ඔක්ටේන් 92, සුදු ඩීසල්, භූමිතෙල් ඉන්ධන මිල වැඩි වෙයි

ඔක්ටේන් 92, සුදු ඩීසල්, භූමිතෙල් ඉන්ධන මිල වැඩි වෙයි


ඔක්ටේන් 92, සුදු ඩීසල්, භූමිතෙල් ඉන්ධන මිල වැඩි වෙයි

(30.06.2025 – hirunews.lk)

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව ජූලි මාසයට අදාලව ඉන්ධන මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කර තිබෙනවා.

ජුනි මාසයේදී ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවූ අතර, මැයි මාසයට අදාලව සංශෝධනය කෙරුණු ඉන්ධන මිල ජූනි මාසය තුලද පැවතියා.

ජූලි මාසයට අදාලව අද (30) දින ඉන්ධන මිල සංශෝධනය වූ අතර, ඒ අනුව,

  • රුපියල් 293 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 305 ක්.
  • රුපියල් 274 ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289 ක්.
  • රුපියල් 178 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 289 ක්.

රුපියල් 341 ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ.

රුපියල් 325 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිලෙහිද වෙනසක් සිදුව නැහැ.

IOC ඉන්ධන සමාගමේ මිලත් සිපෙට්කෝ ඉන්ධන මිලට සමාන කරමින් මිල ගණන් වෙනස්කර තිබෙනවා ෴

+++

ඉන්ධන මිල වැඩි වීම ගැන සංස්ථාවේ සභාපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක් (01.07.2025)

+


කහවත්තේදී තරුණයින් දෙදෙනෙකුට (2) වෙඩි; එක් (1) තරුණයෙක් මරුට

(01.07.2025 – hirunews.lk)

කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ ඇන්දාන කහවත්ත මාර්ගයේ උඩ හවුපේ ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයෙකු (1) ඊයේ (30) රාත්‍රියේ වෙඩ්තබා ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වු තරුණයා කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් අයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මෙම තරුණයා සමග සිටි තවත් තරුණයෙකු (1) ජිප් රථයකින් පැහැරගෙන ගොස් ඇති අතර කිලෝමීටර් කිහිපයක් ගොස් එම වාහනයෙන් තරුණයින් දෙදෙනා (2) බස්සවා දෙදෙනාටම (2) වෙඩ් තබා ඇති බවයි පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

වෙඩි වැදුණු අනෙක් තරුණයා (1) කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති බවත් පොලිසිය සඳහන් කළා.

මත් කුඩු ජාවරමක් ගැන පොලිසියට තොරතුරු ලබාදීම හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැක මතුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.


අද (01) සිට සියලු බස් රියැදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

(01.07.2025 – hirunews.lk)

සියලු බස් රියැදුරන්ට අද (01) සිට ආසන පටි පැළැඳීම අනිවාර්යය කෙරේ සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්යය බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මේ අතර ලබන අගෝස්තු 01 වනදා සිට සැහැල්ලු වාහනවල පසුපස ආසනවල ගමන් කරන සියලුම මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්යය බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අධිවේගයේ ගමන් ගන්නා සියලුම වාහනවල සියලුම ආසනවල ගමන් කරන මගීන්ට ආසන පටි පැළඳීම අනිවාර්යය කිරීම ලබන සැප්තැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මකවන බවද ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා ෴


පැලවත්තේ පච වැස්සක් මෙන්න – උදය ගම්මන්පිල (01.07.2025)

+


මිරිස් කුඩු ගසා කාන්තාවන් කොල්ල කෑ පවුලක් කොටුවෙයි

(01.07.2025 – hirunews.lk)

කාන්තාවන්ගේ දෑස්වලට මිරිස් කුඩු ගසා කොල්ලකමින් සිටි එකම පවුලේ තිදෙනකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදිවල තනිවම යන කාන්තාවන්ගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඔවුන් සතු රන් ආභරණය කොල්ලකෑමයි මොවුන් සිදුකර තිබෙන්නේ.

ඊට සම්බන්ධ බව කියන මව පියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගත් බවයි මහව පොලිසිය පවසන්නේ.

යතුරු පැදියක යමින් සිටියදී වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේදී මව හා පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී පලාගිය පියා දළදාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි මවක, 15 හැවිරිදි පුතු සහ 22 වියේ පසුවන මවගේ දෙවන විවාහයේ සැමියා බවද පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් මව පස් මස් ගැබිනියක් බවද පැවසෙනවා ෴


හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනා 08 වැනිදා දක්වා රිමාන්ඩ්

(01.07.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ , එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අධිකරණයට ඉදිරිපත් කළා.

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අනුජා ලක්මාලී ජයතුංග ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවයි.

මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටන් ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති විරෝධී ලෙස ලියාපදිංචි කළ ජීප් රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අනුමැතිය දීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

+++

+


කොළඹ මධ්‍යම තැපෑලේ තිබූ පාර්සලයකින් ගිනි අවියක් සහ මැගසිනයක් අත්අඩංගුවට

(01.07.2025 – hirunews.lk)

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සලයක තිබූ Automatic Caliber වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5 කින් යුතු පතොරම් ගැබක් භාරයට ගත් බව කොටුව පොලීසිය පවසනවා.

එම ගිනි අවිය සහ පතොරම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත අද (01) දැනුම් දුන්නා.

ඩී.ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවවමාරුවේ, ශ්‍රී ලංකා රේගු අංගනයේ තිබියදී‍යි පොලිසිය විසින් සැක සහිත පාර්සලය භාරයට ගෙන තිබෙන්නේ.

පසුගිය මාර්තු 19 වැනිදා කටුනායක ගුවන්තොටුපළ වෙත ලැබුණු වැලිගල්ල පදිංචි උමේෂ් මයන්ත යන අයගේ නමට ඒවා තිබූ පාර්සලය පිළිබඳව සැකයෙන් එය විවෘත කළ පසුවයි මෙම ගිනිඅවිය සහ පතොරම් සොයාගෙන ඇත්තේ.

සහකාර රේගු අධිකාරි ඉමල්කා දුල්මිණි යන අය විසින් කළ පැමිණිල්ලක් ප්‍රකාරව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

1969 අංක 33, 1976 අංක 36, 1978 අංක 14 පුපුරණ ද්‍රව්‍යය ආඥා පනතේ සංශෝධිත අංක 27 ප්‍රකාරව විමර්ශන කරන බවයි කොටුව පොලිස් ස්ථානාධිපති මගින් අධිකරණයට දන්වා සිටියේ.

එම පිස්තෝලය සහ ජීව උණ්ඩ පරීක්ෂා කර වාර්තාවක් ගොනු කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා ෴


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයා අත්අඩංගුවට

(01.07.2025 – hirunews.lk)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහුගේ ධුර කාලය තුළ සිදු වූ බව කියන ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ ටොයෝටා වර්ගයේ ජීප් රථයකට අදාළ අංක තහඩුව නිකුත් කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධව සිදු කෙරෙන විමර්ශනයකට අදාලවයි.

එමෙන්ම ඊට අදාළව අනීතිකව දත්ත ඇතුළත් කිරීමට අවස්ථාව සලසාදීම සහ අදාළ දත්ත ඇතුළත් කිරීම සම්බන්ධව බ්‍රහ්මණ වාසල ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම (සහකාර අධ්‍යක්ෂ, තොරතුරු තාක්ෂණ – විශ්‍රාමික) සහ අත්තරගම ගෙදර ධම්මික නිරෝශන් (ලිපිකරු) යන අයද අද (01) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත‍යි ෴


හිටපු ආගමන විගමන පාලක ඉලුක්පිටිය වරද පිළිගනී

(01.07.2025 – hirunews.lk)

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලු‍ක්පිටිය කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ඔහුට දඬුවම් නියම කිරීම මේ මස 24 වනදා සිදුකිරිමට නියමිතයි.

මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට

(01.07.2025 – hirunews.lk)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැවැත්වෙන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මෙවර අයවැය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සුදුසුකම් ලබනු ඇති.

මෙම යෝජනා ක්‍රමය යටතේ ස්ථාවර තැන්පතු අද (01) සිට දෙසැම්බර් 31 දක්වා විවෘත කළ හැකි අතර, එවැනි සියලු‍ තැන්පතු සඳහා මාස 12 ක ස්ථාවර තැන්පතු කාලයක් තිබිය යුතුයි.

එමෙන්ම තැන්පතුවල මුළු වටිනාකම තැන්පත්කරුවෙකුට රුපියල් මිලියනය නොඉක්මවිය යුතු බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවිය යුතු සියයට තුනක (3%) පොලියට අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය වන රුපියල් බිලියන 15 ක මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා ෴


තරුණයින් දෙදෙනෙකු (2) පැහැරගෙන ගොස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පුළුල් විමර්ශන‍යක්

(01.07.2025 – hirunews.lk)

කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් (1) පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු (1) තුවාල ලබා ඇති බවට කහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා පලන්සූරිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක අයෙකු බවද පොලිසිය සඳහන් කළා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කහවත්ත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයා යායින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක අයෙකු බවයි පොලිසිය පවසන්නේ.

මෙම තරුණයින් දෙදෙනා (2) සිය නිවසේ සිටියදී ජිප් රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් ඇන්දාන පාරේ කොස් කෑල්ල ලයිමට පහල පාලු ස්ථානයකදී වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මේ අතර මියගිය තරුණයාගේ අතකට මාංචු දමා තිබූ බව අප වාර්තාකරු පැවසුවා.

මෙම ඝාතනයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ඉන්ධන රැස් කොට තිබූ වවුනියාවේ නිවසකට ගින්නෙන් හානි

(01.07.2025 – hirunews.lk)

මැද පෙරදිග කලාපයේ යුද්ධය ඇතිවූ අවස්ථාවේදී ඉන්ධන හිගයක් ඇතිවේ යැයි යන බලාපොරොත්තුව මත විශාල ඉන්ධන තොගයක් රැස් කොට ගබඩා කොට තිබූ වවුනියාවේ බණ්ඩාරීකුලම ප්‍රදේශයේ නිවසක් ඊයේ (30) හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මෙම නිවසේ උදවිය පහනක් දැල්වීම පිණිස පොල්තෙල් වෙනුවට පෙට්‍රල් භාවිත කොට ඇත්තේ පොල්තෙල් බව සිතා පෙට්‍රල් බෝතලයක් මාරු වීමෙන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහන දැල්වීමට උත්සහ කළ අවස්ථාවේදී දේව කාමරයට ගිණි ඇවිලී ඇති අතර, පසුව නිවසේ ඉන්ධන ගබඩා කොට තිබූ ප්‍රදේශය දක්වා ව්‍යාප්තව ගොස් තිබෙනවා.

ගින්න නිවස පුරාම පැතිර යාමත් සමඟම වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ ගින්න නිවා දමා ඇතත්, ඒ වනවිට නිවසේ භාණ්ඩ රැසක්ම ගින්නෙන් දැවී පිලිස්සී ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *