සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ දිවයිනට රැගෙන එයි
(04.05.2025 – 08:29 +0530 – sinhala.adaderana.lk)
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා’ නොහොත් ‘ලොකු පැටී’ දිවයිනට රැගෙනවිත් තිබේ.
ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන 07:43 ට පමණ ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ විසින් මෙරටට රැගෙන එනු ලැබූ බව වාර්තා වෙයි.
‘ලොකු පැටී’ නැමැති සැකකරු පසුගිදා ‘බෙලරූස් රාජ්‍යයේ’දී අත්අඩංගුවට පත්විය.
‘ක්ලබ් වසන්ත’ හෙවත් ‘සුරේන්ද්‍ර වසන්ත පෙරේරා’ ඇතුළු දෙදෙනෙකු (2) ඝාතනය කිරීම, හෙරොයින් ළඟ තබා ගැනීම මෙන්ම විදෙස් ගතව සිටිමින් මෙරට අපරාධ රැසක් මෙහෙයවීම සම්බන්ධයෙන් ‘ලොකුපැටී’ නැමැත්තාට චෝදනා එල්ල වී තිබේ.
මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.
- 2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
- එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
- 2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
- 2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත :
- 2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
- 2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
- 2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
- 2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
- 2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු (2) ඝාතනය කර සිව් දෙනෙකුට (4) තුවාල සිදු කිරීම.
+
+++
විදේශගතව සැඟවසිට මෙරට පුද්ගල ඝාතන සහ අපරාධ සිදුකරන තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් 20 කට අධික ප්‍රමාණයක් ඉදිරියේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ‘ලොකු පැටී’ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්. (hirunews.lk/sinhala)
වසර දහයක් (10) තුල වැඩවර්ජන 386 ක්
(04.05.2025 – 09:46 +0530 – hirunews.lk/sinhala)
පසුගිය වසර 10 ක කාලසීමාව තුලදී මෙරට සිදුකෙරුණු වැඩවර්ජන හේතුවෙන් රුපියල් කෝටි 300 ඉක්මවූ මුදලක් අහිමිවී ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.
එම වසර 10 ක කාලය තුලදී මෙරට වැඩවර්ජන 386 ක් සිදුව ඇති බවත්, ශ්‍රම දින 662,388 ක් රටට අහිමිව ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම, ඔහු සඳහන් කළේ එම වැඩවර්ජන සඳහා සම්බන්ධ වී ඇති සේවකයින් පිරිස 115,356 ක් වන අතර, වැඩිම වැඩවර්ජන සංඛ්‍යාවක් ලෙස වැඩවර්ජන 51 ක් සිදුව ඇත්තේ 2018 වර්ෂයේදී බවයි.
එම වැඩවර්ජන අතර, අධ්‍යාපන, සෞඛ්‍ය, වතු, ප්‍රවාහන හා ඇඟලුම් යන ක්ෂේත්‍රවල වැඩිම වැඩවර්ජන ප්‍රමාණයක් සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ ෴
‘ඇල්ල ආරුක්කු නවය පාලමේ’ ජල කාන්දුවක්
(04.05.2025 – 10:32 +0530 – hirunews.lk/sinhala)
උඩරට දුම්රිය මාර්ගයේ ‘ඇල්ල ආරුක්කු නමය පාලමේ’ ජලකාන්දුවක් සිදුවෙමින් පවතිනවා.
අධික වැසි දිනයන්හි ආරුක්කුව දිගේ ඇතුළට ජලය කාන්දු වන බව පාලමේ ස්වේඡා ආරක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩබ්ලිව්.එම්. සුමනසේන පවසනවා.

මේ පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුවේ පාලම් භාර ප්‍රාදේශීය නිලධාරියෙකු ගෙන් විමසූ විට ඔහු පැවසුවෙ අදාල කාරණය වාර්තා වී තිබෙන බවයි.
ඒ සම්බන්ධයෙන් එම ස්ථානයේ පරික්ෂාවන් ආරම්භ කර ඇති බවයි ඔහු පැවසුවේ.
මේ අතර මෙම පාලමේ ඇතැම් ආරුක්කුවල පාදම කොටසේ ස්ථාන කිහිපයක බදාම ගැලවී ඇති අයුරුද දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ.
‘නයින් ආච්’ හෙවත් ‘ආරුක්කු නමය’ පාලම 1921 වසරේ වැඩ අවසන් කර ඇති බව දුම්රිය වාර්තාවන්හි සඳහන්.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ පුරාවිද්‍යා ස්මාරකයක් වන ‘ඇල්ල ආරුක්කු නමය පාලම’ විශ්මිත නිර්මාණයක්.
ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථානයන් අතර ගොටුවල ප්‍රදේශයේ ඉඳිකරන ලද මෙම පාලමේ දිග අඩි 300 ක් වන අතර පළල අඩි 25 ක් සහ උස අඩි 80 ක් බව සඳහන්.
+
බිරිය ඝාතනය කළ සැමියා අත්අඩංගුවට
(04.05.2025 – 11:35 +0530 – hirunews.lk/sinhala)
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් වු බහින් බස් වීමක් මත සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්.
පොළොන්මාරුව, උතුර ප්‍රදේශයෙන් මේ සිදුවීම ඊයේ (03) වාර්තා වූ බවයි තංගල්ල පොලිසිය පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴
‘ඇදුම රෝගීන්’ගේ වර්ධනයක්
(04.05.2025 – 13:09 +0530 – hirunews.lk/sinhala)
මේ අතර දිවයින පුරා ‘ඇදුම රෝගීන්’ වාර්තා වීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ අනූව ලොව පුරා නව යෞවන වියේ පසුවන පිරිස් අතර ‘ඇදුම රෝගය’ බහුලව පවතින බව වාර්තා වනවා.
එමෙන්ම ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බව අනාවරණය වී තිබෙනවා.
‘ඉන්හේලර්’ ප්‍රතිකාරය මගින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ෴
මීටියාගොඩදී වෙඩි කෑ එක් (1) අයෙක් ද්විත්ව (2) ඝාතනයක සැකකරුවෙක්
(04.05.2025 – 15:25 +0530 – hirunews.lk/sinhala)
මීටියාගොඩ පොලිස් වසමේ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට ඊයේ (03) රාත්‍රියේ වෙඩි කෑ එක් (1) පුද්ගලයෙකු ද්විත්ව (2) ඝාතනයක සැකකරුවෙකු බව පොලිසිය පවසනවා.
ඔහු 2015 වර්ෂයේ පුද්ගලික ආරවුලක් මත ගිනිඅවියකින් වෙඩි තබා ද්විත්ව (2) ඝාතනයක් සිදු කිරීමට අදාළ සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා.
මීටියාගොඩ – මානම්පිට පාර, එරණවිල පිහිටි 86 නමැති අවන්හලේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
යතුරුපැදි 2 කින් පැමිණි නාදුනන පිරිසක් විසින් ටී-56 ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ‘එරණවිල පදිංචි සරත් චමින්ද උදයකුමාර සහ මහදුර නලින් වසන්ත’ යන දෙදෙනා (2) බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
ඒ අතර බරපතල තත්වයේ සිටි ‘සරත් චමින්ද උදයකුමාර’ නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු 47 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 40 ක් වාර්තා වී ඇති අතර ඉන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
+
කොළඹ වරායේ දකුණු ජැටියේ යළිත් ඉන්ධන කාන්දුවක්
(04.05.2025 – 16:05 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත ඉන්ධන නලයක යළිත් ඉන්ධන කාන්දුවක් හටගෙන තිබෙනවා.
ඒ, එම නලයේම ඉන්ධන කාන්දුවක් සිදුවී මාස තුනක් (3) ගතවීමටත් පෙරයි.
කොළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත නළ දෙකෙන් (2) එක් (1) නලයක කාන්දුවක් හටගෙන තිබුණේ පසුගිය මාර්තු මස 15 වැනිදායි.
එම අවස්ථාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් අදාළ ඉන්ධන කාන්දුව වැළැක්වීමට පියවර ගෙන තිබූ අතර, කාන්දුවන ඉන්ධන එහි සේවකයින් එක්ව එකතු කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත් එම ඉන්ධන කාන්දුව සිදුවී මාස තුනක් (3) ගතවීමටත් මත්තෙන් නැවතත් එහි එක් ඉන්ධන නලයක කාන්දුවක් හටගෙන තිබෙනවා.
ඒ, ඉන්ධන කාන්දුවක් සිදුවන ස්ථානයක් යැයි සළකා ඉන්ධන නලයක් සොයා කැණීම් කර ඇති ස්ථානයකින්.
අදාළ ඉන්ධන කාන්දුව සිදුවන ස්ථානයෙන් කාන්දුවන ඉන්ධන සාගර ජලට සමග මුසු වී ඇති අකාරය ද දක්නට ලැබුණා ෴
පළාත් පාලන ඡන්ද රාජකාරීවලට පොලිසියෙන් 65,000 ක්
(04.05.2025 – 19:10 +0530 – hirunews.lk/sinhala)
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 65,000 කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට නියමිතව තිබෙනවා.
එසේම ජංගම මුර සංචාර 3,126 ක් යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් මැතිවරණ දිනයේ වුවද තැපැල් කාර්යාල හරහා ඒවා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අනිද්දා (06) පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මේ බව සඳහන් කළා ෴
කළුතරදී වෙඩි තැබීමක් : පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු රෝහලට
(04.05.2025 – 19:58 +0530 – hirunews.lk/sinhala)
කළුතර, නාගොඩ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීම හේතුවෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ ෴ (sinhala.adaderana.lk)
ප්‍රමිතියෙන් තොර ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි
(04.05.2025 – 16:58 +0530 – sinhala.adaderana.lk)
නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා ඇත.
පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03) මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් මෙලෙස වටලා තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත.
වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර එකක ශුද්ධ බර ග්‍රෑම් 425 ක් සහිත ටින්මාළු ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.
පසුගිය මාස දෙකක (2) පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලිමට අදාළ මුලික විමර්ෂණවලදි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය ෴
ඩෑන් ඝාතනයේ සැකකරුවන් මැයි 09 වැනිදා දක්වා රිමාන්ඩ් (04.05.2025)
+
රටක් වටින කෞතුකාගාරයක් – “ගොඩාක් අය දැකලා නෑ කියලා.. මෙතනට ඇවිල්ලා බලනවා” (04.05.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴