ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න ..

ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න ..


ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෙළිකරයි .. FBI වාර්තා මෙන්න ..

(12.04.2025 – 09:20 +0530 – lankacnews.com)

ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව ‘සහරාන් හාෂිම්’ බව පැහැදිලිව නම් කර ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin විසින් 2020 දෙසැම්බර් 11 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු එෆ්.බී.අයි. ආයතනය සිදුකළ විශාල පරිමාණ විමර්ශනයක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වාර්තා කර ඇත. ඒ තුළ වෝහාරික විශ්ලේෂණ, සමාජ මාධ්‍ය වාර්තා සහ සාක්ෂි සහිතව මෙය පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත් වේ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන පරිදි, ‘සහරාන් හාෂිම්’ ශ්‍රී ලංකාව තුළ ISIS විසින් පිළිගත් ස්ථානික ස්ථාන පිහිටුවා ඇත. ඔහු ISIS නායකත්වයට අදාලව අනුමැතියක් ලබාගෙන ක්‍රියාත්මක වී ඇති අතර, බෝම්බ ප්‍රහාර සැලසුම් කිරීම, පුහුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා සෘජුවම මූලික භූමිකාවක් ඉටු කර ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාර, 2019 අප්‍රේල් 21 වැනිදා, කොළඹ, මීගමුව සහ මඩකලපුව යන නගර තුළ පල්ලි තුනක් (3) සහ සුඛෝපභෝගී හෝටල් හතරක් (4) ඉලක්ක කරමින් සිදු කරන ලදී. මියගිය පිරිස 268 දෙනෙකු වන අතර, ඇමරිකානු පුරවැසියන් පස්දෙනෙකු (5) ද ඒ අතර සිටී. තවත් පුද්ගලයින් 500 කට වඩා තුවාල ලැබුහ.

මෙම දිවුරුම් ප්‍රකාශයේ තවත් වැදගත් කාරණයක් වන්නේ, මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ තුන්දෙනෙකුගේ (3) නම් සපයා තිබීමයි. එනම්, ‘මොහමඩ් නෞෆාර්’, ‘මොහමඩ් අන්වර් මොහමඩ් රිස්කන්’, සහ ‘ආහමඩ් මිල්හාන් හයාතු මොහමඩ්’ ය. ඔවුන්ට මෙම ත්‍රස්තවාදී සංවිධානයකට සහාය ලබාදීම සහ ත්‍රස්ත පුහුණු ලබා ගැනීම පිළිබඳව චෝදනා එල්ලකර ඇත. ‘නෞෆාර්’, ‘දෙවැනි නායකයා’ ලෙස සැලකෙමින්, බඳවා ගැනීම්, ප්‍රචාරණය සහ විධිමත් පුහුණු සැසි සංවිධානය කළ බව එෆ්.බී.අයි. පෙන්වා දී ඇත.

මෙම දිවුරුම් ප්‍රකාශයේ විස්තරයන්ට අනුව, බෝම්බ නිපදවීම සඳහා පුපුරන ද්‍රව්‍ය, යූරියා නයිට්‍රේට්, බැටරි සහ සාමාන්‍ය ස්විච් යනාදිය භාවිතා කර ඇත. පීඩනය වැඩි කිරීමට බෝම්බ වලට යකඩ කෑලි ඇතුළත් කර තිබේ. එම උපකරණ භාවිතා කළ ආකාරය ආරක්ෂිත නිවාස සහා අනෙකුත් ස්ථාන වලින් ලබාගත් CCTV දර්ශන මගින් තහවුරු කර ඇත.


මෝදිගේ ඉන්දු-ලංකා පාලම් ව්‍යාපෘතිය ඉදිරියට.. ලංකාව සද්ද නෑ…

(12.04.2025 – 10:00 +0530 – lankacnews.com)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරෙන්දු මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේ, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ යළිත් වරක් භූමි සම්බන්ධතා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කෙරුණු නමුත්, ශ්‍රී ලංකා රජය මෙතෙක් ඒ ගැන කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ‘ඬේලි මිරර්’ වාර්තා කරයි.

2002 වසරේ දී, එවකට පැවැති ශ්‍රී ලංකා රජය ද, ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාර අතර භූමි පාලමක් ඉදි කිරීම සම්බන්ධයෙන් යෝජනාවකට අදාළව සාකච්ඡා පවත්වා තිබුණි. ඒ ‘රාම් සේතු’ හෙවත් ‘ආදම්ගේ පාලම’ මුල්කර ගනිමිනි. ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව තෙක් දුම්රිය මාර්ගයක් පිහිටුවීම කෙරෙහි ද එම අවස්ථාවේ දී අවධානය යොමු විය.

ඉන් අනතුරුව යළිත් වරක් දෙපාර්ශ්වයම එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ අතර එය පසුගිය රජය සමයේ නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයට පවා ඇතුළත් විය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා සිය පළමු විදෙස් සංචාරය ලෙස තෝරා ගත්තේ ඉන්දියාවය. එම ඉන්දීය සංචාරයේ දී, ජනපති කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේත්, ඉන්දීය ජනාධිපතිනි දෞපදී මුර්මු අතරේත් සාකච්ඡා පැවැත්වුණු නමුත් ඉන්දු ශ්‍රී ලංකා, භුමි සම්බන්ධතා ව්‍යාපෘතියක් ගැන එහිදී සාකච්ඡා පැවැත්වීමක් සිදු නොවුණු බව පැවැසෙයි.

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ එම සංචාරය අතරතුරේ ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතරේ යළිත් වරක්, භූමි සම්බන්ධතා ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණු නමුත්, ශ්‍රී ලංකා රජය ඊට කිසිඳු ආකාරයකින් ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් කර නොමැති බව ‘ඩේලිමිරර්’ පුවත්පත වැඩි දුරටත් පෙන්වා දෙයි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පසුගිය 04 වැනිදා මෙරට නිල සංචාරයක් සඳහා පැමිණියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඇරයුමකට අනුවය.

අග්‍රාමාත්‍ය මෝදී එම නිල සංචාරය අවසන් කරමින් ඉන්දියාව බලා ගියේ අනුරාධපුරයේ සිට විශේෂ ගුවන් යානයකිනි. එසේ ඉන්දියාව බලා යන අතරතුරේ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්දියන් සාගරය පසු කළේ ගුවනේ සිට ‘රාම් සේතු’ පාලමට අයත් යැයි පැවැසෙන ස්වාභාවික හුණුගල් පෙළ නරඹමිනි.

ඉන්දියාවේ තමිල්නාඩුවට ගිය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රතිසංස්කරණය කරමින් ඉදිකළ ‘පම්බන් පාලම’ විවෘත කළේය. ‘පම්බන්’ යනු ඉන්දියාවේ පළමු මුහුදු පාලම බව පැවැසෙයි. ‘පම්බන්’ පාලමට කිලෝ මීටර් 2,065 ක් දිග දුම්රිය පාලමක් සහ මාර්ග පාලමක් ඇතුළත් වෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ, ‘පම්බන්’ පාලම සහ දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාව තෙක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇති බවය. මීට අමතරව ඉන්දු ලංකා යෝජිත ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම යටතේ පමණක් ඇඟලුම් අපනයන කෝටාව මිලියන 50 දක්වා වැඩි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීමට ඉන්දීය රජය සූදානම් බව ද ‘ඩේලිමිරර්’ පුවත්පතපෙන්වා දෙයි.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දී ඇත්තේ, ඉන්දු – ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ අපනයනය කිරීම සඳහා පවතින මිලියන 8 ක කෝටාව මිලියන 50 දක්වා පුළුල් කරන මෙන් ශ්‍රී ලංකා රජය, ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවය.

කැලුම් බණ්ඩාර / ඩේලිමිරර්


රු. මි. 28 කට අධික රන් ආභරණ සමග කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(12.04.2025 – 06:45 +0530 – hirunews.lk/sinhala)

රුපියල් දෙකෝටි අසූ ලක්ෂ අසූ පන් දහසකට (2,80,85,000) අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපොලේ හරිත මාවත ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සහ කාන්තාවන් දෙදෙනෙකු (2) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) රාත්‍රීයේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අවුරුදු 29 සහ 35 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියන්.

මෙම කාන්තාවන් සෞදි අරාබියේ පිරිසිදු කරන්නියන් ලෙස සේවය කර මෙරටට පැමිණ තිබෙනවා.

මොවුන් කැරට් 22 ඉක්මවූ අගයක් සහිත ස්වර්ණාභරණ මෙරට රැගෙනවිත් ඇති අතර රේගු ආඥාපනත අනුව එවැනි ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒම තහනම් වනවා.

මොවුන් සිය සේවා කාලය නිමවා පැමිණෙන අතරතුර, ව්‍යාපාරික අවශ්‍යතා මත මෙම ස්වර්ණාභරණ තොගය රැගෙනවිත් ඇති බවයි රේගු විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

ඔවුන් දෙදෙනා (2) සිය සිරුරෙහි ග්‍රෑම් 932 ක් බර මාළ සහ වළලු‍ පැළද මෙරටට පැමිණ තිබෙනවා ෴


දෙදෙනෙකු රෝහලට යැවූ මහ රෑ වැලිමඩ බිහිසුණු බස් අනතුර

(12.04.2025 – 08:21 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් වැලිමඩ නුගතලාව ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රි‍යේ දී අනතුරට ලක්ව තිබෙනවා.

මාර්ගය අසල අපරීක්ෂාකාරිව හරවමින් තිබූ ‘බූම් රථයක්’ මාර්ගයේ ගමන් ගත් මෙම බස් රථයේ ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.

එම අනතුරින් දෙදෙනෙකු (2) තුවලා ලබා තිබෙනවා.

අනතුරින් බස් රථයට ද දැඩි හානි සිදු වූ අතර, අනතුර පිළිබදව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

+


කොස්ගම දී තෙසක රියක් දුම්රියේ ගැටී බිහිසුණු අනතුරක්

(12.04.2025 – 09:40 +0530 – hirunews.lk/sinhala)

අද උදෑසන අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක කොස්ගම – අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටීමෙන් එහි ගමන් කරමින් සිටි දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර් 3 ක් පමණ ඈතට විසිවී තිබූ අතර එයට දැඩි හානි සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා සහ පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට තිබෙනවා.

බරපතල තුවාල ලැබූ මෙම දෙදෙනා (2) අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බවත්, ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරෙකු බවත්, ප්‍රදේශවාසීන් පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

+


බන්ධනාගාර රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

(12.04.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්ද හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ, හෙට (13) සහ අනිද්දා (14) යන දෙදින (2) තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බවයි.

ඒ අනුව රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට ද මෙහිදී අවස්ථාව හිමිවනවා ෴


දෙවුන්දර ද්විත්ව ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ගිනි අවිය සොයාගනී

(12.04.2025 – 11:47 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසල දී පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් බවට සැක කෙරෙන ටී 56 වර්ගයේ ගිනි අවිය පොලිසිය සොයාගෙන තිබෙනවා.

දැනට මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් කරුණු මත අද (12) අලුයම මෙම ගිනි අවිය සොයාගත්තේ කැකණදුර – යටියන ප්‍රදේශයේ පිහිටි මෙම පුද්ගලයා කුලී පදනම මත පදිංචි වී සිටි නිවසේ සඟවා තිබියදීයි.

පසුගිය 21 වැනිදා මෙම ද්විත්ව ඝාතනය සිදුව තිබුණා ෴


මුහුදු ආපදා තත්ත්වයන්වලදී ඇමතීමට 106 හදිසි ඇමතුම් අංකයක්

(12.04.2025 – 13:42 +0530 – hirunews.lk/sinhala)

සමුද්‍රීය ආරක්ෂාව සහ මුහුදු ආපදා තත්ත්වයන්වලදී වහාම ප්‍රතිචාර දැක්වීම සුරක්ෂිත කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

‘106’ යන මෙම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ෴


අමෙරිකාවේ දවස් 30 ට වඩා රැඳී සිටින විදේශිකයින්ටත් ට්‍රම්ප්ගෙන් නීතියක්

(12.04.2025 – 13:53 +0530 – hirunews.lk/sinhala)

දින 30 කට වඩා වැඩි කාලයක් එක්සත් ජනපදයේ රැඳී සිටින සියලුම විදේශීය ජාතිකයන් ෆෙඩරල් රජයේ ලියාපදිංචි විය යුතු බවද ධවල මන්දිරය අද (12) නිවේදනය කළා.

“අමෙරිකා එක්සත් ජනපදයේ දින 30 කට වැඩි කාලයක් රැඳී සිටින සියලුම විදේශීය ජාතිකයින් ෆෙඩරල් රජයේ ලියාපදිංචි විය යුතුයි. සිදුවිය හැකි අපරාධ වැනිදේ මැඬලීමට ගත් ක්‍රියාමාර්ගයක් විදිහට මෙය පෙන්වා දෙන්න පුළුවන්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කරන්නේ ඔබ ලියාපදිංචි වුවහොත් ඔබට ආරක්ෂිතව රටින් පිටවීමේ හැකියාවක් පවතින බවයි. ලියාපදිංචි නොවුවහොත් ඔබව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන අතර නැවත අමෙරිකාවට පැමිණීමටත් ඉඩ ලබා නොදෙනු ඇති.” යනුවෙනුයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලින් ලෙවිට් පැවසුවේ ෴


පාතාල අවිවලට ගාඩ් එක දුන්න ‘ජනිත්’ගේ පැටිකිරිය එළියට

(12.04.2025 – 15:58 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටක නිෂපාදිත ගිනි අවි නීති විරෝධී ලෙස ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් රැසක් සමග සමීප සබඳතා පවත්වා ඇති මෙම සැකකරුට අදාළ ගිනි අවි ලබා දෙන අවස්ථාවේ CCTV දර්ශනද මාධ්‍ය වෙත ලැබී තිබුණා.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව, සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඔහු සන්තකයේ තිබී චෙක් ජනරජයේ නිෂ්පාදිත CZ100 වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන මැගසීනයක්, මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 05 ක් හා රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව ‘හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය’ ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.

තැතෑමුල්ල පූගොඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ‘ජනිත් මදුෂංක’ නැමති මෙම සැකකරු 2009 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර ඇති බවටයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

සැකකරු පොලිසියට පවසා තිබෙන්නේ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන ‘සේදවත්තේ කසුන්’ගේ ගෝලයෙකු විසින් යම් ස්ථානයක සඟවා තිබූ මෙම ගිනිඅවි තම සන්තකයට ගන්නා ලෙස කළ දැනුම් දීමක් අනුව ඒවා ළඟ තබා ගත් බවයි.

සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ලලිත් කන්නංගර’ නොහොත් ‘බස් ලලිත්’ නමැත්තාගේ අනුදැනුම මත එය සිදු වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

පොලිසියේ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ ‘බස් ලලිත්’ විසින් තමන්ට රණාලේ සිට පැමිණි ත්‍රීරෝද රථයක තවත් පාර්සලයක් එවූ බවත් එහි තිබූ තවත් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ තොගයක්ද තමන් සිය භාරයට ගත් බවයි.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අදාළ සැකකරුගෙන් මේ වනවිට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ ෴


හාලිඇලින් සිරුරු දෙකක් (2) හමුවෙයි

(12.04.2025 – 16:20 +0530 – hirunews.lk/sinhala)

මලසිරුරු දෙකක් (2) අද (12) හාලිඇල නගරයට ආසන්න ප්‍රදේශ දෙකකින් හමුවී තිබෙනවා.

මියගිය පුද්ගලයින් අවුරුදු 49 හා 61 වයස්වල පසුවන්නන් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

හාලිඇල නගරයේ – කැටවල මාර්ගයේ කාණුවක වැටී මියගොස් සිටියදී එක් මළ සිරුරක් සොයාගෙන තිබූ අතර, හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ දුම්රියපොල ආසන්නයේ මාර්ගයක තිබී අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයින් මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මරණ පරීක්ෂණය සදහා මෘත ශරීර බදුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *