මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න
(12.04.2025 – 19:44 +0530 – hirunews.lk/sinhala)
උදා වන අලුත් අවුරුද්ද මෙවරත් නැකැත් චාරිත්‍රවලට මුල් තැන දී පිළිගන්නට රටම සූදානම් වනවා.
නැකත් සීට්ටුව අනුව ‘පුණ්‍ය කාලය’ හෙට (13) අපරභාග 08:57 ට ඇරඹෙන අතර, එය අනිද්දා පූර්වභාග 09:45 ටයි අවසන් වන්නේ.
එමෙන්ම, ‘නව අවුරුදු උදාව’ අනිද්දා (14) පූර්ව භාග 03:21 ට යෙදෙන සුභ නැකතින් සිදුවීමට නියමිතයි.
‘ආහාර පිසීමේ නැකත’ යෙදෙන්නේ, අනිද්දා (14) පූර්ව භාග 04:04 ටයි.
තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දීකිරි සහ විළඳ ද පිළියෙල කර ගන්නා ලෙස නැකත් සීට්ටූවේ දැක්වෙනවා.
‘වැඩ ඇල්ලීම’, ‘ගනුදෙනු කිරීම’ සහ ‘ආහාර අනුභව කිරීමේ නැකත’ යෙදී ඇත්තේ, අනිද්දා (14) පූර්ව භාග 06:44 ටයි.
ස්වේත (සුදු) වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ‘සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම’ සුදුසු බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වනදා පූර්ව භාග 09:04 ට යෙදෙන අතර, කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොළොන්පත් ද තබා කොහොඹ පත් මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම සුදුසු බව සදහන්.
රැකී රක්ෂා සදහා පිටත්ව යෑමේ නැකත යෙදී ඇත්තේ මේ මස 17 වනදා පූර්ව භාග 09:03 ටයි.
රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් සහ එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යාම සුදුසු බව නැකැත් චාරිත්‍රවල දැක්වෙනවා.
මේ අතර, පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ නැකත හෙට (13) යෙදී ඇති අතර, දිඹුල් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයේ යෙදී වාසය කිරීම යහපත් බවයි නැකත් චාරිත්‍රවල වැඩිදුරටත් සඳහන් වන්නේ.
+
මෙරටට පැමිණි ගුවන් යානයකදී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ අයෙකු අත්අඩංගුවට
(12.04.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන්ගත් ගුවන් මගී කාන්තාවකට ලිංගික අඩන්තේට්ටම් කළ ඉන්දීය ජාතිකයෙකු අද (12) උදෑසන ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර, ඔහු 35 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
අලුයම 05:25 ට ඩුබායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ඒ.ඩී. 822 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි 31 හැවිරිදි ඩුබායිහි සේවය කළ කාන්තාවකට මෙම ඉන්දීය ජාතිකයා විසින් ලිංගික අඩත්තේට්ටම් සිදුකර තිබෙනවා.
මේ පිළිබදව මෙම කාන්තාව ගුවන් යානා කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගෙන තිබූ අතර, ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, මෙම ඉන්දීය ජාතිකයා, කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත රැගෙන විත් භාර දී තිබෙනවා.
මේ පිළිබද ගුවන් යානා කාර්ය මණ්ඩලයෙන් ද පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, වින්දිත කාන්තාව මෙන්ම ඉන්දීය ජාතිකයාද වෛද්‍ය පරීක්ෂණයකට යොමු කල බවයි පොලිසිය සඳහන් කළේ ෴
පොලිසියට වැඩබලන පොලිස්පතිගෙන් තහනමක්
(12.04.2025 – 16:52 +0530 – hirunews.lk/sinhala)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගෙන් හා ව්‍යාපාරික ප්‍රජාවගෙන් මූල්‍ය පරිත්‍යාග ලබාගෙන පොලිස් ස්ථාන තුළ සංග්‍රහ සංවිධාන නොකරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සියලු පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එසේම, නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට සුභ පැතීමේදී ත්‍යාග ලබාදීම නොකලයුතු බවටයි ඒ තුළින් දැනුම් දී ඇත්තේ.
එසේ ලබාදෙන කිසිදු මුදලක් හෝ ත්‍යාගයක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් භාරනොගත යුතු බවට ද වැඩබලන පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
මෙම උපදෙස් පිළිනොපදින නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා ෴
‘ස්පා’වලට කඩාවැදී මුදල් කොල්ලකෑ කල්ලියක් කොටුවෙයි
(12.04.2025 – 19:57 +0530 – hirunews.lk/sinhala)
කඩවත හා කිරිබත්ගොඩ ආශ්‍රිත ප්‍රදේශවල සම්බාහන මධ්‍යස්ථානවලට කඩා වැදී තියුණු ආයුධවලින් පහර දී මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකෑ සංවිධානාත්මක කොල්ල කල්ලියක් කොටුකර ගැනීමට මිනුවන්ගොඩ පොලිසිය සමත්වුණා.
එම කණ්ඩායම කිරිබත්ගොඩ සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදී එහි සිටින තරුණියන්ට හා පුද්ගලයින්ට පහරදී ඇති බවයි වාර්තාවුණේ.
සම්බාහන මධ්‍යස්ථානයේ සේවය ලබා ගැනීමට බව පවසමින් ඊට ඇතුළු වී පසුව තියුණු ආයුධවලින් පහර දී මුදල්, ජංගම දුරකථන, රන් ආභරණ ඇතුළු භාණ්ඩ රැසක් ඔවුන් එහිදී කොල්ල කා තිබෙනවා.
මොවුන් පසුගිය 06 වැනිදාද කඩවත පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ලකා තිබූණා ෴
මගීන් නංවාගෙන බීමතින් ගිය බස් රියදුරා පොලිස් නිලධාරියාටත් පාට් දාලා
(12.04.2025 – 20:15 +0530 – sinhala.adaderana.lk)
යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බීමත් බස් රථ රියදුරෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ බස් රථය බණ්ඩාරගම සිට රත්නපුර දෙසට ධාවනය වෙමින් පැවති අතර එහිදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පොලිස් කොස්තාපල්වරයාගේ යතුරු පැදිය දෙසට අපරික්ෂාකාරීව ධාවනය කර ඇත.
පසුව අදාළ පොලිස් කොස්තාපල්වරයා බස් රථයේ රියදුරුගෙන් මේ සම්බන්ධව විමසා තිබේ.
එහිදී සැකකාර බස් රථ රියදුරා විසින් බස් රථයේ තිබූ යකඩ පොල්ලක් රැගෙන අදාල පොලිස් කොස්තාපල්වරයාට පහරදීමට උත්සාහ දරා තිබේ.
පසුව පොලිස් කොස්තාපල්වරයා රථවාහන අංශයට ඒ බව දැනුම් දීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව අදාළ බස් රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත ෴
පියාගේ ඝාතකයන්ව ඝාතනය කළ සොහොයුරන් දෙදෙනා (2) අත්අඩංගුවට
(12.04.2025 – 18:44 +0530 – sinhala.adaderana.lk)
නොච්චියාගම යාය 17 ප්‍රදේශයේදී පිය පුතු දෙපළක්ව (2) තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
මෙම ද්විත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සුනඛයින් යොදාගෙන ඝාතනය සිදු වූ ස්ථානය පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරුවන්ගේ නිවස වෙතට පොලිස් සුනඛයා දිව ගොස් තිබේ.
මීට පෙර සිදුවූ ඝාතනයට පළි ගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඝාතනයට ලක්වූ දෙදෙනා (2) විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනාගේ (2) පියාව ඝාතනය කර ඇති අතර ඊට පළි ගැනීමක් වශයෙන් මෙය සිදුකර තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන රාජාංගන පොලීසිය විසින් සිදු කරනු ලබයි ෴
බටහිර මුහුදු තීරයේදී ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200 ඉක්මවයි
(12.04.2025 – 18:02 +0530 – sinhala.adaderana.lk)
නාවික හමුදාව විසින් බටහිර මුහුදු තීරයේදී සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව තුළ තිබී ‘හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අද (12) උදෑසන නාවික හමුදාවේ නිලධාරී කණ්ඩායමක් ලද තොරතුරක් මත බටහිර මුහුදු සීමාවේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී ධිවර යාත්‍රාවක් සිය භාරයට ගනු ලැබීය.
ඒ අනුව අද (12) පස්වරුව වන විට අදාළ ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අතර සිදුකළ පරීක්ෂා කිරීමකදි ‘හෙරොයින් සහ අයිස්’ කිලෝ 100 කට අධික ප්‍රමාණයක් එම යාත්‍රාව තුළ තිබී සොයාගෙන ඇත.
මෙහිදී ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බව තොරතුරු අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200 කට අධික බව නාවික හමුදාව පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම ධීවරයින් සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ ෴
කුඩා සිසුන්ට අමානුෂික ලෙස කළ පහරදීම පිලිබඳව විමර්ශනයක්
(12.04.2025 – 17:57 +0530 – sinhala.adaderana.lk)
ගුරුවරයෙකු විසින් දරුවන්ට අමානුෂික ලෙස පහරදීම පිලිබඳව සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන පුවත සම්බන්ධයෙන් ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොළඹ අධ්‍යාපන කලාපයේ බාලක පාසලක පන්තිභාර ගුරුවරයකු විසින් තුන්වන (3) ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ට මෙලෙස ලෝහමය පටියකින් පහරදෙමින් දඬුවම් ලබා දී ඇති බව සඳහන් වේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ ළමා ආරක්ෂක අධිකාරිය දඬුවමට ලක්වූ 7 හැවිරිදි සිසුන් දෙදෙනෙකු (2) ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ දෙමාපියන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
සැකකාර ගුරුවරයා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විටත් සැඟවී සිටින බව වාර්තා වේ.
ගුරුවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේය ෴
සුදුසුකම් ලත් ගිනි නිවීමේ සේවකයින් නොමැතිවීමෙන් නොරොච්චෝලේ අනතුරක
(12.04.2025 – 16:47 +0530 – sinhala.adaderana.lk)
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතුවල නිරතව සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයින් අප්‍රේල් මස 01 වැනිදා සිට එම රාජකාරිවලින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.
මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ගිනි නිවීමේ ඒකකය අතර ගිවිසුම් කාල සීමාව අවසන් වී වීම සහ එම ගිවිසුම් කාල සීමාව යළි අලුත් කිරීමට බලාගාරයේ පාලනාධිකාරිය කටයුතු නොකිරීම මීට හේතුව බව වාර්තා වී ඇත.
ඒ අනුව මේ සම්බන්ධව ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් සිය මූලස්ථානය දැනුවත් කර ඉන් ඉවත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් ‘අද දෙරණ’ සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වූයේ නොරොච්චෝලේ පාලනාධිකාරිය විසින් එහි සේවයට යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව අඩු කරන ලෙස දැනුම් දී ඇති බවය.
ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් ගිවිසුම් අවසන් වීමට ප්‍රථම එහි සේවයට යොදවා සිටියද එම සංඛ්‍යාව 10 ක් දක්වා අඩු කිරීමට පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්ය.
මෙය ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් ප්‍රමිතියට අනුකූල නොවන බවත් ගිනි නිවන දෙපාර්තමේන්තුව නොරොච්චෝල පාලනාධිකාරිය දැනුම් දී තිබේ.
කෙසේ නමුත් ගිනි නිවීමේ ඒකකය හිස්වීමට පිළියමක් ලෙස අදාළ ගිනි නිවීමේ ඒකකය බලාගාරය තුළ කටයුතු කරන සමයේදී පුහුණු කරනු ලැබූ අදාළ බලාගාරයේ සේවකයින් එම කටයුතුවලට යොදවා ඇතැයිද එය මෙවැනි බලාගාරයක් තුළ දැඩි අවදානම් ක්‍රියාවක් බවද එම ආරංචි මාර්ග පවසයි.
මේ හේතුවෙන් යම්කිසි හදිසි අවස්ථාවක් මතු ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා ආසන්නම ගිනි නිවීමේ ඒකකය වන මීගමුව පිහිටි ගිනි නිවීමේ ඒකකය කැඳවීමට සිදුවන අතර එහෙත් එහි ඇත්තේ කුඩා ඒකකයක් බවත් ඔවුන්ට බලාගාරය වෙත පිවිසීමට විනාඩි 15 කට ආසන්න කාලයක් ගතවන බවත් වාර්තා වේ.
එමෙන්ම එය ප්‍රමාණවත් නොවුණහොත් ඒ සඳහා කැඳවිය හැක්කේ කොළඹ පිහිටි ගිනි නිවීමේ රථ වන අතර ඔවුන් නොරොච්චෝලේ බලාගාරය වෙත පැමිණීමට පැයකට ආසන්න කාලයත් ගතවනු ඇති බවත් සඳහන් වේ.
මේ හේතුවෙන් අදාළ බලාගාරය තුළ මේ වන විට පුහුණුව ලත් ගිනි නිවීමේ ඒකකයක් නොමැති පසුබිමක හදිසි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා සුදුසුකම්ලත් පාර්ශ්වයන් කිසිවෙකු නොසිටීම බලාගාරය දැඩි අනතුරුදායක තත්ත්වකට ගෙන යනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය ෴
දිලිත් ජයවීර ගෙන් රජයට අභියෝගයක්
(12.04.2025 – 12:26 +0530 – sinhala.adaderana.lk)
ඉන්දියාව සමඟ එළඹි ආරක්ෂක ගිවිසුම හැකිනම් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තමා රජයට අභියෝග කරන බව ‘සර්ව ජනබලය පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා’ පවසයි.
කෙසේවෙතත් කිසිදු හේතුවක් මත හෝ අදාළ ගිවිසුම සභාගත කිරීමට රජය කටයුතු නොකරන බව ඔහු සඳහන් කළේය.
අවිස්සාවෙල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.
“NPP රජය පසුගිය දවස්වල මෝදි ජනාධිපතිතුමා එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7 ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දිර්ඝ ප්‍රකාශයක් කලා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ ? පාර්ලිමේන්තුවේ දී. දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් මේ විදියට කරලා නෑ. යම් රාජ්‍යතාන්ත්‍රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම් කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ “ඔව් අපි අත්සන් කළා; ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ” කියන්න. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ.”
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴