සැලසුම් කළ පරිදි සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට (18)
(17.03.2025 – 12:52 +0530 – hirunews.lk/sinhala)
මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා අසාර්ථක බව ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ’ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ඒ අනුව තීරණය කරගත් පරිදි හෙට (18) උදෑසන හතට (07:00) වර්ජනය ආරම්භ කරන බවයි ඔහු සඳහන්කර සිටියේ ෴
+
වෛද්‍ය වෘත්තිකයින්ගේ වර්ජනයෙන් ප්‍රතිකාර ගන්න ආ රෝගීන් අමාරුවේ | අන්ත අසරණ වුණු රෝගීන් හඬා වැටෙයි (18.03.2025)
+
‘හරක් කටා’ට පනින්න උදව් දුන් කොස්තාපල්ට එරෙහිව අධිචෝදනා
(17.03.2025 – 15:21 +0530 – hirunews.lk/sinhala)
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන්නේ යැයි ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන රැගෙන එන ලද එම දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් කොස්තාපලයා අද (17) කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ භාරයේ පසුවන එම සැකකරු අද (17) එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවට පමුණුවනු ලැබුවා.
ඉන් අනතුරුව අදාල චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු පොලිස් කොස්තාපල්ට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීම සිදුවුණා.
එම අධි චෝදනා පවරා පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නා.
ඉන් අනතුරුව නඩු විභාගය අප්‍රේල් මස 04 වනදා පැවැත්වීමටද නියම කරනු ලැබුවා.
මෙම නඩුවේ තවත් විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ නැමැත්තා නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ඔහුගේ නීතිඥවරු අද (17) අධිකරණයට දැනුම් දුන්නා ෴
විදේශ රැකියා ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
(17.03.2025 – 15:53 +0530 – hirunews.lk/sinhala)
දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3 කට අධික මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ‘විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ’ විශේෂ විමර්ශන අංශය විසින්.
මොහු E-7 හා E-8 යන කාණ්ඩවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන සිටි අයෙකු බවයි පැවසෙන්නේ.
එම නිළධාරීන් විසින් කුරුණෑගලදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබෙනවා.
එසේම සැකකරු අධිකරණ නියෝග පැහැර හරිමින් සිටි පුද්ගලයකු බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට (3) විදේශ ගමන් තහනමක්
(17.03.2025 – 16:46 +0530 – hirunews.lk/sinhala)
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට (3) විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන දෙදෙනා (2) ද ඊට අයත්.
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සම්බන්ධ නීතිවිරෝධී දේපළ විකිණීමේ නඩුවට අදාළවයි මෙම තහනම පනවා ඇත්තේ ෴
ඝාතනය වූ දා ‘ගනේමුල්ල සංජීව’ගේ ආරක්ෂාව භාරව සිටි ජේලර් CCD අත්අඩංගුවට
(17.03.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)
‘ගනේමුල්ල සංජීව’ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ දිනයේ සැකකරුගේ ආරක්ෂාව භාරව සිටි ජේලර්වරයා ‘කොළඹ අපරාධ කොට්ඨාශය’ (CCD) මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ ජේලර්වරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
‘කොළඹ අපරාධ කොට්ඨාශය’ මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට පමුණනු ලැබුවා.
මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ පොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිද්ධිය වූ දින සැකකාර ‘ගනේමුල්ල සංජීව’ නමැත්තා මෙම සැකකාර ජේලර්වරයා විසින් අධිකරණයට රැගෙන වී තිබෙන බව සඳහන් කළා.
ඔහු සිය රාජකාරිය පැහැර හැරීම නිසා මෙම අපරාධය සිදුවූයේ දැයි සොයා බැලීම සඳහා විමර්ශන සිදු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.
එසේම වෙඩි තබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියා විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පැවසුවා.
සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තාවක් කැදවීමට අවසර දෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම ඉල්ලීම්වලට අවසර දුන් අධිකරණය අදාළ සැකකරු ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළා ෴
අනුරපුර සිද්ධියේ වෛද්‍යවරියගේ දුරකතනය කැළෑවකින් සොයාගනී?
(17.03.2025 – 21:36 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණය කළ සැකකරු මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අද (17) නියෝග කළා.
සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අද (17) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
මේ අතර, සැකකරු, වෛද්‍යවරියගෙන් පැහැරගෙන ගිය බවට සැක කෙරෙන ජංගම දුරකථනය ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරියක් දූෂණයට ලක් වුණේ පසුගිය 10 වැනිදායි.
රැකියාව අවසන් වී සිය නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී ඇය මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඊට සම්බන්ධ සැකකරු ඇගේ ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගොස් තිබුණා.
පොලිස් කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වී විමර්ශන ආරම්භ කළ අතර ගල්නෑව ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුත්, ඔහුගේ වැඩිමල් සහෝදරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්තා.
ඔවුන් අද (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද (17) ප්‍රධාන සැකකරු පමණක් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එම පෙරෙට්ටුව මේ මස 24 වැනිදා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළා.
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ, එළැඹෙන 24 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සැකකරු ඉදිරිපත් කරන ලෙසටයි.
පැමිණිලිකාර වෛද්‍යවරියට හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය අධිකරණයේ පෙනී නොසිටි බව, නඩුව කැඳවූ අවස්ථාවේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළා.
කරුණු සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ, 24 වැනිදා පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා කැඳවීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසටයි.
ගල්නෑව නව නගරයේ පදිංචි ‘නිලන්ත මධුරංග රත්නායක’ නමැති සැකකරුගේ නිවසේ තිබී හමු වූ ජීව අත්බෝම්බය පිළිබඳව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළා.
සියලු කරුණු සළකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය නියෝග කළේ, සැකකරු මේ මස 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
මේ අතර, වෛද්‍යවරියගෙන් සැකකරු පැහැරගෙන ගිය බවට සැක කෙරෙන ජංගම දුරකථනයක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.
ඒ, ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක තිබියදීයි.
‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී පොලිසිය පැවසුවේ, පසුගිය 12 වැනිදා සැකකරු අත්අඩංගුවට ගත්තේ ද මෙම කැළෑබද ප්‍රදේශයේ සිටියදී බවයි ෴
‘බටලන්ද කොමිෂන් සභා වාර්තාව’ පුස්සක් – උදය ගම්මන්පිල
(17.03.2025 – 22:11 +0530 – hirunews.lk/sinhala)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හෝ නොහැකි බව, ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල :
“බටලන්ද වාර්තාවේ තුන්වන (3) පරිච්ඡේදය වෙන්කරලා තිබෙන්නේ ‘ජවිපේ භීෂණය’ ගැන කතාකරන්නයි. ආණ්ඩුව මේ වාර්තාව ඇමති මණ්ඩල අනුමැතියෙන් පිළිගත්තා කියන්නේ ජවිපේ විසින් මේ අපරාධය කළ බව පිළිගැනීමයි. මේක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එවකට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක් වූ විජේපාල මෙන්ඩිස් 2001 මාර්ත් 21 වැනිදා ‘බටලන්ද කොමිෂන් වාර්තාව’ සභාගත කළා. එහෙම නෑයි කියලා බොරු කියපු මාලිමා ආණ්ඩුවේ නායකයින්ට මේ දිනයේ හැන්සාඩ් වාර්තාවේ 1581 වැනි පිටුව බලන්න. මේ වාර්තාව පුස්සක්” යනුවෙන්ද පැවසුවා.”
+
බටලන්දෙන් රනිල් බේරෙයි – කිසිම දඬුවමක් නෑ (17.03.2025)
+
රනිල් තවත් බෙල්ලටම හිරවෙයි ? රහස් ගොන්නක් කරලියට (17.03.2025)
+
මොකද්ද මේ රටට වෙන්න යන්නේ ? – ආචාර්ය අජන්තා පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය පායි (17.03.2025)
+
කොළඹ නාගලගම් වීදියේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට (2) තුවාල
(17.03.2025 – 22:17 +0530 – hirunews.lk/sinhala)
කොළඹ නාගලගම් වීදියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් දෙදෙනෙකුට (2) තුවාල සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
+
+
රැකියා විරහිත උපාධිධාරීන් පොල්දුව වටරවුමේ රැය පහන් කරයි
(17.03.2025 – 22:41 +0530 – hirunews.lk/sinhala)
පොරොන්දු වූ පරිදි රැකියා ලබාදෙන ලෙස රජයට බල කරමින් රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වුණා.
කථානායකවරයාගේ ලේකම්වරයා පැමිණ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසු පිරිසක් විසිර ගිය අතර තවත් පිරිසක් රැය පහන් වනතුරු එම ස්ථානයේ රැඳී සිටිනවා.
විරෝධතාවයේ නිරත පිරිසට බත්තරමුල්ලේ සීලරතන හිමියන් බනිස් සහ කිරි පැකට් ලබා දුන්නා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴