කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි..

කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි..


කැපූ දීමනා යලි දෙන්න GMOA අන්තිම පැය 24 දෙයි..

(21.03.2025 – 05:55 +0530 – lankacnews.com)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනය =

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුව සඳහා එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීම.

ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල, ජාත්‍යන්තරයේ පවා ඉහළ පිළිගැනීමක් ලබා ඇති රෝගී සත්කාර සේවාවන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සපයනුයේ අවම වැටුපක් ලබමින් අහිතකර වෘත්තීය පරිසරයක් තුළය. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම, නිල නිවාස නොමැතිවීම, ප්‍රවාහන ගැටලු, ඖෂධ ගැටලු ආදී ගැටලු ගණනාවක් මධ්‍යයේ වුව ද ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් තම වෘත්තීය වගකීම අභිබවා ගිය මානුෂීය සහ ජාතික වගකීමක් ඔවුන් විසින් ඉටු කරනු ලබයි.

එවන් අහිතකර වෘත්තීය පරිසර තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිළිබඳ බරපතල අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට පසුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුවුණු අවාසනාවන්ත සිදුවීම හේතු වී ඇත. විශේෂයෙන් වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහෝදර සේවිකාවන් ඇතුළු සියලු දෙනාට අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ සෞඛ්‍ය සේවාවන් සැපයීමට සිදුවීම, මේ මොහොතේදී හෝ ප්‍රමුඛතාවය ලබා දී විසඳිය යුතු ගැටලුවකි.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබා දුන් යෝජනා වේගයෙන් ක්‍රියාත්මක කිරීමට දැන්වත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

අතෘප්තිකර සහ අනාරක්ෂිත පරිසර තත්ත්වයන් යටතේ වුවද, දැඩි කැපවිමෙන් රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍ය සේවාවේ වටිනාකම මෙවර අයවැය යෝජනා හරහා අසාධාරණ ලෙස අවතක්සේරුවට ලක් වී ඇති බව මෙරට සමස්ත විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ මතයයි.

වෛද්‍යවරුන් තම සාමාන්‍ය රාජකාරියට අමතරව රාජකාරි ගණනාවක් ඉටුකරන අතර සාමාන්‍ය රාජකාරී වේලාවෙන් අනතුරුව ද අඛණ්ඩව වසරේ සෑම දිනකම පැය 24 පුරා රෝගී සත්කාර සේවාවන් පවත්වාගනිමින් සිදුකරන සුවිශිෂ්ට සේවාව වෙනුවෙන් අමතර රාජකාරි දීමනාවට සුවිශේෂී අගයක් සහ අනුපාතයක් ලබා දී ඇත. එය මෙවර අයවැයෙන් 50% කින් අඩු කර ඇත.

මූලික වැටුපෙන් 1/20 ක් ලෙස ලබාදුන් නිවාඩු දින / ඉරිදා දීමනාව ද, 1/30 ක් දක්වා අඩු කිරීමෙන්, එම දිනවලදී වෛද්‍යවරුන් රාජකාරියේ යෙදීම අධෛර්යමත් කර ඇත.

වෛද්‍යවරුන්ට පමණක් සුවිශේෂී සහ අනන්‍ය වූ අමතර රාජකාරි දීමනාව සහ එහි අගයන් අතීතයේ සිටම නිර්ණය කරනු ලැබුවේ මහා භාණ්ඩාගාරය ඇතුළු අදාළ සියලු පාර්ශවයන්හි එකඟතාවයෙනි. නමුත් මෙවර අයවැයේදී වෛද්‍ය සේවාවේ සුවිශේෂී බව ද නොසලකා හරිමින් කිසිදු පාර්ශවයක් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව නිලධාරීන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් ප්‍රකාශයට පත් වූ මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් වෛද්‍යවරුන්, රජය, මහජනතාව ඇතුළු පාර්ශව ගණනාවක් අවසානයේ අපහසුතාවයට පත් වී සිටි.

සියලු පිළිගත් ක්‍රමවේද උල්ලංඝනය කරමින්, ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය පද්ධතිය තුල අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමට මූලික වූ මෙම තීරණය ගැනීමට සැබෑ හේතු සහ පසුබිම තවමත් නිවැරදිව පැහැදිලි කිරීමට වගකිවයුත්තන් සමත් වී නැත.

ඉතිහාසයේ නොවූ පරිදි වෛද්‍යවරුන් රට හැර යන මොහොතක, ඔවුන් රට තුළ සහ සෞඛ්‍ය පද්ධතිය තුළ රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම වගකිවයුත්තන්ගේ කාර්යභාරය වුවද, ඒ වෙනුවට මෙම තීරණ හරහා සිදුවී ඇත්තේ මෙරට වෛද්‍යවරුන් තම මව්බිමෙන් සහ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් තවත් දුරස් කිරීමයි.

මෙම සියලු ගැටලුවල අවසාන ප්‍රතිඵලය වනුයේ මෙරට ජනතාවගේ ජීවත් වීමේ අයිතිය සුරකින නිදහස් සෞඛ්‍ය සේවාව තවත් අඩපණ වීම වන අතර, මෙම තීරණය පිටුපස සිටින නිලධාරීන් කිහිපදෙනාගේ සැගවුණු අරමුණ වනුයේ නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමද යන සාධාරණ සැකය මතුවී ඇත.

ඊට අමතරව වෛද්‍යවරුන් සහ රජය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමේ සැලැස්මක් ද මේ තීරණය පිටුපස පවතින්නේද යන වග විමර්ශනය කළ යුතුය.

මෙම අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා ගරු ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාධනීය සාකච්ඡාවන් පැවැති අතර, ගැටලුව හොඳින් වටහාගනිමින් ධනාත්මක විසඳුම් ලබාදීමට ද ඔවුන් එකඟ විය. ඒ වෙනුවෙන් අයවැය තුන්වෙනි (3) වර කියවීම අවසන් වන 2025 මාර්තු මස 21 දිනය දක්වා කාලය ලබාදීමට ද එකඟ විය.

මෙම සාකච්ඡාවන්හිදී, රටේ ආර්ථික ඉලක්කයන්ට සහ සීමාවන්ට හානියක් නොවන පරිදි, අයවැය මඟින් වෛද්‍යවරුන්ට සිදු කළ අසාධාරණය නිවැරදි කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කරන ලදී.

ඒ අනුව, අමතර රාජකාරි දීමනාවේ 1/80 අගයත්, නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම් සඳහා 1/20 අගයත් සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වෙමින්, වැටුප් වැඩි කිරීම සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන වල සීමාවන් කිසිසේත් ඉක්මවා නොයන පරිදි යම් එකඟ වුණු කාලයක් සඳහා එම අගයෙන් 2/3 ක ප්‍රමාණයක් මාසිකව ගෙවීමටත්, ඉන් අනතුරුව මූල්‍ය තත්ත්වය මත පදනම්ව ඉදිරි තීරණ ගැනීමටත් යෝජනා කරන ලදී.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ අතිශයින් විවෘත සහ සාකච්ඡාමය ප්‍රවේශයක් අනුගමනය කරන අතර, එකඟ වූ පරිදි හෙට (22) දිනයේදී, මෙරට වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකමට සාධාරණයක් ඉටුවන, වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් වන සාධනීය තීරණයක් ගරු ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ඇතැයි සමස්ත වෛද්‍යවරුන් තරයේ විශ්වාස කරයි.

මෙරට වෛද්‍යවරුන්ගේ විශ්වාසය සුරකිමින් ගරු ජනාධිපතිතුමන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමන් එකඟ වූ තීරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිවී යැයි අප අපේක්ෂා කරන අතර, ඒ වෙනුවෙන් රජයේ ඉදිරි සැලැස්ම සහ වැඩපිළිවෙල තිරණය කිරීමේදි අදාල සියලු පාර්ශවයන්හි එකඟතාවය සහිත ක්‍රියාවලියක් හරහා මෙම ගැටලුව වඩා සාධනීය ලෙස විසදා ගැනීමට සියලු වගකිවයුත්තන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරමු ෴


අධික බීමතින් ශ්‍රීපාද වන්දනාකරුවන් ප්‍රවාහනය කිරීමට සූදානම්වූ ලංගම රියදුරු අත්අඩංගුවට..

(21.03.2025 – 02:10 +0530 – lankacnews.com)

හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකු (19) දින රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර එම සැකකරුට මේ මස 25 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස උපදෙස් ලබා දුන් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසීය.

ශ්‍රීපාදය වන්දනා කිරිමට (19) දින රාත්‍රියේ හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නිය වෙත යෑමට ලංගම බස් රථයට ගොඩ වී ඇත.

එම අවස්ථවේ බස් රථයේ රියදුරා අධික ලෙස බීමත්ව සිටි බව වටහා ගත් වන්දනාකරුවන් ඒ පිලිබදව හැටන් පොලිසිය වෙත කල දැනුම් දීමක් මත වහා ක්‍රියාත්මක වු හැටන් පොලිසියේ නිළධාරින් බස් රථයේ රියදුරාව පරික්ෂාකර ඔහු බීමතින් සිටින බවට තහවුරු වීමෙන් පසු රියදුරාව සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් ලංගම ඩිපෝවෙන් වෙනත් රියදුරෙකු කැදවා වන්දනාකරුවන් පිරිස නල්ලතන්නිය දක්වා යැවීමට කටයුතු කල බවයි හැටන් මූලස්ථාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා කියා සිටියේ.

රංජිත් රාජපක්ෂ


නාගලගම්වීදිය වෙඩි තැබීමට 24 හැවිරිදි තරුණියක් අත්අඩංගුවට

(21.03.2025 – 07:06 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේදී පසුගිය 17 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු පසුගිය 18 වැනිදා රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරුගේ බිරිඳ මෙම අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙනුයි ඊයේ (20) ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරිය වයස අවුරුදු 24ක් වන කොටුවිල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය අඩපණ වෙයි

(21.03.2025 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කරාපිටිය ශික්ෂණ රෝහලේ විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍රයෙන් පිලිකා රෝගීන් හට නව ප්‍රතිකාර ආරම්භ කිරීම මේ වන විට අඩපණ වී ඇති බව ‘රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය’ ප්‍රකාශ කළා.

එහි සභාපති චානක ධර්මවික්‍රම ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට කියා සිටියේ විකිරණ ප්‍රතිකාර සැලසුම්කරණ පරිගණක පද්ධතියේ දෝෂයක් මීට හේතුවී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට රෝහලේ බලධාරියෙකු සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළ ද එය සාර්ථක වුණේ නැහැ ෴


ටිපර් රථයක් ඔයට පෙරලී බිහිසුණු අනතුරක්

(21.03.2025 – 10:47 +0530 – hirunews.lk/sinhala)

නුවර මාතලේ ඒ 9 මාර්ගයේ මාතලේ බලකඩුව කන්ද ප්‍රදේශයේදී ටිපර් රථයක් අද (21) අලුයම බලකඩු ඔයට පෙරලීමෙන් රියදුරා තුවාල ලබා මාතලේ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම ස්ථානය අඩි හැටක් (60) පමණ ප්‍රපාතයක් සහිත බෑවුම් ප්‍රදේශයක් බවටයි වාර්තා වෙන්නේ.

රියදුරා පොළොන්නරුව ප්‍රදේශයේ සිට නුවර කටුගස්තොට ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, පොලිසිය සැක කරන්නේ රියැදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴


පොල්දූවේ විරෝධතාවයක නිරත රැකියා විරහිත උපාධිධාරීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

(21.03.2025 – 10:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ විරෝධතාවයේ නිරත රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයට ඇතුලු වීමට උත්සහ දැරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මොවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන්නේ පසුගියදා එම ප්‍රදේශයේ විරෝධතා පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ද ලබා දී ඇති පසුබිමකයි ෴


මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රුපියල් ලක්ෂ 178 ක මත්ද්‍රව්‍ය අල්ලයි

(21.03.2025 – 13:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක් කෝටි හැත්තෑ අට ලක්ෂයක් (1,78,00,000) වටිනා මත්ද්‍රව්‍ය පාර්සල් තොගයක් කොළඹ මධ්‍යම හුවමාරුව තුළ තිබී රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

පසුගිය සති දෙකක (2) කාළය තුළ මෙම පාර්සල් ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ නෙදර්ලන්තය යන රටවල සිට මෙරටට එවා තිබූ අතර, ඒවා මහනුවර, මීගමුව, ජ-ඇළ, වැල්ලවත්ත, නුගේගොඩ, තංගල්ල, මහියංගනය සහ යාපනය යන ප්‍රදේශවල පිහිටි ලිපිනයන් වෙත භාර දීම සදහා ලැබී තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

පාර්සල් 20 ක් මෙලෙස මධ්‍යම තැපැල් හුවමාරුව තුළ තිබූ අතර ඒවා භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම හේතුවෙන් පසුගියදා එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර තිබුණා.

එහි තිබූ පාර්සල් 14 ක ‘කුෂ් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 272 ක් සහ ‘මත්ද්‍රව්‍ය පෙති’ 2,049 ක් සොයා ගැනීමටයි තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන්ට හැකිව තිබුණේ.

ඒ අනුව අදාළ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සදහා ‘පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ’ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා ෴


පියුමි හංසමාලිගේ මුදල් විශුද්ධීකරණ නඩුවේදී එළියට ආ කතාව

(21.03.2025 – 13:55 +0530 – hirunews.lk/sinhala)

නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයට නියම කර තිබෙනවා.

පියුමි හංසමාලි නමැත්තියගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව ඊට අදාළ පැමිණිල්ල අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම මෝසම කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියකට අනුව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා අද (21) දින අධිකරණයේ පෙනී සිටියා.

එහිදී පියුමි හංසමාලී වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඒ යටතේ මේ වනවිට ගනුදෙනුකරුවන් 34,506 දෙනකුට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බව සඳහන් කළා.

තම සේවාදායිකාව අඩු මිලකට අදාළ ආලේපන ලබාගෙන රුපියල් තිස් – හතලිස් දහසක් වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට ඊයේ (20) දින සියලු මාධ්‍යවලින් ප්‍රවෘත්ති පළ කර තිබූ බව පෙන්වා දුන් එම නීතිඥවරයා එය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදුවන බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් මෙහිදී නීතිඥවරයා සඳහන් කළා.

නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා ‘අම්බපාලි’ අද සිටියා නම් ඇයට රහත් වීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බවත් සඳහන් කර සිටියා.

ඒ අනුව තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් එම නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ නීතිවිරෝධී වත්කම් විමර්ශනය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරණා කියා සිටියේ පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000 කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බවයි.

2023 වසරේ නොවැම්බර් මස 22 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ප්‍රබල ‘කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු’ අත්අඩංගුවට ගත් අතර එම ජාවාරම්කරු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද කියා සිටියා.

පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වනවිටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවිකර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදුවී ඇතැයි පෙන්වා දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට සිදුවී ඇති බවයි කියා සිටියේ.

මෙහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කරගැනීමට පොලීසියට බලය තිබෙන බව තමා පිළිගන්නා බවයි.

මෙම තැනැත්තිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින් ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීමට වගබලා ගන්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තැනැත්තියගේ ව්‍යාපාරයට හානියක් නොවීමට වගබලා ගත යුතු බවත් සඳහන් කළා.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *