සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල

සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල


සිරි දළදා වන්දනාවට බැතිමතුන් ඊයේ (16) සිටම පෝලිම්වල

(17.04.2025 – 13:57 +0530 – hirunews.lk/sinhala)

වසර 16 කට පසු උදාවී ඇති උතුම් ‘සිරි දළදා වන්දනාව’ සඳහා ඊයේ (16) රාත්‍රියේ සිටම බැතිමතුන් විශාල පිරිසක් පෝලිම්වල සිටිනු දක්නට ලැබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ‘සිරි දළදා වන්දනාව’ හෙට (18) පස්වරුවේ ආරම්භ කිරීමට මේ වනවිට සියලු‍ කටයුතු සූදානම්.

මේ අතර මහනුවර මහනගර සභාව සඳහන් කළේ මේ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් සියලු සේවා සැපයීමට කටයුතු සංවිධානය කර ඇති බවයි.

ඒ අනූව දළදා වන්දනාව හේතුවෙන් මහනුවර නගරයට රථ වාහන ඇතුළු කිරීම අද (17) උදෑසන 6 සිට සීමා කෙරුණා.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු නිරුපද්‍රිතව ශේෂ වූ ගෞතම බුදුරජාණන්වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ ලොව පුරා වන්දනීයත්වයට පාත්‍රවන උතුම් වස්තුවක්.

අද වනවිට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටින ශ්‍රී දළදා වහන්සේ මෙරට රාජ්‍යත්වය හා බැඳුණු සුවිශේෂි සංකේතයක් ලෙස ද සැළකෙනවා.

රජ සමයේ සිට මේ දක්වා දළදා වහන්සේ වෙනුවෙන් වත් පිළිවෙත් සහ තේවාවන් සිදුකරන්නේ ජීවමාන බුදුන්ට එකළ සිදුකළ බව පැවසෙන අයුරින්මයි.

දිනකට දස දහස් ගණනින් වැඳුම් පිදුම් ලබන ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි මහ නායක ස්වාමීන්වහන්සේලා සතුවන අතර ගිහි භාරකාරත්වය දරනු ලබන්නේ දියවඩන නිලමේවරයා විසින්.

ආරක්ෂිත රන් කරඬුවක තැන්පත් කර ඇති දළදා වහන්සේ සියැසින් දැකබලාගැනීමේ අතිශය දුර්ලභ අවස්ථාව මෙරට මෙන්ම ලෝවැසි බෞද්ධ ජනතාවට හිමිවන්නේ වසර 16 කට පසුවයි.

හෙට (18) පස්වරු 03:30 සිට 05:30 දක්වා සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාවට අවස්ථාව හිමිවන අතර 19 වැනිදා සිට 27 වැනිදා දක්වා සැදැහැවතුන්ට දළදා වන්දනාවට අවස්ථාව හිමිවන්නේ දහවල් 12 සිට පස්වරු 05:30 දක්වායි.

බැතිමතුන්ගේ රථවාහන නතර කිරීම සඳහා නගර සීමාවට ඔබ්බෙන් ස්ථාන 6 ක් වෙන්කර තිබෙනවා. ඒ අනුව :

  • ගම්පොළ හා කොළඹ සිට පැමිණෙන වාහන ගැටඹේ ක්‍රීඩාංගනය හා ගන්නෝරුව මාර්ගයේ නවතා තැබිය හැකියි.
  • කුරුණෑගල – කටුගස්තොට මාර්ගය දෙසින් පැමිණෙණ වාහන 4 කණුව අසළ නතර කළ යුතු වනවා.
  • මඩවල මාර්ගයෙන් පැමිණෙන වාහන පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල් භූමියේ නවතා තැබිය හැකියි.
  • මාතලේ මාර්ගයෙන් පැමිණෙන වාහන රා කඩේ හන්දියෙන් ධර්මාශෝක මාවතේ නතර කළ යුතු වන අතර,
  • මහියංගනයේ සිට පැමිණෙන වාහන පල්ලේකැලේ බණ්ඩාරනායක විද්‍යාල ක්‍රීඩාංගනයේ නවතා තැබිය යුතු බව පොලිසිය පවසනවා.
  • බදුල්ලේ සිට පැමිණෙන වාහන ගුරුදෙණිය ප්‍රදේශයෙන් නැවැත්විය යුතුයි.

මේ අතර දෛනික අවශ්‍යතාවයන් සඳහා මහනුවර නරගයට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා රථගාල් 12 ක් හඳුන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් මහනුවරට පැමිණෙන බැතිමතුන්ට සහ අනෙකුත් අවශ්‍යතාවලට පැමිණෙන අයට සිය වාහන නතර කිරීම සඳහා පොලිසිය සඳහන් කළ ස්ථානවල සිට පොදු ප්‍රවාහන සේවා සැපයීමටයි පියවර ගෙන ඇත්තේ.

‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් මහනුවර නගරයට පැමිණෙන බැතිමතුන්ට අදාළ රථ වාහන සැලැස්ම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා https://www.hirunews.lk/ අපගේ වෙබ් අඩවිය වෙත පිවිසිය හැකියි.

මේ අතර සිරි දළදා වන්දනාවට ප්‍රවේශ විය හැකි මාර්ග ද මේ වනවිට නම්කර ඇති අතර ඒ අනුව :

  • ඩී. එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් එක් ප්‍රවේශ මාර්ගයක් පවතිනවා.
  • දෙවැනි ප්‍රවේශ මාර්ගය වන්නේ රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුමේ සංඝරාජ මාවත හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති මාර්ගයයි.
  • රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සැලසුම් කර ඇති මාර්ගය තෙවැනි ප්‍රවේශ මාර්ගයයි.

මහනුවර මහනගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සදහන් කළේ, මහනුවර නගරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පානිය ජලය සැපයීම, සෞඛ්‍ය ආරක්‍ෂිත සහ සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සේවා මේ වන විටත් සුදානම් කර ඇති බවයි.

මෙම මුලික කටයුතුවල සුදානම පරික්ෂා කිරීමට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඊයේ (16) පස්වරුවේ මහනුවර සංචාරයක නිරත වුණා.

සිරි දළදා වන්දනාව සදහා ලක්ෂ 20 කට අධික දෙස් විදෙස් බැතිමතුන්ගේ පැමිණීම අපේක්ෂා කෙරෙනවා.

මේ වෙනුවෙන් කොළඹ හා ප්‍රධාන නගර රැසක සිට විශේෂ බස් ගමන් වාර සුදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළේ.

කොළඹ සිට දෛනිකව මහනුවර දක්වා අතිරේක දුම්රිය ගමන්වාර 8 ක් ද ක්‍රියාත්මකයි.

මෙම කාලය තළ ශ්‍රී දළදා වහන්සේ සහ දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව, බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් යොදවා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරීන් 10,000 කට අධික පිරිසක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන්නේ.

සැදැහැවතුන්ගේ ආරක්ෂාව සහ මාර්ග බාධක රාජකාරි වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සහය සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් නිල සුනඛ අංශය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ද රාජකාරි සදහා යොදවා තිබෙනවා.

+++

මහනුවර ශ්‍රී දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමේ විශේෂ වැඩසටහනක්

(17.04.2025 – 15:08 +0530 – hirunews.lk/sinhala)

2025.04.18 දින සිට 2025.04.27 දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ තැම්පත් කර ඇති ශ්‍රී දළදා වහන්සේ ලංකාවාසී බෞද්ධ ජනතාවට වන්දනා කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීමට, මහානායක හිමිවරුන්ගේ අනුශාසනා හා ආශිර්වාද අනුව වත්මන් රජය විසින් පියවර ගෙන තිබෙනවා.

එම ජනතාවගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා ත්‍රිවිධ හමුදාවට සහය වෙමින් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයත්, ව්‍යාප්ත වීමත් වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සුරාබදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා ප්‍රකාශ කරනවා.

මේ සඳහා මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් තිස්ස කුමාර රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂිත සුරාබදු නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් සහ කොළඹ, උතුරු මැද හා වයඹ විශේෂ මෙහෙයුම් ඒකකයවල නිලධාරීන් ද යෙදවීමට සැලසුම් කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අංක 1913 දරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ හදිසි කෙටි දුරකථන අංකයට ද, 071 439 5603 සහ 071 800 8029 යන අංක වෙත ද මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ පැමිණිලි ලබා දෙන ලෙසයි ෴

+++

සිරි දළදා වන්දනාවට VIP හෝ VVIP පෝලිම් නෑ

(17.04.2025 – 15:15 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා කිසිදු අවස්තාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන් වෙත විශේෂ පෝලිමක් නොමැති බව පොලිසිය පවසනවා.

මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මේ බව ප්‍රකාශ කළේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අද (17) සවස පැවති ‘සිරි දළදා වන්දනාව’ බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ ඔවුන්ව ද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්ක‍රන් බවයි ඔහු පවසන්නේ.

මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ වැඩිදුරටත් කියා සිටියා.

දළදා වන්දනාවේ දී 98% ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10:30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළා.

දළදා වන්දනාව සඳහා බැතිමතුන් පෝලිම් තුනක් (3) හරහා ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් (2) ලෙස පිටකිරීම සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

+++

“සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය සේවාවන් සපයා ගැනීම මෙන්ම පොලිසිය සහ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නව පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.

මෙම පද්ධතිය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිල විද්‍යුත් ගිණුම හරහා “සිරි දළඳා වන්දනාව” නමින් සඳහන් වන https://daladadekma.police.lk විද්‍යුත් පිටුව හරහා පිවිසීමෙන් පසු මෙම දළදා වන්දනාව සම්බන්ධයෙන් තොරතුරු හා උපදෙස් බැතිමතුන් වෙත ලබා ගැනීමට හැකි බවයි වාර්තා වන්නේ ෴


වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට ගොඩගන්නැයි නියෝග

(17.04.2025 – 15:46 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මේ මස 23 වනදා ගොඩගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා එම දේහය මේ මස 23 වනදා ගොඩ ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් ඉල්ලීමක් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් විසින් මෙම නියෝගය නිකුත් කළා.

මෘත දේහය ගොඩගන්නා අවස්ථාවේදී අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන ලෙසත් මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් බදුල්ල මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

මෙම ශරීරයේ ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත්කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් නඩු දිනයේදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කර තිබුණා.

ඒ අනුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල වෛද්‍ය කමිටුවක් පත් කර තිබෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රියන්ත අමරරත්න, විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්. රුවන්පුර සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හා විශේෂඥ අධිකරණ වෛද්‍ය මුදිත විදානපතිරණ යන විශේෂඥ වෛද්‍ය කමිටුවට පත් කර තිබෙන බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාල තරුණයාගේ මරණය සැක සහිත බවත් එබැවින් ඔහුගේ මෘත ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මියගිය තරුණයාගේ මව විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් අදාල මෘත ශරීරය ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පසුගියදා නියෝග කර තිබුණා.

ඒ අනුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙම පියවර ගෙන තිබෙන්නේ ෴


රුපියල් මිලියන 30 ක් සමඟ පොලිස් කොස්තාපලයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට

(17.04.2025 – 16:44 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 30 ක් සමඟ පොලිස් කොස්තාපලයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් කොස්තාපල් බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට අනුයුක්ත අයෙක් බව සඳහන්.

මෙම සැකකරුවන් පිරිස දෙවුන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් අද(17) අලුයම මෙම වැටලීම සිදුකර තිබෙනවා.

දෙවුන්දර හුම්මාන මාර්ගයේ රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදි සිටියදි එම මාර්ගයේ ගමන් කරමින් තිබු සැකකටයුතු කාර් රථයක් නවත්වා පරික්ෂා කොට තිබෙනවා.

එම කාර් රථයේ පසුපස සඟවා තිබු රුපියල් තුන් කෝටි විසිඅට ලක්ෂ හතලිස් දහසක්(3,28,40,000) මුදල් හා ග්‍රැම් 150 ක් බර රන් භාණ්ඩ එහිදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් බුද්ධි මුලස්ථානයට අනුයක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් කාර් රථයේ රියදුරු ලෙස සිට ඇති බව‍යි පොලිසිය පැවසුවේ.

ඔහුගේ ගෙදර පිහිටි මාතර වේරදුව ප්‍රදේශයේ මිතුරන් සමඟ සාදයක් පවත්වා ඇති බවත් එම සාදය අවසන්වි දෙවුන්දර ප්‍රදේශයේ පදිංචි මිතුරන් නිවෙස් වෙත ඇරලවිම සඳහා ගමන් කරමින් සිටි බවත් ඔහු පවසා තිබෙනවා.

මෙම මුදල් පොලිස් නිලධාරියාගේ විදේශගතව සිටින සහෝදරියකගෙන් ලැබුණු බවයි කියා ඇත්තේ.

නමුත් ප්‍රශ්න කිරිම්වලදි සිදු කරන ප්‍රකාශවල පරස්පරතා පවතිනා බව විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පවසනවා.

අදාල කාර් රථය දෙනිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් ලියාපදිංචි කොට ඇති බවත් ඇය මෙම පොලිස් නිලධාරියාගේ ඥාති සහෝදරියක් බව මුලික පරික්ෂණවලින් අණාවරනය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 45 – 50 අතර වයස්වල පසුවන දෙවුන්දර, මාතර වේරදුව, උඩුපීක්වැල්ල හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද (17) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රැදවුම් නියෝග ලබා ගැනිමට නියමිතයි.

වැඩිදුර පරික්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් සිදු කරනවා ෴


කෑම කන්න ගිය පිරිසකට ගාල්ලේ ප්‍රසිද්ධ හෝටලයකින් පහරදීමක්

(17.04.2025 – 18:45 +0530 – hirunews.lk/sinhala)

අවන්හලකට ගොස් ආහාර වේලක් ඇනවුම් කර එහි ඇණවුන ලැබෙන තෙක් එහි රැදී සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගාල්ලේ ප්‍රධාන පෙළේ හෝටලකට ගොස් ඔවුන් ආහාර වේලක් සදහා ඇනවුම් කර රැදී සිටි ඇතිඅතර මිනිත්තු තිහක් (30) ගතවීමත් පසුව අවන්හල් සේවකයන් පැමිණ ආහාර අවසන් වූ නිසා ඇණවුම් සපයාගැනීම ට නොහැකි බව පවසා තිබෙනවා.

එහිදී ආහාර ඇණවුම් කළ පිරිස තමන්ගේ අප්‍රසාදය පළ කර ඇති අතර එම අවස්ථාවේ කෝපයට පත් අවන්හල් පාර්ශ්වය විසින් මෙම පහර දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පහර දීම හේතුවෙන් තිදෙනෙකු (3) තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් පහර කෑමට ලක් වූ පිරිස සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිලි කළද තමාට සාධාරණය ඉෂ්ඨ නොවුණ බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *