වසරකට රුපියල් ලක්ෂ 18 ක අදායමක් නොලබන පුද්ගලයන්ගෙන් 10% ක පොලී ආදායම් අය නොකිරීමට පියවර
වසරකට රුපියල් ලක්ෂ 18 ක අදායමක් නොලබන පුද්ගලයන්ගෙන් 10% ක පොලී ආදායම් අය නොකිරීමට පියවර
(01.04.2025 – 07:56 +0530 – hirunews.lk/sinhala)
වසරකට රුපියල් ලක්ෂ 18 ක ආදායමක් නොලබන තැනැත්තන්ගේ සියයට 10 ක පොලී ආදායම් අයකර ගැනීම වැළැක්වීමට අදාළ චක්‍ර ලේඛය ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුව’ විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ‘රඳවා ගැනීමේ බද්දට’ යටත් පොලී ආදායමක් නොලබන පිරිස්වලට ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ලබාදීමට හැකියාව ලැබෙන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
එමෙන්ම, ඔවුන්ගෙන් ‘රඳවා ගැනීමේ බදු’ අය නොකිරීමටත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදවද මෙම චක්‍ර ලේඛය මගින් දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ‘මෙම වසර සහ ලබන වසරේ තක්සේරු වර්ෂය’ (2025/2026) සඳහා යම් පුද්ගලයෙකුගේ ආදායම රුපියල් ලක්ෂ 18 ක නොඉක්මවන්නේ නම් ඔහුට ‘වලංගු ස්වයං ප්‍රකාශයක්’ ඉදිරිපත් කළ හැකියි.
මේ පිළිබඳව යම් පුද්ගලයෙකුට තොරතුරු දැන ගැනීමට අවශ්‍යනම් ආසන්නතම ‘දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයෙන්’ හෝ ‘නගර කාර්යාලයෙන්’ තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
එමෙන්ම, 1944 දුරකතන අංකය ඇමතීමෙන් ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකියි ෴
+++
15% ක සේවා බද්ද අද සිට
(01.04.2025 – 14:20 +0530 – hirunews.lk/sinhala)
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව රුපියල් 100,000 ක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ ආදායම් බද්ද අද සිට රු. 150,000 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම දේශිය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම සඳහා වන 15% ක බදු අයකර ගැනීම ද අද (01) සිට ක්‍රියාත්මකයි ෴
+
+
පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
(01.04.2025 – 13:49 +0530 – hirunews.lk/sinhala)
‘පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම’ අභියෝගයට ලක් කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන වලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (02) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන්නැයි අභියාචනාධිකරණය අද (01) නියෝග කළා.
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ‘එක්සත් ජනතා නිදහස් සන්ධානය’, ‘සර්ව ජන බලය’, ‘ස්වාධීන කණ්ඩායම්’ ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාදීකරණය හමුවේ පෙත්සම් 30 කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී. ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින්ගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට ‘තේරීම් භාර නිලධාරියා’ ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නා.
සෙසු පෙත්සන්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුද සිය සේවා දායකයින්ගේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට ‘අදාල තේරීම් භාර නිලධාරීන්’ ගනු ලැබූ තීරණ නීතියට පටහැනි බවත් තර්ක කළා.
සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ඇතුළු නීතිඥවරු පිරිසක් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ සිය සේවාදායකයින්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවයි.
මෙම පෙත්සම් විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් ඇතැම් පෙත්සම් සම්බන්ධයෙන් වග උත්තරකරුවන් විසින් මූලික විරෝධතා ද මතු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් වැඩිදුර කරුණු තහවුරු කිරීම සඳහා හෙට (02) දින කැඳවන ලෙස නියම කළා.
ඒ අනුව මෙම නඩුවලට පාදක වන පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් හෙට (02) දින තෙක් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින ලෙස තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දෙන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියම කළා.
පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් බාර නිලධාරීන් ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
එබැවින් එම තේරීම් භාර නිලධාරීන්ගේ තීරණය අවලංගු කොට අදාල නාම යෝජනා පත්‍ර යලි භාරගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴
+++
ශ්‍රේෂ්ඨාධිකරණය : ‘ප්‍රතික්ෂේප වූ නාම යෝජනා’වලට එරෙහි ‘රිට් පෙත්සම්’ වැඩිදුර සලකා බැලීම අප්‍රේල් 03 වැනිදා
(01.04.2025 – 15:50 +0530 – hirunews.lk/sinhala)
‘පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම’ට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කර තිබෙන ‘රිට් පෙත්සම්’ වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 03 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.
මෙම කරුණුවට අදාළව ගොනුකර තිබෙන ‘රිට් පෙත්සම්’ 37 ක් අද (01) එස්. තුරෙයි රාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුනා.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කර තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් (3) ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම් තුනකට (3) අදාළව සමථයක් ඇති කර ගත හැකි බව සඳහන් කළා.
නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් සති අන්තයේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ නීතිපතිවරයා මෙන්ම පෙත්සම් කරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බවත් පිළිගත හැකි මට්ටමේ සුදුසුකම් සපුරා තිබෙන නාම යෝජනා පත්‍ර තුනක් (3) පිළිගැනීමට තීරණය කර තිබෙනව බවත් ඇය දැනුම් දුන්නා.
ඒ අනුව එම පෙත්සම් තුන (3) ඉවත් කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ නීතිඥ ඉල්හාම් කාරියප්පන් යන අය අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.
ඉන් අනතුරුව වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සෙසු පෙත්සම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවත් දැනුම් දුන්නා.
පළාත් පාලන පනතේ විධිවිධානයන්ට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීමකට අදාල නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීමක් හෝ තේරීම් භාර නිලධාරියවරයා විසින් ඉටු කරනු ලබන කටයුත්තක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‘රිට් පෙත්සම්’ ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඇය සඳහන් කළා.
එවැනි ‘රිට් පෙත්සම්’ අභියෝගයට ලක් කළ හැක්කේ ‘අභියාචනාධිකරණය’ හමුවේ බවත් මෙම පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවත් ඇය සඳහන් කර සිටියා.
ඒ අනුව මෙම ‘රිට් පෙත්සම්’ විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වරිය වැඩිදුරටත් කරුණු දක්වා සිටියා.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් සහ දර්ශන වේරදූවගේ සහ ඉල්හාම් කාරියප්පර් යන මහත්වරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තේරීම් භාර නිලධාරීවරයා කටයුතු කරන්නේ මැතිවරණ කොමිසමේ නියෝග සහ විධිවිධානයන් අනුව බව සඳහන් කළා.
ඒ අනුව තේරීම්භාර නිලධාරී වරයා විසින් ඉටු කරන කාර්යයක් මැතිවරණ කොමිසමේ කටයුත්තක් සේ සලකා ‘රිට් පෙත්සම්’ මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීමට පෙත්සන්කරුවන්ට හැකියාව තිබෙන බවත් පෙන්වා දුන්නා.
සිය සේවා දායකයින් විසින් භාරදුන් නාමයෝජනා පත්‍ර සමඟ භාර දෙන ලද අපේක්ෂකයින්ගේ උප්පැන්න සහතිකවල ඇති ඌනතා , දිවුරුම් ප්‍රකාශයන් නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම යනාදී කරුණු මත එම නාම යෝජනා පත්‍ර තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් මෙහිදී ජනාධිපති නීතීඥ නිසාම් කාරියප්පන් සහ නීතීඥ ඉල්හාම් කාරියප්පන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.
ඉන් අනතුරුව සිය නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් ‘ජන අරගල සංවිධානය’ ඇතුළු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ‘රිට් පෙත්සම්’ 37 ක් සම්බන්ධයෙන් වෙන් වෙන්ව කරුණු සලකා බැලීම සිදුකෙරුණා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 03 වැනිදා තෙක් කල් තිබුණා ෴
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කෙරේ (?)
(01.04.2025 – 13:29 +0530 – hirunews.lk/sinhala)
මෝටර් රථ වාහන සම්බන්ධයෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් අදාළ සියලු සේවාවන් සඳහා 2025 අප්‍රේල් මස 15 වන දින සිට TIN (Taxpayer Identification Number) අංකය ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
ලියාපදිංචියේදී හෝ පැවරීමේදී (TIN) අංකය අනිවාර්ය වන්නේ ත්‍රිරෝද රථ, යතුරු පැදි, ට්‍රැක්ටර්, අත් ට්‍රැක්ටර් සහ ට්‍රැක්ටර් ටේලර් හැර අනෙකුත් වාහන සඳහා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ ෴
+
Inland Revenue Department, Sri Lanka
+
+
වනඅලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් පවුල්වල දරුවන්ට ‘ජනාධිපති අරමුදලෙන්’ මුල්‍යාධාරයක්
(01.04.2025 – 11:31 +0530 – hirunews.lk/sinhala)
වනඅලි ගම් වැදීම හේතුවෙන් දෛනිකව පීඩාවට පත් වන පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ‘ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය’ තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මාධ්‍ය ඒකකය සඳහන් කළේ, වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් සඳහා මෙහිදී ප්‍රමුඛතාව හිමි වන අතර, වන අලි ගම් වැදීම හේතුවෙන් දේපළ සහ වගා හානි වූ පවුලක දරුවන් හටද මීට අයදුම් කළ හැකි බවයි.
එහිදී, ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් විය යුතු අතර, 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා හෝ අ.පො.ස. උසස් පෙළ දක්වා හෝ අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුලක් වීම මෙම මූල්‍යාධාරය ලබා ගැනීමට සුදුසුකමක් ලෙස සලකනු ලබනවා.
2025-01-01 දින හෝ එම දිනෙන් පසු දිනකදී හෝ වන අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් ඒකකයක් විය යුතු අතර, දැනටමත් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවෙකු නොවීමද මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් අතරට අයත්.
මෙම වැඩසටහන මගින් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා මාසිකව රුපියල් 3,000 ක් බැගින් උපරිම මාස 12 ක කාල සීමාවක් සඳහාද, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන තෝරා ගත් දරුවෙකු සඳහා රුපියල් 5,000 ක් බැගින් උපරිම මාස 12 ක කාල සීමාවක් සඳහා ද ආදී වශයෙන් 2025 අප්‍රේල් 01 වන දා සිට මෙම මූල්‍යාධාරය ලබා දීමට කටයුතු සූදානම් බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම් සපුරාලන පවුල්වල දරුවන්ගේ විස්තර ලබා ගෙන සිය පෞද්ගලික අධීක්ෂණය යටතේ, සිය නිර්දේශයද සහිතව අදාළ අයදුම්පත් නොපමාව ‘ජනාධිපති අරමුදලේ ලේකම්වරයා’ වෙත යොමු කරන ලෙස ‘සියලුම ප්‍රදේශීය ලේකම්වරුන්’ දැනුම්වත් කර තිබෙනවා ෴
ඩයගමින් අතුරුදහන් වූ තරුණියගේ සිරුර කොත්මලේ ජලාශයේ තිබී හමුවෙයි
(01.04.2025 – 12:46 +0530 – hirunews.lk/sinhala)
ඩයගම ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි 21 ක් හැවිරිදි තරුණියගේ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තිබී අද (01) හමුවූ බව තලවකැලේ පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ, මෙලෙස හමුවූ මෘත දේහය ඩයගම පොලිස් වසමට අයත් ආගරපතන, පෝඩ්මෝර් වතුයායේ පදිංචිව සිටි ‘කාලිමුත්තු මගාලෙච්චුමී’ නැමැති තරුණියගේ බවයි.
එම තරුණිය දින 03 ක සිට නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ දෙමව්පියන් විසින් ඩයගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර ඇති දුම්රිය පාලමට ආසන්නයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් තලවකැලේ පොලිසිය වෙත ලබා දුන් තොරතුරක් මත පාවෙමින් තිබූ මළසිරුර ගොඩගැනීමෙන් පසු ඥාතීන් විසින් එම සිරුර හඳුනාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තරුණිය නිවසින් අතුරුදහන් වී ඇති බවට එම තරුණියගේ ඥාතීන් විසින් ඩයගම පොලිසියට කල පැමිණිල්ලේ සදහන් කර ඇති අතර, මෙම මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා ෴
චාමර සම්පත් යළි රිමාන්ඩ්
(01.04.2025 – 13:16 +0530 – hirunews.lk/sinhala)
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම ‘පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම’ සඳහා ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්’ අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට (173) අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ‘පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක’ තවදුරටත් ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම නඩුව අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් නොමැති බවට ‘අල්ලස් කොමිසම’ විසින් කළ කරුණු දැක්වීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළා ෴
හෘද රෝගීන්ගේ දෛනික ඉහළ යාමක්
(01.04.2025 – 14:06 +0530 – hirunews.lk/sinhala)
මෙරට දෛනිකව වාර්තා වන හෘද රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
හෘද රෝග විශේෂඳ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මේ බව පවසනවා.
කොළඹ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළා.
විශේෂඳ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, දිනකට හෘද රෝග තත්ත්වයන් 175 ත් 200 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවයි.
නිවැරදි ආහාර පිළිවෙත් සහ ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධානම හේතුව බව ද ඔහු අනාවරණය කළා ෴
මාස 03 කට පෙර කැඩූ අලුත් දිවුල්වැව බැම්ම ගැන රැසකගෙන් චෝදනා
(01.04.2025 – 15:31 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර හුරුළු වැව වාරි පද්ධතියට අයත් අලුත්දිවුල්වැවේ වැව් බැම්ම මෙතෙක් ප්‍රතිසංස්කරණය කර නැතැයි ගොවි ජනතාව චෝදනා කරනවා.
කැඩීයාමේ අවදානමක් හේතුවෙන් වැව් බැම්ම, සොරොව්ව අසළින් කඩා ජලය ඉවත් කළේ මීට මාස තුනකට (3) පෙරයි.
අලුත්දිවුල්වැවෙන් වාරි පහසුකම් සැපයෙන භූමි ප්‍රමාණය අක්කර 284 ක් වන අතර එහි ජල ධාරිතාව ආසන්න වශයෙන් අක්කර අඩි 7,200 ක්.
අලුත්දිවුල්වැවෙන් ජල අවශ්‍යතාවය සපුරා ගන්නා පවුල් සංඛ්‍යාව 150 කට අධික වන අතර, ඒ අවට ගම්මාන රැසක ජනතාවගේ ජන ජීවිතයද මේ වැව හා බැඳී පවතිනවා.
පසුගිය ජනවාරි මාසයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම වැව් බැම්ම කැඩීයාමේ අවදානමක් මතු වූ අතර, එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අලුත්දිවුල්වැවේ ගොඩ සොරොව්ව අසලින් සහ වාන අසලින් කඩා ජලය ඉවත් කිරීමටයි වාරි නිලධාරීන් කටයුතු කළේ.
වැව් බැම්ම කැඩීයාමේ අවදානම පාලනය කිරීම සඳහා එලෙස වැව් බැම්ම කඩා ජලය ඉවත් කර අද වන විට මාස 3 කට අධික කාලයක් ගතව අවසන්.
ගම්වාසීන් පෙන්වා දෙන්නේ තවමත් වැව නිසි පරිදි සකස් කිරීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.
මාස තුනක් (3) තිස්සේ එම ස්ථානයෙන් තවමත් ජලය නිකරුනේ ගලා යන්නේ යළ කන්නයට ගොවි ජනතාව කුඹුරු අස්වද්දන පසුබිමකයි.
+
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴