මිත්තණියගේ බෙහෙත් බිව්ව වයස අවුරුදු 1½ ක දරුවා ජීවිතක්ෂයට
(06.03.2025 – 07:21 +0530 – hirunews.lk/sinhala)
මාන්කුලම් පොලිස් වසමේ කට්කුවාරි ප්‍රදේශයේදී කුඩා පිරිමි දරුවෙකු ඖෂධ පෙති පානය කිරීමෙන් අසනීප වී පෙරේදා (04) කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් ඇති බව මාන්කුලම් පොලිසිය පවසනවා.
මියගිය දරුවා වයස අවුරුදු 1½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

මෙම දරුවා නිවසේ තිබූ දරුවාගේ පියාගේ මව අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දෙමාපියන්ට භාර දී ඇති අතර, මාන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
+
අනවසර විදුලි රැහැනක ගැටී මව සහ පස් (5) හැවිරිදි පුතු මරුට
(06.03.2025 – 07:33 +0530 – hirunews.lk/sinhala)
විදුලිසැර වැදීමෙන් මවක සහ පුතෙකු අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ සූරියවැව රන්දියගම වීරියගම ප්‍රදේශයෙන්.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 38 ක් වෙන මවක් සහ ඇගේ අවුරුදු 05 ක් වෙන පුතුයි.

ඊයේ (05) දහවල් 02:30 ට පමණ නිවස පිටුපස ප්‍රදේශයේ ඉදිකර තිබූ පාන් බේකරියක ආරක්‍ෂාවට සහ එම ස්ථානයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ ආරක්ෂාවට යොදා තිබූ විදුලි කම්බියක, මෙම ‘ගඟන ඉඳුවර’ නම් වයස අවුරුදු 5 ක් වන කුඩා දරුවා පැටලී තිබෙනවා.
පෙර පාසල් ගොස් පැමිණ නිවසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර ඔහුගේ කුඩා පාපැදියෙක්ද රැගෙන එම ස්ථානයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී ඇද තිබූ විදුලි කම්බියේ විදුලිය විසන්ධිකර නොතිබුණු බව නොදත් දරුවා එහි පැටලී ඇති බවයි වාර්තා වෙන්නේ.
මව දරුවා සොයා පිටුපස ප්‍රදේශයට ගමන් කිරීමේදී වැටී සිටි දරුවා දැක කෑ ගසමින් එම ස්ථානයට දිව ගොස් දරුවා අල්ලා ඉවත් කිරීමට උත්සාහා දරා තිබෙනවා.
දරුවා මුදවා ගැනීමට උත්සාහ දැරීමේදී ඇයටද විදුලිසර වැදීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙසේ මියගොස් ඇති ‘එනෝෂා හර්ෂණී’ වයස අවුරුදු 38 ක දරුවන් සතර දෙනකුගේ (4) මවක්.
සූරියවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
+
රුපියල් ලක්ෂ 25 ක අල්ලසක් ගත් IPට වැඩ වරදී
(05.03.2025 – 22:29 +0530 – sinhala.adaderana.lk)
නීති මඟින් කටයුතු නොකර සිටීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 25 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් පොලිස් පරීක්ෂකට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු පවරා ඇත.
කොළඹ, අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගුවන් තොටුපල පොලිස්ථානයේ, පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව මෙලෙස නඩු පවරා තිබේ.
පැමිණිලිකරු සන්තකයේ තිබූ විදෙස් රටවල සිට මෙරටට රැගෙන ආ කිලෝ ග්‍රෑම් එකකට (1) ආසන්න බරකින් යුත් රුපියල් කෝටි එකහමාරක් (1½) පමණ වටිනා රන් මාල 10 ක් අත්අඩංගුවට ගෙන ඊට අදාළව නීති මඟින් කටයුතු නොකර සිටීම සඳහා මෙම නිලධාරියා රුපියල් ලක්ෂ 25 ක අල්ලස් මුදල ලබා දෙන ඇත.
ඒ අනුව, නඩු අංක HCB/360/2025 යටතේ 2025.02.25 වන දින කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ ෴
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි අසුරන 30,000 ක් අල්ලයි
(06.03.2025 – 07:27 +0530 – hirunews.lk/sinhala)
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිඟු පිටි අසුරන 30,000 ක් වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ තිරිඟු පිටි ඇසුරුම් වෙළදපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබියදී ඊයේ (05) සොයාගෙන ඇත්තේ.
පසුගිය දින කිහිපය තුළදී සිදුකළ වැටලීම්වලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොග සොයාගෙන තිබුණා.
+
දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර ‘මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා’ තත්ත්වයේ ඉහළ යෑමක්
(06.03.2025 – 09:49 +0530 – hirunews.lk/sinhala)
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර ‘මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා’ වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ‘ජාතික පිළිකා මර්දන වැඩසටහනේ’ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි අලහප්පෙරුම පවසනවා.
ඇය මේ පිළිබඳව සඳහන්කර සිටියේ ‘සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ’ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.
මේ වන විට මෙම රෝගී තත්ත්වය ලෝකයේත්, ලංකාවේත් තුන්වන (3) ස්ථානයට පැමිණ ඇති බවයි ඇය පවසන්නේ.
මෙම මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා මුල් අවස්ථාවේ හඳුනා ගැනීම සිදුකළහොත් එය වළක්වා ගත හැකි බවයි අධ්‍යක්ෂවරිය පවසා සිටියේ.
‘ක්ෂණික කෑම’ වෙනුවට ‘තන්තුමය ආහාර’ සහිත පෝෂණීය කෑම වේලක් ලබා ගැනීම ඉතා වැදගත්වෙන බවයි ඇය පවසා සිටියේ.
මෙම පිළිකා තත්ත්වය වර්ධනය වීමට බලපාන ප්‍රධාන සාධක ලෙස ඇය සඳහන්කර සිටියේ පෝෂණීය ආහාර වේලක් නොගැනීමයි.
වසරකට 1500 ක් ගැහැණු පාර්ශවයෙන්ද තවත් 1500 ක් පිරිමි පාර්ශවයෙන්ද මෙම , මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය දක්නට ලැබෙන බවයි ඇය පවසා සිටියේ.
අධික තරබාරු තත්ත්වය සහ දියවැඩියා වැනි රෝග තත්ත්ව නිසා මෙම රෝගය වැළදෙන බවත් ඇය පවසා සිටියා.
මළපහ සමග රුධිරය පිටවීම, වැසිකිලි යෑමේ සාමාන්‍ය පුරුදු සති දෙකකට වඩා වෙනස් වීම, මළපහ වෙන ක්‍රමවේදය සහ මළපහවල සංඝටකවල වෙනසක් තිබේනම් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වී නිසි වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු වී අදාළ රෝගයදැයි තහවුරු කර ගන්නා ලෙසයි අධ්‍යක්ෂකවරිය මෙහිදී පවසා සිටියේ.
මාර්තු මාසය පුරාවට මේ සම්බන්ධයෙන් දැනුවත්කිරීම් සිදුකරන බවයි අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් පවසා සිටියේ.
+
“බදු බිය ශ්‍රී ලංකාවේ මුදල් වැඩිවීමට හේතු විය හැකියි”
(06.03.2025 – 10:32 +0530 – hirunews.lk/sinhala)
බදුකරණය පිළිබඳ බිය, මුදල් සංසරණයේ මෑත කාලීන වැඩිවීමට දායක විය හැකි බව LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා පවසනවා.
කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඔහු පැවසුවේ :
“අවාසනාවකට මෙන්, මේ සියලු ඩිජිටල් නවෝත්පාදන සහ මුලපිරීම් තිබියදීත්, අපට තවමත් මුදල් භාවිතය වැඩි වන බව පෙනෙනවා. මා වරදවා වටහා නොගන්නේ නම්, මහ බැංකුව විසින් කාර්තුමය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නවතම ගෙවීම් ප්‍රකාශනයට අනුව, සංසරණයේ ඇති මුදල් රුපියල් ට්‍රිලියන 1.3 දක්වා ළඟා වී ඇති අතර එය පෙර කාර්තුවේ රුපියල් ට්‍රිලියන 1.2 සිට ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, කිසියම් හේතුවක් නිසා, මුදල් තවමත් වර්ධනය වෙමින් පවතිනවා” යනුවෙන්.
මේ අතර මහ බැංකුවේ නවතම (3Q24) ගෙවීම් ප්‍රකාශනයට අනුව, සංසරණයේ පවතින මුදල් වසරින් වසර (YoY) 19.7% කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 1.33 ක් බවට පත්ව ඇති අතර බදුකරණයට ඇති බිය මෙම මුදල් භාවිතය ඉහළ යාමට හේතු වී තිබේද යන පැනයට ඔහු පිළිතුරු වශයෙන් ලබා දුන්නේ, බදුකරණයට ඇති බිය එක් හේතුවක් විය හැකි බවයි.
තවත් සාධකයක් වන්නේ කොවිඩ් සහ අනෙකුත් අර්බුද අතරතුර බොහෝ පුරවැසියන්ට ලබා දුන් රුපියල් 5,000 නෝට්ටු විය හැකි අතර ඒවා දැන් නැවත සංසරණයට පැමිණීමට ඉඩ තිබෙන බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන්කර සිටියේ.
එසේ ම මහජනතාව සතුව ඇති මුදල්වලින් සියයට 76 ක් ආර්ථිකයට දායක නොවන බව ද ඔහු එහි දී පෙන්වා දී තිබුණා.
වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙවැනි අදහසක් :
“මෙම රුපියල් ට්‍රිලියන 1.3 න් සියයට 76 ක් මහජනතාවගේ අතේ, මුදල් පෙට්ටිවල, මෙට්ට යට තබා ඇති ඒවා. ඒවා අත්‍යවශ්‍යයෙන්ම කිසිදු අරමුණක් ඉටු කරන්නේ නෑ. නිෂ්ක්‍රීයව සිටින මුදල් එහි හිමිකරුට උනන්දුවක් ඇති කරන්නේ නෑ. නැත්නම් මූල්‍ය අංශයට කිසිදු ආර්ථික වටිනාකමක් ඇති කරන්නේ නෑ. ඩිජිටල් ගෙවීම් (මුදල් පද්ධතියට මුදල් ඒකාබද්ධ කිරීමට) වඩා හොඳ ක්‍රමයක් නැහැ. මන්ද ඩිජිටල් ලෙස භාවිතා කරන විට මුදල් මූල්‍ය පරිසර පද්ධතිය තුළ පවතිනවා. අපට දැනටමත් ශක්තිමත් යටිතල පහසුකම් ක්‍රියාත්මක වන අතර එය වැඩිපුර භාවිතා කිරීමට අපට අවශ්‍යයි. කොවිඩ්, ඩිජිටල් ගෙවීම් සම්මත කිරීම වේගවත් කිරීමට උපකාරී වූ නමුත් අපට තවමත් බොහෝ දුර යා යුතුව තිබෙනවා.”
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු (2) මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරයි
(06.03.2025 – 12:09 +0530 – hirunews.lk/sinhala)
= මර්වින් සිල්වාගේ බිරිඳ සැමියාට වුණු දේ මාධ්‍යට කියයි =
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඊයේ (05) රාත්‍රියේ දී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු මහජන සබදතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල වකවානුවේ දී ‘කැළණිය ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකසා අලෙවි කළ’ බවට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට පැමිණිල්ලක් ලැබී තිබුණා.
ඒ අනුවයි ඊයේ (05) ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් කළ විමසීමේ දී ඇය මෙසේ සඳහන් කළා :
“මම දන්නෑ ඇත්තටම හරියට මොකක්ද කේස් එක කියලා. මේ 2015 වෙච්ච සිද්ධියක්නේ. මමත් මේක ඇත්තටම දන්නේ නැහැ හරියට මොකක්ද කියලා. මොකක්ද මේ ඉඩම්, කඩ කාමර වර්ග කේස් එකක් කියලා. මමත් හරියටම ඇත්තටම දන්නේ නැහැ.
අපි දෙන්නම හිටියා මෙතන. ඇවිල්ලා එක්කන් ගියා. මං හිතන්නේ 08:30 ට 09:00 ට වගේ අවේ. හතර දෙනෙක් (4) ද කොහෙද ආවේ. ඒගොල්ලන්ගේ ID පෙන්නුවා. ඊට පස්සේ චෝදනාව කිව්වා, මොකක්ද කියන එක. ඊට පස්සේ එක්කගෙන ගියා. අද (06) මහර අධිකරණයට ඉදිරිපත් කරනවා කිව්වා”.
+++
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් දෙදෙනෙකු (2) මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
කැලණිය ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් කූඨ ලේඛන සකස්කර අලෙවිකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා ෴
+
+
දේශබන්දු ගැන තොරතුරක් දන්නවා නම් CIDයට කියන්න – පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි
(06.03.2025 – 12:18 +0530 – hirunews.lk/sinhala)
ලැබී ඇති තොරතුරු අනුව දේශබන්දු තෙන්නකෝන් රටින් පිටව ගොස් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට ඔහු රැදී සිටින ස්ථාන පරික්ෂාවට ලක් කළත් නීතියට අනුගත නොවී ඔහු සැඟව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්කර සිටියේ.
ශ්‍රී ලංකා පොලිසිය විසින් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ නියෝගයට අනුකූල නොවුණහොත් ඒ සඳහා ක්‍රියා කරන ආකාරයටම ඔහු සම්බන්ධ දුරකථන පරීක්ෂණ වාර්තා, රැඳී සිටිය හැකි ස්ථාන සියල්ල පරික්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
එමෙන්ම කිසියම් හෝ පුද්ගලයෙක් හිටපු පොලිස්පතිතුමන්ට සැඟව සිටීමට ආධාර සපයන්නේ නම් දණ්ඩනීති සංහ්‍රහයේ 209 වෙනි වගන්තිය යටතේ දඬුවම් කරන බවත් ඔහු පවසා සිටියා.
එමෙන්ම හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සෘජුවම යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ ෴
මෙරට කාන්තාවන්ගෙන් අඩක්ම මත්ද්‍රව්‍ය නිසා ගැටලුවලට මුහුණදී ඇති බවට හෙළි වෙයි
(06.03.2025 – 12:55 +0530 – hirunews.lk/sinhala)
මෙරට කාන්තාවන්ගෙන් 54% ක් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් නිසා විවිධ ගැටලුවලට මුහුණදී ඇති බවට සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
කාන්තා දිනය තේමා කරගනිමින් ‘මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය’ විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන් දහසක් (1000) යොදා ගනිමින් සිදු කරන ලද සමීක්ෂණයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම, මෙරට කාන්තාවන් 43% ක් අයහපත් මානසික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවද මෙමගින් හෙළිව තිබෙනවා.
මේ අතර, කාන්තාවන්ගෙන් 64% ක් මධ්‍යසාර සමාගම් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට යොදා ගැනීම නිසා කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ද ‘මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය’ විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී හෙළිව ඇති බව සදහන් ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴