වසන්ත සමරසිංහ කම්කරු ආයතනයේ ගොඩනැගිල්ලක් මහින්ද ජයසිංහට බදු දීලා .. ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණ නියෝගයක් ..
(23.06.2025 – 10:40 +0530 – lankacnews.com)
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන වංචා නඩුවකට අදාළව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය පසුගියදා ‘කොළඹ වංචා විමර්ශන කාර්යාංශය’ට නියෝග කළාය.
‘ජාතික කම්කරු ආයතනයේ වෘත්තීය සමිතිය’ට අයත් යැයි කියන ගොඩනැගිල්ලක් ව්‍යාජ ලිපි ලේඛන සකසා රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දීම සම්බන්ධයෙන් මෙම නඩුව ගල්කිස්ස අධිකරණයේ විභාග වේ.
මෙම සිදුවීමේ සැකකරුවකු ලෙස ‘වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ’ නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය ලබාදීම සඳහා ‘නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ’ සහ ‘කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්’ ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය ‘කොළඹ වංචා විමර්ශන කාර්යාංශය’ට නියෝග කර ඇත.
එසේම ‘වසන්ත සමරසිංහ’ ගෙන් ලබාගෙන ඇති ප්‍රකාශය අධිකරණයේ ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය ‘කොළඹ වංචා විමර්ශන කාර්යාංශය’ට නියෝග කර ඇත.
විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කර ඇති අතර එම ලිපි ලේඛන වලට ගොඩනැගිල්ලේ ඔප්පුව සහ තවත් ලේඛන ඇතුළත් වේ.
නඩුව කැඳවූ අවස්ථාවේ දී ‘ජාතික කම්කරු ආයතනය’ අයත් ගොඩනැගිල්ලක් ‘වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ’ ඔප්පුවක් මගින් මහින්ද ජයසිංහ ට බදු දී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇති හෙයින් අදාළ සිදුවීමේ සැකකරුවකු ලෙස වසන්ත සමරසිංහ නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.
ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝගය ලබාදීම එළැඹෙන ජූලි 25 වැනිදා දක්වා කල් තබා ඇති අතර එහිදී නියෝගය ලබා දීම සඳහා වසන්ත සමරසිංහගේ ප්‍රකාශය අධිකරණයේ ගොනු කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කර ඇත.
රංජිත් පද්මසිරි
සන්ඩේ ටයිම්ස්
අක්මීමන වෙඩි තැබීම ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
(23.06.2025 – hirunews.lk)
ගාල්ල, අක්මීමන වැවේගොඩ පාරේ පිහිටි නිවසකට අද (23) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) වෙඩි ප්‍රහාරය එල්ල කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.
මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත පුද්ගලයෙකුගේ නිවසකටයි.
පොලිසිය පැවසුවේ ඔහු විසින් මීට දින කිහිපයකට පෙර කර්මාන්ත ශාලාවේ සිටි සේවකයෙකු රාජකාරි ගැටලුවක් මත සේවයෙන් ඉවත් කර ඇති බවයි.
අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලිසිය සඳහන් කළා.
ඒ අනුව පොලිසිය සැක පළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි.
2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 52 ක් වාර්තා වී ඇති අතර ඉන් මිය ගිය ගණන 30 ක් ෴
කොස්ගම, රබර් වත්තක කාන්තා ඝාතනයක්
(23.06.2025 – hirunews.lk)
කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කොස්ගම පොලිසිය පවසනවා.
ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.
මෙම ඝාතනය කොස්ගම, ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්තශාලාව අසල දී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි දෙදරු මවක් බවයි පැවසෙන්නේ.
මරණකාරිය අවිස්සාවේල්ල, පුවක්පිටිය, උතුර නුගගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවට හඳුනාගෙන තිබෙනවා.
මෙම කාන්තාව රබර් කිරි කැපීම රැකියාව ලෙස සිදු කර ඇති බවත් අද (23) උදෑසන රැකියාවට යමින් සිටියදී කිසිවකු විසින් ඇයට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයා ‘හිරු ප්‍රවෘත්ති’ වෙත කියා සිටියේ.
කොස්ගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනවා ෴
ගෑස් ලොරියෙන් විසිවූ සිලින්ඩරයක් වැදී කාන්තාවක් රෝහලේ
(23.06.2025 – hirunews.lk)
ධාවනය වෙමින් තිබූ ගෑස් සිලින්ඩර් පැටවූ ලොරියකින් සිලින්ඩර් කිහිපයක් විසිවීමෙන් පාරේ ගමන් කළ කාන්තාවක තුවාල ලබා තිබෙනවා.
එහිදී තුවාල ලැබූ තැනැත්තිය මිද්දෙණිය රෝහලට ඇතුලත් කිරීමට ප්‍රදේශ වාසීන් පියවර ගෙන තිබෙනවා.
මිද්දෙණිය දෙස සිට පනාමුර මාරගයේ ධාවනය කළ ගෑස් ලොරියක තිබු සිලින්ඩර කිහිපයක් මෙසේ විසිවී වැටී ඇති බවයි පැවසෙන්නේ.
අද (23) පස්වරු 03:40 ට පමණ පනාමුර, මුල්ඇඩියාවල පාසල ආසන්නයේදී අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
+
කඩවත ගින්නක් – විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලයි
(23.06.2025 – 21:09 +0530 – sinhala.adaderana.lk)
කඩවත නගර මධ්‍යයේ පිහිටි තෙමහල් වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් එම වෙළෙඳ සැළ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ගින්න මැඩ පැවැත්වීම සඳහා ගම්පහ සහ කොළඹ ගිනි නිවීමේ රථ පැමිණ ඇත.
ගින්න මේ වන විට පාලනය කරමින් පවතින අතර කඩවත සහ ඇල්දෙණිය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පැමිණ එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරමින් සිටින බවද වාර්තා වේ.
ගින්න හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත නගරය අවට දැඩි රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
+++
+
අහවල් එකට – අහවල් වියදම දෙන්න – හංසක විජේමුණිට, රවී කුමුදේශ් සැරටම දෙහි කපයි (23.06.2025)
+
ආසියාවේ බල කේන්ද්‍රය වූ චීනය අඩපන කිරීමයි අමෙරිකාවේ අරමුණ – දයාන් ජයතිලක (24.06.2025)
+
නවක වදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකායක්
(24.06.2025 – hirunews.lk)
මෙරට විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය සහ ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා ජාතික කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, හරිනි අමරසූරියගේ උපදෙස් මත, එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ 2025 මැයි 14 වැනි දින පැවති සාකච්ඡාවකදී ගත් තීරණවලට අනුවයි.
එහිදී මෙම කාර්ය සාධක බලකාය නවක වදය පමණක් නොව, සිසුන් අතර, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශ්වයන්ගෙන් සිසුන්ට සිදුවන සියලු ආකාරයේ හිංසනයන් මෙන්ම, එම පාර්ශ්වවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට සිදුවන හිංසනයන් ද නැවැත්වීමට කටයුතු කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.
ඒ අනුව, මෙම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පහත සඳහන් නියෝජිතයින් පත්කර තිබෙනවා :
- මහාචාර්ය කේ.එල්.වසන්ත – උප සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
- මහාචාර්ය ප්‍රභා මනුරත්න- අධ්‍යක්ෂ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය හා සාධාරණත්වය සදහා වන මධ්‍යස්ථානය,(CGEE) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
- මහාචාර්ය හේමමාලි ගුණතිලක -සාමාජික, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
- මහාචාර්ය විජය ජයතිලක – CGEE ආයතනයේ හිටපු සාමාජික
- ආචාර්ය සයුරි පෙරේරා – මනෝ චිකිත්සක අධ්‍යනාංශය,වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- ශානිකා මලල්ගොඩ – ජාතික ළමාරක්ෂක අධිකාරිය
- අප්සරා කල්දේරා – අතිරේක ලේකම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය
- ගුණදාස සමරසේකර – අතිරේක ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශය
- ආචාර්ය චින්තක පෙරේරා – අධ්‍යක්ෂ,බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනය
- ඒ.ජී.ඒ.ජාලිත කුමාර – අධ්‍යක්ෂ,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය-කොළඹ 15
- ජේ.පී.විජයතිලක ජයසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක නියෝජනය
- ඩබ්.ඒ.ඒ.වේරහැර – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල විනයාරක්ෂක අංශ නියෝජනය
- කවිදු බිම්සර – ලේකම්, මහා ශිෂ්‍ය සංගමය, කොළඹ විශ්වවිද්‍යාලය. නීති පීඨ ශිෂ්‍ය.
- සජිනි වත්සලා – ලේක්ම්, මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාලය. නීති විද්‍යාල ශිෂ්‍ය.
- පොලිස්පතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
- නීතිපතිවරයා විසින් නම් කරන ලද නියෝජිතයකු
මෙම කාර්ය සාධක බලකායේ අරමුණු සහ කාර්යයන් ලෙස,
- මෙරට උසස් අධ්‍යාපන ආයතන තුළ ප්‍රචණ්ඩත්වයෙන් තොර පරිසරයක් සහ සංස්කෘතියක් ගොඩනැගීම.
- ඊට අදාළ ප්‍රතිපත්තිමය යෝජනා සකස් කිරීම සහ අවශ්‍ය නීතිමය රාමු යාවත්කාලීන කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම.
- හිංසනය සහ ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම.
- සිදුවීම් වාර්තා කිරීමට සහ ඒවාට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට ක්‍රමවේද සැකසීම.
- මෙම අරමුණු වෙනුවෙන් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන හා පුද්ගලයන් සම්බන්ධ කර ගැනීම.
- වින්දිතයින්ගේ ආරක්ෂාව සහ ගෞරවය සුරැකීමට ක්‍රියාමාර්ග ගැනීම.
- වින්දිතයින්ට සිදුවූ මානසික බලපෑම් සැලකිල්ලට ගනිමින් ඔවුන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු වෙත යොමු කිරීම.
මීට අමතරව, සිදුවීම්වලට ප්‍රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, හිංසනයෙන් තොර පරිසරයක් උසස් අධ්‍යාපන ආයතන තුළ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික වැඩපිළිවෙලකට අනුව සංවිධානය කිරීමට ද මෙම කාර්ය සාධක බලකාය අවධානය යොමු කරනු ඇති බවයි එම නිවේදනයේ සඳහන් ෴
ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම ගැන දැනුම්දීමක්
(24.06.2025 – hirunews.lk)
යුද්ධයට මැදිව ඉරානයේ සහ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ඉල්ලීම් පරිදි ඔවුන් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.
ඔහු පැවසුවේ, ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් අඩක් පමණ මේ වනවිට මෙරටට පැමිණීමට ඉල්ලීම් කර ඇති බවයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5 ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බවයි සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේ.
ඒ අනුව එම ගුවන් යානා මස්කට්, ඩුබායි සහ රියාද් යන ගුවන්තොටුපොළ වෙත ගොඩබෑ බව සඳහන්.
අද (24) අළුයම 01:00 ට පමණ මැදපෙරදිග කලාපයේ රටවල ගුවන් කලාප යළි විවෘත කර ඇති බැවින් එම රටවල සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා පැය එකහමාරක (1½) පමණ ප්‍රමාදයක් පැවැති බව කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපති රෝෂනී මාසකෝරාළ ප්‍රකාශ කළා.
එමෙන්ම ඇය පැවසුවේ, මැද පෙරදිග කලාපයේ රටවල් වෙත යවා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා සියල්ලම කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (24) උදෑසන වනවිට පැමිණ තිබූ බවයි.
කටාර් රාජ්‍යයේ දෝහා සිට ඊයේ (23) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මෙතෙක් පැමිණ නැති අතර, කටුනායක ගුවන් තොටුපොළෙන් දෝහා වෙත පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ද, නිෂ්කාශන කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැති බව ද කටුනායක ගුවන් යානා මෙහෙයුම් කමිටුවේ සභාපතිවරිය ප්‍රකාශ කළා.
ඇය අවධාරණය කළේ, මැද පෙරදිග බලා අද (24) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වීමට නියමිත ගුවන් යානාවල නිෂ්කාශන කටයුතු අද (24) පස්වරු 02:30 සිට ආරම්භ කරන අතර අනෙකුත් ගුවන් ගමන්, ප්‍රමාද වීමකින් යුතුව ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ.
පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාද සිදුවුව ද සැලසුම් කළ සියලු ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුවන බව ද එම අධිකාරිය පැවසුවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴