දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි

දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි


දෙමව්පියන් විසින්ම පොලිසියට භාරදෙනු ලැබූ තරුණයෙකු පොලිසියේදී මියයයි

(02.05.2025 – 18:59 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් වාර්තා වනවා.

එම තරුණයාගේ මව්පියන් චෝදනා කරන්නේ අත්අඩංගුවේ සිටි තම පුත්‍රයාට පහර දීමක් සිදුව ඇති බවයි.

කොස්ගොඩ – හතරමංහන්දිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අදාල තරුණයා පොලිසිය ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුගේ මව්පියන් විසින් ම කොස්ගොඩ පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි.

දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටි අදාළ තරුණයා පොලිසිය තුළදී අසනීප වීම නිසා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියෙන් සිදු කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ අදාළ තරුණයා සිර මැදිරිය තුළදී සිටියදී සිහිසුන් වූ බවයි.

පසුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරන බවයි අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ.

+

+


‘ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ’ වෙඩික්කරු කොටු වෙයි

(02.05.2025 – 22:44 +0530 – hirunews.lk/sinhala)

‘ඩෑන් ප්‍රියසාද් ඝාතනය’ට සම්බන්ධ වෙඩික්කරු කොළඹ කුරුඳුවත්තේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසනවා.

සමාජ ක්‍රියාකාරියෙකු සහ පොදුජන පෙරමුණේ මෙවර මැතිවරණ අපේක්ෂකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය අප්‍රේල් 22 වනදා රාත්‍රියේ මියගියා.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ දීයි මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය හා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබූ අතර සිද්ධිය සම්බන්ධ එක් (1) සැකකරුවෙකු මේවන විටත් අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත වැටලීමක් සිදුකර අද (02) සවස් කාලයේ කුරුඳුවත්තපොලිස් වසමේදී මෙම වෙඩි තැබීම සිදු කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු ඩෑන් ප්‍රියසාද්ගේ සොහොයුරාගේ ඝාතනයටත් සම්බන්ධ සැකකරුවෙකු බවද පොලිසිය වැඩිදුරටත් පවසා සිටියා ෴


රුපියල් 1500 ක අල්ලසක් ගත් අයෙකු අත්අඩංගුවට

(02.05.2025 – 22:16 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 1,500 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව ඉකුත් අප්‍රේල් 28 වනදා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හරහා ගමන්කළ බවට චෝදනා කරමින්, පැමිණිලිකරුගේ ජාතික හැඳුනුම්පත මෙම පුද්ගලයා සිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව එම හැඳුනුම්පත නැවත ලබාදීම සඳහා රුපියල් 3,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත.

කෙසේ නමුත් අද (02) දින ඔහු එම මුදල රුපියල් 1,500 ක් දක්වා අඩුකර අල්ලස් ලෙස ලබාගැනීමේ දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අද (02) පෙ.ව. 10:50 ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වේදිකා අංක 7-8 හි පිහිටි සංචාරක ප්‍රවේශපත්‍ර පරීක්ෂක කාර්යාලය තුළ දී අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත ෴


ශ්‍රී ජයවර්ධනපුර සරසවියේත් නවක වද

(02.05.2025 – 21:32 +0530 – sinhala.adaderana.lk)

නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන (3) වසරේ සිසුවෙකුට එම (3) වසරේ හා සිව්වන (4) වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ.

පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

නවක වදය හේතුවෙන් ඇති වූ මානසික පීඩාව නිසා සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවාගේ මරණයේ සිදුවීම තවමත් රට තුළ කථාබහක් ඇති කරමින් තිබියදී මෙම පහරදීම සිදුව තිබීම විශේෂත්වයක්ය.

පහරකෑ සිසුවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තුළ නවක වදයට විරුද්ධ වූ අයෙකු බව පැවසේ.

එමෙන්ම ඔහු විශ්වවිද්‍යාලය තුළ ‘ශිෂ්‍ය අන්වර්ථ නාමයක්’ නොමැතිව විශ්වවිද්‍යාල භූමියේ සැරිසැරීම ද මෙම පහරදීමට හේතු වී ඇත.

සිසුන් 20 ක පමණ පිරිසක් තම නේවාසිකාගාරයටම පැමිණ හෙල්මට්වලින් හිසට සහ කොන්ද ප්‍රදේශයට අමානුෂික ලෙස පහරදුන් බව එම සිසුවා පවසයි.

+

+


අනුරගේ මැයි රැළියේ බස්රථ තුන්දහසක් අධිවේගි මාර්ගයේ නවතා කෑමකාපු ජනතාව හිරේදමයි රෙදිගලවයි

+


සරසවි නවක වධයෙන් අධ්‍යාපනය පුද්ගලීකරණයට උඩගෙඩි දෙයි…

(03.05.2025 – 08:02 +0530 – lankacnews.com)

සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු හදිසියේ මියයාම පිළිබඳව ‘සමාජවාදී ජනතා සංසදය’ විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පහත දැක්වේ :

2025 මැයි 02

= මාධ්‍ය නිවේදනයයි =

නිසි පරීක්ෂණයක් පවත්වනු! සිසු නිදහස තහවුරු කරනු!

සබරගමුව විශ්වවිද්‍යාලයේ, තාක්ෂණ පීඨයේ, ඉංජිනේරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවාගේ හදිසි මරණය පිළිබඳව සමාජ කථිකාවක් මතුවීම පිළිබඳව අප පක්ෂයේ දැඩි අවධානය යොමු විය.

මරණයට හේතුව නවකවද සිදුවීමක් බවට දැඩි කථාබහක් සමාජය තුළ සාකච්ඡාවට බුඳුන් වෙමින් තිබේ. චෝදනාව බරපතල බැවින් මේ පිළිබඳව නිවැරැදි තොරතුරු සමාජය වෙත නිරාවරණය කිරීම සබරගමුව විශ්ව විද්‍යාලයේ බලධාරීන්ගේ නිසි වගකීමක් වෙන අතර මෙි පිළිබඳව ශිෂ්‍ය ව්‍යාපාරයට ද බරපතල වගකීමක් තිබේ. නිසි පරීක්ෂණණයක් පවත්වා මරණය පිළිබඳව නිවැරැදි තොරතුරු හෙළාදරව් කිරීමට මැදිහත්වීම වෙනු වෙන් ශිෂ්‍ය ව්‍යාපාරයට ඇති වගකීමෙන් බැහැරවිය නොහැක.

මේ අතර මියගිය ශිෂ්‍යා විසින් ලියා ඇති ලිපියක ඔහුගේ මරණයට කිසිවෙකුත් වගනොකියයුතු බව පවසා ඇතැයි වාර්‍තා වේ.

ඒ කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල නවකවදය හා බැඳුණු සිසු සිසුවියන්ගේ මරණ පිළිබඳව දීර්‍ඝ ඉතිහාසයකට හිමිකම් කියන අතර එයින් කිහිපයක් පහත සටහන් කරන්නේ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා වැලක්වීමේ අවධානය යොමු කිරීම පිණිසම ය. මේ සිදුවීම් සියල්ල සෘජුව හෝ වක්‍රව විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පවතින නවකවදය හා බැඳුණු සිදුවීම බව පිළිගත යුතුය.

1975 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රූපා රත්නසීලි ලිංගික අපයෝජනයෙන් වැළකී සිටීමට රාමනාදන් ශාලාවේ දෙවන මහලෙන් පැන අංශභාග තත්ත්වයට පත් විය. පසුව ඇය සියදිවි නසා ගත් බව වාර්‍තා විය.
1992 – කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ඇගේ හිටපු පෙම්වතා විසින් පිහියෙන් ඇන මරා දැමීම.
1993 – රුහුණු විශ්ව විද්‍යාලයේ චමින්ද පුංචිහේවා නවක වදය හේතුවෙන් මියයාම.
1997 – රුහුණු විශ්ව විද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යාවක් දරුණු ලිංගික හිරිහැරයකට ලක්වීමෙන් පසු සියදිවි නසා ගැනීම.
1998 – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක වදය හේතුවෙන් ඇති වූ තුවාල හේතුවෙන් වරප්‍රගාෂ් මියයාම.
2002 – ශ්‍රී ජයවර්ධනපුර නවක වදය වැළැක්වීමට උත්සාහ කිරීමේදී ඕවිටිගල විතානගේ සමන්ත ශිෂ්‍යා මිය ගියේය.
2011 – රුහුණු විශ්ව විද්‍යාලයේදී ශිෂ්‍යාවක් නවක වදය හේතුවෙන් පාදයක අර් අංශභාග තත්ත්වයට පත් විය.
2014 – නවක වදය හේතුවෙන් විශ්වවිද්‍යාලයෙන් පිටව යාමට බල කිරීමෙන් පසු පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ හිටපු පිරිමි ශිෂ්‍යයෙකුගේ සියදිවි නසා ගැනීම.
2015 – සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක සිසුවියක වන අමාලි චතුරිකා නවක වදය හේතුවෙන් සියදිවි නසාගත් බවට වාර්‍තා වේ.
2025 – සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ චරිත් දිල්ෂාන් නවක වදය හේතුවෙන් සියදිවි නසාගත් බවට වාර්‍තා වේ.
මේ නවකවදය හේතුවෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිසු සිසුවියන් සිය ජීවිතයට සමුදුන් අවස්ථා කිහිපයකි.

මෙයට අමතරව නවක වදය හේතුවෙන් අබාධිත තත්වයට පත්වීම මෙන්ම ලිංගික අතවර කිරීම්, සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ඉතිහාසය පුරා වාර්‍තා විය.

නවකවදය පිළිබඳ තර්‍කනය මත පදනම්ව, රජය, දක්ෂිණාංශික පක්ෂ සහ ජනමාධ්‍ය විසින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්‍ධනය කිරීම සඳහා ගෙනයන් උත්සාහයට මේම සිදුවීම් නොදැනුවත්ව ලබා දෙන අවස්ථාවන් බව ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම් ගතයුතුය. එසේම සෑම රජයක්ම විසින් අධ්‍යාපන පෞද්ගලිකරණය කිරීමට යොදාගන්නා උපාය මාර්‍ගයන්ට මෙවැනි ක්‍රියා උපකාරී වුනු ඇති බව ද ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම්ගත යුතුය. මෙවැනි ක්‍රියාවන් සිසුන්ගේ අධ්‍යාපනයට බාධාවක් හා අධ්‍යාපනයේ නිදහසට බාධාවන මැර ක්‍රියාවන් බව වටහා ගැනිම වැදගත්.

ඒබැවින් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් නිවේදනයන්ට එහාගිය මෙවැනි පසුගාමී ක්‍රියාවන්ගෙන් මුදවාගෙන ‘පළමුවත් අධ්‍යාපනය, දෙවනුවත් අධ්‍යාපනය, තෙවනුවත් අධ්‍යාපනය’ යන ලෙනින්ගේ සුප්‍රසිද්ධ පාඨය තේරුම් ගනිමින්, 21 වෙනිි සියවසට ගැලපෙන වාමාංශික මතවාදයන්ගෙන් පෝෂිත, වඩාත් ප්‍රජාතන්ත්‍රීයකරණය වූ දැනුවත් වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැංවීමට තීරණාත්මකව පියවර ගන්නට ‘සමාජවාදී ජනතා සංසදය’ යෝජනා කරසිටී.

ධර්‍මසිරි ලංකාපේලී,
ලේකම්


සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී පුද්ගල ඝාතනයක්

(03.05.2025 – 007:20 +0530 – sinhala.adaderana.lk)

අවමංගල්‍ය උත්සවයකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී කාලයේදී සීගිරිය පොලිස් වසමේ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

අවමංගල්‍ය උත්සවයකට සහභාගීවීමට පැමිණ සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඔහු බරපතළ තුවාල ලබා කිඹිස්ස රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වූ හේන්වලයාගම, කිඹිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා සහ සැකකරු අතර කලක සිට තිබූ පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *