මෙරට ප්‍රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’

මෙරට ප්‍රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’


මෙරට ප්‍රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’

(23.03.2025 – 14:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රථම වතාවට රජයේ රෝහලක ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’ ආරම්භ කර තිබෙනවා.

ඒ, ‘කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ’ යි.

මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි අරමුණයි.

‘කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල’ කියූ සැණින් අපට සිහිවන්නේ දරුවන් බලාපොරොත්තුවෙන් රෝහලට පැමිණෙන ගැබිණි මව්වරුන් සහ අලුත උපන් දරුවා රැගෙන සතුටින් රෝහලෙන් පිටව යන මව්පියවරුන් පිරිසක්.

නමුත් මේ කතාව ‘කාසල් වීදියේ කාන්තා රෝහල’ තුළ සිදුවන ඉතා සුවිශේෂී කර්තව්‍යයක් පිළිබඳවයි.

මෙරට ප්‍රථම වරට රජයේ රෝහලක් තුළ ‘ශුක්‍රාණු ධාතු බැංකුවක්’ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ආරම්භ කර තිබෙනවා.

මෙය ආරම්භ කිරීමට ප්‍රධානතම අරමුණ වී ඇත්තේ ‘මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව’ දුක් විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීමයි.

ඒ අනුව ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පියවරුන් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතුයි.

මඳසරුභාවය නිසා දරු ඵල නොමැතිව දුක් විඳින මව්පියන් වෙනුවෙන් උපකාර කිරීමට ඔබත් කැමති නම් 011 267 8999 / 011 267 2216 යන දුරකථන අංක හරහා ‘කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව’ සමග සම්බන්ධ විය හැකියි.

+


සිසුවියන් දස දෙනෙකු (10) අපයෝජනයට ලක් කළ උසස් අධ්‍යාපන ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට

(23.03.2025 – 15:18 +0530 – hirunews.lk/sinhala)

සිසුවියන් 10 දෙනෙකු වරින් වර අපයෝජන සිදු කිරීමේ සිද්ධියකට අදාළ ව ‘කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක’ හිමිකරුවෙකු පොලිසියි විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, කුරුණෑගල ප්‍රදේශයේ ම පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔහුට අයත් මෙම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන කටයුතු සදහා නේවාසිකව ලියාපදිංචිව සිටින සිසුවියන්ට මෙම අපයෝජන සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, සිසුවියන් විසින් සිදුකරන ලද පැමිණිලි මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

+


පාසල් බෑගයේ බරට දරුවන් අතර සෞඛ්‍ය ගැටලු

(23.03.2025 – 15:30 +0530 – hirunews.lk/sinhala)

පාසල් බෑගයේ බර ඉහළ යාම නිසා දරුවන් අතර සෞඛ්‍ය ගැටලු‍ රැසක් මතුව තිබෙන බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව පාසැල් බෑගයක බර, දරුවාගේ බරෙන් සියයට 15 ත් 20 ත් අතර විය යුතුයි.

මේ සම්බන්ධව කලින් කලට සාකච්ඡා වන නමුත් නිසි පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංය හා අධ්‍යාපන අමාත්‍යංශය මේ වන තෙක් සමත් වී නැහැ.

මේ හේතුවෙන් පාසල් දරුවන්ගේ කොඳුඇට පෙළ ආශ්‍රිත වේදනා, සමතුලිතතාවය බිඳවැටීම්, හදිසි අවස්ථාවකදී දිව යෑමට නොහැකිවීම, හිස රදය සහ බෙල්ලේ වේදනාව මෙන්ම ස්නායු ආශ්‍රිත ආබාධ වැනි ගැටලු‍ද ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙම ගැටලු‍ව කෙරෙහි කඩිනමින් අවධානය යොමුකොට ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ පාසල් බෑගයක් නිර්මාණය කර දිනකට පාසලට රැගෙන යා යුතු පොත් ප්‍රමාණය සීමා කළ යුතුව තිබෙනවා.

පොත් බෑගය වෙනුවට ඩිජිටල්කරණ සංකල්පය ග්‍රාමිය සිසුන් අතරටද ගෙන යාම තුළින් මෙම ගැටලු‍ව නිරාකරණය කර ගත හැකියි ෴


ටී 56 උණ්ඩ 10 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(23.03.2025 – 16:24 +0530 – hirunews.lk/sinhala)

ටී 56 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ ළග තබා ගත් පුද්ගලයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේ දී පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ තිබී ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ 10 ක් සහ වෙනත් ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ කිහිපයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු ‘නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහයකවරයෙකු’ ලෙස සේවය කරන බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුට උණ්ඩ ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් තොරතුරු අනාවරණ වී නැහැ ෴


පිළිකා රෝගයෙන් පෙළෙන තරුණයෙකුට පොලිස් නිලධාරින්ගේ අමානුෂික පහරදීමක්

(23.03.2025 – 18:14 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින්ගේ අමානුෂික පහර කෑමට ලක්වූ බව කියන පිළිකා රෝගයෙන් පෙළෙන විසි දෙහැවිරිදි (22) තරුණයකු කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පහර කෑමට ලක් වූ තරුණයා පිළිකා රෝගයෙන් පීඩා විඳින අයෙකු බවත් පාදුක්ක පිහිටි ඔහුගේ නිවසේ සිට පිළියන්දල පිහිටි සිය සහෝදරයාගේ නිවසට ත්‍රීරෝද රථයකින් යන අතරතුරදී සහෝදරයාගේ නිවසට ආසන්නයේදීම හිතවත් අයෙකු සිටිනු දැක ත්‍රීරෝද රථයෙන් බැස එම පුද්ගලයා සමඟ කතාබහ කරමින් සිටින අතරතුර කැස්බෑව පොලිසියේ ජීප් රථයකින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමට ලක් වූ තරුණයා සිය හිතවතා සමග කතාබහ කරමින් සිටියදී පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමග එම ස්ථානයේ සිටි පුද්ගලයකු පලා ගොස් ඇතිබවත් එලෙස පලා ගිය පුද්ගලයා කවුරුන්ද යැයි විමසූ අවස්ථාවේදී එම පුද්ගලයා තමන් නොහඳුනන බව පහර කෑමට ලක් වූ තරුණයා පැවසීමත් සමඟ සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරින් විසින් බිම පෙරලාගෙන පහර දුන් බවයි එම තරුණයා පවසන්නේ.

එම ස්ථානයේ පහරදීමෙන් අනතුරුව ජීප් රථයට නංවා ගත් පහර කෑමට ලක් වූ තරුණයා සහ ඔහුගේ හිතවතා මද දුරක් ජීප් රථයේ රැගෙන ගොස් නැවත බිමට බස්සවා නැවතත් පහරදී ඇතැයිද පහර කෑමට ලක් වූ තරුණයා පවසනවා ෴

+

+


සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(23.03.2025 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

එම නිවේදනයට අනුව ‘මෙවර ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයෙන් බැහැරව ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08 ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10 කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65 කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි’ බව සඳහන්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් වන බවයි.

එය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යනුකූල ව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කරන බවයි වාර්තා වන්නේ.

එම නිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ෴


උස්වැටකෙයියාවේ ඉන්ස්ටග්‍රෑම් සාදයක් වටලා 57 දෙනෙකු අත්අඩංගුවට

(24.03.2025 – 06:36 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ ඊයේ (23) රාත්‍රී කාලයේ ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වන බව’ට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් ‘අයිස් මත්ද්‍රව්‍ය’ හා ‘ගංජා’ පානය කරමින් සිට ඇති අතර, ‘අයිස් මත්ද්‍රව්‍ය’ සහ ‘කේරළ ගංජා’ සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙහිදී එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකු ද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවද මෙම සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 200 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශ වල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

+


බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙකු මරුට

(24.03.2025 – 07:12 +0530 – hirunews.lk/sinhala)

යාපනය, කයිට්ස්, නාරාන්තනෙයි ප්‍රදේශයේ වයස අවුරුදු එකහමාරක (1½) දරුවෙකු ඩීසල් ශරීරගත වීම නිසා පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි සතිෂ් සංජිත් නැමති දරුවෙක්.

අප වාර්තාකරු සඳහන් කළේ, මියගිය දරුවාගේ පියා තවත් අයෙකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කොට ඇති අතර, එයින් ඉතිරි වූ ඩීසල් ‘හිස් සිසිල් පැන් බෝතලයකට දමා තිබෙනවා’.

එහිදී, එම බෝතලය තුල තිබූ ඩීසල් යම්කිසි බීම වර්ගයක් බව සිතා මෙම දරුවා විසින් එය පානය කොට තිබෙනවා.

අනතුරුව, දරුවා අසාත්මිකතාවයක් පෙන්නුම් කිරීම නිසා වහාම ඔහුව කයිට්ස් රෝහලට රැගෙන ගොස් ඇති අතර, තත්ත්වය අසාධ්‍ය නිසා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබද්දී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴


අහිංසක මිනිස්සුන්ගෙන් සූරා කමින් ජයටම කරගෙන යන රුපියල් කෝටි ගානක වංචාව (23.03.2025)

+


දිලීප, විජේපාල ගැටෙද්දී ආණ්ඩුව දේශබන්දු ඉවත් නොකරන හේතුව එළියට. බුද්ධගයාව යළි උණුසුම් වන්නේ ඇයි ? (22.03.2025)

+

පුංචි ඡන්දය ආණ්ඩුව පසු බසී. විපක්ෂයේ නායකයන් වරදක් කරයි (23.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *