Hiru Star කිරුළ දිනාගත් ‘චමෝද් කවිශ්ක’ගේ මෝටර් රථයට අනුරාධපුරයේ ඔහුගේ නිවසේදී ගිනි තබයි

Hiru Star කිරුළ දිනාගත් ‘චමෝද් කවිශ්ක’ගේ මෝටර් රථයට අනුරාධපුරයේ ඔහුගේ නිවසේදී ගිනි තබයි


Hiru Star කිරුළ දිනාගත් ‘චමෝද් කවිශ්ක’ගේ මෝටර් රථයට අනුරාධපුරයේ ඔහුගේ නිවසේදී ගිනි තබයි

(18.03.2025 – 08:18 +0530 – hirunews.lk/sinhala)

Hiru Star මෙවර කිරුළ දිනාගත් ‘චමෝද් කවිශ්ක’ගේ මෝටර් රථයට කිසියම් පුද්ගලයෙක් විසින් ගිනිතබා තිබෙනවා.

ඒ අනුරාධපුරයේ පිහිටි ඔහුගේ නිවසේ මෝටර් රථය නවතා තිබියදීයි.

අද (18) අලුයම 01:42 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් චමෝද් පවසා සිටියේ මෙවැනි අදහසක් :

“පාන්දර 01:42 යි වෙලාව. මගේ වාහනේ මේ වෙද්දි, කවුරුහරි ගෙදරට ඇවිල්ලා ගෙදර නතර කරලා තිබ්බ වාහනෙට ප්‍රෙටල් දාලා ගිනි තියලා තියෙනවා. මම එළියට බහිද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවරයි. ඔක්කොම වාහනේ ගිනිඅරන් තියෙන්නේ. ගිඩීන් ගාලා සද්දයක් ආවා. මම එලියට එද්දි සේරම ගිනිඅරන් ඉවරයි. බොහොම ස්තූතියි මේක කරපු කෙනාට. බොහොම ස්තූතියි.”

සිදුවීම සම්බන්ධව මේවන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

+

HIRU STAR සිව්වැනි විප්ලවයේ අවසන් රාත්‍රියේ කිරුළ දිනාගනිමින් චමෝද් කවිශ්ක ඉතිහාසගත වූ වගයි (19.01.2025)

+

HIRU STAR කිරුළ දිනූ ‘චමෝද් කවිශ්ක’ගේ නිවසට පොලිස් ආරක්ෂාව

(18.03.2025 – 20:13 +0530 – hirunews.lk/sinhala)

‘හිරු ස්ටාර් සීසන් 4’ තරගාවලියේ කිරුළ දිනාගත් ‘චමෝද් කවිශ්ක’ගේ අනුරාධපුර – කවරක්කුලම – කලැත්තෑව – ප්‍රදේශයේ පිහිටි නිවසට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඒ, ඔහුගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට අද (18) අලු‍යම ගිනි තැබීමේ සිද්ධියත් සමගයි.

හෙට (19) දිනයේදී මීට අදාළව රස පරීක්ෂක වාර්තාවක් ලබාගැනීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ගිනිගැනීමට ලක්වූ මෝටර් රථය මීට සති දෙකකට (2) පමණ පෙරයි මිලදී ගෙන තිබුණේ.

ගින්නෙන් මෝටර් රථයේ ඉදිරිපසට සහ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර එය නිවා දැමීමට නිවැසියන්ට සහ ප්‍රදේශවාසින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා ෴


‘පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්’ උදෑසන 7 සිට වර්ජනයක – තැපැල් වර්ජනය තවදුරටත්

(18.03.2025 – 07:03 +0530 – sinhala.adaderana.lk)

රජයේ මංගල අයවැය හරහා ‘රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා’ කප්පාදුවට එරෙහිව අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය’ තීරණය කර තිබේ.

ඒ අනුව අද (18) පෙරවරු 7 සිට දිවයින පුරා සියලු රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය’ සඳහන් කළේය.

‘පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය’ට අයත් වෘත්තීය සමිති 7 ක් සහ ‘අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ’ට අයත් වෘත්තීය සමිති 11 ක් මෙම වැඩවර්ජනය සඳහා සහාය පළකර තිබේ.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග සිය ගැටලුව සම්බන්ධයෙන් ඊයේ (17) පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ’ සම කැඳවුම්කරු උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාධාරණ බව ‘සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ’ සම කැදවුම්කරු චලිත් අමරදිවාකර මහතා සඳහන් කළේය.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ‘තැපැල් වෘත්තීය සමිති’ ආරම්භ කර ඇති වැඩවර්ජනය අද (18) දිනයේත් ක්‍රියාත්මක කරන බව ‘ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ’ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, පෙරේදා (16) පස්වරුවේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය හේතුවෙන් ලක්ෂ 10 කට අධික ලිපි සහ පාර්සල් තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවය.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනය අසාර්ථක බව ‘ලංකා තැපැල් සේවා සංගමයේ’ සභාපති ජගත් මහින්ද මහතා සඳහන් කළේය ෴

+

+

+


බුද්ධි අංශ විනාස කළ මිලේනියම් සිටි මහා පාවාදීමට රනිල් ගේම ගැහුවෙ මෙහෙමයි (18.03.2025)

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති H.M.G.B. කොටකදෙනිය හෙලිකරයි

+


පැය 16 ක ජල සැපයුම අත්හිටුවීමක් ගැන දැනුම්දීමක්

(17.03.2025 – 23:53 +0530 – hirunews.lk/sinhala)

ජල සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනූව මාර්තු 19 වැනිදා උදේ 08 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.


ග්‍රෑන්ඩ්පාස් – නාගලගම් වීදියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ දෙදෙනා (2) ‘මෝදර නිපුන’ගේ ගෝලයින් බවට සැක

(18.03.2025 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – නාගලගම් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (17) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

තුවාල ලැබූ දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22 සහ 28 යන වයස්වල පසුවන්නන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මෝදර නිපුන’ගේ ගෝලයින් දෙදෙනෙකු (2) බවට අනාවරණය වී ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

එමෙන්ම තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සේදවත්තේ කසුන්’ගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර 2025 වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 25 ක් වාර්තා වී ඇති අතර ඉන් සිදුවීම් 16 ක් සංවිධානාත්මක සිදුවීම් බවයි පොලිසිය සදහන් කළේ.

එම සිද්ධීන්වලදී පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 11 ක්.

+++

නාගලගම් වීදියේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගැනේ

(18.03.2025 – 11:34 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – නාගලගම් වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට සැකකරුවන් දෙදෙනා (2) පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය මාදම්පිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම වෙඩි තැබීම සදහා මිලිමීටර 09 වර්ගයේ පිස්තෝල ගිනිඅවියක් යොදාගෙන ඇති බවටයි සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඊයේ (17) රාත්‍රියේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22 සහ 28 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබුවා ෴


රුපියල් 50,000 ක අල්ලසක් ගත් ‘තක්සේරු නිලධාරිනියක්’ අත්අඩංගුවට

(18.03.2025 – 09:34 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබා ගත් ‘තක්සේරු නිලධාරිනියක්’ ‘අල්ලස් කොමිසම’ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල – බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි අල්ලස් කොමිසම විසින් සැකකාරිව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පැමිණිලිකරුගේ නමට ලියාපදිංචි කරන ලද සින්නක්කර ඉඩමකට අදාළ ඔප්පුව සඳහා රජයට අයවිය යුතු හිඟ මුද්දර ගාස්තුව අඩු කර සකස්කර දීමට අවශ්‍ය කටයුතු සකසා දීම වෙනුවෙන් ඇය මෙම අල්ලස් මුදල් ඉල්ලා තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව ‘වයඹ පළාත් සභාවේ පළාත් අදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ තක්සේරු නිලධාරිනියක්’ බවයි ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව’ සදහන් කළේ ෴


පොලිස්පති දේශබන්දු අල්ලන්න CIDයෙන් තවත් පොලිස් කණ්ඩායම් 04 ක්

(18.03.2025 – 10:28 +0530 – hirunews.lk/sinhala)

වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණයද නියෝග කර ඇති පසුබිමක පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා තවත් පොලිස් කණ්ඩායම් 04 ක් පත් කර තිබෙනවා.

ඒ දැනට පත් කර ඇති පොලිස් කණ්ඩායම් 06 ට අමතරවයි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචානාධිකරණ ඊයේ (17) නියෝග කළා.

එමෙන්ම, මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කළේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය මස 27 වැනිදා නියෝග කළේ 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

මෙම සැකකරුවන් අතරින් වැලිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර නීතිඥවරයෙකු මාර්ගයෙන් පසුගිය 04 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු ඇප මත මුදා හැරුණා.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර සති තුනකට (03) ආසන්න කාලයක් ගතව තිබුණ ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

එවන් පසුබිමක දේශබන්දු තෙන්නකෝන්ගේ බිරිඳගෙන් හෝකන්දර පිහිටි නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කරගත්තා ෴


අප්‍රේල් 01 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළට

(18.03.2025 – 11:13 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල අප්‍රේල් 01 වැනිදා සිට සියයට 4.7 කින් ඉහළ යනු ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරනවා.

ඒ අනුව, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යනු ඇති අතර, එහි නව මිල රුපියල් 1,100 ක් වෙනවා ෴


අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම ඉල්ලා අස්කර ගනී

(18.03.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

අදාල ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණා.

එම දැනුම්දීමෙන් අනතුරුව අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කර ගත්තා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *