ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්
(08.05.2025 – 10:09 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගියදා ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර තිබුණා.
පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවයි.
මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවයට මෙන්ම භෞමික අඛණ්ඩතාවයට ද හානි සිදු වී ඇති අතර මෙම අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට අත්සන් තැබීමට රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සමෙන් චෝදනා කර තිබුණා.
මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියා.
ඊට අමතරව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ විස්සක (20) වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴
විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් හදන්න තීරණය කර නෑ – නීතිපති කියයි
(08.05.2025 – 10:25 +0530 – hirunews.lk/sinhala)
විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදි නොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව ‘පාරිසරික පදනම’ විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (07) ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා විසින් මෙම දැනුම්දීම සිදු කළා.
එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදි නොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම් දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමථයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට යටත්ව පවත්වාගෙන යා හැකි බවත් අධිකරණය හමුවේ සඳහන් කෙරුණා.
ඒ අනුව මෙම සමථය සටහන් කරගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමටද තීන්දු කළා. මෙම පෙත්සම තුළින් පෙත්සම්කාර සංවිධානය සඳහන් කර තිබුණේ, විල්පත්තු අභයභූමි කලාපය හරහා අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සූදානම් වන බවට තමන්ට තොරතුරු දැනගන්නට ලැබුණු බවයි.
එවැනි අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් එය හරහා අභයභූමියේ පරිසර පද්ධතියට දැඩි හානියක් සිදුවන අතර වන සතුන්ටද අනතුරු සිදුවිය හැකි බව පෙත්සමින් පෙන්වා දී තිබුණා.
ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා ෴
ලාහෝර් සහ කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
(08.05.2025 – 11:04 +0530 – hirunews.lk/sinhala)
පාකිස්ථානයේ, ලාහෝර් නුවර වෙත සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කරච්චි නුවර දක්වා පියාසර කරන සියලුම ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් ඊට හේතුවයි ෴
හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර ලැයිස්තුව පාර්ලිමේන්තුවේදී එළියට
(08.05.2025 – 11:37 +0530 – hirunews.lk/sinhala)
2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වූ නිල විදේශ සංචාර පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ හෙළිකළා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
ඒ අනුව, 2022 වසරේදී සංචාර 04 ක් ද, 2023 වසරේදී සංචාර 14 ක් සහ 2025 වසරේදී සංචාර 05 ක් ලෙස ගතවූ වසර 02 කට විදේශ සංචාර 23 ක් ගොස් ඇති බව අමාත්‍යවරයා පවසනවා.
එම සංචාර සම්බන්ධ තොරතුරු ඔහු මෙසේ සඳහන් කළා :
+
රාමනාදන් හින්දු විද්‍යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
(08.05.2025 – 12:07 +0530 – hirunews.lk/sinhala)
කොළඹ රාමනාදන් හින්දු විද්‍යාලය ඉදිරිපිට ඩුබ්ලිකේෂන් මාර්ගය සම්පූර්ණ අවහිර කරමින් එම විද්‍යාලයේ දෙමව්පියන් විරෝධතාවක නිරත වී තිබෙනවා.
එම විරෝධතාව සඳහා 1000 අධික දෙමව්පියන් පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම තත්ත්වය පාලනය කිරීමට පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවා තිබෙනවා.
පසුගියදා කොටහේන ප්‍රදේශයේදී සිසුවියක් මහල් නිවාස සංකීර්ණයකින් පැන මියයාමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මොවුන් මෙසේ විරෝධතාවයක නිරතව ඇත්තේ.
එමෙන්ම උද්ඝෝෂකයන් පවසන්නේ පාසලේ ගුරුවරයෙක් විසින් මෙම දරුවා අපයෝජනය කර ඇති බවට සැක කරන බවයි. එම නිසා එම දරුවා සියදිවි හානි කර ගෙන ඇති බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.
+++
කොටහේනේ සිසුවිය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
(08.05.2025 – 16:10 +0530 – hirunews.lk/sinhala)
බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගෙනුම ලබන සිසුවියක් අපයෝජන වීමෙන් පසු සියදිවි හානිකර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ.
ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමට හා සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමට කටයුතු සිදු කර ඇති බව සදහන්.
එසේම, මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යංශය ප්‍රකාශ කළා.
කොටහේන ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය පසුගියදා මහල් 07 කින් යුත් ගොඩනැගිල්ලකින් පැන සියදිවි හානිකරගෙන තිබුණා ෴
+++
+++
+
+
හර්ෂ ඉලුක්පිටියගේ නඩුව කල්යයි
(08.05.2025 – 12:52 +0530 – hirunews.lk/sinhala)
ඉකුත් රජය සමයේ ‘විද්‍යුත් වීසා’ නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමේ පැරැණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ‘අධිකරණයට අපහාස කළේ යැයි’ චෝදනා කරමින් ‘ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය’ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ජුනි මස 16 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) දින නියම කළා.
මෙම පැමිණිලි අද (08) ඒ.එච්.එම්.ඩී. නවාස්, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම නඩුව විභාගයට සහභාගි වීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් මෙම පැමිණිලි පිළිබඳ විභාගය ජුනි මස 16 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
මෙම අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔහුගේ ඇප ඉල්ලීම ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතර ඉකුත් රජය සමයේ ‘විද්‍යුත් වීසා’ නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට (2) පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතීඥ ඒම්.ඒ. සුමන්දිරන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා නොවැම්බර් මස 20 වැනිදා කැඳවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.
+++

බහුතරය ගත් පළාත් පාලන ආයතනවලට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
(08.05.2025 – 13:36 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දෙන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ, සියයට 50 කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවයි.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව මන්ත්‍රී ධූර 3,926 ක් හිමි කර ගැනීමට ‘ජාතික ජනබලවේගය’ සමත් වුණා. 453,930 ක් ලබා ගනිමින්.
ඡන්ද 2,258,480 ක් ලබා ගත් ‘සමගි ජනබලවේගය’ ද මන්ත්‍රී ධූර 1767 ක් හිමි වුණා.
මන්ත්‍රී ධූර 742 ක් ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ට හිමි වූ අතර ඔවුන් ලබා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 954,517 ක්.
එමෙන්ම, ඡන්ද 488,406 ක් හිමි කරගත් ‘එක්සත් ජාතික පක්ෂය’ට මන්ත්‍රී ධූර සංඛ්‍යාව 381 ක් හිමි වුණා.
ඡන්ද සංඛ්‍යාව 387,098 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 300 කට හිමිකම් කීමට ‘පුටුව’ ලකුණින් තරග කළ ‘පොදුජන එක්සත් පෙරමුණ’ සමත් වුණා.
‘ඉලංගෙයි තමිල් අරසු’ පක්ෂයට මන්ත්‍රී ධූර 377 හිමි වුණේ ඡන්ද 307,657 ක් ලබා ගනිමින්. ‘සර්ව ජනබලය’ පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 226 ක්.
මේ අතර, සියලු පළාත් පාලන ආයතන ජුනි මස 02 වනදාට පෙර ආරම්භ කළ යුතු වනවා. එමෙන්ම, සියයට 50 ට වඩා බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය අදාළ පළාත්පාලන ආයතනවල නගරාධිපති, උප නගරාධිපත හෝ සභාපති තෝරාගන්නා තෙක් පළාත් කොමසාරිස්වරුන්ට හිමි වනවා ෴
අකුරැස්සේ මාළු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට (2) තියුණු ආයුධ ප්‍රහාරයක්
(08.05.2025 – 14:12 +0530 – hirunews.lk/sinhala)
කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් අකුරැස්සේ මාළු ව්‍යාපාරකයින් දෙදෙනෙකුට (2) එම ප්‍රදේශයේම තවත් මාළු ව්‍යාපාරිකයෙකු විසින් තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.
එම පහරදීමෙන් තුවාල ලැබූ මාළු ව්‍යාපාරයේ නිරත වූ පිය-පුතු දෙපලක් මේ වන විට රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
අකුරැස්ස ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයින් දෙදෙනකු (2) අතර ගැටුම මෙම හටගෙන තිබෙනවා.
කලකසිට මාළු ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවැති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු විසින් අකුරැස්ස පොදු වෙළෙඳපොළ භුමිය ඉදිරිපිට මාළු ව්‍යාපාරිකයෙකුගේ පුතුට මාළු කපන පිහියකින් පහර දී තිබෙනවා.
අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ පොදු වෙළෙඳසැල ඉදිරිපිටදී සිදුවූ එම පහරදීම අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණා.
පහරකෑමට ලක්වූ පුද්ගලයා තම පියාගේ මාළු වෙළෙඳසැල වෙත දිව ගොස් ඇති අතර එම පුද්ගලයාගේ පියා විසින් පහර දීමට පැමිණි පුද්ගලයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.
මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා (3) මේ වන විට රෝහල් ගත කර ඇති අතර පළමුව පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ ඇඟිල්ලක් අහිමිවී ඇති බවයි අප වාර්තා කරු සඳහන් කළේ.
ඔහුගේ පියාගේ අතකට බරපතල තුවාල සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා, හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ජුනි 30 දක්වා දීර්ඝ කෙරේ
(08.05.2025 – 19:09 +0530 – hirunews.lk/sinhala)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා, හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ජුනි 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා සම්බන්ධ විමසීම් සඳහා ඔවුන්ට සෑම බදාදා දිනකම හෝ බදාද දිනය රජයේ නිවාඩු දිනයක් වන්නේ නම්, බ්‍රහස්පතින්දා දින පෙ.ව. 08:30 සිට ප.ව. 04:15 දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය හැකි බවද සඳහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴