නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් උදය ගම්මන්පිල එලිකරයි..
නිවාස අධිකාරියේ සභාපතිගේ වාහන මගඩියක් උදය ගම්මන්පිල එලිකරයි..
(28.05.2025 – 00:02 +0530 – lankacnews.com)
නිවාස අධිකාරියේ සභාපති වාහන මගඩියක නිරත වෙමින් ඇතැයි ‘පිවිතුරු හෙළ උරුමය’ පක්ෂ නායක ‘නීතිඥ උදය ගම්මන්පිල මහතා’ පවසයි.
එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
“ජනාධිපතිතුමා පුංචි ඡන්ද වේදිකාවේ කිව්වේ මාලිමාවේ නගර සභා ප්‍රාදේශීය සභා සභාපතිලා අවංක නිසා ඒ අය ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරන්න පුළුවන් කියලා. ප්‍රාදේශීය සභාපතිලා ගේන දේවල් ඇස් වහගෙන අනුමත කරනවා නම් සංස්ථා සභාපතිලා ගේන දේවල් වලට අත්සන් නොකරම කරන්න කියන්න පුළුවන් මට්ටමට විශ්වාසය ඇතිනෙ. නමුත් සංස්ථා සභාපතිලා නමෝ විත්තියෙන්ම සොරකම පටන් අරගෙන බවට අපට සාක්ෂි ලැබිලා තිබෙනවා.
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 හී 3.4 ඡේදය අනුව සභාපතිවරයෙකුට නිල වාහනය වෙනුවට තමන්ගේම වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. එ සඳහා දීමනාවක් ගෙවනවා. හැබැයි රියදුරෙක් ලබා ගන්නත් බෑ. ආයතනයේ වෙනත් වාහන පාවිච්චි කරන්නත් බෑ. ඒ අනුව ‘නිවාස සංවර්ධන අධිකාරියේ’ සභාපතිතුමා තමන්ගේ වාහනය භාවිතා කරමින් ප්‍රවාහන දීමනාව ගන්න තීරණය කරනවා. ඒ අතරේ කාර්යාලයට පැමිණියාට පස්සේ සංචිතයේ වාහන භාවිතා කරමින් තමයි ගමන් බිමන් යන්නේ. ඒ බව සනාථ කරන්න ‘වාහන ධාවන පත්‍රිකා’ නැතිනම් ‘රනින් චාට්ස්’ මා ගාව තිබෙනවා. ආ ගිය තොරතුරු හෙලි කලාම පෞද්ගලිකත්වයට හානි වන නිසා ඒවා මම අද ප්‍රසිද්ධ කරන්නේ නෑ. එහෙම ගියේ නෑ කිව්වොත් විතරක් මම ඒවා හෙලි කරනවා.
ඒකත් කමක් නෑ කියමුකෝ. 2025 අප්‍රේල් 30 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 11826 අනුව සභාපතිතුමාගේ පාවිච්චිය සඳහා දැනටමත් CAR 7022 දරණ මෝටර් රථය රු. 205,000 මාසික කුලියකට ලබා ගෙන තිබෙනවා. එදාම වෙනත් කරුණු යටතේ සභාපතිවරයාට තමන්ගේ වාහනය රාජකාරි සඳහා භාවිතා කිරීමටත් කාර්යාලයෙන් බැහැර රාජකාරි සඳහා සංචිතයෙන් වාහනයක් ලබා දීමටත් තීරණය කරනවා. ඒ වගේම සභාපතිගේ පෞද්ගලික වාහනයට සංචිතයෙන් රියදුරෙකු ලබා දෙන්නත් තීරණය කරනවා. මේ තීන්දු දෙකම (2) රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 1/2015 ට පටහැනියි. ඒ කියන්නේ නීති විරෝධියි. ඒ වාහන දෙකම (2) භාවිතා කරන අතරේ 2025 මැයි 02 දා පීඊ 1537 කියන සංචිත වාහනයත් භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ කියන්නේ දැන් එතුමාට වාහන 3 යි. ඔන්න ගරු නිවාස ඇමතිතුමනි මේ ඔබේ අවදානය පිණිසයි. ඔබලා වේදිකාවේ කෑ මොරදෙන අවංකභාවය ක්‍රියාවෙන් ඔප්පු කරන්න අපෙන් ඔබට අවස්ථාව.
ගරු නිවාස ඇමතිතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි.
ඇමතිවරුන්ටත් වාහන දෙකක් (2) දෙන විට සභාපතිට වාහන තුනක් (3) මොකටද? ඒ වගේම අපිත් සභාපතිකම් උපදේශකකම් ඇමතිකම් ආයතන ගණනාවක දරලා තිබෙනවා. කවදාවත් හිමි දෙයකට වඩා ශතයක්වත් අවභාවිතා කරලා නෑ. පසුගිය මාස අට (8) පුරාම මගේ යටතේ තිබුණු ආයතන වල ලිපි ගොනු අරගෙන ගිහින් කණ්ඩායම් දාලා පරික්ෂා කළත් ආණ්ඩුවට අයිති බෝලපොයින්ට් පෑනක්වත් ගෙදර ගෙන ගිය බව සොයා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි ආණ්ඩුවේ වැරදි දෙයකට වැරදියි කියන්න අපට පෞරුෂත්වයක් තිබෙන්නේ.
ගරු ජනාධිපතිතුමනි, ‘යකඩ මල්ලට ගුල්ලෝ ගහලා නම් වී මල්ල නොබලාම විසි කරන්’ කියලා පැරණි කියමනක් තිබෙනවා. ඒ නිසා අධිකාරියේ සභාපතිලා මෙහෙම සොරකම් කරනවා නම් ප්‍රාදේශීය සභා සභාපතිලා කොහොම සොරකම් කරයි ද කියලා අපට හිතා ගන්න අමාරු නෑ. ඒ නිසා මාලිමා සභාපතිලා ගේන දේවල් ‘ඇස් වහගෙන අත්සන් කරලා’ අමාරුවේ වැටෙන්න එපා කියා අපි ඔබතුමාට අනතුරු අඟවනවා.
+++
+
තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තිදෙනෙකු (3) අත්අඩංගුවට
(28.05.2025 – hirunews.lk)
නාරාහේන්පිට පොලිස් වසමේදී පසුගිය 17 වැනිදා යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ‘තුසිත හල්ලොලුව’ සහ තවත් පුද්ගලයෙකු ගමන් කරමින් සිටි ජීප් රථයකට සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ‘නාරාහේන්පිට පොලිසිය’ හා ‘කොළඹ දිසා අපරාධ කොට්ඨාසය’ මගින් විමර්ශන සිදු කරමින් පවතිනවා.
ඒ අනුව ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී කොළඹ දිසා අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු (1) හා එම අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු (2) ජංගම දුරකථන 04 ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකුරුවන් අද (28) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
‘නාරාහේන්පිට පොලිසිය’ හා ‘කොළඹ දිසා අපරාධ කොට්ඨාසය’ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
+++
තුසිත හල්ලොලුවට වෙඩි තැබූ සිද්ධියේ සැක තිදෙනා පැය 24 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි
(28.05.2025 – hirunews.lk)
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව ගමන් කළ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන සැකකරුවන් තිදෙනෙකු පැය 24 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවට පමුණුවනු ලැබුවා.
එහිදී මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර නොමැති බවත් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පැය 24 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.
මෙම නඩුව මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය තුළ කැඳවනු ලැබුවා. මෙම සැකකරුවන් අතර සිටි ‘මොහොමඩ් ශෆ්නි’ නැමැති සැකකරු තමන්ට ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙන බව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සෙසු සැකකරුවන් තුන්දෙනා (3) හෙට (29) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා ෴
+++
+
දූෂණයේ කරවටක් ගිලෙන පාපී පාලනයෙන් මේ රට මුදවන බලඇණිය අපි වෙමු! (27.05.2025)
+
මාලනී ෆොන්සේකා තම සැත්කමට ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලූ ලිපි-ලේඛන මෙන්න..
(28.05.2025 – 10:00 +0530 – lankacnews.com)
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
= මාලිනී ෆොන්සේකා ජනාධිපති අරමුදල ‘හොරකම් කළ හොරෙකු නොවේ’ =
තමන් ජනාධිපති අරමුදලේ මුදල් හොරකම්කළ අයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී නම් කිරීම හා අවමන් කිරීම ගැන මලිනී ෆොන්සේකා මැතිනිය බලවත් සිත් තැවුලට පත්ව සිටියාය.
තමන් විධිමත් ලෙස මේ මුදල ලබාගත් බවට වන වන සාක්ෂි මාලිනී ලඟ විය.
එයින් කොටසක් වන ආධාර ඉල්ලීමේ ලිපිය, අයඳුම් ලිපිය, අයඳුම් පත්‍රය, අරමුදල් අනුමැතිය, ගුවන් ටිකට්පත, වෛද්‍ය හා නිලධාරි රෙකමදාරුව මෙහි ඇත.
හෙළයේ මහා නිළිය ජනාදිපති අරමුදලේ මුදල් අවභාවිත කළා යැයි කියන නාම ලේඛනයට දමා අවමානයට ලක් කළ යුතු කාන්තාවක නොවේ යැයි මම පාර්ලිමේන්තුවේ දී පැවසුවෙමි. මේ ලේඛන එයට සාක්ෂි වනු ඇත.
මාලිනී ගේ දේහය ද අළු ගොඩක් බවට පත්ව අවසන් ය. වසර 9 කට පෙර ඇයට සැත්කමක් කළ බවත්, 2022 වන විට ඇය දරුණු පිළිකා රෝගයකට ගොදුරු වූ සැත්කමක් කළ බවත් දැන් රටම දනී.
මාලිනී පුරවැසියෙකු ලෙස තමන්ගේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිතිවරයාගෙන් විධිමත් ඉල්ලීමක් කර ඇත.
රජයක් ලෙස ප්‍රතිචාර එයට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා ජනාධිපති අරමුදලේ මුදල් වෙන් කොට දී ඇති බව මේ ලේඛන මගින් තහවුරුවේ.
මාලිනියට ජාතික ශෝක දිනයක් ලැබුණේ නැත. රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍යයක් ලැබුණේ ද නැත. ඇයම කියූ ලෙස, ඇයට ජීවිතයේ අවසන් මාස කිහිපයේ රජයෙන් ලැබුණේ නින්දා අපහාස පමණී.
මාලිනිය ‘ඇය මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනූ තාරකාව ම මිස, අයුතු ලෙස ජාතික ධනය, ජනාධිපති අරමුදලේ මුදල් ලබාගත් වංචාකාරියක නොවන බව’ ඇයට ආදරය කළ සැමට සාක්ෂි කර ගැනීමට මේ ලේඛන උපකාර වනු ඇත.
වසර කිහිපයක් පාර්ලිමේන්තුවේ සිටි ඇය ‘හොරු 225 න් අයෙකු නොවේ’.
මාලිනී ෆොන්සේකාට කලකිරීම තරම්, මරණය වේදනාකාරී නොවන්නට ඇත!
රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
+++
+++
W.M.S Fonseka (හෙවත් ‘වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’) නමැති ජනාධිපති අරමුදල් අවභාවිතා කතාව ගැන රේඛා වික්‍රමසිංහ
(27.05.2025 – FB : Rekha Wickramasinghe)
Face Book සමාජ මාධ්‍ය හරහා සංසරණය වන W.M.S Fonseka හෙවත් ‘වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා’ නමැති ජනාධිපති අරමුදල් අවභාවිතා කතාවේ නොකියාම සිටින්නට සිටි දැන් නොකියාම බැරි සත්‍යය මෙසේ ගොනු කරමි.
ලංකාවේදී නොකරන සිංගප්පූරුව හෝ එංගලන්තය වැනි රටක පමණක් කලහැකි හදවත් සැත්කමක් මාලනී ෆොන්සේකාට කලයුතු බව අනාවරණය වූයේ 2022 මැද භාගයේදීය.
ඇයගේ හදවත් ආශ්‍රිත රෝග සදහා බෙහෙත් කරන ‘Dr. මොහාන් රාජකරුණා මහතා’ගේ උපකාරයෙන් ‘චෙන්නායි ඇපලෝ රෝහලේ’ මේ සදහාම කීර්තිමත් ‘Dr. සායි සතිශ්’ තෝරා ගැනුනේ අඩුම වියදමක් දරා කරගත හැකි එකම ස්ථානය එය බව සොයා ගැනීමෙන් පසුවය.
Dr. මොහාන් රාජකරුණා
Dr. සංජය හෙයියන්තුඩුව
දමයන්ති ෆොන්සේකා
රවීන්ද්‍ර රන්දෙණිය
ජයන්ත ධර්මදාස
වැනි වෙදදුරු සහ නෑ මිතුරු කණ්ඩායමක් එකතු කරගත් ‘Fonseka TAVi’ යනුවෙන් නිර්මාණය කරගත් Whatsapp group එකක් මගින් සියලුම කාරනා ‘Dr. සායි සතිශ්’ දැනුවත් කරන්නට යෙදිනි.
මෙම සැත්කමට මාස තුනක් (3) පසු වෙන තෙක් අඛණ්ඩව මේ හරහා ඇයගේ දුක සැප සොයා බැලුනි.
එමෙන්ම මේ සදහා වැයවන මුදල ලංකා මුදලින් රු. කෝටි එකහමාරකට (1½) වඩා වැඩි බවද ඇස්තමේන්තු විය.
විවිධ රෝගාබාධ හේතුවෙන් බොහෝ මුදල් වැය කර තිබූ නිසා ඇයට එම මුදල සොයා ගැනීම අපහසු විය.
සෑම විටකම ඇයගේ අසනීප අවස්ථාවන්හිදී ලඟ සිටි හිතවත් කිහිප දෙනෙක්ම එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වන ලෙස බලකර සිටියහ.
සිනමාවේ පෙම්වතා මුත් සැබෑ ජීවිතයේ හිතවතා වූ රවීන්ද්‍ර රන්දෙණිය මහතා මගින් සියලු ලිපි ලේඛන සමග මේ කරුනු ජනාධිපතිතුමන්ට සමන් ආතාවුවහෙට්ටි මහතා මාර්ගයෙන් යොමු කර හමුවක් ඉල්ලා සිටියෙමු.
අසනීපයෙන් පසුවන නිසා නොඑන ලෙස පවසා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාලනි ෆොන්සේකා දුරකථනය හරහා අමතමින් අවශ්‍ය
කාරණය ඉටු කර දෙන බවට පොරොන්දු විය.
රටේ ජනාධිපතිතුමන් වශයෙන් ඔබ කරන ලද උපකාරයටත් උපහාරයටත් දැයේ ප්‍රණාමය.
මාලනී ෆොන්සේකා ජාතික වස්තුවක් බවට විවාදයක් නොමැත.
අප රටේ සෑම රාජ්‍ය නායකයෙක්ම එය ඉහලින් පිලිගත්තා පමණක් නොව සම්මානයෙන් පුද කරමින්ම අවශ්‍ය විටක උපකාර කරන්නටද නොපැකිළව කටයුතු කල බව මමමෙහිදී සදහන් කරමි. ශ්‍රී ලංකා ජනරජයේ හිටපු ජනාධිපතිවරුන් වන ගරු චන්ද්‍රිකා මැතිණිය සහ ගරු මහින්ද රාජපක්ෂ මහතාවද ස්තූති පූර්වකව සිහිපත් කරමි.
ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් එම අවස්ථාවේ ලබා දිය හැකි උපරිම මුදල ලෙස රුපියල් ලක්ෂ පනහක (50) මුදලක් ලබා දීමට කටයුතු කල බව කෘතගුණවේදීව මම සදහන් කරමි.
මෙය මුදල් වශයෙන් ‘ඇපලෝ රෝහල’ට ගෙවන ලද්දේ එවකට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් වන අතර මාලනී ෆොන්සේකාට එය අනුමත කල ලිපිය ලබා දුනි.
වියදම් අවම කිරීමට ඇය මේ ගමන තනිව ආවාය. එවකට ඉන්දියාවේ සංචාරයක සිටි මම ඇය බලාපොරොත්තුව ‘චෙන්නායි මහාබෝධියේ’ නැවතී සිටියෙමි.
අපේ නිලි රැජින ද මහාබෝධිය නවාතැන කරගත්තේ එහි වැඩ වාසය කල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය මැදය.
අප පසුදා ‘ඇපලෝ රෝහල’ට යන විට අප පිලිගත්තේ Mr. Ganesh වන අතර අප ආපසු එනතෙක්ම ඔහු අපේ භාරකරු විය.
මාලනිය හෙල සිනමා රැජින බවත් ඇය කලකට පෙර ‘ශිවාජි ගනේශන්’ සමග ‘පයිලට් ප්‍රේමනාත්’ චිත්‍රපටය ප්‍රධාන නිලිය බවත් දැනගත් ඇපලෝ රෝහල විශ්මිත විය.
ඇත්තෙන්ම ඇපලෝ රෝහල ඇයට ඉහලම ගෞරව පුද කරන ලදී.
විශේෂිත කණ්ඩායමක් යටතේ ඇයව රෝහල් බාරයට ගෙන ඉතා උසස්ම වර්ගයේ Tavi එකක් (ටයිටේනියම් වලින් නිමකල) යොදන්නට තීරණය විනි.
ඒ සමගම අප සාකච්ඡා පවත්වන කාලයේදී අයකල රෝහල් ගාස්තු (අප යන කාලයේ එය වැඩි වී තිබුනි) එලෙසම අය කරන්නත්, නව TAVI එක සදහා වැයවන වැඩි මුදල ‘Dr. සායි සතිශ් අරමුදලෙන්’ ගෙවන්නත් තීරණය විය.
මෙය අප යෝජනා කල Tavi එක මෙන් දෙගුණයක් මිලෙන් ඉහලවිය.
මව්බිමෙන් ඈත එක ඉන්දීය නලුවෙක් හා රඟපෑ පමනින් ඇයට මේතරම් සැලකුවා නම් ඇය ඉන්දියාවේ නිලි රැජින වූවා නම්….
මම තනිවම සිතුවෙමි.
දෙසැම්බර් 07 වනදා සිට අත්‍යාවශ්‍ය සියලු පරීක්ෂණ සිදු කෙරිනි.
දෙසැම්බර් 10 වන දින සැත්කම සිදු කෙරිනි.
දෙවියෙක් මම මෙලොව දුටුවා නම් ඒ ‘සායි සතිශ් දොස්තර මහතා’ බව මට හැඟුනේ ශල්‍යාගාර දොරකඩ ‘ඉතිපිසෝ ගාථාව’ කියමින් තනිව හඬන මට සැනින් දිව විත් “Everything is ok” කියා පැවසූ විටය.
මාලනී ෆොන්සේකා පසුවදාම මට කතා කලාය.
දෙසැම්බර් 16 වන විට ඇය යථා තත්වයට පැමිණියාය.
‘චෙන්නායි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ’ නිලධාරින් පැමිණ පොරොන්දු වූ මුදල් ගෙවන ලදී.
ඉතිරිය මාලනී අක්කාත්, ‘සතිශ් දොස්තර මහතාගේ පදනමත්’ දරන ලදී.
දවස් හතක්ම (7) දැඩි සත්කාර ඒකකයේ තබා පැයෙන් පැයට සුවදුක් විමසා රෝහලේ වාහනයෙන් ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙක් සමග ගුවන් ගත වනතුරුම රැකවරණය දී අපේ නිලි රැජින ආපසු මව්බිම බලා ඉන්දියාවේ ඇපලෝ රෝහල සිට පිටත් කලාය.
නැවත මාස තුනකින් (3) පැමිණි සියල්ල පරීක්ෂා කරවා ගන්නා ලෙස කල උපදෙස් මත අප දෙදෙනා නැවතත් ‘ඇපලෝ රෝහල’ට ගියෙමු. එවර
සියලු පරීක්ෂණ සහ සේවාවන් නොමිලයේ ලබා දුන් බව මම කෘතගුණවේදීව සිහිපත් කරමි.
මාලනී අක්කාගේ අසනීප අවස්ථා වලදී සිටි මා මෙන්ම ඇයට සෙනෙහසත් ශක්තියත් වූ ‘චන්දික’ත්, කියන හැමදේම කර දුන් ‘මංජු’වත් රෝහල් දොරකඩට වී නිබඳව බලා සිටි ‘නිල්හාන්’වත් ආදරයෙන් සිහිපත් කරමි.
අපට නැති වුනේ ‘මාලනී ෆොන්සේකා’ නොව යලි කිසි කලෙකවත් නොලබන රට ජාත්‍යන්තරව කීර්තිමත් කල රටේ අගනාම වස්තුවකි. අදටත් එයට මිලක් කිව හැක්කේ කාට කෙසේදැයි නොදනිමි. ඇය සිත් තැවුලෙන් කණගාටුවෙන් සිටියේ වරක් ගෞරවයෙන් ඇය පිලිගත් ස්තානයකදීම එම ගරුත්වය කෙලසීම පිලිබඳවයි.
මෙහි දැක්වෙන රූපරාමු මේ කතාව තීව්‍ර කරන අපේක්ෂා වෙන් එක් කලෙමි.
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴