‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට

‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට


‘ඩෑන් ප්‍රියසාද්’ මැරුවේ වැල්ලම්පිටියෙන්; ඩුබායි ඕඩරයකට

(25.04.2025 – divaina.lk)

  • කංජිපානිගේත් සහාය ලැබිලා
  • ත්‍රිරෝද රථ හිමියෙක් රහස් වමාරයි
  • සැකකාර පිය–පුතු දෙදෙනා (2) අතුරුදන්
  • ‘ඩෑන්ට මොනවත් නොකළොත් අපි වැල්ලම්පිටියේ ඉඳලා හමාරයි’ තුන්දෙනාම (3) ඩුබායිහි සිටින ‘පාතාලයේ ධනුෂ්ක’ට කියලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළොන්නාව නගර සභා අපේක්‍ෂක ‘ඩෑන් ප්‍රියසාද්’ මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය වැල්ලම්පිටියේ පදිංචි ත්‍රිරෝද රථ හිමියකු සහ පිය–පුතු දෙපළක් ඩුබායිහි සැඟවී සිටින පාතාල නායකයකුට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත සිදුවී ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඊට ඩුබායි හි සිටින ‘කංජිපානි ඉම්රාන්’ගේ සහාය ද ලැබී ඇති බව හෙළිවී තිබේ.

මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් ‘දුලාන්’ නමැති ත්‍රිරෝද රථ හිමියා මේ වනවිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින අතර ඔහු ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ.

‘ඩෑන් ප්‍රියසාද්’ගේ බාල සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පිය-පුතු දෙපළ ද මෙම සිද්ධිය පිටුපස සිටින අතර ඔවුන් මේ වනවිට නිවෙස් අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

‘කට් බන්දු’ නමින් හඳුන්වන පිය-පුතු දෙපළ අතර සිටින පියා, ඩෑන් ඝාතනය කර අලුත් අවුරුද්දට පසු බන්ධනාගාරයට එන බව බන්ධනාගාර රැඳවියකුට මීට පෙර ප්‍රකාශ කර තිබූ බවද පොලිසිය හෙළි කරගෙන තිබේ.

ඩුබායිහි සැඟවී සිටින ‘ග්‍රෑන්ඩ්පාස් ධනුෂ්ක’ නමැති පාතාල ප්‍රබලයා මෙම ඝාතනය මෙහෙයවා ඇති අතර ඊට ‘කංජිපානි ඉම්රාන්’ගේ ද සහාය ලැබී ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඉකුත් 21 වැනිදා ද වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිටදී ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමට මෙම සංවිධානාත්මක කල්ලිය සැලසුම් කරගෙන සිට ඇත. එහෙත් එදින ඔහු පොලිසියට නොපැමිණි නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඉකුත් 20 වැනිදා ‘ඩෑන් ප්‍රියසාද්’ සහ ‘දුලාන්’ නමැති ත්‍රිරෝද රථ හිමියා අතර වැල්ලම්පිටියේ දී ආරවුලක් ඇතිවී තිබිණි. එහිදී ‘ඩෑන් ප්‍රියසාද්’ විසින් දුලාන්ට පහර දී ඔහුගේ ත්‍රිරෝද රථයට ද මන්නා පිහියකින් කොටා හානි කර ඇත.

‘දුලාන්’ නමැත්තා ‘ඩෑන්’ගේ සොහොයුරා ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වන පිය-පුතු දෙපළගේ ඥාතියකු වන අතර ඔහු මේ බව පිය-පුතු දෙපළට පවසා ඇත්තේ ‘ඩෑන් ප්‍රියසාද්’ගෙන් දිගට ම කරදර ඇති බවයි. පසුව මොවුන් මේ පිළිබඳව ඩුබායි රාජ්‍යයේ සිටින ‘ග්‍රෑන්ඩ්පාස් ධනුෂ්ක’ නමැති පාතාල නායකයාට පවසා ඇත. ‘ඩෑන්ගෙන් හරි කරදරයි. මිනිහට මොනව හරි කළේ නැත්නම් අපිට වැල්ලම්පිටියේ ඉන්න හම්බ වෙන එකක නැහැ’ යනුවෙන් දුලාන් මෙන්ම පිය-පුතු දෙපළ ධනුෂ්කට පවසා ඇත.

‘ධනුෂ්ක’, ‘කංජිපානි ඉම්රාන්’ගේ ද සමීප හිතවතකු වන අතර ඔහු මේ පිළිබඳව ‘කංචිපානි’ට ද පවසා තිබේ. ‘ඩෑන් ප්‍රියසාද්’ සමග තමාගේ ද වෛරයක් ඇති බැවින් ඔහු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ‘කංජිපානි ඉම්රාන්’ ද පවසා තිබේ.

ඒ අනුව කුලී ඝාතකයන් දෙදෙනකු (2) යොදවා ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමේ සැලසුම සකස් කර ඇත.

තම ත්‍රිරෝද රථයට හානි කිරීම සම්බන්ධයෙන් ‘දුලාන්’ වැල්ලම්පිටිය පොලිසිය වෙත නොගොස් වෙනත් පුද්ගලයකු ලවා පැමිණිල්ලක් දැමීමට කටයුතු කර තිබිණි. ඒ ඔහු එසේ කර තිබුණේ මෙම ඝාතන සැලසුමට තමන්ගේ සම්බන්ධයක් නොවන බව හැඟවීමට බවට පොලිසිය පවසයි.

එම පැමිණිල්ල විභාග කිරීමට නියමිතව තිබූ 21 වැනිදා ‘ඩෑන් ප්‍රියසාද්’ මරා දැමීමට සැලසුම් කළ ද ඔහු එදින පැමිණිල්ල විභාගයට පොලිසිය වෙත පැමිණ සිටියේ නැත.

‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 20 කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

සැඟවී සිටින පිය-පුතු දෙපළ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඔවුන් සිටින බවට සැකකරන ස්ථාන රැසක් පරීක්ෂා කළ ද කිසිදු තොරතුරක් ලැබී නොමැති බව විමර්ශකයෝ පවසති.

මෙම ඝාතනය සිදු කළ කුලී ඝාතකයන් දෙදෙනා (2) පිළිබඳව ද මෙතෙක් තොරතුරු ලැබී නැත. සී.සී.ටී.වී. දර්ශන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කුලී ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කරගෙන යයි.

පසුගිය 21 වැනිදා රාත්‍රියේ මීතොටමුල්ල මහල් නිවාසයේ පදිංචි සිය බිරිඳගේ මවගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වෙමින් සිටියදී එහි කඩාවැදුණු පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු (2) විසින් ඩෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන

+++

‘ඩෑන්’ගේ ඝාතනයට අනුබල දුන් ඥාති පුත්‍රයෙක් ගැන පොලිසියෙන් විමර්ශන

(25.04.2025 – 14:00 +0530 – hirunews.lk/sinhala)

සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමට අනුබල දුන් බව පැවසෙන ඥාති පුත්‍රයෙක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිත පිය-පුතු දෙපළ සොයා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සමාජ ක්‍රියාකාරියෙකු මෙන්ම ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ’ පළාත්සබා අපේක්ෂකයෙකු වූ ‘ඩෑන් ප්‍රියසාද්’ පසුගිය 22 වනදා රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවෙක් එල්ල කළ වෙඩි තැබීමකින් මියගිය අතර ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සිරුර මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබෙනවා.

ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (24) රාත්‍රීයේ සහ අද (25) උදෑසනත් ඥාතීන් හිතවතුන් මෙන්ම දේශපාලන නියෝජිතයින්ද එක්ව සිටියා.

මේ අතර ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සැලසුම් කළ ප්‍රධාන සැකකරු බවට සැලකෙන ‘දුලාන් මධුසංඛ’ හෙවත්, ‘දුලා’ නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහු අද (25) කොළඹ අලුත්ඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

‘දුලාන් මධුසංඛ’ හෙවත් ‘දුලා’ නමැත්තා සහ ‘ඩෑන් ප්‍රියසාද්’ අතර ‘ඩෑන්ගේ සහෝදරයා’ ඝාතනයකිරීම සම්බන්ධයෙන් කලක පටන් ආරවුල් පැවැති බවද වාර්තා වනවා.

පසුගිය 20 වැනිදා දෙපිරිස අතර ඇති වු ආරවුලක් ඊට ආසන්නතම හේතුව ලෙස දැක්වූ අතර, ‘ඩෑන්’ ඝාතනය කිරීම ‘කංජිපානි ඉම්රාන්’ගේ මැදිහත්ව සිදුව ඇති බවට කරුණු වාර්තා වුණා.

මේ අතර, ‘ඩෑන් ප්‍රියසාද්’ ‘ලක්සඳ සෙවන මහල් නිවාස සංකීර්ණය’ට පැමිණි බවට තොරතුරු ලබාදුන් තවත් ඥාති පුත්‍රයෙක් සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහු ‘ඩෑන් ප්‍රියසාද්’ගේ නැගණියකගේ සැමියාගේ පාර්ශ්වය නියෝජනය කරන පුද්ගලයෙක් බවද පොලිසිය සඳහන් කළා.

එම පුද්ගලයා ‘ඩෑන්’ මත්පැන් පානය කරමින් සිටි ස්ථානයට පැමිණ යළි පිටව ගොස් තිබූ බවත්, ඔහු හා ‘ඩෑන් ප්‍රියසාද්’ ගැටුම ඇතිකරගත් ‘දුලාන්’ නැමැත්තා අතර සමීප සබඳකමක් පවතින බවටත් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බව පොලිසිය සඳහන් කළා ෴

+


මහියංගනයේ සිදුවූ බිහිසුණු බස් රථ අනතුරකින් පාසල් ළමුන් 10 ක් ඇතුළු 27 ක් රෝහලට

(25.04.2025 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය පී.ටී.එස්. මංසන්ධියේදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ 27 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන් අතර පාසල් සිසුන් 10 දෙනෙකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් පස් කණ්ඩියක වැදී මෙම අනතුර සිදුව තිබුණා.

+

+


උපදෙස් නොතකා ඊයෙත් (24) 60,000 කට අධික පිරිසක් දළදා වඳින්න ගිහින්

(25.04.2025 – 13:32 +0530 – hirunews.lk/sinhala)

‘සිරි දළදා වන්දනාව’ අවසන් වීමට තවත් දින දෙකක් (2) පමණක් පවතින පසුබිමක සැදැහැවතුන් සීමා කර ඇතත් ඊයේ (24) දිනයේ පමණක් අලුතින් 63,000 කට ආසන්න පිරිසක් පෝළිම්වලට එක්වී ඇති බව මධ්‍යම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පවසනවා.

කෙසේ වෙතත් දැනට පෝළිම්වල සිටින හඳුනාගැනීමේ ස්ටිකරය නිකුත් කර ඇති පිරිසට පමණක් ඉදිරි දින දෙක (2) තුළ දළදා වන්දනාවට අවසර හිමිවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

‘සිරි දළදා වන්දනාවේ’ 8 වැනි දිනය අද (25) යි.

ඊයේ (24) දිනයේදී සැදැහැවතුන් 90,000 කට ආසන්න සංඛ්‍යාවකට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව හිමි වුණා.

රාත්‍රී කාලයේ පෝළිම්වල රැඳී සිටි සැදැහැවතුන්ගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව සිටියා.

අති විශාල පිරිසක් මහනුවර නගරයට පැමිණීම හේතුවෙන් ඊයේත් (24) ඇතැම් පෝළිම්වල නොසන්සුන්තා ඇතිවුණා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක පෝළිමක් අසලදී පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැනවදින දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුනා.

මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති අතර එම විමර්ශනයෙන් අනාවරණ වන කරුණු මත එම පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ.

මේ අතර පසුගිය දිනවල දිගු පෝළිම් දක්නට ලැබුණු අම්පිටිය ප්‍රවේශ මාර්ගයේ ගොඩගැසී තිබූ කුණු කසළ තවමත් ඉවත් කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

එමෙන්ම අද (25) පෙරවරුවේ සිටම සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණි සැදැහැවතුන්ගෙන් ප්‍රවේශ මාර්ග 3 ම පිරී පවතිනවා.

තවද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගෙන් ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ දැනට පෝළිම්වල සිටින සැදැහැවතුන්ට දළදා වන්දනාව සඳහා ඉදිරි දින දෙක (2) තුළ සිදුකර ගැනීමට පවා අපහසු තත්ත්වයක් මතුව ඇති බවයි.

‘සිරි දළදා වන්දනාව’ අනිද්දා (27) අවසන් වීමට නියමිත අතර එහි කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා අද (25) පෙරවරු 11 ට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා ෴

‘සිරි දළදා වන්දනාව’, පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 27 වනදා ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කළ බව, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.

ඒ අනුව, ‘සිරි දළදා වන්දනාවේ’ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ ෴

+++

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටය ගැන විමර්ශනයක්

(25.04.2025 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු විසින් යුද හමුදා නිලධාරියෙකුට බැණ වදින දර්ශන පෙළක් ඇතුළත් වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා.

මෙම වීඩියෝ පටය වැඩබලන පොලිස්පතිතුමාගේ අවධානය යොමු වීමෙන් පසු මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් 1 භාර පොලිස් අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනයේදී අනාවරණය වන කරුණු අනුව අදාළ පොලිස් නිලධාරියාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ ෴

+++

‘සිරි දළදා වන්දනාවේ’ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(25.04.2025 – 13:28 +0530 – hirunews.lk/sinhala)

‘සිරි දළදා වන්දනාවේ’ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තැබූ සටහන පහතින් :

‘උතුම් වූ සිරි දළඳා වන්දනාවට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරියේ යෙදී සිටියෙදී හදිසියේ වියෝ වූ පොලිස් විරුවනි, ඔබ දෙදෙනාට අපගේ ගෞරවණීය උත්තමාචාරය.’


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ජාතික රූපවාහිනියට පැන්න සිද්ධියේ නඩුව යළි කැඳවේ

(25.04.2025 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අදාළ නඩුව ජුනි මස 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (25) කැඳවූ අවස්ථාවේදී සැකකාර මර්වින් සිල්වා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අධිකරණයට කරුණු අනාවරණය කෙරුණා.

ඒ අනුව නඩුව ජුනි මස 30 දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

එදින මර්වින් සිල්වා බන්ධනාගාර ගතව සිටියේ නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියම කළා ෴


මඩකලපුව – කිරාන්කුලම් ප්‍රදේශයේ 16 හැවිරිදි පාසල් සිසුවියක් හදිසියේ මියයයි

(25.04.2025 – 16:13 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – කිරාන්කුලම් ප්‍රදේශයේ පාසල් සිසුවියක් පාසලේදී හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

අදාළ සිසුවිය කලවන්චිකුඩි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

16 හැවිරිදි මෙම සිසුවිය පාසල තුළදි හදිසියේ සිහි මුර්ඡා වී බිම ඇද වැටී ඇති අතර පසුවයි කලවන්චිකුඩි මූලික රෝහලට ඇතුළත් කර තිබුණේ ෴


25-04-2025

+++

25-04-2025

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *