මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරදීමක් – රැඳවියෙක් මරුට

මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරදීමක් – රැඳවියෙක් මරුට


මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් පහරදීමක් – රැඳවියෙක් මරුට

(18.03.2025 – 18:43 +0530 – sinhala.adaderana.lk)

මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී සිදුවූ පහරදීමකින් තුවාල ලැබූ රැඳවියෙකු මියගොස් තිබේ.

අදාළ පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට (2) සහ තවත් රැඳවියන් දෙදෙනෙකුට (2) ය.

‘අයිස් මත්ද්‍රව්‍ය’ ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පසුගිය 23 වනදා මහරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගැනුණු ‘හේවාධීර දොන් ගැමුණුජිත්’ නම් 54 හැවිරිදි එක්දරු පියෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු සතුව ‘අයිස් මත්ද්‍රව්‍ය’ ඇති බවට මතුවූ සැකයක් මත බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු (2) පසුගිය 26 වනදා ඔහුව පරීක්ෂා කිරීමට උත්සාහා දරා තිබේ.

එහිදී ඔහු විසින් එම ‘අයිස් මත්ද්‍රව්‍ය’ ගිලදැමීමත් සමඟ අදාළ නිලධාරීන් දෙදෙනා (2) තවත් රැඳවියන් දෙදෙනකු (2) සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලීසිය පවසයි.

එහිදී බරපතළ තුවාල ලැබූ රැඳවියා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

එහි ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා ඉකුත් 16 වනදා පස්වරුවේ මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

බොරැල්ල පොලීසියේ විමර්ශන වලදී බන්ධනාගාරයේ සෙසු රැඳවියන්ද පවසා ඇත්තේ, අදාළ රැඳවියා ‘අයිස් මත්ද්‍රව්‍ය’ ගිලදැමීමෙන් පසුව බන්ධානාර නිලධාරීන් දෙදෙනෙකු (2) තවත් රැඳවියන් දෙදෙනෙකු (2) සමඟ එක්ව ඔහුට අමානුෂික ලෙස පහරදී වමනය කරවීම සඳහා ලුණු මිශ්‍ර වතුර බෝතල් දෙකක් (2) පෙවූ බවය.

සිද්ධිය වූ මැගසින් බන්ධනාගාරය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතාගේ පරීක්ෂණයට ලක්ව ඇත.

+


‘හරක් කටා’ට උදව් කළ පොලිස් කොස්තාපල් ගැන අධිකරණයට වාර්තාවක්

(18.03.2025 – 19:42 +0530 – sinhala.adaderana.lk)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ නැමැත්තාට පලායාම සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ල වී ඉන්දියාවට පලාගොස් පසුව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් කොස්තාපල් ‘රවිඳු සංදීප’ නමැත්තා ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ මෙරට රාජ්‍ය ආරක්ෂාවට තර්ජනාත්මක වන කටයුතුවල නිරත වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත් ‘ත්‍රස්ත මර්දන කාර්යාංශය’ අද (18) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එමෙන්ම සැකකාර පොලිස් කොස්තාපලයා ඉන්දියාවේ සැඟව සිටි කාලයේ මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක කටයුතුවලට නිරත වී ඇති බවට ‘ඉන්දීය බුද්ධි අංශ’ විසින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදුන් තොරතුරු පදනම් කරගෙන මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බව එම නිලධාරීන් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.

ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන බවත් ‘ත්‍රස්ත මර්දන කාර්යාංශය’ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඉන්දියාවේ සැඟව සිටියදී අත්අඩංගුවට ගන්නා ලද එම හිටපු කොස්තාපල් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මෙම කොස්තාපලයාට එරෙහිව මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී තිබෙන අතර ඔහුට එරෙහි නඩු විභාගයේ අප්‍රේල් මස 03 වන දා පැවැත්වීමටද කොළඹ මහාධිකරණය ඊයේ (17) නියම කළේය ෴


බස් චණ්ඩි මට්ටු කළ මීගහතැන්න පොලීසියට මගීන්ගෙන් ප්‍රශංසා

(18.03.2025 – 16:11 +0530 – sinhala.adaderana.lk)

මතුගම‍, ලිහිනියාව ප්‍රදේශයේදී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයකට තවත් බස්රථයක පිරිසක් විසින් පහරදී තිබේ.

කොළඹ සිට නෙළුව බලා ධාවනය වූ බස් රථයකට අද (18) පෙරවරු 07:40 ට පමණ මෙම පහරදීම සිදුකර ඇත්තේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ බස් රථයක රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිසක් විසින් බවට වාර්තා වෙයි.

එහිදී තුවාල ලැබූ බස් රථයේ රියදුරු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

නෙළුව බලා ධාවනය වූ බස් රථයට හොරවල ප්‍රදේශයේදී මගියෙකු නංවා ගැනීම සම්බන්ධයෙන් එම බස් රථය පිටුපසින් පැමිණි මතුගම සිට අවිත්තාව බලා ධාවනය වූ බස් රථයේ රියදුරු බැණ තර්ජනය කර තිබූ බව වාර්තා වෙයි.

පසුව එම බස් රථයේ රියදුරු එම අවස්තාවේ අවිත්තාව සිට මතුගම දෙසට ධාවනය වූ තවත් බස් රථයකට ඒ සම්බන්ධයෙන් දැනුම්දී ඇති බවත් පැවසෙයි.

අනතුරුව මතුගම ලිහිනියාව ප්‍රදේශයේදී නෙළුව – කොළඹ බස්රථයට මාර්ගය හරස් කර නතර කර පස්දෙනෙකු (5) ගෙන් යුත් පිරිසක් කඩාවැදී යකඩ පොලුවලින් අදාළ බස් රථයට පහරදී ඇත.

බස් රථයේ සිටි මගීන් භීතියට පත් කරමින් එහි රියදුරුට පහරදීමට බස් රථයේ වසා තිබූ දොර විවෘත කරගැනීමට ද ඔවුන් උත්සාහ කර තිබූ බවත් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත වහා ක්‍රියාත්මක වූ මීගහතැන්න පොලීසිය පහරදීම සිදුකළ බස් රියදුරු හා කොන්දොස්තරයා ඉතා කෙටි කාලයක් තුළ මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකාර රියදුරු හා කොන්දොස්තරයා හෙට (19) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව මීගහතැන්න පොලීසිය පැවසීය.

මගීන්ගේ ජීවිත ද අනතුරේ හෙලමින් සිදුකළ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පහරදීම සිදුකළ බස් රථයට එරෙහිව ‘ජාතික ගමනාගමන කොමිසන් සභාව’ට ද මගීන් විසින් පැමිණිලි කර ඇත.

මීගහතැන්න පොලීසිය වහා ක්‍රියාත්මක වී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව මගීන්ගේ ප්‍රශංසාව ද පොලීසියට හිමිවී තිබේ ෴


සාමාන්‍ය පෙළ සිසුවෙකු මුහුණ දුන් ඛේදනීය සිදුවීම

(18.03.2025 – 18:20 +0530 – sinhala.adaderana.lk)

සිසුන් පිරිසක් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ සිසුවෙකුට ශාරීරික අපහසුතා රැසක් මධ්‍යයේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට සිදුවූ ඛේදනීය පුවතක් ‘අද දෙරණ’ට වාර්තා වුයේ ගාල්ල ඉමදූව ප්‍රදේශයෙනි.

ගාල්ලේ ඉමදූවේ ‘ලෙසඳු සෙන්හිරු’ ශාරීරික අපහසුතා දරාගනිමින් සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටියි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ පෙළේ පාසලක ඉගෙනුම ලබන ලෙසඳු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ඇද දමන්නේ පසුගිය 06 වනදා සිය පාසල ඉදිරිපිටදී සිදුවූ ගැටුමකි.

සුළු ආරවුලක් දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස ලෙසඳුට ඔහුගේම වයසේ සිසුන් 8 දෙනෙක් පමණ පහරදෙන්නේ පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පැවැත්වෙන අතරවාරයෙදීය.

පහර කෑමෙන් හිසට ඇතිවූ බරපතළ තුවාල සහිතව ලෙසඳු ගාල්ල ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.

දින හයක් (6) එහි ප්‍රතිකාර ලැබීමෙන් පසුව ‘ලෙසඳු’ යළි නිවසට පැමිණෙන්නේ කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදිමේ අටියෙනි.

ඊට ඔහුගේ මව්පියන්ගෙන් වගේම පාසලේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙනුත් ලැබෙන්නේ නොමද ශක්තියකි.

කෙසේවෙතත් සිය අරමුණ වෙනුවෙන් අපහසුතා අමතක කර විභාගයට මුහුණ දෙන්නට තරම් ‘ලෙසඳු’ගෙ සිත සවිමත් වේ.

‘ලෙසඳු’ට පහරදුන් පිරිස අතරින් බහුතරයක් අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කළ බව පොලීසිය පවසයි.

නමුත්, දරුවන් අතර හටගන්නා සුළු සුළු ගැටුම් ඛේදවාවචකයන්ගෙන් අවසන්වීම, අවාසනාවට කරුණකි.

+


නුවරඑලිය රෝහලේ බීමතින් කලහකාරී ලෙස හැසිරුණු හිටපු මේජරයෙකු අත්අඩංගුවට

(18.03.2025 – 17:00 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරී රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජරයෙකු නුවරඑලිය පොලිසිය විසින් අද (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මේජර්යා නිවාඩුවක් ගතකිරිම සඳහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ බිමත්ව බිම වැටි සිටියදී තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනිමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි අවස්ථාවේ උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න විසින් නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුලදීම ප්‍රතිකාර ලබාදීමට නුවරඑලිය පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්නගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ බීමත්ව බිම වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුලත් කිරිමේදි කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමග බහින් බස් විමක් සිදු වි ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය තමන්ටද මේජරයා පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.

අත්අඩංගුවට ගත් මේජරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

+

+


කොළඹ ප්‍රධාන බාලිකා පාසල්වල සිදුවන හොඳහොඳ සෙල්ලම් – වැඩේවෙන්නේ සුබපතන්නෙක් විදියට – වහාම පරීක්ෂණයක්කරන්න (18.03.2025)

+


ජාතික ලැයිස්තුව නීති විරෝධියි – නාගානන්ද කොඩිතුවක්කු (15.03.2025)

+


සිසුවියක් අපයෝජන කර වරදකරු වූ විදුහල්පතිට විනය ක‍්‍රියාමාර්ග නවතයි.. පසුපස දේශපාලන අතක්.. ඔහු ප‍්‍රබල ආධාරකරුවෙක්..

(19.03.2025 – 15:50 +0530 – lankacnews.com)

බාල වයස්කාර පාසල් සිසුවියකට අපයෝජනය කළ විදුහල්පතිවරයකු අධිකරණයෙන් වැරදිකරු වූ පසු, ඉදිරි දෙපාර්තමේන්තු පරීක්ෂණ සඳහා මූලික විමර්ශනය පැවැත්වීමට පත් කළ නිලධාරියා ඉවත් කර, එම පරීක්ෂණ මේ වන විට නවතා ඇතැයි ‘ලංකා ගුරු සංගමයේ’ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විදුහලක සේවය කරමින් සිටියදී අදාළ විදුහල්පතිවරයා වරදකරු බව ඉකුත් 2024 වර්ෂයේදී අධිකරණයේ පිළිගෙන තිබේ. ඒ අනුව අධිකරණය මගින් වැරදිකාර විදුහල්පතිවරයාට වසර පහක (5) සිර දඬුවම් නියම කර එය අත්හිටු වූ සිරදඬුවම් වශයෙන් සහ රුපියල් පනස් දහසක (50,000) දඩයක්ද මහේස්ත්‍රාත්වරයා නියම කර තිබූ බව ‘ලංකා ගුරු සංගමයේ’ සභාපතිවරයා සඳහන් කළේය.

මෙවැනි වරදක් කර අධිකරණයෙන් වරදකරු වූ සහ දඩ නියම කළ පුද්ගලයකුගේ රාජකාරි අත්හිටුවීම දෙපාර්තමේන්තුවේ වගකීමක් බවද හෙතෙම කියා සිටියි. ඒ අනුව උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ උපදෙස් මත විනය ක්‍රියාමාර්ග ගැනීමට ඉකුත් වසරේදී (2024) මූලික විමර්ශන පැවැත්වීම සඳහා විමර්ශන නිලධාරියෙකුද පත් කරන ලදී.

එහෙත් වර්තමාන පාලනය තුළ මෙම නිලධාරියා මූලික විමර්ශන රාජකාරියෙන් ඉවත් කර තිබේ. මේ අපචාරය කළ පුද්ගලයා ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු බැවින් මේ අකටයුත්ත පිටුපස ප්‍රබල දේශපාලන අතකොළුවක් ක්‍රියාත්මක වන බව අනුමාන කළ හැකි යැයි ද ‘ලංකා ගුරු සංගමයේ’ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අනුරාධපුර විශේෂ බී. ජී. චතුරංග


වෙඩික්කරුවෙක් අත්අඩංගුවට

(19.03.2025 – 09:51 +0530 – sinhala.adaderana.lk)

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ බස්නාහිර දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු 2023.05.12 අවිසාවෙල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම, 2023.05.26 අවිසාවෙල්ල පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ වෙඩික්කරු ලෙස ක්‍රියා කිරීම සහ 2023.09.20 අවිසාවෙල්ල පුද්ගලයින් තිදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීම යන අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එම අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලීසිය පැවසීය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *