මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට

මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට


මාබෝල ප්‍රදේශයේදී ලොරි රථයක් සොරකම් කළ සැකකරු මහේස්ත්‍රාත් හමුවට

(01.03.2025 – 18:41 +0530 – hirunews.lk/sinhala)

ලොරි රථයක් පැහැරගෙන යමින් සිටියදී කඩුවෙල ප්‍රදේශයේදී පොලිසියෙන් වෙඩි තබා අත්අඩංගුවට ගත් සැකකරු අද (01) කඩුවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

එළවලු ප්‍රවාහනය කරන ලොරි රථයක් ඊයේ (28) රාත්‍රී 07:30 ට පමණ එළවලු රැගෙන නොරොච්චෝලේ ප්‍රදේශයෙන් පිටත්ව තිබුණේ වත්තල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැළකට භාර දීම සඳහායි.

පසුව රාත්‍රී 12 ට පමණ අදාළ ලොරි රථයේ රියදුරු රාත්‍රී ආහාර ගැනිම සඳහා මාබෝල ප්‍රදේශයේදී රථය නතර කර තිබුණා.

එහිදී කිසියම් පුද්ගලයෙකු විසින් ලොරි රථය පැහැර ගෙන තිබූ අතර ලොරි රථයේ රියදුරු ත්‍රී රෝද රථයකින් වත්තල ප්‍රදේශය දක්වා ලොරි රථය හඹා ගොස් තිබුණද ලොරි රථය පහැර ගත් පුද්ගලයා අධික වේගයෙන් රථය ධාවනය කිරීම හේතුවෙන් ඔහුට ලොරි රථය මගහැරී තිබෙනවා.

පසුව ලොරි රථයේ රියදුරු ඒ පිළිබඳව වත්තල පොලිසියට දැණුම් දී තිබූ අතර තම ලොරි රථයේ GPS යෙදවුම සක්‍රිය බවද ඔහු පොලිසිය දැනුවත් කර තිබුණා.

ලොරි රථය පැහැර ගත් පුද්ගලයා පළමුව වත්තල සිට වැල්ලම්පිටිය දක්වා ලොරි රථය ධාවනය කර තිබූ අතර වැල්ලම්පිටිය මංසන්දියේදී පොලිසිය රථය නතර කිරීමට අවවාද කළද සැකකරු අණ නොතකා ධාවනය කර තිබුණා.

පසුව සැකකරු වැල්ලම්පිටියේ සිට කඩුවෙල දක්වා අධික වේගයෙන් ලොරි රථය ධාවනය කර තිබූ අතර කඩුවෙල ප්‍රදේශයේදී ද පොලිසිය රථය නතර කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වී තිබුණා.

ඒ අනුව තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් හා සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආශාන් ඉසුරු ගේ නියෝග මත පොලිස් ක්ෂණික ක්‍රියාත්මක යතුරු පැදි කණ්ඩායමද මෙම ක්‍රියාන්විතය සඳහා එක්ව තිබූ අතර පොලිස් යතුරු පැදි කිහිපයක් ලොරි රථය පසුපස හඹා ගියා.

පසුව අදාළ සැකකරු කඩුවෙල සිට කොස්වත්ත දක්වා රථය ධාවනය කර තිබූ අතර කොස්වත්ත ප්‍රදේශයෙන් රථය යළි හරවා කඩුවෙල දෙසට අධික
වේගයෙන් ධාවනය කිරිමටයි පියවර ගෙන තිබුණේ.

පසුව පොලිසිය කඩුවෙල ප්‍රදේශයේදී ලොරි රථයට වෙඩි පහර කිහිපයක් එල්ල කළද සැකකරු රථය ඉදිරියටම ධාවනය කර තිබුණා.

එහිදී කඩුවෙළ අධිකරණය අසළදි තවත් ලොරි රථයක් යොදා ගනිමින් මාර්ගය හරස් කර ලොරි රථය නවත්වා ගැනීමට කටයුතු කර තිබුණා.

පැහැරගත් ලොරි රථය එම ස්ථානයෙන් හැරවීමට උත්සහ කිරීමේදී පොලිසිය වෙඩි ප්‍රහාර 20 කට අධික ප්‍රමාණයක් එල්ල කර එය නතර කර ගැනීමට සමත්ව තිබෙනවා.

රථය පැහැරගෙන පදවාගෙන ගිය සැකකරු ලොරි රථය දමා පලායාමට උත්සහ කිරීමේදි අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බයක් ද පොලිසිය සොයාගත් ඇති අතර සැකකරු 25 හැවිරිදි ‘මොහොමඩ් මිස්කීන්’ නැමති කැළණිය, කොත්තුඹූර වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු ලොරි රථය අධික වේගයෙන් ධාවන කරන අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වූ තවත් මෝටර් රථ තුනක (3), බස් රථයක (1) හා ත්‍රී රෝද රථයක (1) ද ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද (01) පස්වරුවේ කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී සැකකරු පැය 48 ක් රඳවා ප්‍රශ්න කරන ලෙස පොලිසියට අවසර දී තිබෙනවා.

+

+


ජපානයේ හෙද රැකියා අවස්ථා රැසක්

(01.03.2025 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ හෙද ක්ෂේත්‍රයේ රැකියා සදහා අවස්ථා රැසක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වී තිබෙනවා.

‘ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය’ හා ‘ජපානයේ අයි එම් ජැපෑන් ආයතනය’ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුවයි මෙම රැකියා අවස්ථා උදා වී ඇත්තේ.

වයස අවුරුදු 18 ත් 35 ත් අතර, තරුණ තරුණියන්ට මේ සදහා නොමිලේ අවස්ථාව හිමිවනවා.

වසර 5 ක කාලයක් සඳහා මෙම රැකියා අවස්ථාවන් හිමිවන අතර, එහිදි අවම වැටුප ලෙස ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 04 ක් ගෙවනු ලබනවා ෴


වන්දනා නඩයක් රැගත් බස්‍ රථයක් මුතූර්හිදී අනතුරට

(01.03.2025 – 15:34 +0530 – hirunews.lk/sinhala)

වන්දනාකරුවන් පිරිසක් රැගත් බස් රථයක් මුතූර් ප්‍රදේශයේදී ලොරි රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, මිනුවන්ගොඩ සිට සේරුවිල, විල්ගම්වෙහෙර විහාරයට පැමිණි වන්දනාකරුවන් රැගත් බස්රථයක්.

එම අනතුරින් 33 දෙනෙකු තුවාල ලබා මුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 18 දෙනෙකු කාන්තාවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

+


පාතාලයට සම්බන්ධ ආරක්ෂක අංශ සාමාජිකයින් ගැන විශේෂ බුද්ධි වාර්තාවක් ?

(01.03.2025 – 16:22 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය හමුදාව ඇතුලු ආරක්ෂක අංශවල සාමාජිකයින් පාතාලය හා සම්බන්ධව ක්‍රියාකර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතව තිබෙනවා.

එවැනි හඳුනා ගන්නා පිරිස ඇත්නම් ඔවුන්ට එරෙහිව ආයතනික නීති සහ අපරාධ නීති යටතේ ක්‍රියාකිරීමට නියමිතයි.

දනටමත් පාතාලය සමඟ සමීප සබඳතා පවත්වන ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව විශේෂ බුද්ධි වාර්තාවක් සකසමින් සිටින බවයි වාර්තා වන්නේ.

පොලිසිය ඇතුලු ආරක්ෂක අංශවල ඇතැමුන්ගේ පාතාල ගනුදෙනු සම්බන්ධයෙන් මේ වනවිට කරුණු හෙළිව තිබෙන බව පැවසෙනවා.

මෑතකදී ආරක්ෂක අංශ වෙත බඳවාගෙන සිටින ඇතැමුන්ගේ පවුලවල සාමාජිකයින් පාතාලයට සම්බන්ධ බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා.

එබැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙන බවයි ආරක්ෂක අංශ වාරතා කරන්නේ ෴


‘ගණේමුල්ල සංජීව’ ඝාතනයට අත්අඩංගුවට ගත් දෙදෙනාව (2) රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට අවසර

(01.03.2025 – 17:31 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව’ ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (28) දින අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) පැය 72 ක කාලයක් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් අධිකරණය විසින් ලබා දී තිබෙනවා.

ඒ ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ (PTA) යටතේයි.

‘කොළඹ අපරාධ කොට්ඨාශය’ විසින් මෙම සැකකරුවන් දෙදෙනා (2) ඊයේ (28) දින ගම්පහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 31 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක් (2).

මේ වනවිට දොළොස් දෙනෙකු (12) එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


වැලිගම දී මෝටර් රථයක් දුම්රියේ ගැටී බිහිසුණු අනතුරක්

(01.03.2025 – 17:49 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) දහවල් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් මෝටර් රථය පැදවූ මව සහ ඇගේ දියණිය තුවාල ලබා ඇති බවයි වැලිගම පොලිසිය සඳහන් කළේ.

වැලිගම, හෙට්ටිවීදිය, දෙවන පටුමග පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී අනතුර සිදුව තිබෙනවා.

වවුනියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ මෙම මෝටර් රථය ගැටී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

මවක් සිය දියණිය අමතර පංතියකට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් වැලිගම නගරයට ගමන් කරමින් සිට තිබෙන අතර එහිදී මෙම අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මෝටර් රථය පැදවූ මව සහ ඇගේ දියණිය තුවාල ලබා මාතර මහ රෝලට ඇතුළත් කර තිබෙනවා.

වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

+

+

+


ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය අරඹයි

(01.03.2025 – 18:28 +0530 – hirunews.lk/sinhala)

‘ජනාධිපති කාර්යාලය’ සතු සුඛෝපභෝගී වාහන 14 ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6 ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (28) සිදු කර තිබෙනවා.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ‘ජනාධිපති කාර්යාලය’ සතු වාහන විකිණීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09 ක්, වොවෝ ජිප් රථයක් (01), ක්‍රයිස්ලර් මෝටර් රථයක් (01), මහේන්ද්‍රා බෝලෙරෝ රථයක් (01), රෝසා බස් රථයක් (01), ඩිස්කවරි රථයක් (01) සහ ටොයෝටා මෝටර් රථයක් (01) ඇතුළු වාහන 15 ක් ඊයේ (28) දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතයි.

මෙම වාහන ‘ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල’ වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වෙනවා.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර ලංසු භාර ගැනීම ඊයේ (28) දහවල් 12:00 වන තෙක් පැවැත්වුණු අතර ලංසු විවෘත කිරීම රාත්‍රී 08:00 දක්වා සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව වූ බවයි වාර්තා වන්නේ.

+

+


ගල් වලක වැඩ කරමින් සිටි පිරිසක් මතට ගලක් කඩා වැටෙයි : අයෙක් ජීවිතක්ෂයට

(01.03.2025 – 20:05 +0530 – hirunews.lk/sinhala)

මීරිගම – අක්කර 20 ප්‍රදේශයේ ගල් වලක වැඩ කරමින් සිටි 3 දෙනෙකු මතට ගලක් වැටී අනතුරක් සිදුව තිබෙනවා.

එහිදී එක් (1) අයෙකු මියගොස් ඇති අතර දෙදෙනෙකුට (2) තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක පුද්ගලයෙක් ෴

+

+


හිරිකටු ඔයේ සැඩ පහරට කොටුවූ පුද්ගලයින් 35 ක් යුද හමුදාව මුදාගනී

(01.03.2025 – 21:06 +0530 – hirunews.lk/sinhala)

හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු මුදාගැනීමට යුද හමුදාව සමත්ව තිබෙනවා.

අද (01) පස්වරුවේ මේ මුදාගැනීම සිදුකළ බවයි යුද හමුදාව පැවසුවේ.

ගැමුණු හේවා බළකායේ, නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් මෙහෙයුම සිදුකර තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ සිට දේශීය සංචාරකයින් 75 දෙනෙකු නන්පේරියල් ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබෙන බවයි පැවසෙන්නේ.

යුද්ධ හමුදා භට පිරිස්වල කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර මේ සිවිල් වැසියන් ආරක්ෂිතව මුදාගැනීමට සමත් වූ බවයි යුද හමුදාව පවසන්නේ.

+


පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මත්කුඩු බෙදූ අයෙකු අත්අඩංගුවට

(01.03.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)

පැණී බීම බෝතල් මූඩි තුළ සඟවා මරදන්කඩවල හා ඒ අවට ඔන්ලයින් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයකු මත්කුඩු තොගයක් ද සමඟ අද (01) සවස අත්අඩංගුවට ගැනීමට මරදන්කඩවල පොලිසිය සමත්ව තිබෙනවා.

ලද තොරතුරක් අනුව මරදන්කඩවල නගරයේදී සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවත්, සැකකරු සන්තකයේ තිබී තැන තැන සඟවා අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්කුඩු පැකට් 104 ක් ද සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු සන්තකයේ සඟවාගෙන සිටියදී මෙලෙස සොයා ගනු ලැබූ මත්කුඩු තොගය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 250 ක් පමණ වන බව පොලිසිය සඳහන් කළේ.

සැකකරු මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ගෙන් ‘ඊසි කෑෂ් ක්‍රමය’ට මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති අතර, පසුව මත්කුඩු කුඩා පැකට් ලෙස සකසා යම් යම් විශේෂිත සළකුණු සහිත ස්ථානවල සඟවමින් පසුව ගැනුම්කරුවන්ට දුරකතන මාර්ගයෙන් එම ස්ථානීය සලකුණු දන්වා මෙම මත්කුඩු අලෙවිකිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවට පොලිසිය අනාවරණය කර ගෙන තිබෙනවා.

මරදන්කඩවල හා ඒ අවට ප්‍රදේශවලට මෙලෙස මත්කුඩු අලෙවි කිරීම හා සම්බන්ධ ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *