උතුරුමැද හිටපු මහ ඇමති එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්ට බරපතල වැඩ සහිත වසර 16 ක් බැගින් සිර දඬුවම්
(02.04.2025 – 09:47 +0530 – hirunews.lk/sinhala)
‘අල්ලස් කොමිසම’ විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ ‘උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන’ යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 16 ක් බැගින් සිර දඬුවම් නියම කළා.
ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක (2) බැගින් දඩ ද නියම වුණා.
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා ලෙස රුපියල් 20,80,500/- ක් ලබාගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව ‘අල්ලස් කොමිසම’ විසින් මෙම නඩුව ගොනු කර තිබුණා ෴
+
+
+
+
‘ව්‍යාජ සෙව්වන්දි’ කෙනෙක් අනුරාධපුරින් අල්ලයි
(02.04.2025 – 07:21 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකුවන ‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ‘ඉෂාරා සෙව්වන්දි’ සොයා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (01) සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
ඒ, ඇය එම ප්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට ලැබුණු තොරතුරක් මතයි.
එහිදී ඇයගේ රුවට සමාන කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් (2) ද සොයාගත් බවයි පොලිසිය සදහන් කළේ.
කෙසේ වෙතත් ‘ගනේමුල්ල සංජීව ඝාතනයේ’ ප්‍රධාන සැකකාරිය වන ‘ඉෂාරා සෙව්වන්දි’ මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.
+
+
ගම්පහ – උග්ගල්බොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා රෝහල්ගත කරයි
(02.04.2025 – 07:21 +0530 – hirunews.lk/sinhala)
මේ අතර, ගම්පහ – උග්ගල්බොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පොලිස් වෙඩි පහරකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කළේ යතුරුපැදියකින් ගමන්ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පොරබැදීමකින් රාජකාරි ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදු වූ බවයි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) උග්ගල්බඩ ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් යෙදා තිබුණා.
එහිදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) පරීක්ෂා කිරීම සඳහා නතර කිරීමට සංඥා කළ ද ඔවුන් එම අණ නොතකා යතුරුපැදිය ධාවනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු පලාගිය යතුරුපැදිය පසුපස යතුරුපැදියෙන් ලුහුබැඳ ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී එක් සැකකරුවෙක් නිලධාරියාගේ රාජකාරි ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ කර තිබුණා.
ඇති වූ පොරබැදීම හේතුවෙන් නිලධාරියාගේ රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වී එක් (1) සැකකරුවෙකුගේ පාදයට වෙඩි වැදී තිබූ බවයි පොලිසිය කියා සිටියේ.
මෙහිදී තුවාල ලැබූ මිනුවන්ගොඩ රාජසිංහපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් ආරක්ෂාව යටතේ මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
යතුරුපැදියේ ගමන් ගත් 21 හැවිරිදි අනෙක් සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
ඔහු උග්ගල්බොඩ – උණපදුරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිසිය ප්‍රකාශ කළේ සැකකරුවන් ගමන් කළ යතුරුපැදිය පරීක්ෂා කිරීමේදී එහි තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ සොයාගත් බවයි.
එමෙන්ම තුවාලකරු සන්තකයේ තිබී ‘හෙරොයින් මත්ද්‍රව්‍ය’ ද සොයාගෙන තිබෙනවා ෴
කොර ගගහා ඇවිත් හොර වැඩක් කරපු හොරා – බස් එකටම නැගලා සුද්දේ දුන්න හැටි (02.04.2025)
+
වැව් තාවුල්ලේ අතරමං වූ වන අලි පැටවා මිනිසුන් ඇසුරේ සුරතල් වෙන හැටි (02.04.2025)
+
සාදු ව හම්බුණේ රුවන්වැලි සෑයේදී | එප්පාවල හිමිනමගේ ඝාතනය සිදුකළ, ඝාතකයා පොලිසියට කිව්වේ බොරුද? (31.03.2025)
+
උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් ප්‍රතික්ෂේප කළ නාමයෝජනා යළිත් භාරගැනීමට නියෝගයක්
(02.04.2025 – 12:47 +0530 – hirunews.lk/sinhala)
පළාත් පාලන මැතිවරණය සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා අතරින් උපැන්න සහතිකවල මුල් පිටපත් ඇතුළත් නාම යෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය නියම කළා.
අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් අද (02) යළි සලකා බැලූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
උප්පැන්න සහතිකවල මුල් පිටපත් සහිත නාම යෝජනා පත්‍ර යළි භාර ගැනීමට සම්බන්ධයෙන් අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවීමෙන් අනතුරුව නියෝගය නිකුත් කෙරුණා ෴
පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් 5 ක් සහ සැකකාරියක් අත්අඩංගුවට
(02.04.2025 – 13:47 +0530 – sinhala.adaderana.lk)
නිලාවේලි පොලිස් වසමේ නිල ඇඳුමින් සැරසි සිටින පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් පස්දෙනෙකු (5) හා එක් (1) සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මාර්තු මස 31 වනදා අදාළ සිදුවීම සිදුව තිබුණු අතර, එහිදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට යම් පිරිසක් බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සිදුකරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද අපට ලැබී තිබුණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිලාවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර එක් (1) සැකකරුවෙකු එදිනම අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (02) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් ප්‍රදේශය මඟහැර ගොස් සිටියදී නිලාවේලි පොලිස් ස්ථානය විසින් විමර්ශන පවත්වා සැකකාරියක් හා සැකකරුවන් 05 දෙනෙකු ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 35 ක් වන හා සැකකරුවන් අවුරුදු 20, 21, 22, 28 හා 45 යන වයස්වල පසුවන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා නිලාවෙලි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි ෴
ගිනි අවිය අත්හැර පැවිදි වු මායිම් ගම්මානයක සොල්දාදුවා | පූජ්‍ය මොණරතැන්නේ සුමිත්ත හිමි (30.03.2025)
+
වස්කඩුවේදී බස් රථයක ගැටී අවුරුදු දෙකක දරුවෙකු මියයයි
(02.04.2025 – 15:18 +0530 – hirunews.lk/sinhala)
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර වස්කඩුව ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක ගැටී අවුරුදු 02 ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගැණුනු බවයි පොලිසිය පැවසුවේ.
මියගිය දරුවා සිය මිත්තණිය සමග නිවසේ කසල, ඒවා එක්රැස් කරන ටැක්ටරය වෙත ලබාදීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව ‘හිරු වාර්තාකරු’ සදහන් කළා ෴
මගියෙකුට අසනීප වෙයි; ලන්ඩනයේ සිට ලංකාවට ආ ගුවන් යානයක් යළි ඕමානයට හරවයි
(02.04.2025 – 15:35 +0530 – hirunews.lk/sinhala)
ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් හදිසියේ ඕමානයේ මස්කට් නුවර වෙත යළි හරවාගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අදාළ යානයේ සිටි මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දීමෙන් බවයි වාර්තා වන්නේ.
මෙලෙස යළි ඕමානය වෙත හරවාගෙන ගොස් තිබුණේ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL504 දරණ ගුවන් යානයයි ෴
ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ශාඛා 23 කට නඩු
(02.04.2025 – 16:02 +0530 – sinhala.adaderana.lk)
උත්සව සමය තුල වෙළෙඳපොළේ දී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සඳහා ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ඊයේ (01) දින දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසැල් 23 ක වැටලීම් සිදුකර තිබේ.
එම සුපිරි වෙළෙඳසැල් අතරින් වෙළෙඳසැල් 16 ක කල්ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත්, අනෙකුත් වෙළෙඳසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමඟ යැවීම සහ භාණ්ඩ වල සඳහන් කළයුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි නිලධාරීන් විසින් අනාවරණය කරගනු ලැබ ඇත.
පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළෙඳසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම හේතුවෙන් එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර තිබේ.
එමෙන්ම ‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය’ මගින් වෙළෙඳපොළේ සිදුකරන වැටලීම්වලදී සුපිරි වෙළෙඳසැල් වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම් වලදී අනාවරණය වූ සුපිරි වෙළෙඳසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ජාල වශයෙන් පවත්වාගන යන ආයතන බව සඳහන් වේ.
ඒ අනුව සුපිරි වෙළෙඳසැල් ද ඇතුළුව වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදීගැනීමේදී ‘කල් ඉකුත්වීමේ දිනය’ ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴