දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක්

දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක්


දෙවුන්දර ද්විත්ව (2) ඝාතනය රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක්

(23.03.2025 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු තිදෙනා (3) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (23) ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ ඝාතන රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවයි.

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මිය ගිය අතර, ජීවිතක්ෂයට පත් වූයේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ හා 29 හැවිරිදි ‘පසිඳු තාරුක’ නම් දෙදෙනා (2) යි.

ඔවුන් මිතුරෙකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරු පැදියේ ගැටීමට සලස්වා, වෑන් රථයෙන් බැස ආ පිරිසක් ඔවුන් දෙදෙනාට (2) වෙඩි තබා තිබූ බව පොලිසිය සඳහන් කළා.

මියගිය ‘යොමේෂ් නදීෂාන්’ නමැත්තාට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ, ‘දෙහිගෙදර රංග’ නැමැත්තෙකුගේ මෙහෙයවීම මත මෙම ඝාතන සිදුව ඇති බවට සැක පළ කරන අතර ‘යොමේෂ් නදීෂාන්’ නමැත්තාට පසුගිය කාලයේ මරණ තර්ජන ද එල්ල වී තිබූ බවයි.

සිද්ධියෙන් මියගිය ‘පසිඳු තාරුක’ නමැත්තා කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක (1) ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු (4) පොලිසිය අත්අඩංගවට ගත් අතර, ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ ඝාතන රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවටයි.

සැකකරුවන් අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴

+++

සැකකරුවන් පොලිසියට වැමැරූ දෙවුන්දර වෙඩිල්ලේ සුලමුල මෙන්න

(23.03.2025 – 20:42 +0530 – hirunews.lk/sinhala)

දෙවුන්දර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඇතුළු සැකකරුවන් සිව්දෙනා (4) ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (23) පොලිසියට අවසර ලබාදුන්නා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු (2) මිය ගිය අතර, ජීවිතක්ෂයට පත් වූයේ දෙවුන්දර සිංහාසන පාරේ පදිංචිව සිටි 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ හා 29 හැවිරිදි ‘පසිඳු තාරුක’ නම් දෙදෙනායි.

ඔවුන් මිතුරෙකුගේ නිවසේ පැවැති මත්පැන් සාදයකට සහභාගී වී යතුරුපැදියකින් ආපසු යමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් යතුරු පැදියේ ගැටීමට සලස්වා, වෑන් රථයෙන් බැස ආ පිරිසක් ඔවුන් දෙදෙනාට (2) වෙඩි තබා තිබූ බව පොලිසිය සඳහන් කළා.

අනතුරුව දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපසදී වෑන් රථයෙන් පැමිණි පිරිස ඔවුන්ට වෙඩි තබන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණා.

පොලිසිය පැවසුවේ, ‘ශෙහාන් සත්සර’ හෙවත් ‘දෙහිගෙදර රංග’ සහ ඔහුගේ සොහොයුරා වන ‘දෙහි බාලේ’ නමැති පුද්ගලයින්ගේ මෙහෙයවීම මත මෙම ඝාතන සිදුව ඇති බවට සැක පළ කරන අතර ‘යොමේෂ් නදීෂාන්’ නමැත්තාට පසුගිය කාලයේම ඔවුන්ගෙන් මරණ තර්ජන ද එල්ල වී තිබූ බවයි.

වෙඩික්කරුවන් සහ ‘යොමේෂ් නදීශාන්’ කලක් සමීපව කටයුතු කර ඇති අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් පසුව ඔවුන් විරසක වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

‘යොමේෂ් නදීශාන්’ට එරෙහිව ‘අයිස් මත්ද්‍රව්‍ය’ සම්බන්ධ නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා.

මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය ‘යොමේෂ් නදීශාන්’ වූ අතර ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් ‘පසිඳු තාරුක’ කිසිදු අපරාධ චෝදනාවක් නොමැති අයෙකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙකු (4) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාගේ බිරිඳ ද ඒ අතර වනවා.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ රුපියල් ලක්ෂ 50 ක කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) අද පස්වරුවේ මාතර වැඩබලන මහේස්ත්‍රාත් උපාලි රණසිංහ හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් ලබන 29 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා.

ඒ අනුව සැකකරුවන් සිව්දෙනා (4) මාතර, කොටවිල, මාලිම්බඩ සහ තිහගොඩ යන පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය ‘යොමේෂ් නදීෂාන්’ගේ දේහය ඊයේ (22) රාත්‍රීයේ ඔහුගේ නිවසට රැගෙන ආ අතර මියගිය ‘පසිඳු තාරුක’ගේ දේහය අද (23) රාත්‍රීයේ ඔහුගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.

+

+


2025 මාර්තු මාසේ වෙඩි තැබීම් 5 කින් 4 ක් ජීවිතක්ෂයට

(23.03.2025 – 12:48 +0530 – hirunews.lk/sinhala)

2025 ජනවාරි පළමුවැනිදා (01) සිට මේ දක්වා දිවයින පුරා වෙඩි තැබීමේ සිද්ධි 27 ක් වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා.

එම වෙඩි තැබීමේ සිදුවීම්වලට අදාලව පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාර්තු මාසයේ ගතවූ දින 22 ඇතුළත දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 5 ක් වාර්තා වූ බව පොලිසිය පවසනවා.

එම ප්‍රහාරවලින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තුවාල ලබා ඇති ගණන 5 ක්.

ආසන්නතම වෙඩි ප්‍රහාරය මාර්තු 22 වැනිදා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයෙන් වාර්තා වුණා.

එම වෙඩි ප්‍රහාරයන් තරුණයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

මාර්තු 17 : මිදිගම, පාතේගම ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයක් වාර්තා වුණා.

මාර්තු 14 : අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා.

මාර්තු 13 : ගාල්ල අක්මීමන, තලගල ප්‍රදේශයේදී බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී සිරිදත් ධම්මික නාඳුනන වෙඩි ප්‍රහාරයකින් මියගියා.

එදිනම වැලිවේරිය, අරලියගස්දෙක හන්දිය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් වාර්තා වුණා.

මේ අතර මාර්තු 08 වැනිදා ගම්පහ, අකරවිට ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගලයින් දෙදෙනෙකු (2) ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා ෴


අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇගිලි සටහන් ලක්ෂ 10 ක් පරිගණක ගත කෙරේ

(23.03.2025 – 16:00 +0530 – hirunews.lk/sinhala)

අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇඟිලි සටහන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මේ වන විට විමර්ශන සඳහා පරිගණක ගතකර තිබෙනවා.

‘කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය’ සහ ‘පොලිස් ඇගිලි සලකුණු කාර්යාලයේ’ නිලධාරීන් එක්ව මෙම කටයුතු සිදුකරන බවයි අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් කුමාර සඳහන් කළේ.

2013 වසරේ සිට අපරාධකරුවන් සහ අධිකරණ වරදකරුවන්ගේ ඇඟිලි සටහන් පරිගණක ගත කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම මොහොතක එම ඇඟිලි සටහන් ලබාගත හැකි බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට සදහන් කළේ ෴


K–8 ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක්

(23.03.2025 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම K–8 මාදිලියේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

පසුගිය දා (21) K–8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

එම අනතුරෙන් පසුව චීනයේ නිෂ්පාදිත K–8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කළා.

ඒ සඳහා පත්කෙරුණේ සත් (7) පුද්ගල කමිටුවක්.

එකී කමිටුවේ උපදෙස් මතයි මෙම පරීක්ෂාව සිදු කරන්නට පියවර ගෙන තිබෙන්නේ.

මේ අතර එමකටයුතු සඳහා අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසන්නේ ෴


ට්‍රැක්ටර් ගෙන්වන මුවාවෙන් සුඛෝපභෝගි මොටර් රථ ගෙන්වලා

(23.03.2025 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන උපයෝගී කරගනිමින් සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන දහස් ගණනක් මෙරටට ගෙන්වූ ජාවාරමක් ගැන ‘කෝපා කමිටුවේදී’ අනාවරණ වුණා.

එමෙන්ම ට්‍රැක්ටර් රථ ගෙන්වන මුවාවෙන් ‘මර්සිඩීස් බෙන්ස්’ රථ ගෙන්වා ඇති බවට ද එහිදී වැඩිදුරටත් හෙළිව තිබෙනවා.

මෙම කරුණු අනාවරණ වූයේ ‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් ‘කෝපා කමිටුව’ හමුවට කැඳවූ අවස්ථාවේදීයි.

+


සහල් හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්

(23.03.2025 – 13:50 +0530 – hirunews.lk/sinhala)

රට තුළ යළි සහල් අර්බුදයක් ඇතිවිය හැකි බවට ගොවි සංගම් අනතුරු අඟවනවා.

එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ රජය විසින් මේ දක්වා 2024-2025 මහකන්නයට අදාළ අස්වනු පුරෝකථනයක් හෝ සිදුකර නොමැති බවටයි එම සංගම් පෙන්වා දෙන්නේ.

පසුගිය සමයේ මෙරට සහල් වෙළෙඳපොළේ දැඩි හිගයක් පැවැති අතර, ඒ සම්බන්ධයෙන් රජයට අවස්ථා ගණනාවකදී විවිධ තීන්දු තීරණවලට එළැඹීමට ද සිදු වුණා.

එම ගැටලු‍වට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට තීරණය කෙරුණු අතර මහ කන්නයේ වී අස්වනු නෙළීම ඇරඹූණේ ද ඒ සමගයි.

මෙවර මහ කන්නයේ රජයේ අපේක්ෂිත අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 2.9 ක් වුවත් ඇති වූ ගංවතුර සහ ආපදා තත්ත්වය හමුවේ එම අගය මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් දක්වා පහළ බැස තිබෙනවා.

එවැනි පසුබිමක මෙවර මහ කන්නයේ දිස්ත්‍රික්ක රැසක වී වගා කළ ගොවීන් මේ වනවිට තම අස්වනු නෙළීම ආරම්භ කර ඇති අතර, ගොවීන් පෙන්වා දෙන්නේ මේ වන විට සියයට 90 කට ආසන්න ප්‍රමාණයක අස්වනු නෙළීම් මේ වනවිට අවසන් කර ඇති බවයි.

රජය මෙවර වී මිල දී ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූවද පසුගිය බදාදා වනවිට වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ලැබී තිබුණේ මෙට්‍රික් ටොන් 60,000 කට ආසන්න වී තොගයක් පමණයි.

මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ අපේක්ෂිත සමස්ත වී අස්වැන්න මෙට්‍රික් ටොන් 425,000 ක් වූවත් එය මෙට්‍රික් ටොන් 310,000 කට සීමා වී තිබෙනවා.

එම අස්වැන්නෙන් අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වී ගබඩාවලට ලැබී තිබුණේ වී කිලෝ 20,000 කටත් වඩා අඩු ප්‍රමාණයක්.

අනුරාධපුර දිස්ත්‍රිකිකයේ මහ කන්නයේ අස්වැන්නෙන් ගොවීන් තිදෙනෙකු (3) පමණක් රජයට වී ලබා දී තිබුණා.

වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු ප්‍රකාශ කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු‍ ගබඩාවලින් තලාව ගබඩාවට පමණක් වී කිලෝ 2007 පමණක් ලැබී තිබූ බවයි.

එමෙන්ම, මෙවර මහ කන්නය සඳහා වී අලෙවි මණ්ඩලයට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වී කිලෝ 11,000 ක් ලැබී ඇති බව පොළොන්නරු වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී පැවසුවා.

එවැනි තත්ත්වයක් මත රට තුළ යළි සහල් අර්බුදයක් නිර්මාණය වීමේ අවධානමක් පවතින බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ.

මේ අතර මෙවර මහ කන්නයේදී රජය මීල දී ගැනීමට අපේක්ෂා කළ වී අස්වැන්නෙන් සියයට දශම එක්ක් (0.1%) හෝ රජයේ ගබඩාවලට ලැබී නොමැති බව, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පවසනවා.

එමෙන්ම ඉදිරි උත්සව සමය ඉලක්ක කරගනිමින් රට තුළ කීරි සම්බා සහල් හිගයක් නිර්මාණය කිරීමේ උත්සහයක් පවතින බවටද ඔහු සදහන් කළා.

එමෙන්ම එළඹෙන උත්සව සමය ඉලක්ක කරගනිමින් වැඩි මිලට සහල් අලෙවි කරන වෙළදුන් සොයා වැටලීම් වැඩි කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

මේ වන විටත් විවිධ මිල ගණන් යටතේ ඇතැම් කූඨ වෙළදුන් සහ මෝල් හිමියන් සහල් අලෙවි කරන බවටත් තොග සඟවා තබන බවටත් තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

කැකුලු, නාඩු, සම්බා සහ කීරි සම්බා සදහා මේ වන විට උපරිම සිල්ලර මිලක් පනවා තිබෙනවා.

මේ අතර, මෙම වසරේ (2025) ගතවූ කාලය තුළ වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් පන්සියයකට (500) වැඩි ප්‍රමාණයකට නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කළේ.

+


සමාජශාලා ගැටුමට යෝෂිත සමඟ පැමිණි සැකකරුවන් තිදෙනෙකු (3) හඳුනා ගැනේ

(23.03.2025 – 14:08 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ සමග පැමිණි සැකකරුවන් තිදෙනෙකු (3) හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පෙරේදා (21) රාත්‍රියේ යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිස සහ ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් යම් ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණා ෴

+

+


ජනපති හිනා වුණේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට | රටේ ආර්ථිකය අනුරට විතරක් අයිති නෑ (22.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *