ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්

ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්


ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක් දැයි ඛනිජතෙල් බෙඳුම්කරුවන්ට සැකයක්

(03.03.2025 – 06:39 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුව විසින් ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට පැවරීමේ උත්සහායක නිරත වන බවට සැකයක් මතුවන බව ‘ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය’ පවසයි.

එහි උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේ ඒ සඳහා රජය විවිධ උත්සාහ දරමින් සිටින බවය.

මේ අතර ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සියයට 3 ක කොමිස් මුදල කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් සංදේශයක් භාරදීමට ද කටයුතු කරන බව ‘ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ’ උපසභාපති කුසුම් සදනායක මහතා පැවසුවේය.

මේ අතර ‘ලංකා ඉන්දීය තෙල් සමාගමේ’ බෙදුම්කරුවන් ද ඉන්ධන ඇණවුම් අත්හිටුවීමට තීරණය කර තිබේ.

එහි සභාපති කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ ‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාව’ විසින් ඇති කරන බලපෑම මත තමන්ට එක් ඇණවුමකින් රුපියල් 35,000 ක පාඩුවක් සිදුවන බවය.

මේ අතර තෙල් බෙදාහැරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පාලනය කිරීම සඳහා රජයට දැක්මක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය ෴


බද්දේගම අයියා, මලෝ ඝාතනයට තුනක් (3) අත්අඩංගුවට

(03.03.2025 – 06:53 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම, ප්‍රදේශයේදී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව, සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 21, 33 සහ 41 වයස්වල පසුවන බටපොළ හා ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන්.

පසුගිය 27 වැනිදා බද්දේගම, මද්දෙවිල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත් වුණා.

මෙහිදී එම සිදුවීමෙන් තවත් දෙදෙනෙකු (2) තුවාල ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එච්.කේ. අජිත් කුමාර හා එච්.කේ. උපුල් යන අය මෙම පහරදීමෙන් ජීවිතක්ෂයට පත් වුණා ෴


අණ නොතැකූ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි

(03.03.2025 – 07:19 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පේදුරුතුඩුව, පොන්නාලේ ප්‍රදේශයේදී ඊයේ (02) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ ටිපර් රථයකට පොලිසියෙන් වෙඩි තබා තිබෙනවා.

අනවසරයෙන් වැලි ප්‍රවාහනය කරමින් තිබූ මෙම ටිපර් රථයට නවතින ලෙසට කිහිපවරක් පොලීසිය සංඥා කොට ඇතත්, එය නොනවත්වාම අධික වේගයෙන් ධාවනය කරවිම නිසා පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (02) සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරා ප්‍රථිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා.

පොලිසිය විසින් තබන ලද වෙඩි පහරවල් ටිපර් රථයේ ස්ථාන කීපයකට වැදීමෙන් පසුව එම රථය රියදුරු විසින් වාහනය නතර කර ඇති අතර, පොලිසිය විසින් පරීක්ෂා කොට බැලීමේදී එහි රියදුරුටද වෙඩි වැදී තිබීම හේතුවෙන් ඔහු වහාම පේදුරුතුඩුව රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම ටිපර් රථයේ දෙදෙනෙකු (2) ගමන් කොට ඇති අතර, අනෙක් පුද්ගලයා පොලිසිය වෙඩි තැබීම නතර කළ පසුව රථයෙන් බිමට පැන අසල වූ ලඳු කැළෑවකට පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴


පෙබරවාරියේ විදෙස් සංචාරකයින් 30,000 ක් මෙරටට

(03.03.2025 – 08:16 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාසයේදී විදෙස් සංචාරකයින් 232,341 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කළේ, ඉන් වැඩිම පිරිසක් එනම්, 34,006 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි.

මීට අමතරව රුසියාවෙන් 29,241 ක්, බ්‍රිතාන්‍යයෙන් 29,241 ක්, ජර්මනියෙන් 16,720 ක් සහ ප්‍රංශයෙන් 15,063 ක් මෙරටට පැමිණ තිබෙනවා.

ඒ අනුව, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ෴


දුම්රියේ ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

(02.03.2025 – 22:26 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ කරිත්තකන්ද රේල් ගේට්ටුව අසලදී දුම්රියක ගැටී පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ඇල්පිටිය, ඇල්ල පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි තුෂදු සංදීප නම් සිසුවෙක්.

සිසුවා එම අවස්ථාවේ ජංගම දුරකථනයේ ‘හෑන්ඩ්ෆ්‍රී’ භාවිත කරමින් ගමන් කිරීම නිසා දුම්රියේ ශබ්දය ඔහුට නොඇසීම හේතුවෙන් සිසුවා දුම්රියේ ගැටී ඇති බවයි පොලිසිය පැවසුවේ.

+


පාසල් සිසුන් ගොදුරු කරගන්නා සමාජ මාධ්‍ය ජාලයක් ගැන තොරතුරු එළියට

(03.03.2025 – 08:57 +0530 – hirunews.lk/sinhala)

යාපනය නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක සිසුන් පිරිසක් විසින් තවත් පාසල් කීපයක සිසුන් එකතු කරගෙන සකසා ගත් සමාජ මධ්‍ය ජාලයක් ඔස්සේ විවිධ විෂමාචාර ක්‍රියා සිදු කරගෙන යන බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

එම සමාජ මාධ්‍ය ජාලයට යාපනයේ පාසල්වල 10 හා 11 යන වසරවලට අයත් සිසුන් පමණක් නොව සිසුවියන්ද විශාල ප්‍රමාණයක් සිටින බවයි යාපනයේ ස්වේච්ඡා සංවිධාන පෙන්වා දෙන්නේ.

මෙම සමාජ මාධ්‍ය ජාලයේ සාමාජික සාමාජිකාවන්විසින් නිරුවත් ඡායාරූප වීඩියෝ හා වෙනත් ලිංගික දර්ශන හුවමාරූ කර ගන්නා අතර එම සාමාජිකයින්ගේ පෞද්ගලික ලිංගික ක්‍රියාකාරකම් ද හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා.

මීට අමතරව ඔවුන් විසින් සාමාන්‍ය සාද පැවැත්වීමත් මත්පැන් හා මත්ද්‍රව්‍ය යොදා ගන්නා සාද පැවැත්වීමටත් මෙම සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කරගෙන ඇති බවයි යාපනයේ ස්වේච්ඡා සංවිධාන ප්‍රකාශ කොට සිටින්නේ.

නිවෙස්වලට හොරෙන් කෙටි චාරිකා යාමටද මෙම සමාජ මාධ්‍ය ජාලය යොදා ගන්නා බව සඳහන් ෴


හිටපු කොස්තාපල්ගේ ඉඩමේ තිබී වළ දැමූ උණ්ඩ තොගයක් හමුවෙයි

(03.03.2025 – 10:00 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ සේවය කළ හිටපු පොලිස් කොස්තාපලයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනිඅවිවලට යොදන උණ්ඩ 341 ක් සහ අත් බෝම්බ දෙකක් (2) ගලෙන්බිඳුණුවැව පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

එහිදී T-56 උණ්ඩ 281 ක් සමග එම මැගසින් පහක් (5), SLR වර්ගයේ උණ්ඩ, 84s වර්ගයේ උණ්ඩ 06 ක්, 84s පුහුණු උණ්ඩ 7 ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 3 ක්, SMG මැගසීන් 1 ක් සහ අත් බෝම්බ හතරක් (4) සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම නිල නිවසේ සිටි පොලිස් කොස්තාපල් ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර, 2022 වර්ෂයේදී ඔහුගේ වැඩ තහනම්ව තිබෙනවා.

අනතුරුව ආයුධ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (02) පොලිසිය සිදුකළ සෝදිසියකදී ඉහත භාණ්ඩ සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකාර කොස්තාපල් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු විසින් වෙනත් පාර්ශවයක් වෙත ලබාදීම සඳහා මෙම ආයුධ වළ දමන්නට ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ ෴


දැරියකට ලිංගික අතවර කළායැයි පොලිස් සැරයනයෙකු අත්අඩංගුවට

(03.03.2025 – 11:13 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහරාම ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයනයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අදාල ප්‍රදේශයේ නිවසකට පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් සිටියදී කාමරයක් තුළදී එම දැරිය ලිංගික අතවරයට ලක්කර ඇති බවයි.

තිස්සමහාරාමයේ පදිංචි ඉහත දැරිය නිවස තුළ කලහකාරී ලෙස හැසිරෙන බවට ඊයේ (02) රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලද දැනුම්දීමකට අනුව පොලිසියේ රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි ඉහත සැකකාර සැරයන් දැරියගේ නිවසට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

එහිදී, සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන් තොරතුරු විමසීම සඳහා සැකකාර සැරයන් දැරිය රැඳී සිටි කාමරය වෙත ගොස් ඇය සමග කතා කරමින් සිටින අතරතුර ලිංගික අතවර කළ බවට පොලිස් ස්ථානය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර සැරයන් අද (03) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


වනඅලි හා දුම්රිය ඒකාබද්ද කාලසටහනකට?

(03.03.2025 – 11:10 +0530 – hirunews.lk/sinhala)

= වනඅලි ගැටීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශවල දුම්රිය කාලසටහන සංශෝධනය කෙරේ =

රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වනඅලින් ගැටීම වැලැක්වීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

එහි මූලික පියවරක් ලෙස වනඅලින් වැඩි වශයෙන් සැරිසරන කාල සීමාවන්ට පෙර සහ එම කාලසීමාවන්ට පසුව දුම්රිය ධාවනය කිරීම සදහා දුම්රිය ආරම්භක වෙලාව සංශෝධනය කිරීමට මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව සඳහන්.

ඒ අනුව මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පුනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දිය සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි මෙම දුම්රිය කාලසටහන් සංශෝධනය සිදුකර ඇති අතර එය මාර්තු 07 දින සිට ක්‍රියාත්මක කිරීම සදහා සැලසුම් කර තිබෙනවා.

මීට සමගාමීව එදින සිට කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනය වන ‘මීනගයා’ නගරාන්තර රාත්‍රී තැපැල් දුම්රිය සදහා s-13 වර්ගයේ බලවේග කට්ටලයක් ධාවනයට යෙදවීම සඳහා ද සැලසුම් කර ඇති බව සඳහන්.

2025.03.07 දින සිට ඉදිරි දිනයන් සදහා කලින් ආසන වෙන් කිරීම් සිදු කරන ලද මගීන් හට නියමිත පරිදි කල්වේලා ඇතිව අදාළ දුම්රියන් සඳහා පැමිණීමට කටයුතු කරන ලෙස කාරුණිකව දැනුම් දෙන අතර මෙලෙස දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීම සහ ඉහත පරිදි වේගසීමා පැනවීම හේතුවෙන් ගමනාන්ත දුම්රිය ස්ථාන වෙත ලඟා වීමේදී අමතර කාලයක් ගත කිරීමට සිදුවීම සම්බන්ධයෙන් මගී ජනතාව වෙත දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළකරමින් නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.


පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මාර්තු 17 වනදා සිට

(03.03.2025 – 11:25 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරණය කළ බව නිවේදනය කරනු ලබනවා.

ඒ අනුව, මාර්තු 17 වන දින සිට මාර්තු 20 වන දින දහවල් 12 දක්වා නාමයෝජනා බාරගැනීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුව පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමෙන් අනතුරුව පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වුණා.

එමෙන්ම, පසුගිය 23 වැනිදා ජනපතිවරයා මහනුවරදී ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුදල් මේ වන විට රජය වෙන් කර ඇති බවයි ෴


ඇමතිට දුන් කාලය අවසන්.. සෞඛ්‍ය වැඩ වර්ජනයක් කැඳවයි…

(03.03.2025 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මේ මස 06 වන දා උදේ 08 සිට රට පුරා සියලු ම රෝහල්වල ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්ය මණ්ඩලය’ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සමිති නායකයෝ පැවසූහ.

අද දිනයේ (මාර්තු 03) සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා සිදුකරන බව ත් සාධනීය ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සමිති සංවිධාන 20 ක නියෝජිතයෝ පැවසූහ.

සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ දීමනා කප්පාදුව නිවැරැදි කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලබාදුන් කාලය අදින් අවසන් බව සෞඛ්‍ය සමිති සංවිධාන 20 ක නියෝජිතයෝ ප්‍රකාශ කරති.

වෛද්‍යවරුන් ද මේ සටනට පන්නරය ලබා දෙන බව ද ඒ මහතා කීය.

නමුත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය, ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හි ක්‍රියාත්මක නොවන බව ද ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ’ කැඳවුම්කාර මණ්ඩලය ප්‍රකාශ කරයි.

නලින්ද ජයතිස්ස හෙදියකගේ වැටුප පිළිබඳව පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සාවද්‍ය බව ‘සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ’ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේශ් පැවසීය.

හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පළමු වැටුප් තල දහයට ගෙන ඒමේදී, පළමු වැටුප් තල දහය (10) අතර රැඳී සිටි සෞඛ්‍ය වෘත්තීයවේදීන් පහළට ඇද දමලා යැයි ද ඔහු කීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට අදාළව ක්‍රියාත්මක බරපතළ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අයවැයෙන් කිසිදු උත්සාහයක් සිදුකර නොමැති බවද ඔහු කීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ඉලක්ක කරගනිමින් නිවැරැදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාව එසේම තිබියදී, ඔවුනට ලබාදී ඇති දීමනා කප්පාදු කිරීම බරපතළ බව ද රවි කුමුදේශ් පැවසීය.

එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී බොරු සංඛ්‍යාලේඛන පෙන්වමින් මහ ජනතාව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසිගැන්වීමට උත්සාහ කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා එය තේරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැනුම් දෙන බව ද රවි කුමුදේශ් පැවසීය.

උදේනී දහනායක, දේවිකා සෙව්වන්දි, උපුල් රෝහණ, චානක ධර්මවික්‍රම ආදී කිහිප දෙනෙක් ද මෙහිදී අදහස් දැක්වූහ.

මේ අතර, අයවැය යෝජනාවල සඳහන් පරිදි වෛද්‍යවරුන්ගේ වැටුප්, දීමනා සහ වෛද්‍ය වෘත්තිකයන් සිය රාජකාරි ඉටුකිරීමේදී මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී එම ගැටලු පිළිබඳ සාකච්ඡා කළ නමුත් එම සාකච්ඡාවේදී ගැටලු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

ජනාධිපතිවරයා අයවැය යෝජනාව සහ වෛද්‍යවරුන් විසින් මතුකරන ලද ගැටලු සමාලෝචනය කිරීමට තවත් කල් ඉල්ලා සිටි බව ද හෙතෙම කීය.

නිමල් අල්ගෙවත්ත
රවිෂාන් ප්‍රනාන්දු

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *