිත කරමින් සිදුකරනු ලබනවා.

ජාවාරම් පිළිබද පැමිණිලි බොහෝමයක් වාර්තා වී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසනවා.

ඒ අනුව පුද්ගල කටහඩ ‘ඒ.අයි. තාක්ෂණය’ ඔස්සේ සමාන ආකාරයෙන් සකස් කර ‘වට්ස්ඇප්’ ඔස්සේ මුදල් සොරාගැනීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක බවයි එම කොට්ඨාසය සදහන් කළේ.

ඒ අනුව දැනටමත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියා.

මේ අතර මෑත කාලයේ සමාජ මාධ්‍යය තුළ සංසරණය වන ‘ඒ.අයි. තාක්ෂණය’ උපයෝගි කරගනිමින් සකස් කර ඇති වීඩියෝ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල අදහස් දක්වා සිටියා :

“කිසියම් වීඩියෝවක් දුටු පමණින් නිගමනවලට එළඹීමෙන් වැළකිය යුතුයි. කටහඩකින් වුනත් ඔබට දුරකථන ඇමතුමක් එන්න පුලුවන්. යම් වීඩියෝවක් තියෙන්න පුලුවන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ. විමසිල්ලෙන් බලන්න වෙනවා එහි සත්‍ය අසත්‍යතාව පිළිබදව. ගැහැනු දරුවන්, පාසල් සිසුවියන් ඉලක්ක කර සාමාන්‍ය ඡායාරූප විකෘති කරලා අසභ්‍ය ඡායාරූපයක් බවට පත්කරලා ඒ ඔස්සේ ඔවුන්ගෙන් ලිංගික අල්ලස් හෝ තර්ජන, බියවැද්දීම් වාර්තා වනවා. මේ නිසා විශේෂයෙන්ම මේ වගේ එකක් දුටුවොත් ඒවා ‘ඒ.අයි. තාක්ෂණයෙන්’ නිර්මාණය කරපු එකක් වෙන්න පුලුවන්. ඒ නිසා, ඉතා කල්පනාකාරිව ඔබේ තොරතුරු, පෞද්ගලික තොරතුරු සහ සංවේදි ඡායාරූප ඒ අදාළ පාර්ශවයන්ට ලබාදීමේදී සැළකිලිමත් විය යුතුයි” ෴


බිරිද දොර ඇරීම නොකළ නිසා ළිදක් ළඟ නිදා සිටි පුද්ගලයෙකු ළිදට වැටී මියයයි

(02.07.2025 – hirunews.lk)

මත්පැන් පානය කොට ළිදක් අසල නිදාගත් යාපනය මනිපායී ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (01) එම ළිදටම වැටී මිය ගොස් තිබෙනවා.

යාපනයේ මනිපායී දකුණු ප්‍රදේශයේ පදිංචිව සිටි ගණේෂරාජා සුභාෂ්කරන් නැමති දෙදරු පියෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියගිය පුද්ගලයා තම මිතුරකුගේ නිවසට ගොස් මත්පැන් පානය කර නිවසට ඒම පුරුද්දක් කරගෙන සිට ඇති අතර, ඔහුගේ බිරිද මේ සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධය පල කර තිබෙනවා.

මෙම සිද්ධිය නිසා එම නිවසේ නිතර නිතර අඩ දබර ඇති වූ බවයි අසල්වාසීන් පවසන්නේ.

සිද්ධිය වූ දිනයේ රාත්‍රියේද මොහු සිය මිතුරා සමග මත්පැන් පානය කොට නිවසට පැමිණි අවස්ථාවේදී බිරිද නිවසේ දොර ඇරීම ප්‍රතික්ෂේප කිරීම නිසා බීමත්ව පැමිණි පුද්ගලයා ළිද අසල දමා තිබූ කොන්ක්‍රීට් තට්ටුවේ නිදාගෙන සිටියදී ඔහු එක්වරම ළිදට වැටී තිබෙනවා.

අවට වැසියන් ළිදට යමක් වැටෙන ශබ්දය ඇසී බලන විට ඔහු ළිද තුළ සිට ඇති අතර වහාම ඔහුව ලිදෙන් ගොඩගෙන මනිපායී රෝහල වෙත රැගෙන ගොස් ඇතත් පසුව ඔහු මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ.

මනිපායී පොලීසිය මියගිය අයගේ මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත යවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා ෴


‘කොළඹ කාගෝ එක්ස්ප්‍රස්’ වෙත ලැබුණු පාර්සල්වලින් රුපියල් මිලියන 60ක මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

(02.07.2025 – hirunews.lk)

‘ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය’ විසින් කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් මිලියන 60 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ගෙන තිබෙනවා.

‘ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව’ හරහා මෙරටට ඒවා ඇති කොකේන්, ‘කුෂ් සහ කැනබිස් තෙල්’ යන මත්ද්‍රව්‍යයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

‘ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය’ 2024 ජනවාරි 1 සිට 2025 ජුනි දක්වා කාලය තුළ ‘කොළඹ කාගෝ එක්ස්ප්‍රස්’ වෙත අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැක සහිත ‘අධිවේගී කුරියර් පාර්සල්’ ගණනාවක් විශ්ලේෂණය කර රඳවා තබා ගෙන ඇති අතර එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ හිමිකම් කියා පෑමක් නොමැති නිසා තවදුරටත් පරීක්ෂා කිරීමට සිදුව තිබෙනවා.

2025 ජුනි 25 වන දින, ‘ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය’ට අනුයුක්ත රේගු නිලධාරීන්, පාර්සල් විවෘත කර පරීක්ෂා කර ඇති අතර, මෙම පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූවා.

ඒ අනුව, ආසන්න වශයෙන් ‘කොකේන්’ ග්‍රෑම් 1,101 ක්, ‘කුෂ්’ ග්‍රෑම් 1,666 ක් සහ ‘කංසා තෙල්’ කුප්පි හතරක් (4) ද ඒ අතර විය.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 60 ක්.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නිල වශයෙන් භාර දී තිබෙනවා ෴


ත්‍රිරෝද රථයකට මහමගදී ගිනි ඇවිලෙයි

(02.07.2025 – hirunews.lk)

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් අද (02) ගිනිගෙන විනාශ වී තිබෙනවා.

හේවාහැට සිට මූකුලෝය වත්ත දෙසට ධාවනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් මෙසේ ගිනිගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ත්‍රිරෝද රථය එම මාර්ගයේ රූක්වුඩ් වත්ත ප්‍රදේශයේදී හදිසියේ ගිනිගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එය කුලී රථයක් වශයෙන් පුද්ගලයින් ප්‍රවාහනය කරමින් තිබූ බව පැවසෙනවා.

රථයේ රැහැන් දෝෂයක් හේතුවෙන් ගින්න ඇති වන්නට ඇතැයි සැක කරන බවයි පොලිසිය කියා සිටියේ.

හඟුරන්ගත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

+


කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට යාපනයට මාරුවක්

(02.07.2025 – hirunews.lk)

කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබෙනවා.

ඒ කහවත්ත ප්‍රදේශයේදී තරුණයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන හේතුවෙන් බවයි පොලිසිය පවසන්නේ.

අදාළ ඝාතන සිදුවීම ඉකුත් ජූනි 30 වැනිදා සිදුව තිබෙන බවද පොලිසිය පවසනවා ෴

+++

ඝාතනය වූ කහවත්තේ තරුණයා පැහැර ගන්න පොලිසියෙන් කියා 06 දෙනෙකු පැමිණ ඇති බව හෙළිවෙයි

(02.07.2025 – hirunews.lk)

කහවත්ත – ඇන්දාන මාර්ගයේ උඩහවුපේ ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය වී තිබෙනවා.

විමර්ශන සිදු කරන උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ අදාල තරුණයා ඝාතනය කිරීමට පෙර පැහැර ගැනීම සදහා පුද්ගලයින් 06 දෙනෙකු පැමිණ ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් කවුරුන්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ ගැටලුවක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක කරනවා.

පසුගිය 30 වනදා රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් කහවත්ත – බුන්ගිරිය ප්‍රදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නමැති 22 හැවිරිදි තරුණයෙකු මියගියා.

ඔහුගේ මිතුරෙකු වන එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි තරුණයෙකු ද වෙඩි වැදී තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය තරුණයා සහ ඔහුගේ මිතුරා නිවසේ සිටියදී ජීප් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලිසියෙන් බව පවසා ඔවුන් රැගෙන ගොස් තිබුණේ, මාංචු ද දැමීමෙන් අනතුරුවයි.

පසුව ඇන්දාන මාර්ගයේ කොස්කෑල්ල වතු නිවාසවලට පහළ ප්‍රදේශයේ පාලු ස්ථානයකට රැගෙන ගොස් ඔවුන්ට වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශන වලින් අනාවරණ වී තිබෙනවා.

මියගිය තරුණයාගේ මළ සිරුර හමුවූ අවස්ථාවේදී ද ඔහුගේ දෑත්වලට මාංචු දමා තිබූ අතර දණගස්සවා වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසනවා. මියගිය තරුණයාගේ නිවස ආසන්නයේ මීට මසකට පමණ ඉහතදී පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබුණා.

එම අවස්ථාවේදී මියගිය තරුණයාගේ නිවුන් සොහොයුරා ප්‍රකාශ කර ඇත්තේ පොලිසියට තොරතුරු ලබා දුන්නේ තමන් බවයි.

එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකිණීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු ඩුබායිහි සිටින අමිත නැමැත්තෙකු විසින් ඔහුට මරණ තර්ජන එල්ල කළ බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

අමිත නැමැත්තාගේ බිරිද මියගිය තරුණයාගේ නිවස ආසන්නයේ පදිංචිව සිට ඇති අතර, ඇය විසින් සිය සැමියාට මෙම තරුණයන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

විමර්ශණවලදී අනාවරණය වී ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සදහා අදාල තරුණයා නිවසෙන් පිටතට ගැනීමට ද සහයක් ලබා දී ඇති බවයි ෴


සූර්ය බලයේ ඇත්ත කථාව | අලුත් පාර්ලිමේන්තුව | 2025.07.02

+


ඩෙංගු සතියේ තුන්වෙනි (3) දිනටත් හිතාගන්න බැරි තරමේ මදුරුවන් පාත්ති දැමූ අය සැරටම මාට්ටු (02.07.2025)

+


වටිනාකම රු. කෝටි දෙකක් |ශේප් එකේ පන්නගන්න ගිය බඩු සෙට් එකක් එක්කම ව්‍යාපාරිකයෝ කොටු වුණු හැටි (02.07.2025)

+


කැළණි විශ්ව විද්‍යාලය දෙදරා යයි – බලධාරීන්ගේ රෙදි ඉල්ලේ – ජයනි සංජානා කට අරී (02.07.2025)

+


රුපියල් මිලියන 202 කට අධික වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමග තිදෙනෙක් කොටු

(03.07.2025 – hirunews.lk)

කැබ් රථයක් තුළ ප්‍රවාහනය කරමින් තිබූ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 202 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන කේරළ කංසා කිලෝග්‍රෑම් 900 කට අධික තොගයක්, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 02 ක්, මැගසින් 04 ක්, ජීවි උණ්ඩ හතලිහක් 40 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ වැඩිදුර තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන මෝටර් රථයක් සමග තවත් සැකකරුවෙක් (1) ද එහිදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව, වෙන්නප්පුව බෝලවත්ත ප්‍රදේශයේ ඊයේ (02) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

තවද, නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන් අවුරුදු 44 ත් සහ 51 ත් අතර වයසේ පසුවන අනුරාධපුර උලුක්කුලම, පොතානේගම සහ නොච්චියාගම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

එම සැකකරුවන්, කේරළ කංසා තොගය, පිස්තෝල අවි, මැගසින් හා ජීවි උණ්ඩ, කැබ් රථය සහ මෝටර් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදීමට කටයුතු කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *